Menu Close

සියෑමයේ තෙවෙනි සැරිය ……

සියෑමයට ගිය පළමු සහ දෙවෙනි (මේ සටහනට පස්සේ තිබෙන සටහන් තුනම[ 1 , 2 , 3 ]තායිලන්ත සංචාරය ගැන ලියවුණු ඒවා. උනන්දුවක් තියෙන අය සඳහා) සංචාර සටහන් ඔබ කියවන්නට ඇතැයි මා සිතනවා. සිතුවාට වැඩක් නෑ. බ්ලොග් කියවන බොහොමයක් දෙනෙක් 2012-13 අවධියේ බ්ලොග් කියවපු ලියපු අය නොවන බව මා දන්නවා. ඉතිං බහුතරයකට මේවා මග ඇරෙන්න ඇති. මම එදා කිවුවා වගේම අදත් කියන්නේ අපිට තායිලන්තයෙන් ඉගෙන ගන්න බොහෝ දේ තියෙන බව. අපි මැලේසියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව කිට්ටුවට යන්න කලින් බලන්න ඕනේ තායිලන්තය කිට්ටුවට යන්න. 
මේ ගමන් තුනේදී මම දැක්ක ප්‍රධාන වෙනසක් තමයි තායි බාත්(තායිලන්තයේ මුදල් ඒකකය) එකට අපි ගෙවිය යුතු මුදලේ වෙනස. මගේ පලවෙනි තායි සංචාරයේදී එය පැවතුනේ බාත් එකක් සඳහා රුපියල් 2.50 ත් 2.75 අතර මුදලක. මම මෙහෙම අතරමැදි ගානක් කියන්නේ, හරියටම අගය මතක නැති නිසා. අන්තර්ජාලයේ පෙන්වන අගය අනුව ඔය කිට්ටු අගයක් තියෙන්න ඕනේ. දෙවෙනි වතාවට මම ගියේ 2012 දී, ඒ වතාවේ මේ අගය රුපියල් හතරකට අඩුවෙන් තිබුණා. මෙවර එහි අගය කෙතරම් ඉහළ ගිහින්ද කියනවනම් හැම වියදමක් කරන්න කලින් දෙවරක් හිතන්න අපට සිදු වුණා. 31 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමේ එක් අයෙක් ඇරුණම කිසිවෙක් ගුවන් සේවාවෙන් ලබාදෙන කිලෝ 30 සීමාව ඉක්ම යන්න සමත් වුණේ නෑ. 31.4 ක් ලෙස සටහන් වූ අපේ සාමාජිකයා පළමු වතාවට විදෙස් ගත වුණු කෙනෙක්. එනිසා ඔහු සාපේක්ෂව විශාල මුදලක් එහි රැගෙන යන්න ඇති. මෙවර එහි අගය රුපියල් හයකට ආසන්න අගයක් ගෙන තිබුණා. 
කලින් වතාවල වගේම මට මෙවරත් මේ අවස්ථාව උදා වුණේ ක්‍රිකට් හින්දා. මුල් වතාවේ ක්‍රීඩකයෙකු ලෙස මේ අවස්ථාව  උදා වුණත්, මෙවරකණ්ඩායම් කළමනාකරුවෙකු ලෙසින් සහභාගී වුණේ. ගමනේ වියදම් අඩු කිරීමේ පරමාර්ථයෙන් ජනසතු සේවා ක්‍රිකට් සංගමය අඩු වියදම් ගුවන් සේවාවක් වන තායි ලයන් ගුවන් සමාගම තෝරා ගත්තා. ඒ නිසා රුපියල් තිස් දාහකට ආසන්න (ටිකක් වැඩියෙන්) මුදලකට අපිට ටිකට් පත ලබා ගන්න පුළුවන් වුණා. නමුත් මේ අවස්ථා තුනේදී වීසා ගාස්තුවත් ක්‍රම-ක්‍රමයෙන් ඉහළ ගිහිං තිබෙන බව පෙනුණා. පෙර අවස්ථා දෙකේදී අපි කෙළින්ම තායි තානාපති කාර්යාලය හරහා වීසා ලබා ගත්තත් මෙවර සමාගමක් හරහා එය ලබා ගන්න සිදු වුණා. එනිසාම එහි ගාස්තුව ඉහළ ගිහිං තිබුණා. 2004 දී එය රුපියල් 2000/= ක්, 2012 දී එය 4600/=ක් සහ 2019 දී රුපියල්  10,000/= ආදී වශයෙන් ඉහළ ගොස් තිබුණා. තුන්වෙනි පාර්ශවයක් එයට මැදිහත් වීම නිසා මේ ගාස්තුව ඉහළ යන්න එක හේතුවක් ලෙස සටහන් කරන්න පුළුවන්. ඔවුන් එසේ මැදිහත් වීමෙන් කිසියම් පහසුවක් මේ ක්‍රියාවලියට එකතු වී තිබුණේ නෑ. ඒ වෙනුවට ඔවුන් පරීක්ෂා කරන ලියකියවිලි ප්‍රමාණය ඉහළ ගොස් තිබුණා. සාමාන්‍යයෙන් මෙවැනි වීසා ලබා ගැනීමකදී ඔබේ ගිණුමෙහි පැවතිය යුතු මුදලක් ඔවුන් සටහන් කරනවා(බොහෝවිට මෙම මුදල් අවශ්‍යතාව  සලකා බලන්නේ කෝඩුකාර සංචාරකයින්ගේ). 2004 දී එවැනි විමසුමක් කළාදැයි මට මතක නැතත්, 2012දී එය රුපියල් 75,000/= ක් සහ අද එය රුපියල් 85,000/= වශයෙන් සටහන් කරන්න පුළුවන්(එය ඩොලරය හමුවේ රුපියල අව ප්‍රාමාණය නිසා සිදු වී ඇතැයි විශ්වාස කරන්න පුළුවන්). එනිසා විදේශ සංචාරයක් කියන්නේ හැම අතින්ම සංචාරකයාට බරක්. සාපේක්ෂව මැලේසියාවේ අය කිරීම් ස්ථාවර මට්ටමක පවතිනවා 2010දී 500/=, 2015දී 551/=ක් සහ 2016දී 539/= ලෙස එහි අගය සටහන් වෙනවා. මින් අදහස් වෙන්නේ මැලේසියාව සංචාරකයින්ගේ ආගමනයට අනුබල දෙතත් තායිලන්තය එය සීමා කිරීමක යෙදී සිටින බවයි. නමුත් එහි සිටිනා විදේශිකයින් ප්‍රමාණය දුටු විට අපේ ඇස් උඩ යනවා. 
මුල්වර බැංකොක් නගරයේ විදුලි දුම්රිය සේවාව ස්ථාපනය කර තිබුණේ ඉතා කෙටි දුරක් සඳහායි. මම යන හැම රටකම වගේ දුම්රිය ප්‍රවේශපත්‍රයක් අමතරව ගෙවා මෙහි රැගෙන එන්නේ මෙවැනි දැනුවත් කිරීමකදී එය වැදගත් වන්නට ඉඩ තිබෙන නිසායි. 2004 දී එසේ ලබාගත් ටිකට්පත සුරැකිව තබා ගන්න මට හැකි වුණා.

2004 දී මෙය පැවතුණේ සංචාරක ආකර්ෂණය සහ එක්තරා ප්‍රදේශයක් ආවරණය කරමින් ගමන් ගන්නා ස්වදේශිකයින් සඳහා බවයි මගේ විශ්වාසය. 2012 සංචාරයේදී මට එම අහස් දුම්රිය මාර්ගය භාවිතා කරන්න හෝ සොයා බලන්න නොහැකි වුණා. එයට හේතු කිහිපයක්ම තිබුණා. විවිධ ආයතන වළින් එකතු කළ කණ්ඩායමක් සමගින් එක්ව හිත මිතුරු කම් ගොඩ නගාගෙන එක් පිලක් ලෙස කටයුතු කරන්න අවශ්‍ය කාළය ඒ පිරිස සමගින් ගත කරන්න සිදු වුණා. අනෙක මගේ සේවා ස්ථානයෙන් මේ වෙනුවෙන් සහභාගී වුණේ කිහිප දෙනෙකු නිසා මේ ගමන යන්න එකතු කර ගත හැකි කණ්ඩායම සීමිත වුණා. සාමන්‍යයෙන් මෙවැනි සංචාරයකට පෙර අතුව අප සැලසුම් කරන බොහෝ දේ වෙනස් කරන්න එහි ගිය විට සිදු වනවා. මෙයට ප්‍රධාන හේතුව වන්නේ එම කණ්ඩායමට සහභාගී වන විවිධ ආයතන වල පිරිස් නිසා. ඔවුන් ආ-ගිය තැන් පිලිබඳ කරන විස්තර නිසා, අපගේ සැලසුම් වෙනස් කර ඔවුන් අත්විඳි දේ අත්හදා බලන්න සිදු වෙනවා. බොහෝ අය මෙවැනි යා හැකි තැන් පිලිබඳ ඉඟි ලබා ගන්නේ, ටුක්-ටුක් හෙවත් තුන්සක් රියදුරන්ගෙන්. නමුත් ඔවුන් බොහෝවිට සිදු කරන්නේ ඔවුන්ගේ ලාභය පිණිස මේ අහිංසක පිරිස වල්මත් කිරීමයි. උදහාරනයකට, ඔවුන් යෝජනා කරනවා බොබේ මාර්කට්(මෙය ලංකාවේ පමුණුව වැනි තොග වශයෙන් රෙදිපිළි අලෙවි කරන ප්‍රදේශයක්) සඳහා ප්‍රවාහනය නොමිලේ ලබා දීමට, ඒ වෙනුවෙන් ඔබ කලයුත්තේ ඔවුන් පෙන්වන වෙනත් මිල අධික වෙළද ස්ථානයකට ගොඩවී එහි මිනිත්තු කිහිපයක් ගත කිරීම පමණයි. මැණික් සහ ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය ඉන් එකක්. ඉතිං අප වැනි රටවල අය ඒ රස්තියාදුව භාර ගන්නවා. නමුත් ගමන් කලයුතු කාළය සාපේක්ෂව වැඩියි. ඒ වෙනුවෙන් ඔවුන්ට තෙල් හෝ ගෑස් සඳහා මුදලක් ලබා දෙන බව ඉන් එක් රියදුරෙක් 2012 ගමනේදී මා හා පැවසුවා.
මතකය අවධි වූ මොහොතේ, මා හා කුළුපග වූ ටෝනි නමැති මෝටර්සයිකල් රියදුරු ගැන සටහනක් තැබීම යුතුකමක් ලෙස සලකමි. 2012 වසරේදී අපට පතායා නගරයේ සැරිසරන්නට ලැබුණේ පැය තුනක් වැනි කෙටි කාළයක්. බැංකොක් වලින් සවස පහට පිටත් වූ අප පතායා වෙත ලඟා වත්දී කෙමෙන් අඳුර වැටෙමින් තිබුණත් රාත්‍රිය තරුණ වන්නට යන බව හාත්පස සලකුණු වලින් පැහැදිලි වුණා. ඇත්ත වශයෙන්ම පතායා යනු විශාල නගරයක් නොවේ. එය වර්ග කිලෝමීටර් පහත් දහයත් අතර ප්‍රමාණයක් පැතිරුණු විනෝදාස්වාදයෙන් සපිරි සංචාරක පාරාදීසයක්. රාත්‍රී ආහාරය අවසන් කළ අප වෙත සංචාරයේ කළමනාකරුවෙකු ලෙස ක්‍රියා කළ අනුර වීරසිංහ මහතා හරියටම රාත්‍රී 10:30 ට නැවතත් එම ස්ථානයට පැමිණෙන ලෙසත්, අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ අංක වලට දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසත් දන්වා සිටියා. අප කණ්ඩායමේ 50කට අධික පිරිසක් සිටි නිසා මේ සැවොම එක් කණ්ඩායමක් ලෙස ගමන් කිරීම ප්‍රායෝගික ක්‍රියාවක් නොවේ. කොහොමත් මෙවැනි සංචාර වලදී සුපිරි වෙළඳ සැල් වැනි තැනක දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක් සිටීනම්, කණ්ඩායම් වශයෙන් නොගොස්, යලි එකතු වන තැනක් කථිකා කර, තනි තනිව යාම කාගේත් කාළය ඉතුරු කරන බව අප අත්දැකීමෙන් දන්නා දෙයක්. මා මුලින්ම ගමන් ගත්තේ ඒ.ටී.එම් යන්ත්‍රයක් සොයාගෙන. මුදල් ගෙන ආපසු හැරෙනවාත් සමග මා ඉදිරියේ පෙනී සිටි ප්‍රසන්න තරුණයෙක් එක් දිගට කථා කරන්න පටන් ගත්තා

“සුබ සන්ද්‍යාවක් සර්. මගේ නම ටෝනි. මේ තියෙන්නේ මගේ ගමන් බලපත්‍රය. මගේ රාජකාරිය මෝටර් සයිකලයෙන් සංචාරකයන් ප්‍රවාහනය. සර්ට, මොනවද ඕනේ කරන්නේ. මම ඔබව රැගෙන යන්නම්, අවශ්‍ය තැන් වලට”

මේ මොහොතේ මගේ මතකයට ආවේ, නර්මදා මේ සංචාරයට එකතු වනවිට, රුපියල් 5000ක් මා අත තබා කළ ඉල්ලීම. ගමනේ අවසානයට කෙමෙන් ලඟා වී තිබුණත්, ඇය පවසා සිටි “Hard Rock Cafe – Bangkok” ටී ෂර්ට් එක තවමත් මිලදී ගැනීමට මා අපොහොසත් වී තිබුණා. නමුත් පතායා නගරයේ ගෝල්ඩන් රොක් කැෆේ එකක් තිබෙන බව, මෙහි පැමිණෙන්නට පෙරම මා දැනුවත් වී සිටියා. එයට ප්‍රථම මගේ දුරකථනයේ බැටරිය ඉතා පහළ මට්ටමක පැවති නිසා, මුලින්ම බැටරි චාජරයක් සහ පසුව හාර්ඩ් රොක් කැෆේ ටී ෂර්ට් එක මිලදී ගත යුතු බව ඔහුට පවසා සිටියා. එයට සාවධානව ඇහුන්කන් දී සිටි ටෝනි ඔහුගේ සැලසුම දිගහැරියා.

“සර්. අපි මෙහෙම කරමු. හාර්ඩ් රොක් කැෆේ එකට සර් යන්න. ගිහිං එතැන මිල ගණන් අහන්න. ගන්න ඕනේ කියළා හිතෙනවනම් ගන්න. නැතිනම් සර් ආපහු එන්න. මම දන්නා තැනකින් අඩුවට එකක් හොයා දෙන්නම්. ඒත් අපි මුලින්ම යමු චාජර් එක ගන්න” 

ඔහු මා රැගෙන අඳුර පිරි අතුරු පාරවල් රැසක් පහු කරමින් ගියා. මගේ හිතේ මේ මොහොතේ යම් චකිතයක් ඇති නොවුණා කීවොත් එය සාවද්‍යයක්. ඔහු බයිසිකලය නවතා ඉදිරියට ඇදෙද්දී මම ඔහුට හොරෙන් බයිසිකලයේ අංක තහඩුවේ චායාරුපයක් ලබා ගත්තා. ඉන් පස්සේ ඉතාම සාධාරණ මිලකට මහල් කිහිපයකින් යුත් වෙළඳ සංකීරණයක දෙවෙනි මහලේ වෙළඳ සැලකින් චාජරය මිලදී ගත්තා. ඉන් පස්සේ මා යලිත් ඔහුගේ මෝටර් සයිකලයට ගොඩ වුවා. යලිත් වේගයෙන් පටු, අඳුරු අතුරු පාරවල් රැසක් පහු කරමින් ඔහු මා හාර්ඩ් රොක් කැෆේ වෙත රැගෙන ගියා. එය ඉතා සුවිසල් මට්ටමේ ස්ථානයක්. සාමාන්‍යයෙන් මෝටර් සයිකලයකින් කෙනෙකු ලගා නොවන මට්ටමේ ස්ථානයක්. එය ලංකාවේ සිනමන් ග්‍රෑන්ඩ් මට්ටමේ හෝටලයක්. නමුත් ඒ හෝටලයේ පිටුපසට වන්නට තමයි ගෝල්ඩන් රොක් කැෆේ එක පිහිටලා තිබුණේ. ටෝනිට රථ ගාලෙහි රැඳී සිටින ලෙස දන්වා, මට අදාළ ස්ථානයට ලගා වන ආකාරය පැහැදිළි කළ පිළිගැනීමේ නිලධාරියා, යලිත් මා ඔවුන්ගේ පිළිගැනීමේ කවුන්ටරයෙන් පිටතට කැඳවාගෙන ආවා. හාර්ඩ්  රොක් කැෆේ එක වෙත යා යුතුව තිබුණේ හෝටලය පසෙකින් ඇති අඩ අඳුරු කොන්ක්‍රීට් ඇතිරූ මාවතක් හරහායි. අද ගූගල් මැප් එක හරහා එය දෙස බැලීමේදී පෙනෙන්නේ ඔහු මා කැඳවාගෙන ගොස් ඇත්තේ ගෝල්ඩන් රොක් හෝටලය වෙත බවයි. සමහරවිට එය ඔහුගේ කමිෂන් මුදල නිසා විය හැකියි. මිනිත්තු කිහිපයක අවෑමෙන් අදාළ ස්ථානයට ලගා වුවත්, අතරමග මා දුටු දර්ශණ ගැනද යම් සටහනක් කළ යුතුයි. නාන තටාකයක් වැනි තැනක ලයිලෝ මත අඩ නිරුවතින් හැසිරෙන යුවලවල් රාශියක් පසුකර ගමන් ගත් බව අදත් මගේ මතකය අවධි කරවයි. මෙහි ඡායාරුපයක් මා ගත්තාදැයි මගේ මතකය නිවැරදිව නොපවසයි. නමුත් අවසිහියෙන් මෙන් එහි යම් ඡායාරුප කිහිපයක් ලබා ගත්බව මගේ විශ්වාසයයි.ජංගම දුරකථනයටකැමරාව එක් කළ දවසේ සිට, මා මිලදී ගත් සියළුදුරකථන වල හොඳ මෙගාපික්සල් ප්‍රමාණයක කැමරාවාක් තිබුණා. ඒ මා ඒ ගැන සැලකිලිමත් වූ නිසා. මේ කාළයේ මා සතුව තිබුණේ N8 වර්ගයේ දුරකථනයක්. එහි මෙගාපික්සල් 12ක කැමරාවාක් තිබුණ බව මගේ විශ්වාසයයි. ඉතිං බ්ලොග් කරුවෙකුට එවැනි කැමරාවක් තිබීමේ වැදගත්කම ඔබට වැටහේවි පසුගිය සටහන් කිහිපයක් දෙස බැලුවානම්.

මා හාර්ඩ් රොක් කැෆේ වෙත පිවිස මගේ අවශ්‍යතාව ඔවුන් හා පැවසුවා. ඔවුන් සතු ටී ෂර්ට් සියල්ල හාර්ඩ් රොක් කැෆේ පතායා යනුවෙන් සටහන් වූ ඒවා. මා ඔවුන් හා පැවසුවා මට අවශ්‍ය බැංකොක් යනුවෙන් මුද්‍රිත ටී ෂර්ට් එකක් බව. ඔවුන් මට බැංකොක් වල ඔවුන්ගේ අවන්හළේ ලිපිනය ඔවුන්ගේ කාඩ් පතක ලියා දුන්නා. මා එකෙනෙහිම නර්මදාට දුරකථන ඇමතුමක් ලබා ගත්තා. මගේ ටෙලිෆෝනය චාර්ජ් කර ගැනීමට මෙය අවස්ථාවක් කර ගැනීමටද හැකි වුයේ, ඔවුන්ට බලාපොරොත්තු තරම් ගණුදෙනු කරුවන් ප්‍රමාණයක් නොමැති හෙයින්. චාජරයේ තිබෙත්දීම ඇය හා සම්බන්ධ වූ මා මෙහි ඇති ටී ෂර්ට් සහි ඒවායේ මිල ගණන් පවසා ටෝනි මා හා පැවසු විස්තරය දැනුම් දුන්නා. මිලෙහි ප්‍රශ්ණයක් තමාට නැති බවත්, එය හාර්ඩ් රොක් කැෆේ බැංකොක් යනුවෙන් සටහන්ව තිබිය යුතු බවත් ඇය පවසා සිටියා. නමුත් මෙහි තිබෙන ටී ෂර්ට් එක්ක මිල බාත් 450ක් පමණ වූ බව මගේ මතකයයි. ඔවුන්ට ස්තුති කළ මා නැවතත් ගිය මාරගයේම ආපසු පැමිණියා.

මා නැවතපැමිණෙන තෙක් ටෝනි බලා සිටියේ පාසැලෙන්  දරුවා ගන්නට සිටිනා පියෙකු මෙනි. මේ ගැන මට සැකයක් සහ මවිතයක් එකවිට ඇති වුණා. තායි මිනිසුන්ගේ කාරුණිකත්වය, හුදෙක් සේවාව සපයා මුදල් මිට මොළවා ගැනීමට එහා ගිය වගකීම් සහගත බවක් එකතු වූ වෘත්තීය මට්ටමක තිබෙනවා. ඔවුන් මුදල් උපයා ගන්නා රැකියාවට මෙන්ම ඔවුන්ට මුදල් ගෙවන්නට යොදුන් දහස් ගණනක ඈත සිට පැමිණෙන සංචාරකයා ඔවුන්ගේ දෙවියන් හා සමානව සිතා ක්‍රියා කරනවා. ශ්‍රී ලාංකිකයන්ට සෙසු දකුණු ආසියාතිකයින්ට වඩා ඔවුන් ඇල්මක් දක්වනවා. ඉන්දියානුවන් ඔවුන්ට අප්‍රිය පිරිසක් වී තිබෙන්නේ ඇයිදැයි විමසන්නට නොහැකි මට්ටමට අප සහ ඔවුන් අතර භාෂා බාධකය හරස් වෙනවා. නමුත් ඒ ඉස්සර, දැන් අපිට ගූගල් පරිවර්තකය සහය වනවා. මෙවර සංචාරයේදී මා භාවිතා කළේ ඌබර් වැනිම තායිලන්තයේ සේවාවක් වන ග්‍රැබ් යෙදවුම හරහා කෙරෙන් වෙන් කිරීම්. ඌබර් තායිලන්තයේ ටික කලක් තිබුණත්, ස්වදේශික සේවා සපයන්නන්ගේ විරෝධය මත එය තහනම් කර තිබෙනවා. එය ලංකාවේ මෙන් දාමරික ක්‍රමයකට ක්‍රියාත්මක නොවන්නක්. ග්‍රැබ් රි සේවය කරන රියදුරන් වෙන් කළ මොහොතේ පටන්, කෙටි පණිවුඩ හරහා අප හා සම්බන්ධ වනවා. එක් වරක් මා මවිතයට පත් කරමින් පැහැදිලි ඉංග්‍රීසියෙන් කෙටි පණිවුඩ එවූ රියැදුරු හමු වූ මොහොතේ ඔහු මුණිවත රකින ආකාරය පුදුමයක් ජනිත කළත්, තවත් මොහොතකදී ඊළඟ පැනය සඳහා නැවතත් දුරකථනයේ අකුරු කොටන ආකාරය දුටු විට කාරණය වැටහිණි. ඔහු භාවිතා කරන්නේ ගූගල් පරිවර්තකය බව දැකීමෙන් මගේ මුවග සිනහවක් ඇති කළා. නමුත් ඔවුන්ට තමන්ගේ භාෂාව පිලිබඳ ඇති නිපුණතාව පැසසුමට ලක් විය යුතුයි.

ඉන්පසුටෝනි මා නංවාගෙන නැවතත් එහාට මෙහාට පටු අඳුරු මාවත් ඔස්සේ මිනිත්තු කිහිපයක් සැරිසරා වෙළඳාම අවසන් කොට නිවෙස් බලා යනුවස් තමන්ගේ බඩු භාණ්ඩ අකුලන නමුත් විඩාපත් නොමැති වෙළඳ පිරිසක් මද්‍යයේ තම සයිකලය නතර කළා. ඔවුන්ගේ භාෂාවෙන් සට-පට ගා එක් වෙළෙන්දියක් වෙත මගේ අවශ්‍යතාව සන්නිවේදනය කළ ටෝනි, ඇයගේ හිස මත තිබු පාර්සලය බිම තබන්නට සමත් වුවා. තවත් මොහොතකින් එය ලිහා ටී ෂර්ට් තොගයක් මා අභියස තැබුවා. එයින් සුදු පැහැති ටී ෂර්ට් එකක හාර්ඩ් රොක් බැංකොක් යනුවෙන් මුද්‍රණය වී තිබෙනු දැක මා ඉතා සොම්නස්ව එහි මිල අසා සිටියා. ඇයට ඉංග්‍රීසි බස කොහෙත්ම හසුරවන්න බෑ. ටෝනි යලිත් මගේ පිහිටට ආවා. එහි මිල බාත් 125ක් බව ඇය පවසන බවඔහු කියා සිටියා. මාක්ෂණිකව මගේ පසුම්බිය ගැනීමට අත තබන්නට පෙරම, ඒ සඳහා 75ක් සඳහා ටෝනි කේවල් කරන ආකාරයක් පෙනුණා. නමුත් මා ඇය පත්වූ අපහසුතාවත් සලකා 125කට එම ටී ෂර්ට් එක මිලදී ගත්තා. ටෝනි මා ආ තැනටම මා රැගෙන ගියා. ඔහුගේ ගාස්තුව විමසා සිටි විට, මා කැමති ගණනක් ගෙවන මෙන් ඔහු ඉල්ලා සිටියා. නමුත් ඒ වනවිටත් ටෝනි මා රැගෙන යාම වෙනුවෙන් මුදල් නොවුනත් යම් උපයාගැනීමක් සිදුකර අවසන්. මා ලබාදුන් බාත් 150න් ඔහු 100 ක් ආපසු මා අත තැබුවේ මා මවිතයට පත් කරමින්. මෙවර අප අප පතායා නගරයේ රාත්‍රී දෙකක් ගත කළා. ටෝනිගේ අංකය මගේ දුරකථනයේ සුරැකිව තිබුණත්, එය ක්‍රියා විරහිත මට්ටමට පත් වී තිබුණා.ඌබර් සේවය හරහා යම් වෘත්තීය මට්ටමක අපගේ රියදුරන්ද ලඟාකරගෙනතිබෙන බවපෙනී ගියත්, බහුතරයතවමත් ඌණ සංවර්ධිත බව සටහන් කළ යුතුව තිබෙනවා. මාෆියා මට්ටමින් මේවා සේවා සපයන නව රැකියා උත්පාදනය වනක්ෂේත්‍ර බවට පත් කර ගැනීම අප කාගේත් වගකීම බව සටහන් කළ යුතුවනවා.. විශේෂයෙන්ම ඌබර් ඊට් හරහා යම් රැකියා ප්‍රමාණයක් උත්පාදනය වෙමින් පවතිනවා. මා වාහනයේ හසුරුවන විට මෝටර් බයිසිකල් කරුවන්ට සහ තුන්සක් රියදුරන්ට ඉඩලබා දෙන්නේකළාතුරකින් වුවත් ජීවන අරගලයට එක් වී ආහාර බෙදා හරින මෙවැනි මෝටර් සයිකල් කරුවන්ට හැකි හැමවිටම ඉඩ සලසා දෙනවා. ඔවුන් අපට සේවාවල් දෙකක්ම් සපයනවා. ඒ ආහාර බෙදාහැරීමෙන් සහ රැකියා වියුක්තියට ඔවුන්ම විසඳුම් සොයා ගැනීමෙන්.දැන් ඉහළවෘත්තිකයන් පවා ඌබර් සඳහා තමා කාර් රථයයොදවන අවස්ථා බහුළයි. මෙම තත්වය ඉදිරියේදී  වර්ධනය  වුවහොත්  බොහෝ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනු ඇත. මක් නිසාද යත් තමන්ගේ රැකියාව මතම නොයැපෙන තත්වයක් තුළ,  රැකියා සහිත එමෙන්ම වාහනයක් පදවාගෙන සේවයට  වාර්තා කරන පුදගලයින්, එක් අතකින් තමන්ගේ ජීවන බරට ගැලපෙන අමතර රැකියාවක නියුතු වෙයි. එවැනි වාහනයක්  දිනය අවසානයේ නිවස බලා ගමන් ගන්නා විට තවත් කෙනෙකු එම රථයේ රැගෙන යාමෙන්, බොහෝ දෙනෙකු තමන්ගේ වාහය මාර්ගයට දැමීමෙන් වලකිනවා. එසේ පාරට පැමිණෙන වාහන ප්‍රමාණය අඩු වනවිට සාපේක්ෂව රථවාහන තදබදයද අඩු වෙනවා. එවැනි විටක බොහෝ දෙනෙකුගේ කාළය, මුදල් ඉතිරි වනවා. එමෙන්ම රථවාහන තදබදය අඩු වනවිට ඌබර් ලබා දෙන ගාස්තුවද සාපේක්ෂව අඩු වනවා. එයිද පොදු ප්‍රවාහනයට පැටවෙන බරෙන් යම් ප්‍රමාණයක් අඩු වෙනවා. මෙහි සමතුලිතතාවයක් තුළ, සියළුදෙනා සතුටින් සිටින මට්ටමකට ගෙන ඒමට හැකි වනවා. ඌබර් වැනි සේවාවන් රටට එනවිට මාෆියා ත්‍රී රෝද රථ කරුවන් ඒවා වටලා පහර දෙන්න උත්සාහ කරන්නේ ඔවුන්ගේ ඒකාධිකාරයට එයින් මරු පහරක් එල්ල වන නිසයි. රජය එවැනි සේවාවන් ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතුයි. එවැනි ලෝ සුපතල සේවාවක් සඳහා විදේශිකයින් යොමු වීම නිසා, යම් විදේශ විනිමය ප්‍රමාණයක් ආකර්ෂණය කර ගත හැකි වනවා.

මෙහි දෙවෙනි කොටස ඉක්මනින්මබලාපොරොත්තු වන්න.

%d bloggers like this: