Menu Close

140. කළු ගඟ දිගේ . . . . . 5

සදා අපවෙත පතල මහා කරුණාවෙන් . . .!
 රත්නපුර මහ සමන් දෙවාලය වාහල් කඩ
මගෙ මේ  බ්ලොගය කියවන කොමෙන්ටු දාන නොදාන සියළු දෙනා සමග මා නිරණ්තරයෙන් සංවාදයක යෙදෙමි. 
බොහෝ දෙනා මුවින් නොබැන කියවා යන සේයාවකි.

 මා භාවිතා කරණ බස් වහර වෙනස්ය.
 මාතෘකාවට අවතීර්ණ වන හැටි වෙනස්ය. ඒ සියල්ල ඔබ හා වඩාත් සමීප වන අටියෙන්ය.

මීට එක් පෝස්ටුවකට පෙර මා දැක්වූ පෝස්ටුවේ හෙඩිම හෙවත් සිරස්තලය වූයේ 
“පොඩි අවුලක් වෙලා ඇත . . . !” යනුවෙනි. 
ඒ හදිසියේ මාගේ අත පසු වීමකින් නියමිත අවස්ථාවට පෙර පෝස්ටුවක් ප්‍රසිද්ධ වීමය. එය මා “ආපසු කැඳවා” නැවත නියමිත කලට වේලාවට  නියමිත පරිදි ප්‍රසිද්ධ කලද ඒවා සින්ඩි වල නියමාකාරයෙන් දැක්වූයේ නැත.!

 මෙවර “කළු ගඟ දිගේ 4 ” ටද එම විනැම්බෑසියම විය! 

එම පෝස්ටුව දෙවරක් මවිසින් ප්‍රසිද්ධ කරණ ලදී. මෙහි පලමු ප්‍රසිද්ධ කිරීමට කොමෙන්ටු වක් ලියන සෑම් මහතා: 

“One Life! Live It !!” This remind me of that famous quote by “Snoopy”; in “Peanuts”.  “One day we will die; True, But on all the other days we will not!” 
පස්වෙනි කොටසෙන් නම් කළු ගඟට බහීවි.
 අර මිනී මැරුමක් ගැන කියැවෙන්නේ වයිට් හවුස් මහත්තයාවද? 
ඊළඟ කොටස එනකම් බලා ඉන්නවා. ස්තූතියි! 

යැයි ලියා තිබුනි. මා එයට පිළිතුරක් ලියමින් . . . . . . . .

 ” මිනී මැරුමනම් හරි වගේ. 
ඒකත් ටිකක් ලියන්නම්. 
ඔබටත් මතක් වෙන දේවල් සෑම් මහත්තයා!
 කෝ ඔබ තුමාගේ බ්ලොග!?” 

යනුවෙන් ලියා තැබුවෙමි.

පොරොන්දුවූ පරිදි මේ එම කථාවේ සංක්ෂිප්ත සම්පින්ඩනයේ සාරාංශය ය!
 (අහන්න කැමතියි නේද?)

අශ්වබල 10 යේ සැලූන් වර්ගයේ ඔස්ටින් මෝටර් රථයක්
ජෝන් එඩ්වින් ෆ්‍රෑන්ක් වයිට් හවුස් මහතා රක්වානේ මාදම්පේ වතුයායේ කලමණාකාරතැන වූවේය.
 මාදම්පේ වතුයායේ කම්කරුවන්ගේ පඩි සඳහා සාමාන්‍ය වශයෙන් මසකට රුපියල් 35000 ක පමණ මුදලක් අවශ්‍ය විය. 
 අනේ 35000 ද කියලා හිතන්න එපා. තිස්පන්දහසක් තමයි; මේ වර්ෂ 1948 දී. 
1948 අප්‍රේල් 9 වනදින කොළඹ “චාටඩ්’ බැංකුවෙන්  මුදල් ලබා ගත් වයිට් හවුස් මහතා; ඔහුගේ බිරිඳත් ෂොට්ලන්ඩ් මෙනෙවියත් හෝල් මෙනෙවියත් සමගින් උදෑසන 10.00 ට පමණ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයෙන් පිටත් විය.

 අශ්වබල 10 යේ සැලූන් වර්ගයේ ඔස්ටින් මෝටර් රථයේ ලාච්චුවේ පතරොම් පුරවන ලද රිවොල්වරයකින්ද සන්නාහ සන්නද්ධව  අවිස්සාවේල්ල තෙක් රිය පැදවූ වයිට් හවුස් මහතා එතැන් සිට රිය පැදවීම තම බිරිඳට පවරා වම් පස අසුනට පැමිණියේය.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී මෙම මුදල මංකොල්ල කෑමට බලා පොරොත්තුවූ පිරිසක් කොළඹ සිට මෙම රථය පසුපස අංක Z 4476 දරණ මෝටර් රියෙන් ලුහුබඳින්න විය.
 එම සොර කණ්ඩායමේම අනෙක් පිරිස අංක X 3025 දරණ මෝටර් රියෙන්  පැමිණ කුරුවිට අසල රැඳී  සිටියේය. 

පසුව එම මෝටර් රථ දෙක රත්නපුර හිදැල්ලනට ආසන්න පනුකැරෑපිටිය පාලම අසලදී පාර හරස් කර වයිට් හවුස් මහතා රැගෙන ආ මුදල පහැර ගැනීමට උත්සාහ කොට ඔහුට වෙඩි තබන ලදී.

වයිට් හවුස් මහත්මිය වහාම රථය එතැනින් ඉදිරියට ගෙන පාම්ගාඩ්න් තේ කර්මාන්ත ශාලාව වෙතට රිය පදවාගෙන ගිය අතර එහි තිබූ ලොරි රථයකින් වයිට් හවුස් මහතාව රත්නපුර රෝහලට ගෙනගියද ඒවන විටත් ඔහු මියගොස් සිට ඇත. 

වෙඩි උන්ඩය වැදී තිබුනේ ඔහුගේ මුවටය. මුවට වැදුණු උන්ඩය ගෙලේ දකුනු පසින් පිටව ගොස් තිබුණි.

මේ පිළිබඳව විමර්ශණ කටයුතු භාරව ක්‍රියා කොට ඇත්තේ පොලිස් අධිකාරී සී.සී දිසානායක විසින් වන අතර සිද්ධිය වන අවස්ථාවේදී; ඒ අසළින් පියෙකු හා  නාන්නට යමින් සිටි කුඩාදරුවකු මිනී මරුවන් පැමිණි එක් වාහනයක අංකය මතකයේ රඳවාගෙන පැමිණ තම පාසැල් අභ්‍යාස පොතක ලියා තබා පසුව පොලීසියට ලබා දෙන ලදී.

අප්‍රේල් 12 වනදා වන විට පොලීසිය සැක කරුවන් 12 දෙනෙකු අතඩංගුවට ගෙන තිබුනු අතර1948 නොවැම්බර් 22 වන දින නඩු විභාගය ඇරඹීය.

විත්ති පාර්ශ්වයට ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, ජේ ඇෆ් ඒ සොයිසා, කේ සී ද සිල්වා හා චාල්ස් ජයවික්‍රම යන නීතීඥ්ඥයින් පෙනි සිටි නමුදු 1948 දෙසැම්බර් 10 වනදා පස්වරු 12.55 ට රැස්වූ ජූරියේ ඒකමතික තීරණයෙන්  හල්පෙ මාටින්, කොටි ඇල්බට් නොහොත් ලෑතර බාස්,තෝමස් අප්පුහාමි නොහොත් සුරබියල්ද යන අය මංකොල්ලකෑම,මංකොල්ලකෑන සඳහා නීති විරෝධී ලෙස රංචු ගැසීම,මිනී මැරීම හා මිනී මැරීමට අනුබල දීම  යන චෝදනා උඩ වරදකරුවන්  තීරණය වූයේන් ඔවුන් එල්ලා මරණ ලදී.

මෙම පාලම පැවති ස්ථානය (පසුගිය පෝස්ටුවේ මැදුර යැයි සඳහන්ව ඇත්තේ අතපසුවීමකින්ය!) එදින රාත්‍රී මගේ සගයින් වෙත පෙන්වීමට මාහට  අඳුර හරස් විය.

මෙය කියවන සෑම් මහතා ඇතුළු කිසියම් කෙනෙක් මේ පිළිබඳව තව තව කාරණා දන්නේනම් මෙය පෝෂණය කරණු මැනවි.

යළිත් අපගේ පැරණි කතා බහට! කළුගඟ දිගේ . . . . !
මල පැන්න ඇස්! කරුණාසේන ජයලත්ගේ “ලස්සන ඇස්” නව කතාවේ දෙවන කොටස !

වටා පැතිරී ඇති දැඩි ඝනඳුර කපාගෙන වොට් 200 ක ධාරිතාවයකින් යුත් හැලජන් බල්බ  තිඹිරි ගෙය කර ගත් ප්‍රධාන ලාම්පු නිදිබර දෑසට මග කියයි.

පසිඳුටත් ඇනෝපිලිස්ටත් ඉදිරියේ එතෙක් පසුබා සිටි නිදිමත කිසිදු අවහිරයකින් තොරව මා වෙත අනුකම්පා විරහිතව පහර දෙමින්ය.

දෙපස කෝපි ගස් අතරින් විසල් ඇල්බීසියා කඳන් හා මහෝගනී කඳන් ප්‍රධාන ලාම්පු එළියෙන් යාන්තමින් හඳුනා ගත හැක්කේ පුරුද්දට මෙනි.

ගං ඉවුරේ සිට මෙම ගල්තාර යොදා තිබුනු ඉතා පටු මගේ මා වේගයෙන් පදවමින් ය.
මාර්ගය ඒ මේ අත හැරි හැරී අවසානයේ කුඩා නැග්මක් අවසානයේ රත්නපුර සිට පානදුර දෙසට දිවෙන මාර්ගය යැයි සිතිය හැකි කාපට් ඇතිරූ මාර්ගයකට ට්‍රක් රිය ගොඩ වුනි.

මහ සමන් දේවාලයේ වාහල්කඩ තුලින් අතුළු වී වන ගත වූ ට්‍රක් රිය යළිදු සභ්‍යත්වයට පත්වී ඇත්තේ ඊට ටික දුරක් පානදුර දෙසට වන්නටය. පාරේ බලු බල්ලෙක් නැත. 
ඔවුන්ද කොහේ හෝ අගු පිලකට වී නිදි සුව විඳිමින් විය යුතුය.

ඉදිරි පසින් වාහනයක් පැමිණියද වාහනයට පෙර මා හමුවන එහි විදුළි එළිය මාගේ දිශානතිය නිවැරදි කලේය. නින්ද පලවා හැරිය හැකි එකම ආයුධය බුලත් විටය. මෙය සෑම සියළුදෙනා හටම පොදු මෙවලමක් නොවිය හැක. මේ මට ගැලපෙන අයුරුය.

යුද්ධය පැවති සමයේ උතුරේ සිට එන සමහර හමුදා රියැදුරණ් ඇස්  කොනේ යාන්තමින් සිද්ධාලේප ආලේප කරගෙන ආ බව මා අසා ඇත. සිද්ධාලේප මගින් දෙනෙත තුල  ඇතිකරණ දැඩි දැවිළි ස්ව්භාවය නිදිදෙව්දුව නොව මෝහිණී පවා එළවා දමන්නට සමත් වන්නට ඇත.

මෙවන් සුව හසක් කැපකිරීම් කොට රැක ගත් මගේ මව බිම!

නිදි මතට කෝපි හොඳ බෙහෙතක් බව නොදන්නේ කව්ද? කෝපි වල අන්තර්ගත කැෆේන් නිදිමතට එරෙහිව නිබඳ සටනේ යෙදේ.

රාත්‍රී රියැදුරණ් බොහෝ විට කෝපි කෝප්පයක් බී බුලත් විටක් හපමින් සිගරට්ටුවක් උරමින් නිදිමත පලවා හරිණ්නට උත්සාහ ගනී.

මේ සියළු සේවා සපයන ස්ථානයක් සොයමින් මා අඩ නින්දේ තවත් වේගය වැඩිකරමින් ට්‍රක් රිය මෙහෙය විමි.
මන්ද අධික වේගය මරුවා කැඳවීමට කලින් මඳ වේගය; මා මරුවා වෙත කැඳවාගෙන යන බව අත්දැකීමෙන් මා දන්නා බැවිනි. වේගය සමග මොළයේ පරිකල්පණ වේගය වැඩි වීම නින්දට බාධා පමුණුවයි.

මා කිලෝමීටර ලක්ෂ දෙකකට වඩා පැදවූ රියැදුරෙක්මි. මා රියැදුරු බලපත්‍රය ලබා ගත්තේ 1993 වසරේදීය. මා පුරුදු පුහුණු වූයේ මා මිළට ගත් පැරණි ෆියට්  රථයකිනි.

 රිය පැදවීමේදී මා සොයා ගත් මගේ කුඩා කුඩා ක්‍රම වේද මා අනුගමනය කරයි.
ඉන් එකක් වන්නේ මම මගේ දකුණු පාදයේ විළුඹ තබා ගන්නේ තිරිංග පාදිකය හෙවත් බ්‍රේක් පැඩලය හා එක එල්ලේය.
ඇක්සලේටරය පාගන්නේ පාදය දකුණු පසට අඹරවා නො එසේනම් කරකවාය. මෙනිසා ඕනෑම හදිසි තත්වයකදී පාදය ඇක්සලරේටරයෙන් ඉවතට ගෙන බ්‍රේක් පෑගීම සඳහා අමතර වෙහෙසක් ගැනීමට මා හට සිදු නොවේ.
මන්ද පාදය ඉහිල් කල වහාම එය බ්‍රෙක් පැඩලය මත එය කෙළින් ඉබේම පිහිටීමයි.

මෙසේම නින්ද සමග සටන් කිරීමට  මට ගැල පෙන ක්‍රමවේදයන් අතර තරමක වේගයෙන් ධාවනය, කෝපි + බුලත් +සිගරට් ත්‍රිත්වය, අධික හඬින් ගීත ඇසීම හෝ ගායනය  වැනි  ද්‍රව්‍ය හා කටයුතු මූලිකත්වය ගනී.

මුල් කාලේ කොහොමට ඇත්ද?.
 (තාම කට්ට එනවා . . !)

අළුතින් යොදන ලද 32 X 11.50 X 15 ටයර ට්‍රක් රිය මහ පාරට අල්වා පරාල ඇන ගැසුවා සේ ස්ථායී තාවයක් දක්වයි. (අළුත් කියන්නේ මට අළුත්!)
වංගුවට අවතීර්ණ වෙන වේගයම පවත්වා ගනිමින් ට්‍රක් රිය; වංගු කෙළින් කරමින් ඇදී යයි. ගතවන සෑම විනාඩියක් විනාඩියක් පාසාම, පසුවන සෑම කිලෝමීටරයක් කිලෝමීටරයක් පාසාම නින්ද මා යටපත් කරමින්ය.

මා මීට පෙර පාවිච්චි කල TOYOTA BJ 60 රථයේ අසුන් ගැනීමේදී මුළු පාදයම දිග හැර ලීමට ඉඩ ඇති අතර ඇක්සලරේටරය පෑගීමේදී පාදය පහතට තෙරපිය යුතුය. එහෙත් ලොරි පොඩ්ඩාගේ රියැදුරු ආසනය වඩාත් ලංව අසුරුණු  ස්වභාවයක් ගන්නා බැවින් එහි අසුන් ගැනීමේදී පාදය තරමක් නවාගෙන සිටින්නට සිදුවේ.

BJ 60 කියන්න වදන් නෑ !

එනිසාම BJ 60 පදවන අවස්ථාවේදී හදිසියේ නින්ද ගිය විට එතෙක් උත්සාහයෙන් තෙරපාගෙන සිටි ඇක්සලරේටරය අත හැරෙණ අතර ලොරි පොඩ්ඩා පැදවීමේදී හදිසි නින්දකදී එතෙක් නවාගෙන සිටි පාදය නිරායාසයෙන් දිග හැරීමෙන් ඇක්සලරේටරය තදින් පෑදීම සිදුවේ. මෙය මරණීය තත්වයකි.

මෙනිසාම කෝපි + බුලත් +සිගරට් ත්‍රිත්වයෙන් එකක් හෝ හනික ලබා ගැනීමේ අටියෙන් මා පදවමින් විය. හදිසියේ වංගුවකින් ඔබ්බෙහි වූ කොළ පැහැති ලයිට් පොල්ල හිනෙන් මෙන් දිටිමි.
 වහා එහි නවතා ඒ වන විටත් දුම් දමමින් තිබුනු පොල් රොටියක් මැදට කොල පැහැති ලුණු පිරිස් තලියක් සැන්ඩ්විච් කොට කන්න පටන් ගතිමි.

පොල් රොටියේ දුම මොන දුමක්ද? මගේ ඉහින් කණින් දුම් දමන්නට විය.
එය; නයි කොච්චි අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන සෑදූ C4 හෝ නයිට්‍රෝ ග්ලිසරීන්  පල්පයකි!
 පෙර මා සඳහන් කල රණවිරු රියැදුරු මල්ලිලා හට මේ අනුපානය තිබ්බානම් සිද්ධාලේප වෙදමහත්තයා පසුපස යන එකක් නැත !
කෝපි කෝප්පයක්ද බී බුලත් විටක් ගෙන බුලත් කොලයක් හා පුවක් කැබැල්ලක් මුව රුවාගෙන අනෙක් අවශේෂ අඩු පාඩුද මග අරවා ගෙන නැවත ධාවනය ඇරඹිමි.

රත්නපුර සිට කළුතරට කිලෝමීටර 80 කට ආසන්න දුරක් පවතී. මේ වන විට මා කිලෝමීටර 20 කට 30 කට වඩා දුරක් ගමන් කොට නැතිව ඇති.
 නැවත රියැදුරු අසුනට පැන යලිත් කාලය හා සටනට පිවිසියේය.

මගේ එකම බලා පොරොත්තුව කඩවත සිට තෙශාන්ත සමන්දේවාලය අසලට ගොඩ බසින  වෙලාව ආසන්නයේම කළුතරට ගොස් නැවත බසයක පැමිණීමය!

මා කෙතරම් වේගයකින් ගියා දැයි මා හට දැනීමක් නොමැත. මන්ද ලොරි පොඩ්ඩා ඒ අතින් ගොළුවෙකි. වේග මානය, ඉන්ධන මානය, ඇතුළු කිසිදු මානයක්  තබා අවමානයක් වත් ක්‍රියා කරණු මා කිසිදා දැක නැත!

ඒවා සියල්ල ගොළුවන් බිහිරණ් සේ නිසොල්මනේය!! කෙසේ හෝ මා පාන්දර 3.45 – 4.00 වන විට කළුතර දකුණ පොලීසිය පසුපස වෙසෙන විෂ්ව ධර්මදාසගේ නින්දට කෙළා වදාරණ්නට හැකියාව ලදිමි.

වාහන විෂ්වගේ මිදුලේ ගාල් කල මා එතැන් සිට එක දිගට කිලෝ මීටරයක එක හමාරක පමණ දුරක් හැල්මේ දිවැවිත් නැවත ගාළු පාරට පැමිණ මා පසු කර යන කාර් ලොරී බර කරත්ත වෑන් ත්‍රී වීල් මෝටර් සයිකල් ආදී එකී නොකී මෙකී සියල්ලටම අත අල්ලමින් ලයිට් එලියට දෙහි මූනක් නො එසේනම් දුක්බර; මල ගෙවල් මූනක් දමාගෙන සිටියෙමි.

මුළු මහත් රාත්‍රියක් නිදිවරා, ඇස් රතු කරගෙන, රැවුළ එහෙන් මෙහෙන් ඇදුණු මුහුණෙන්ද, ඔළුව පුරා හමක් මිස කෙසක් නැති තට්ටයකින්ද යුතුව පාර අයිනේ සිට වාහන වලට අත ඇල්ලීම කෙසේ වන්නට ඇත්දැයි සිතා ගත හැකි නොවෙද?

වන්නුපථ ජාතකයේ දිය රකුස් මෙන් වන්නට ඇතැයි මේ මොහොතේ මට සිතේ. (ජාතකේ හරි නේද?)

කෙසේ හෝ තවත් විනාඩි 20 කින් පමණ දෙනියායේ සිට පැමිණි යානාවක නැගී මාහටද පියාසර කිරීමට හැකිවිය. ඒ පානදුරටය. පානදුරට පය තබනවාත් සමගම අසන්නට ලැබුනු ආරංචිය කන්තක අස්සයාගේ රෙකෝර්ඩ් එක මා අතින් බ්‍රේක් වන්නට ඔන්න මෙන්න විය.

ඒ නේරංජනාවෙන් එතෙරට පැනීම නොව හද පැලී මියයාමය!

“අර යන්නේ පානදුර බස්සෙක තමයි. ඉක්මනට එන්න එපායැ . . . !”

“$#@%#$^%&((+_))&&%%#%#@RF{)*ණ්>Mඝ්U^%(*))_”

ඊළඟට බස් එක පිටත් වන්නේ පාන්දර 4.50 වැනි කැඩිච්ච වෙලාවකට ය.

ඒක එසේ මෙසේ බස් රියක් නොවීය. පානදුර – අම්පාර වාගේ මතකය.
රියැදුරා උස් ද්‍රවිඩ ජාතිකයෙක් විය.
ඔහුට බස් රිය විහිළුවක් වාගේ විය.
පානදුරෙන් නික්මී ස්වල්ප වේලාවකින්; ඔහු බස් රිය උඩු සුළඟේ පාකර හැරීය.

 අශොක් ලේලන්ඩ් යානය ඉතා පහලින් පියාසර කලේය. ඉඳ හිට එය පොලොවේ ගැටිණි. ඒ  බස් නැවතුම් පොලවල් අසලදීය!

නිවෙසින් පිටත් වූ තැන් පටන් රාත්‍රිය පුරාවට නිදිවර්ජිතව මා කිලෝමීටර 170 ක දුරක් රිය පදවා; කිලෝමීටර 250 ක දුරක් ඒවන විට ගමන් කොට තිබුනි!

උදෑසන 6.00 වන විට මා නැවතත් මහ සමන් දේවාලය අසල විය. මා බසයෙන් බැස්සේ කුඩා බේකරි කඩයක දොර කඩටය.
 එතැනින්; ළමා ළපටින් හට සීනි සම්බෝල පාන් හා බිත්තර පාන්ද ගෙන නිකමට මෙන් තෙශා ඇමතීමි.

“මචං තෙශා උඹ කොහේද ?”

” මෝනිං මචං! මම මේ සමන් දේවාලය ලඟින් බැහැලා අරුං ඉන්න තැනට යන ගමන්! උඹ කොහේද?”

“මාත් ළඟ ළඟම . . . “

මම පාර පැන තී වීලරයකට නැග ගත්තෙමි.

“මල්ලි ඔහොම යං !” විධානය දුනිමි.

ත්‍රී වීලරය ප්‍රධාන පාරෙණ් හැරී රබර් රුප්පාවක් අතරට වැටිනි. මීටර 100 ක් පමණ දුරක් යන විට දන්නා කියන රුවක් පාර අයිනේ අපට පිටුපා යමින්ය.

“මල්ලි අන්න අර බුවාත් අරණ් යං . !

“අඩෝ තෙශා නැගපං !” තෙශාගේ මුහුණ කිරි හට්ටියක් මෙන් විය! (කිරි සහිත)

යාන්තමින් වැළි තොටු පොළට යන පාර සොයාගෙන ඉසව්වට පැමිණියෙමු. අප එතැනට යන විට පසිඳුත් ඇනෝත් කයාක මත අපගේ බඩු බාහිරාදිය කිසියම් පිළිවෙලකට අතුරා තිබුනි.

“කොල්ලනේ මෙන්න කාපල්ලා . . . .!”

“අම්මට සිරි මෙන්න ඩබලම ඇවිත් . . . . !”

“තෙශා මෙන්න මූ තමයි ඇනෝ – මල්ලි මූ තමයි තෙශා . . !”

“එළ . . . . !”

“එළ . . . . . . . . !!”

“එළම එළ . . !”

මුද්දා හෙවත් ඇනෝ ගේ සෙල්ෆි සටහන !
මනට අපිට කලින් කයාක් සූදානම්ව!
තවත් ගමන් ගහක මුල් !
දැං කොහෙද බං යන්න තියෙන්නේ? මෙතනින් මෙහාටද? මෙහාටද?

එහෙනං දැන් යන්න තමයි තියෙන්නෙ! 

හරි එහෙනං යන්න සෙට මෝල් වෙමු! 

එළ!

ගං දෑල දෙපසම
කෑල මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ
සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න

බාරවෙන්නම් මම – කළුතරට !



%d bloggers like this: