Menu Close

139. කලු ගඟ දිගේ සිව් වෙනි දිග ඇරුම 4.


ආයෙත් අළුත් දවසක්. කොහොමටත් වෙනදා ලියන තරම් සතුටකින් නම් නොවෙයි ලිවීම අරඹන්නේ.

ඒ රටේ වත්මන් තත්වය!

කඳු මුදුන්, මිටියාවත්, තැනිතලා, ගංඟා ඇළ දොළ, නිල් සයුර , වෙරළ තීර, වංගු වැටුනු මං මාවත් අප එන තුරු හුදෙකලාව බලා සිටිමින් වනු ඇත.
රට තුල පවතින අර්භූධකාරී තත්වය විසින් අපව නගරයෙන් පමනක් නොව ලපළු ලතා ගැවසී ගත් තුරු මුදුන් වලින් වසං කරගත් සුන්දර වන අරණින්ද පිටමං කොට ඇත්තේය. ඉදින් කවදාද ආයෙ එන්නේ ඒ වසන්තය යළි අප සොයා . . . . . . . !?

කලක සිට මාගේ ලිවීම් කියවන විජේබාහු මහතා මාහට ලියන ලද කමෙන්ටුවක්, ඊට මා ලබා දුන් පිළිතුරත්, ඔහු මාගේ පිළිතුරට එවන ලද ප්‍රථිපිළිතුරත් මා නැවත නැවතත් බොහෝ වාර ගානක් කියවිමි.
ඒ මාගේ ලිවීම් කියවන බොහෝ දෙනාගේ සිත් තුල ජනිත වන පොදු අදහසේ පාර්ශ්වික අපවර්ථනයකට පත්නොවූ තල දර්පණ ප්‍රථිබිම්භයයි.

එනිසාම ඒ සියල් සතුන් අමතා ලිවීම අරඹන්නම්.

ඔව්! ඇත්තෙන්ම මේ චාරිකා සටහන් වැල් වටාරම් පිරුණු පල් හෑලි ගොඩක් සේ කියවන ඔබට දැනෙනු ඇත. එහෙත් මා ඉන් ඔබ වෙත මතු කොට දක්වන්නට උත්සුක වන්නෙ කුමක්ද?

රටක හෝ වෙනයම් ජන සමාජයක, දත් නොදත් ඕනෑම අයෙකු කිසියම් සාර්ථකත්වයක් නො එසේ නම් ඉලක්ක ජයග්‍රහණයක් ලැබීමේ පුවත අපගේ කන වැකෙණවාත් සමග අපගේ සිතට හැඟෙන , දැනන, නැගෙන, නැතහොත් උත්සාහයෙන් මතු කර ගැනීමට තැත් කර ගන්නාවූ සිතුවිල්ල බොහෝ විට මොන ආකාරයක් ගනීද?
අප සිතන්නට පෙළඹෙන අපගේ සිතට නැගෙන සිතුවිල්ල මා මෙලෙස සරළ භාෂාවෙන් දක්වන්නම්.

“ඕවා උන්ට නම් කරණ්න පුළුවන්! ඒත් අපි කරණ්න ගියොත් කේස් කීයක්ද?”

 “කොහෙද බං අපේ උන් එක්ක ඕවා කරණ්නේ!?”


 “අපිට මේ තියෙන වැඩත් එක්ක කොහෙද බං ඕවා කරණ්නේ? උන්ට එහෙමට මේ අපිට වගේ වැඩ නැතිව ඇති! උන්ට ඕවට කොයි තරම් එවුන් ඉන්නවද ස්පෝට් එකට!”


 “අපිට මොනවද බන් තියෙන්නේ. අනික උන්ට කහන සල්ලි ඇති මචං!”


“අපිත් කැමතියි ඕවා කරණ්න; ඒත් කෝ බං ඕවාට වෙලාවක්!?”


“ඕක එච්චර ගේමක් නෙවෙයි බං, හිතුනොත් අපිටත් කරණ්න පුළුවං!”


සත්තකින්ම ඔය අන්තිමට තියෙන එක තමයි ඇත්ත. මම ලියා ඇති සෑම සියළු දේ අතුරිණ් මොන දේ ගැන සිතුවත් “එච්චර ගේමක් නොවෙයි! හිතුනොත් කාටත් කරණ්න පුළුවන් !” කියන එක තමයි සර්ව සාධාරණ ප්‍රකාශය වන්නේ!
ඒත් එකම ප්‍රශ්ණය වන්නේ බොහෝ දෙනෙකුට එසේ නොසිතෙන එකය!

මෙවැනි දේ ගැන තවත් එක් අයෙකු හෝ පොළඹවා ගැනීමට හෝ අනාගතයේ කරණ්නට සිතන අයෙකු හට අත් පොතක් විය හැකි ලිඛිත සටහනක් තැබීමයි මෙතරම් කරුනු දක්වන්නේ.

 එසේම ඉහත මා ලියන ලද “ඕවා උන්ට නම් කරණ්න පුළුවන්! ඒත් අපි කරණ්න ගියොත් කේස් කීයක්ද?” වැනි අනෙකුත් ප්‍රකාශ හා අදහස් සියල්ලට පෞද්ගලිකව මම ද මුහුණ දෙන  අතර එම බාධක මග හරිමින් මමත් කණ්ඩායමත් ඉලක්කය වෙත ලඟාවෙන ආකාරයත් මෙ නිසාම අනාවරණය වනු ඇත.

 එසේම යම් දිනෙක මා හට හෝ මගේ ආදරණීයයන් හට මතක මාත්‍රයක් සාක්ෂියක් ඉතිරි කරලීමටත් ඇත්තෙන්ම අප මුහුණ දුන් සුවහසක් බාධක මැද අප ලැබූ අත් දැකීම් වල සුන්දරත්වය; ජීවිතයේ අවසන් මොහොතේ මෙණෙහි කොට සතුටු වීමටත් මා ඉඳුරාම බලා පොරොත්තු වෙමි.

විජේභාහු මහතා වෙත දැක්වූ අතීත කථාව මා කෙටියෙන් ලියා තබන්නම්.

කලකට පෙර මාගේ හිතෛශීම සහෘදයා වූයේ ගුවන් හමුදාවේ නිළධරුවකු වූ ශානක රාජකරුණා ය. ඔහු ගැන හැඳින්වීමක් කිරීම මා ඉදිරි පෝස්ටුවක කිරීමට බලාපොරොත්තුවෙමි. නාලන්දා විදුහලින් බිහිවූ අධ්‍යාපන හා විෂය භාහිර ක්‍රියා කාරකම් වලද උපන් හපන් කම් පෙන්වූ ඔහු එක් කාලයෙක අම්පාර උහන කඳවුරේ සේවය කරමින් විය.

යුද්ධය  නැගෙනහිර වෙලාගෙන තිබූ එම යුගයේ එක් උදෑසනක; කඳවුරට පිවිසෙන මාර්ගය  අසල ප්‍රධාන මාර්ගයේ ස්ථාපිත කොට තිබුනු බාධකයේ සේවය කල ගුවන් හමුදා භටයෙකුගෙන් ඔහුවෙත ලැබුණු ඇමතුමකි.



 කොළඹ සිට ඔරුවක් පටවා ගත් විදෙශිකයෙකු ත්‍රීවිලරයක පැමිණ ඇති බවත්; ත්‍රීවීලරයේ රියැදුරා  ආරුගම්බේ බලා යාමට අවශ්‍ය බවත් පවසන බවත් ඉන් කියැවුනි.

ජල ක්‍රීඩා වලට උපන්ගෙයි ආශාවක් ඇති ශානකද ත්‍රීවීලරයේ පමිණි විදෙශිකයා හමුව විස්තර සොයා බැලීය.

ජර්මන් ජාතිකයෙකු වූ ඔහු මෙහි පැමිණ ඇත්තේ සර්ෆින් කිරීමට බවත් ලෝකයේ සර්ෆින් සඳහා දෙවන හොඳම වෙරළ වන්නේ ආරුගම්බේ බවත් එහිදී ශානක විදේශිකයා වෙතින් දැන ගන්නට ලැබුනි.


මෙහි වඩාත්ම විශ්මිත කාරණය වන්නේ එම ජර්මන් ජාතිකයා කිසිදු දිනෙක අප රටට තබා ආසියාවට වත් ඊට පෙර පැමිණ නැති වීමයි.

මෙවන්ම වූ තවත් කථාවක් මා “ගඟක්දිගේ  4 ” හි ලියා ඇත.
 ඒ විනෝදාංශය ලෙස රටින් රට ගොස්; එම රට වටා සයිකලයෙන් ගමන් ගන්නා උල්ෆ් ගැනය. ඒ වන විට රටවල් 25 ක සයිකල් පැද ඇති ඔහු මෙරට කිලෝමීටර 1900 ක් පැද තිබුනි!


මේ සියළු දෙනා හටම පෙර කී “ඕවා උන්ට නම් කරණ්න පුළුවන්! ඒත් අපි කරණ්න ගියොත් කේස් කීයක්ද?” අන්දමේ ගැටළු  තිබෙන්නට හැකිය. එහෙත් වසරක් පුරාවට උපයන මුදලින් එකතු කරගත් විශාල කොටසක් ද වසරකට වරක් පමණක් ලැබෙන  දීර්ඝ නිවාඩුව ගෙවා දමමින්, තම හිතෛශියන් නෑසියන් අමතක කොට, නන්නාඳුනන රටකට පැමිණ තම විනෝදාංශය භුක්ති විඳ ආපසු කිලෝමීටර දහස් ගනනක් මග ගෙවා ආපසු යයි!

සමහර විට වසරක් පුරා උපයා; ඔහු වැය කරණ දහස් සංඛ්‍යාත් ඩොලර් වලින් ඔහුගේ විනෝදාංශය  සඳහා ගත කරණුයේ පැය ගනනාවක් එක් වරුවක් හෝ එක් දිනක්  දෙකක් පමණක් වනු ඇත. එහෙත් ඔහු උපයා ගත්, ඔහු තම මතකයට අතුලත් කර ගත් වින්දනය,ආශ්චර්‍යය,අත්දැකීම මියෙන තුරු ඔහු සමග වනු ඇත!

බොහෝ විට ඔවුන් අප රට දකින්නේත්, ඒ ගැන සොයා බලන්නේත්, සියළු සබඳතා ගොඩනගා ගන්නේත් අන්තර් ජාලයෙනි. කිසිදා දැක නොමැති රටකට , නන්නාඳුනනා මිනිසුන් විෂයෙහි ඇතිකරගන්නා  විශ්වාසය මත පදනම්ව ඔවුන් තම විනෝදාංශය වෙනුවෙන් පැමිනේ.

විනෝදාංශයක් කරගෙන යන්නෙකු; ප්‍රාථමික මට්ටමෙන් කුරුළු පිහාටු එකතු කරණ අයෙකු විලසින් අහම්බෙන් හමුවන කාක් පිහාට්ටක් පොතක් තුල රුවාගෙන සිටින්නෙකු ගෙන් ඔබ්බෙහි සිට;  එයින් උකහා ගන්නා අත්දැකීම් ප්‍රමානය අති මහත්ය.

කැන්ගරු දේශයට පා තබා හරි යමන් ඉන්න තැනක්, කන්න බොන්න ක්‍රම වේදයක් නොමැතිව වසික; විරව පට්ටං ගසා ගෙන සිටින විට ඔහුව මා අස්වැසුවේ “කොල්ලෝ උඹයි මමයි නන්නාඳුනන ගඟවල් වල, ගංවතුරට මොන තරම් බැහලා තියෙනවාද? ඒවා මොන තරම් භයානක දේවල්ද? උඹ ඉන්නේ හුස්ම ගන්න පුළුවන් වටපිටාවක් තියෙන තැනකනේ! ඉතින් ඕකට මුහුන දියං! මොනවා හරි උයා ගෙන කාපං!” කියාය. මා කියන ලද දේවල් ඔහුට වැඩක් උනා දැයි මා නොදනිමි. එහෙත් ඔහු සාර්ථකව එම හුදෙකලා ජීවිතයට මුහුණ දී ඇත.

එහෙත් පසුගිය කාල වකවානුව පුරා මට හමුවූ බොහෝ දෙනාගෙන් තම විනෝදාංශය කුමක්දැයි විමසුව හොත් ඊට ලබෙන අසාර්ථක හා දුක්ඛ දෝමනස්සයන් හා අඳෝනා ලියා තබන්නට මෙම පෝස්ටුව ඉඩ කඩ මදිව යයි!
එක්කෝ කිසිදාක ඔවුන් ඒවා විඳ නැත!  නැතිනම් විනෝදාංශ අයත් වන්නේ කුඩා ළමුන්ට පමණක් බව ඔවුන් සිතති. නැත හොත් ඒවා  කරණවාට වඩා ඒ වෙලාවේ “ප්‍රයෝජනවත් යමක් ” කිරීම යෙහෙකි යැයි ඔවුන් සිතති. මෙවන් අටෝරාසියක් කරුණු කාරණාය!
මේ සියළු අවු වියවුල් මැද අප; අපගේ ජීවිත ප්‍රාණවත් කරණ්නෙමු! ජීවත් කරණ්නෙමු!! මුහුණ දෙන බාධක හමුවේ ජයග්‍රහණය වෙතම ඉව අල්ලන්නෙමු!

මෙහිදී මා ගෙන හැර දක්වන්නම් තෙශාන්ත මුල්කිරිගල; මා මිත්‍රයාගේ ආදර්ශ පාඨය:

One Life; Live It . . . !


කථාවෙන් කථාවෙන් කාලය ගියා දැනුනෙම නෑ! ඒකෙන් මේකෙන් අපේ මුල් කථාව කියන්න තවත් කාලය යනවා. අපි මේ කථාව අද මේ විදියට පටන් ගමු!

නවසිය හැට එක වර්ෂයේ; කොළඹ ඇම් ඩී ගුණසේන මුද්‍රණාලයෙන් පල කරණවා පොතක් “ලස්සන ලංකාව” කියලා. මෙය එකල සිටි කෘථහස්ත ලේඛකයෙකුවූ වොල්ටර් සේනාධීර විසින් ලියන ලද්දකි. එහි මෙම කළු ගඟ ගන මෙසේ ලියා ඇත. ‘

                                      “ලක්දිවේ ගංගාවළියට එක්වන තුන් වැනි නදී ලාලණිය කලු ගඟයි. සිරිපා අඩවියෙන් ගමන් පටන් ගන්නා කලු ගඟ රත්නපුරේ නගරය පැදකුනු කරමින් මැණික් මතුවන පොලොව මැදින් වේගයෙන් ගලාබස්නේය.
සිරිපා හිමයෙන් ගලා එන කලු ගඟේ ශීතල දිය පාර සබරගමුව හරහා කුරුවිට, නවදුන්, පස්දුන් යන ත්‍රිකෝරල මැදින් ගලා විත් කලුතර තොටමුණෙන් මුහුදුබත් වන්නේය.
කලු ගඟ ඉස්මත්තෙහි රබර් වගාව ඉතා සරු ලෙස කෙරෙයි. කිරි ඇල්ල හා එපිටවල අසල දුම්බර නම් ගමේ මිණිරන් පතල් එදා බොහෝ සෙයින් තිබුණි.

රත්නපුරේ මහ සමන් දේවාලයෙහි දිය කැපීමේ උත්සවය සිදු කරණ්නේ මේ කලු ගඟේහිය.

කලුගඟට එක්වන ශාඛා දිය ඇලි බොහෝ ගනනෙකි.මහවැළි කැළණි නදීන්ට එක්වන දිය ඇලි  බොහොමයකට මෙන් මේ ශාඛා දියපාරවල් වලට ඉංග්‍රීසි ආරට නැබුරු නම් තබා නැත. කිරිඳි ඇල්ල, දෝතලු ඇල්ල,නාරගල ඇල්ල,කලු ගඟට එක්වන දිය ඇලි වලින් සමහරෙකි. පුවක් මලක් විසුරුවා ඇරියා සේ පහතට ගලා බස්නා දිය ඇල්ලකට පුවක් මලැල්ල කියා නම්දී තිබීමෙන්ම එහි ඇති කලා රසිකත්වය සිතා මතා ගත හැකියි.

පුරාණ දේව කථාවල පෙනෙන අන්දමට දෙවොල් දෙවියන් ලංකාවට පැමිණි වෙලේ කෙහෙල් පහුරකින් කලුගඟ දිගේ ගමන් කල බව කියන කට කතාවක් පැරැණ්නන් අතර අද දක්වාම පවතී.

සිංහල සංදේශ කාව්‍ය ලියූ අපේ පැරණි කවීන්ගේ සිත් බෙහෙවින්ම ඇදගත් දිය පාරකි කලු ගඟ. කලු ගඟේ දිය පහර පිළිබඳව කවි සිතුවිළි වලින් මත්වුන ගිරා සංදේශ කාරයෝ එක් වරක් මෙසේ කියති.

ලක  කොමලඟ  සමණොල ගිරි හිසින්     ගොතා
හල  මනරඟ  මලිගිය මල් දමින්                   යුතා
වර ල සරඟ  හෙන වැල හැලි සියෙන්           ඉතා
දිලි  කලු ගන්නග ලඟ වැද හරු ගිමන්          ගතා

කලු ගඟ සැතපුම් හැත්තෑවක් දිගය. මේ ගඟේ ප්‍රමාණය වර්ග හැතැප්ම එක් දහස් පණහක් බව භූගෝල විද්‍යාඥයෝ පවසති. අවුරුද්දක් තුල මේ ගඟින් ගලා බස්නා ජල කඳ “ඒකර් පීට්” 5,8,80,000 ක් බව කියැවේ.
(මෙහි ඒකර් පීට් යනුවෙන් සඳහන් කොට ඇත්තේ  Acre feet හෙවත් අක්කර අඩි ය)

කලුතරින් මුහුදට පතිතවන කලුගඟේ මෝය අසල ඇති පැරණි බෝධිරාජයාණන්ගේ බෝ පත් ගඟේ සිසිල්  සුලඟින් ඒ මේ අත වැනී සෙලවෙයි. ගාලු පාරේ ගමන් කරණ දස දහස් ගණනක් ජනයාගේ සැලකිල්ලට හා සදා ගෞරවයට පාත්‍රවන නේ මහා බෝධීන් වහන්සේ වෙත කලු ගඟ සෙත් සලසන්නා සේය.

කලු ගං මෝය අසල ගඟ මැද අති දූපත නිසා මුහුද අසලදී ගඟ දෙකට බෙදීයයි. ඒ නිසා ගාලු පාරේ කලු ගඟ උඩින් විශාල පාලම් දෙකක් තනා ඇත්තේය.

තිසර සංදේශයේ කලු ගඟ පිළිබඳව එන කවියක් මෙසේය.

ලෙල  රල විවිලි දිලි වෙරළත       වෙතේයා
පෙන  මුතු ලැලින් සැදි දල නිඳු       සතේයා
රැදි  රුදු නිල් යටෙකැ සිරි සර         ගතේයා
    කලු  ගඟි නෙතෙර යව දිගු පුලු       ලතේයා  “




මහවැළිය රටේ ජීවනාළිය වුවද කළු ගඟට මිනිසුන් ආදරය කොට ඇත්තේ බොහෝ කලක සිටය.

අවිස්සාවේල්ලෙන් රත්නපුරය දෙසට හැරුණු අප තිදෙන තවත් කිලෝමීටර දහ පහලොවක් ඉක්බිත්තෙන් කුඩා රෑ කඩයක් අසලට වැද හොත්ය.

එම කුඩා කඩයෙන් එළවළු රොටී හා කෝපි පානය කල අප සිගරට් බුලත් විට ආදියෙන් සන්නාහ සන්නද්ධ වී ගමනට බටහ.

ඉඳ හිට ඉදිරියට මතුව ආ පුද්ගලික හා ලංගම බසයක් හැරුණු විට වෙනත් වාහන වලින් මාර්ගය තොරවිය. ඉදිරියට පැමිණි බස් රථද කන අසලින් නිල මැස්සෙකු පියාඹා යනවා සේ රූං ගා නොපෙනී ගියේය.

අප ඇහැළියගොඩ, කුරුවිට, පැරඩයිස් ආදී පෙදෙස් පසුකරමින් රත්නපුර නගරයට අවතීර්ණ විමු. පසු කරණ සෑම හංදියක්, නගරයක්, කඩ මණ්ඩියක් පාසාම අප තිදෙනාගෙන් එක් අයෙකුට හෝ කියණ්නට යමක්විය.

මොරගහයට හංදියට මෙපිට පාර අද්දර ඇති සද්දන්ත බුදු පිළිමය අසල මා ට්‍රක් රියේ ගමන බාල කලේ මීට දශක ගනනාවකට පෙර සිදුවූ මංකොල්ලයක් හා මිනී මැරීමක් හා සහ සම්බන්ධිත ස්ථානයක් පෙන්වීමටය.

එහෙත් එහි දර්ශනයක් දැක බලා ගැනීමට අඳුර අපට ඉඩ තැබුවේ නැත.

මොරගහයට හංදියෙන් වම් අත බලා හොරණ හෙවත් පානදුර දෙසට හැරුණෙමු. තවත් ස්වල්ප දුරකින් අප අභියස වූයේ මහ සමන් දේවාලයේ වාහල්කඩය.

වාහල් කඩ අසල නැවතුනු මා පසිඳු ඇමතූවෙමි.

“මල්ලි බලාපං ගූගල් මැප්ස් වලින් කොහේද තොටුපොළ තියෙන්නේ කියලා . . !?”

“එහෙම තොටුපොළක් තියෙනවාද?”

“ඇයි බං දිය කපන තැන . . !”

තවත් විනාඩි කිහිපයක් තම සෙල්ෆෝනය මතට එබී සිටිමින්ම පසිඳු තම හඬ අවදි කලේය.

“අයියේ එහෙම තැනක් පෙන්නනේ නෑනෙ . . !”

“හුටා . . . ! ඕන දෙයක් මේ පාරෙන් ඇතුලට යමු . !”

අප වාහල් කඩින් ඇතුළුවී දේවාලය තුලට ගමන් කලෙමු.
මුළු දෙවාල භූමියම එකම පාළු ස්වභාවයක් දැරීය. කෙමෙන් කෙමෙන් මාර්ගය වමට හැරී එක් කෙළවරකට යොමුවිය. එතැනින් ආපසු වමට හැරුණහොත් නැවත ප්‍රධාන මාර්ගය දෙසට යොමුවේ. කොටින්ම අප අශ්ව ලාඩමක හැඩය ගත් මාර්ගයක පතුලේ නැවතී සිටින්නෙමු.

“පසී පොඩ්ඩක් බලාපං පල්ලෙහාට බැහැලා . . !”

“එළ . . !”

නළලත රඳවා තිබුණු විදුළි පන්දමේ එළිය ඒ මේ අත යොමු කරමින් පසිඳු ගං ඉවුර දෙසට යමින් නැවතුනි. යලිත් කල විමරමකින් පසුව නැවත ඔහු හැරුණි.

“ම්හු! එතනින් පල්ලෙහා ගඟ තමයි. ඒත් එතනට බහින්න බෑ. මෙතන ඉවුර මාර උසයි !”

“හරි නැගපං ඉක්මනට. අපිට කාලය මදි . . !”

ඒවන විට පාන්දර එකේ කණිසමට ආසන්නවී ඇති. නැවත අප තිදෙන ආ මගම ආපසු ගමනේ යෙදුනෙමු.
අප විසින් මග ඇර පැමිණි; වම අතට විහිදුණුතාර අතුරා තිබූ  කුඩා මාර්ගයකට හැරී ගමන් කලෙමු. අපගේ වම් පසින් කළු ගඟ දිවයා යුතුය. එනිසාම නොදන්නා මාර්ග ජාලයේ හමුවන හැම මං සන්දියකින්ම වමට බරවූ මාර්ග තොර ගනිමින් මා ට්‍රක් රිය පැද වූයෙමි.
තවත් විනාඩි 15 කින් පමන අප; ඉවුරු දෙකක් මැදින් වක්‍රව විහිදුණු; දැඩි බෑවුමකට යොමුවූ ඉතා පටු මාර්ගයක් ඉදිරියේ විය.

“අයියෙ මං බලන්නද . ?”

“එළ . . . !”

මා ප්‍රධාන පහන් නිවා දමා එන්ජිම නතර කලෙමි. ඒ අවට බල්ලන් කිහිප දෙනෙකු තරගයට මෙන් බුරමින්ය. මේ මොහොතේ අසල පිහිටි ගෙයකින් කිසිවෙකු හෝ පිබිද මෙහි පැමිණිය හොත් ඔහුට අපගේ ගමන ගැන හෙට උදේ වනතුරු වත් පැහැදිළි කර දීමට නොහැකි වනු ඇත.

තවත් විනාඩි දෙක තුනකින් පසිඳු වංගුවෙන් මතුවිය.

“අයියෙ තැන නම් හරි. හෙන පල්ලමකට බහින්න තියෙන්නේ. මේක ට්‍රැක්ටර් පාරක්! පල්ලෙහා වැළිතොටු පොලක්!” මේ ඔහුගේ කථාවේ සාරාංශයය.

“අවුලක් නෑ ! රිවස් එකේ බස්සමු. උඹලා දෙන්නා බලපං. මං ගන්නං!”

නැවත පනගන්වා ගත් ලොරි පොඩ්ඩා; එන්ජිම සැර නොදමාම හිමින් සීරුවේ හරවා ගත් මා; ගියර පෙට්ටිය;  ෆෝ වීල් – ලෝ  (Four Wheel Low Range) එනම් හැකි උපරිම යාන්ත්‍ර වාසිය එන ලෙසට සකසා ගෙන; කයාක් දෙක සහිතව පසු පසට ධාවනය කරණ්නට විමි.

මාර්ගය විහිදියේ වම් පසින් අඩි 20 ක් පමණ ඉහලට විහිදුණු ගල් තාප්පයක අත්තිවාරමටත් දකුණු පසින් අඩි 10 පමණ ඉහළට පිහිටි කපා දැමුණු ගං ඉවුරත් අතරිණි. මාර්ගය දැඩි සේ හෝදා පාළුවී ගොසින් තිබුනි. මෙම නිසාම දකුණු පස වක්‍රය අඩි දෙකක් පමණ ගැඹුරට කාණුවක් ස්වභාවයෙන් සකස් වී තිබුනි.

කාණුවට නොවැටී ට්‍රක් රිය වම් පසට ගෙන ධාවනය කරණා විට එය යොමු වූයේ විසල් ගල් තාප්පය දෙසටය !
 දකුණ අල්ලා ගහන රිවස් පාර; දකුණු පස; ඉදිරිපස හෝ පසු පස රෝදය කාණුව වෙතට තල්ලු කර හැරියේය.රොන් මඩ වලින් සැදුම් ලත්  මැටි හා සිහින් වැල්ලෙන් සමන්විත වක්‍රාකාරව දැඩි ආනතයකට යොමුවූ මාරගයේ රෝද හතර ගියේ මාරගයට ඕනෑ ආකාරයට මිස මට හෝ සුක්කානමට අවනතව නොවිය.

වාහනය අනවශ්‍ය තරම් ඒමේ අතට හැරවිය නොහැක. මන්ද යම් හෙයකින් රථය මෙම දූර්ඝය අතර හරස් වුවහොත් එය නැවත ප්‍රශස්ථ ධාවන පතයකට ගැනීම ඉතා අසීරු විය හැකි බැවිණි.

පසුපස නිවැරදිව මාර්ගය  ඔස්සේ පසු පසට ගන්නවාත් සමගම දකුණු පස  ඉදිරි රෝදය කාණුවට වැටී ට්‍රක් රියේ දකුණු බඳ ඉවුරේ වැදී නතර විය. යලිත් සෙමෙන් එතැනින් ට්‍රක් රිය ගලවා ගෙන අදාල වැළි තොටුපොළට රිය ගාල් කර ගත්තෙමි.

මම ට්‍රක් රිය උඩට නැග ගැට ගසා තිබූ රැහැන් එකින් එක  ලිහා දමන්නට විමි. ඇනෝ අපගේ ගමන් මළු හා අනෙකුත් බඩු බාහිරාදිය ඉවත් කල අතර පසිඳු මගේ කාර්යයට උදව කරමින් විය.

කයාක පැටවීමට වඩා ආපසු ඉවත් කිරීම සැළකිල්ලෙන් කලයුතු කරුණක් වේ. මන්ද නොපිට හරවා පටවා ඇති කයාකය ට්‍රක් රියෙන් ඉවතට ගැනීමත් සමග එය වේගයෙන් ප්‍රකෘථි අතට භ්‍රමණය වේ. එය අල්ලා නවතා ලීමට පහසු තැනක් නොමැති වන අතර එසේ නැවතීම හැකි දෙයක් නොවන්නේය.

එය අතේ මැණික් කටුව සන්ධිය බිඳ දැමිය හැකි තරමේ බලවත් කරකැවීමකි. කරකැවෙන වේගය හා එහි බර මෙයට හේතුවය. එය ආනතයක් මත සිට ලිස්සා තමන් වෙතට ඒමෙන්ද මේ හානිය වඩාත් තීව්‍ර කරණු ලබයි.මෙනිසාම දෙදෙනෙකු හැර තිදෙනෙකුට පරිහරණය කල හැකි භාණ්ඩයක් නොවේ.
 එය හරියට ලොකු වතුර බාල්දියක් තිදෙනෙකු විසින් අරගෙන යනවා වැනි කකුල් පැටලෙන අට මගලකි!

අප කිසිදු අවුළක් අභාධයක් අතුරු ආන්තරාවකින් තොරව කයාක දෙක බිමට ගතිමු.

සියළු ගොඩ බෑම් වලින් අනතුරුව මා සොයුරණ් දෙදෙන ඇමතීමි.

“මං ට්‍රක් එක කළුතරට දාලා පුළුවන් ඉක්මණින් එන්නම්. උඹලා ප්‍රවේශමෙන් හිටපල්ලා. ඕනෙනම් වන් මෑන් කැනපිය (One Man Canopy) ගහගෙන ඒකෙ ඇතුලෙ හිටපල්ලා. සද්දෙ වහගෙන හිටපං. මේ ගෙවල් වල එවුන් ආවොත් බැලන්ස් කර ගනිං මං එනකල්. හරියට උදේ හයට තෙශාට කෝල් කරපං. පුළුවන් ඉක්මණින් ලොකේශන් එක ඌට යවපං !”

“එළ! අපි කවුරුවත් එන්න ඕනෙද ?” උන් දෙන්නාගෙන්  කවුරු හරි ඇහුවා මතකය. නිනව්වක් නැත.

“එළ! අවුලක් නෑ මචං! උඹලා ප්‍රවේශමෙන් හිටාල්ලා . . . !”

නැවත පන ගන්වා ගත් නිසාන් පැට්‍රොල් ලොරි පොඩ්ඩා එක ගැම්මට උඩට ආවේය. මෘදු බිම මතදීම ෆෝ වීල් හා ලෝ රේන්ජ් ගියර සැකසුම (Four Wheel – Low Range)නැවත ටූ වීල් හයි රේන්ජ් එකට (Two Wheel – High Range) සකසා ගත් මා එන්ජිම සැර නොදමාම එතැනින් නික්මුනෙමි.








%d bloggers like this: