Menu Close

The Colombo Municipality

එක් සන්ධ්‍යාවක සින්තියා ආලින්දයේ අසුන්ගෙන බලාසිටියේ ඇයත් පන්ච්වත් මහලේකම් කාර්යාලය වෙත රැගෙන යන්නට එන අස්ස කරත්තය එනතුරුයි. “දැන් වෙලාව හතරයි. ඇයි තාම කරත්තේ ආවේ නැත්තේ?” ඇය අප්පුගෙන් ඇසුවා.

Ceylon State Council and Secretariat
Ceylon State Council and Secretariat, Galle Face, Colombo photographed by Plate & Co. (ca. 1940) [Image Courtesy: http://www.lankapura.com ]

කොළඹ නගරසභාව

අප්පු සිනහවකින් ඔලුව වැනුවා. “මම දන්නේ නැහැ නෝනා.”

“පන්ච්, ගිහින් බලන්න.” සින්තියාට මේ ගැන සැකයක් ඇතිවී තිබුනා. තොග ගණන් සැකසංකා ඇතිවන්නට තරම් දිගු කාලයක් ඇය ලක්දිව වාසය කොට තිබුනා. ඉතින් මේ ගැන හොයා බලන්න පන්ච් තරම් දක්ෂ රහස් පරීක්ෂකයෙක් තවත් නැහැ. ඌව කාටවත් රවටන්නට බැහැ. උගේ බුද්ධිමත් මුහුණුවර සින්තියාට පොතක් වගේ කියවන්නට හැකියි.

පන්ච් ගියා. ඒත් ආපසු ආවේ නැහැ. “පන්ච්! පන්ච්! පන්ච්!” ප්‍රතිචාරයකුත් නැහැ.

එතකොටම බල්ලන් බලාගන්නා කොල්ලා හති දමමින් කඩිමුඩියේ පිටුපස පැත්තෙන් විත් අමාරුවෙන් හුස්මගනිමින් කියන්නට වුනා. “නෝනා, පන්ච් ගියා! කරත්තයක් ඇවිත් පන්ච්ව අරන් ගියා.”

“මොනවා!” සින්තියා තැතිගත්තා.

“කරත්තයක් ඇවිත් පන්ච්ව අරන් ගියා නෝනා.” කොල්ලා ආයෙත් කිව්වා. ඔහුගේ ලොකු ඇස් අසාමාන්‍ය ලෙස ලොකු වෙලා වගේ පේනවා දැන්. සින්තියා ක්ෂණිකව එළියට ගියා. අයාලේ යන බල්ලන් රැගත් නගරසභාවේ බලු කරත්තය මහපාරේ දකින්න තිබුනා. ඒ බල්ලන් අතර සිටි පන්ච් යකඩ කූරු අස්සෙන් තෝන්තුවෙන් බලාසිටියා.

Click to view slideshow.

ඒ ටික ඇයට හොඳටම ඇති. සින්තියා පාරට ගොඩවී මොහොතකින් කරත්තය වෙත පැමිණ ඇගේ බල්ලා ඉල්ලා සිටියා. බලු කරත්තය භාර නිලධාරීන් ඇයගේ ඉල්ලීම ගණන් ගත්තේ නැහැ. නගරසභාවකට සොයාගත හැකි දුෂ්ටම මිනිසුන් ඔවුන් විය යුතුයි. ඔවුන් ඇයගේ ඉල්ලීම නොහික්මුනු ලෙස ප්‍රතික්ෂේප කළා.

අසල සිටගෙන සිටි කොස්තාපල්වරයෙක් කැඳවුනා. ඔහු නගරසභා සේවකයන් සමඟ සාකච්ඡාවක නිරතවුනා. එයා ඔවුන්ගේ හවුල්කාරයෙක් වගේ. අවසානයේ ප්‍රතිඵලය වුනේ ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීමේ තීන්දුවට වැඩි වටිනාකමක් ලැබීමයි. මේ අතර ස්වදේශික රස්තියාදුකාරයන් රංචුවක් ඒ වටා රැස් වුනා. සින්තියාගේ අතින් පවන්පත ගිලිහී බිම වැටුනා. අයෙක් එය ඔහුගේ පා ඇඟිල්ලෙන් අහුලා අතටගෙන ඉණෙහි ගහගත්තා. එය කරවෙන්න පායලා තිබ්බ දවසක්. කොස්තාපල්ද ඇතුලුව මේ තක්කඩින් ගැන ඇයට මහත් ක්‍රෝධයක් ඇතිවුනා. ඒ අතරම වල් බල්ලන්ට පසෙක සිටි පන්ච්ගේ හැඬීම හදවත කම්පාවට පත් කළා. “උන්ව කොහෙටද අරගෙන යන්නේ?” සින්තියා විමසුවා. “නගරසභාවට- මරන්න” රැස්ව සිටි අයගෙන් කෙනෙකු උත්තර දුන්නා. ඔහු වැදගත් පෙනුමකින් යුතු අප්පු කෙනෙක්. “මරලා දාන්න!” ඇය එය ප්‍රතිරාව නැංවුවා.

Colombo Municipality Motor Bus Stand
Colombo Municipality Motor Bus Stand, Pettah, Colombo

කිසිඳු හැඟීමක් දැනීමක් රහිතව සින්තියා තොල් මැතිරුවේ “ඔවුන් එහෙම කරයිද!’ යන්නයි.

යුරෝපියයන්ට ආගන්තුක සත්කාර කරන්නන්, ස්වදේශිකයන්, බර්ගර්වරුන් මේ සියල්ලක්ම එළිමහනට විත් සිටියේ ඔවුන්ගේ සන්ධ්‍යා සංචාරය සඳහා. සින්තියා ඔවුන් අතරින් පා ගමනින්ම ඇවිද ගියා. ඇය බංගලාවට එනවිට අස්ස කරත්තය ආලින්දයේ රඳවා තිබුනා. “නගරසභාවට යමු, ඉක්මනට” එහි ඉඳගන්න අතරවාරෙම ඇය පැවසුවා.

නගරසභාවේදි යුරෝපීය නිලධාරියෙකු හමුවන්නට කරන ලද ඉල්ලීමට ඇයට හිමිවුනේ රැවුමක්. රැවුම් ගෙරවුම් මැද්දේ නිර්භීතව පඩිපෙළ නැගි සින්තියා පළමු කාමරයට ඇතුළු වුනා. එහි අසුන්ගෙන සිටියේ බර්ගර් ජාතික මහලු මහත්මයෙක්. සින්තියා ඇගේ වංශය සහ අධ්‍යාපනික මට්ටම පෙන්වමින් ඔහුට ආචාර කොට ඇගේ කතාව පවසන්නට වුනා. ඔහුගෙන් ආචාරශීලීත්වය පමණක් නොව ඔහුගේ කණගාටුවද ඇයට හිමි වුනා. ඇගේ ජාතියට අයත් නොවුනත් මේ කරුණාබර මහලු මහත්මයා බල්ලන් කෙරෙහි මහත් ආදරය දක්වන්නෙක්. ඔහු ඇයට සහතිකවුනා බලු කරත්තය ආ විගසම පන්ච්ව හැකි ඉක්මනින් ලබා දෙන බවට. විනාඩි විස්සක විතර කතාබහකින් පසුව සින්තියා තරමක් සන්සුන් බවට පත්වුනා. සේවකයෙකු පැමිණ කීවේ බලු කරත්තය ආ බවයි. විනාඩි කිහිපයකට පසුව පන්ච්ට ඔහුගේ ස්වාමිදුවගේ ඔඩොක්කුවේ වාඩි වන්නට හැකිවුනා. උගේ පුංචි හදවත මහත් සතුටකින් ස්පන්දනය වුනා. සින්තියාගේ සුරතල් පන්ච්ව සොරාගෙන අල්ලස් ගන්නට සිටි නගරසභා සේවකයන්ට ඔවුන්ගේ බලාපොරොත්තුව නැතිවුනේ එහෙමයි. ඔවුන් කිසිලෙස සිතුවේ නැහැ පන්ච්ගේ ස්වාමිදුගේ ක්‍රියාකලාපය මෙලෙස වේ යයි කියා.

Old Town Hall Market, Colombo
Old Town Hall Market, Colombo (ca 1950s)

එයින් පසුව පන්ච් කවදාටත් වඩා අතිශය හිතේසී සුරතලෙකු බවට පත්වුනා. විටෙක ඌ සින්තියාගේ ආත්මයේ සියලු රහස් කියවන්නට මෙන් ඇගේ මුහුණ දෙස ඕනෑකමින් බලාසිටිනවා. ඇගේ මුහුනේ ඇහිපිල්ලමක්වත් උගේ දෘෂ්ටියෙන් ගැලවීගන්නේ නැහැ. අභ්‍යන්තරයට සවන්දෙන, තේරුම් කරන්නට අමාරු දේවල් තේරුම් ගන්නා, ප්‍රිය උපදවන, ස්ථිරසාර,  ඌ තරම් යහළුවෙකු, සගයෙකු තවත් නැහැ. ඇය අලුත් තොප්පියක්, බ්ලවුසයක්, සායක් ඇන්ද විට ඌ හොඳින් එය පරික්ෂා කොට උගේ අනුමැතිය හෝ විරෝධය පල කරන්නේ ප්‍රීතිමත් බිරීමකින් හෝ උඩඟු ලෙස උරහිස සොලවා ආපසු හැරී යාමකින්.

Town Hall
Pettah Showing Town Hall


කැරොලයින් කෝනර් විසින් රචිත “ලක්දිව්: ආදම්ගේ පාරාදීසිය”

සත් වසක දූපත් දිවියේ ජීවන සටහන්

පරිච්ඡේදය 06

Ceylon: The Paradise of Adam by Caroline Corner

The Record of Seven Years’ Residence In The Island

Chapter 06


One afternoon Cynthia, seated on the verandah, awaited the phaeton to drive her and Punch to the Secretariat, as usual, for the “Master.” “It’s four o’clock; why doesn’t the carriage come ? ” she asked the Appoo.

The Appoo, smiling, shook his head. “I not know, lady.” ”Punch, go and see.” Cynthia had her suspicions. She had been long enough in Ceylon to have a stock of them, and no better detective was there than Punch. There was no deceiving him. His intelligent countenance, moreover, Cynthia read like an open book. Punch went—but did not return. ”Punch! Punch! Punch!” No response.

Then the “dogboy” came in breathless haste from the back regions, gasping: ” Lady, Punch gone ! Cart come take Punch away.” “What!” from Cynthia, aghast. “Cart come and take Punch, lady,” repeated the boy, his big eyes looking abnormally big now. Cynthia was out in a flash. There in the high road was the Municipal dogcart, with a collection of vagrant dogs, amongst which was Punch, gazing in a dazed sort of way through the iron bars.

This sufficed. Cynthia was down the road and up to the cart in a trice, demanding her dog. The men in charge—as great villains as the Municipality could surely find—took no heed of her demand, but stated their demand, which being rejected, called forth impertinence. A constable standing at the corner was summoned, who entered into parley (and would-be partnership) with the municipal employees, with the only result that the demand on their side went up in value.

Meanwhile a crowd of native vagabonds collected. Cynthia dropped her fan. It was picked up in the toes of one and transferred by hand to his waist-pocket. The sun was scorching. The rascals, constable included, were implacable, while the cries of Punch next to a mangy mongrel, were heartrending. “Where are they being taken?” asked Cynthia. “To the Town Hall—to be killed,” was the reply of one in the crowd, a respectable-looking Appoo. “To be killed! ” echoed Cynthia.

Then making what the Americans call “a stiff upper lip,” Cynthia murmured below her breath, “Will they!”Through the hosts of Europeans, natives, and burghers, all out for their evening drive, Cynthia picked her way—on foot. The phaeton was at the verandah on her return. “Drive to the Town Hall, quick!” said she, taking her seat therein. Once there her request to see a European official met with a stare. Dauntless, Cynthia passed on up the stairs and entered the first room, spite of restraining tongues and hands. Herein was seated an elderly gentleman of the burgher class. Cynthia, bowing, addressed him, telling her tale, as her breeding and education dictated. Not only courtesy but sympathy did she receive. That kindly old gentleman, though not of her own nationality, was himself a lover of dogs, and assured her she should have her Punch as soon as he arrived. After twenty minutes’ conversation, during which Cynthia got cool, a servant came and said the cart had returned. Another couple of minutes and Punch was on his mistress’s lap, his little heart thumping with delight. Thus then were the Municipal employees deprived of the “santosum” they anticipated when stealing Cynthia’s pet Punch. They reckoned without Punch’s mistress.

After this Punch was more devoted than ever. He would gaze up into Cynthia’s face to read there the very secret of her soul. Not a shade on her brow escaped his notice, nor failed to call forth his tender sympathies. Ever responsive to inmost, subtlest feeling, no companion more desirable, no friend more staunch than he. When she put on a new hat, or blouse, or skirt he would, after inspection, signify his approval or disapproval by bounding and barking joyously around her, or by turning away with a shrug and a swagger.


ලක්දිව ගමන් සටහන් පිටු අංක : 16

%d bloggers like this: