Menu Close

137. කළු ගඟදිගේ . . 3 . .!

“මහවැලි, කැළණි, වලවේ, කළු යන ගංගා . . .” 
කියා කට පාඩම් කලාට මේ කවියට ඔරිජිනල්ම ගැලපීම දක්වන්නේ කළු ගඟ පමණි!

අවසන් මොහොතේ ගමනට එක්වූ නිෂ්ඵල ඡායාරූප ශිල්පියාගේ තෙවන ඇස !

මහවැළි තරණය වන විට මා සතුව තිබුනේ එක් කයාකයක් පමණි.
 එය මොරටුවේ දනූශා මැරයින් { මේක මැරීන් නොවී මැරයින් උනේ; මේක මට විකුණන කොට කල වංචාව නිසා බව සළකන්න! (මේ ගැන ලියා ඇත!)  මේක හරියට; කෑ /යටියන්තොට වින්සන්ට් පෙරේරා විද්‍යාලයය යන්න; යටියන්තොට කෑ විසන්ට් පෙරේරා විද්‍යාලයය ලෙස ලිවීම වැනි වචන හරඹයකි!} වෙතින් නිෂ්පාදනය කොට පසුව කිරිල්ලවල – කන්ද කපාපු හන්දියේ ඔරියන්ට් ෆයිබර් හි නලීන් විසින් පුනරුත්තාපනය කල ෆයිබර් කයාකයකි.

 මෙවර අප ගමන සඳහා යොදාගත්තේ එම කයාකය සමග තවත් LDPP- Low Density Polypropylene  කයාකයකි. 
එය මා වෙතට පත්වීමද තරමක රසවත් කථාන්දරයකි. ඒකත් අසා දැන ගෙනම ගඟට බසිමු!

 ගිය වර පෝස්ටුවට කඩා පාත් වුනු කළ්‍යාණ මිත්‍රයන් මෙම පෝස්ටුව ටෙලියකට සම කලෝය. ඒද නිකංම නිකං ටෙලියක් නොව මෙගා ටෙලියකටය!
කළණ මිතු තොමෝ මා වෙත පතල මහා කරුණාවෙන් සමාව භජනය කරත්වා! 

මා සාමාන්‍ය ජීවිතයේ විවිධ කඩයීම් වලදී විශ්වාසය තබන ක්‍රියා පිළිවෙතක් වේ. 
එනම්; “අප කිසියම් ජයග්‍රහණයක් අපේක්ෂිතනම්; එම ජයග්‍රහණය අප වෙත ලැබෙනා තුරු තම සිත නොවෙනස්ව එය කෙරෙහිම අධිෂ්ඨානශීලීව එකාත්මිකව ඒකාග්‍රිකව  එල්බගෙන තබා ගත යුතුය” යන  රීතියය!

 ඊට අමතරව එම කාලය පුරාවට කියවන්නේද ලියන්නේද කතා කරණ්නේද සොයා බලන්නේද එම ඉලක්කය ගැනම පමනි. මෙයට සමගාමීව හිතන්නේද එම සුවිෂේශී කරුණ ගැන පමනක්මය. “එය” ලබා ගැනීමේ සතුට බොහෝ විට විඳිමින්ම රාත්‍රියට නින්දට යමි! උදෑසන පිබිදෙමි. යලිදු දිනය පුරා එම ප්‍රීතිය සමග ගතකරමි. 

මෙයින් අදහස් කරණුයේ හුදෙක් අහසේ මාළිගා තනන මේසන් බාස් කෙනෙකුගේ තත්වයට පත්වීම  නොවේ. ඒ තුල ජීවත් වෙමින් එය ලඟා කරගන්නා ක්‍රම වේධ පිළිඳව නිරන්තරයෙන් අවදියෙන් සිටීමය!

මේ ක්‍රියාකාරකම තුල කිසියම් සැළකිය යුතු කාලයක් ගත කරද්දී අපේක්ෂිත ජයග්‍රහණය එක් වරක් හෝ තමාගේ අතේ දුරට පැමිණෙනු ඇත. තමා එම අවස්ථාව නිවැරදිව කළමනාකරණය කර ගැනීමෙන් මෙතෙක් සිහින මැවූ ජයග්‍රහණය සැබැවින්ම තමා සතු කර ගැනීමට හැකිවනු ඇත.

කිසිවෙකුට මෙය එකෙන්ම බැහැර කිරීමට පුළුවන. ඔහු හෝ ඇය තම ජග්‍රහණයන් ලබා ගත්; අත්දුටු; ප්‍රඨ්‍යක්ෂ; මීට ඉඳුරාම වෙනස් ක්‍රම වේදයක් තිබීමට පුළුවන. 
ඔවුනට කියන්නට ඇත්තේ එයින් අපගමනය නොවී තම තමන්ට සුවිශේෂී වූ ක්‍රම වේදයන් මගින් තම තමන්ගේ ඉලක්කයන් සපුරා ගැනීම මැනැවියි කියා ය!
අනේ පුළුවන්නම් ඒ ක්‍රමය අපටත් කියා දෙනු මැනවැයි කියාය.
 (ලේසි එකක් තෝරා ගන්න!)

රතු පාට – Sit on top (Sot)  තැඹිළි පාට – Sit in top (Sit)

යත්‍රාවක් පිළිබඳ අශාවක් කුඩා කල සිට තිබුනද එය Sit On Top කයාකයක් වෙතට යොමු කලේ මීට කලකට පෙර මා හා සේවය කල චෙලාන් ගුණතිලක මහතා විසින් ය. කොටින්ම කයාක් කියන නම පවා මා දැන හඳුනා ගත්තේ ඒ මහතා ගෙන්ය. ඒ මහතා වසර ගනනාවක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වුනු; නමින් පමනක් ලාංකික වුනු කෙනෙකි. 

ඔහු විසින් එරටදී අත් දුටු; අත් විඳි දෑ පිළිබඳව  අප වැනි ස්වදෙශිකයින් වට කොට  “තෙල බෙදද්දී”: කයාකින්, කෑම්පින්, හයිකින් පිළිබඳ පරිච්ඡේද්යේදී ඔහු වෙත රැඳෙමින් අති මහත් කුහුළෙන් යුතුව සියළු වචනයක්  වචනයක් පාසා, තිතක් කොමාවක් කොමාවක් පාසා ග්‍රහණය කර ගනිමින් අසා සිටියේ මා පමණි. අසා දැන ගැනීමෙන් නොනැවතී ඔහු සතුව තිබූ කයාක් කැටලොග් සඟරා වල ඡායා රූප පිටපත් පවා රැගෙන සුරැකිව තබා ගැනීමට මා යුහු සුළු විමි.

මේ අදින් වසර 20 කට පමන එහා කාලයකි.                                            
එයින් එදා පටන් එතෙක් මෝටර් ෂෝ, කොළඹ පොත් ප්‍රදර්ශනය වැනි දේට පමනක් ආගිය මා “වාර්ෂික බෝට්ටු ප්‍රදර්ශනය” හෙවත් Boat Show නැරඹීමද පුරුද්දක් කර ගතිමි.

පොත් ප්‍රදර්ශන, කාර් ප්‍රදර්ශන, ගෘහ නිර්මාණ ප්‍රදර්ශන අතර . . !

 මුලින් එය පැවතියේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ වුවද කාලය විසින් එය දික්ඕවිට ධීවර වරාය පරිශ්‍රයට දියත් කොට හැරියේය.

මගේ මතකය නිවැරදිනම්  ප්‍රථම වතාවට දික්ඕවිට පැවති ප්‍රදර්ශනය තුල  ස්ථාපිත ශ්‍රී ලංකාව තුල නමක් දිනූ වතුර ටැංකි නිෂ්පාදකයකුගේ වෙළඳ කුටියේ ප්‍රදර්ශනයට  කයාක් දෙකක් තබා තිබුනි. 
ඉන් එකක් One man කයාකයක් වන අතර අනෙක Two man හෙවත් ටැන්ඩම් කයාකයකි.

මෙන්න මේ දෙන්නා තමයි ප්‍රදර්ශනේට උන්නේ. 
කහ එක්කෙනා Solo (One man kayak) කයාක් එකක්.
 ඒකෙ යන්න පුළුවන් එක්කනෙකුට විතරයි. 
මගේ හිත ගියේ නිල් එක්කෙනාට. 
ඒක දෙන්නෙකුට යන්න පුළුවන් Tandem (Two man kayak) කයාක් එකක්. 


නෙතට රසාංජනයක් වූ මෙම යාත්‍රාව දෙස බොහෝ වේලාවක් බලා සිටි මා ඔවුන් ගෙන් එහි මිල ගනන් විමසීමේදී ඔවුන් පැවසුවේ මෙම කයාක දෙක ඔවුනට මෝල්ඩ් හෙවත් අච්චු ලබා ගැනීමට ගෙන්වූ ඒවා බවත් එම ව්‍යාපෘථිය නොබෝ දිනකින් ඇරඹීමට නියමිත බවත්ය. ඒවන විට නිෂ්පාදනය ඇරඹී නොමැති බැවින් මිළ ගනන් දැන ගැනීමට නොහැකි විය.

කාලය ගෙවී ගියේය. 

මාස ගනනාවකට පසු මා එම ආයතනය වෙත අමතා නැවත් කයාක පිළිබඳ විමසීමක් කලෙමි. ඒ වන විටද මා එක් කයාකයක් හෝ මිළදී ගෙන නොතිබුනි. 
ඔවුන් ඒවන විටද කයාක ව්‍යාපෘථිය අරඹා නොතිබුනි. තවත් වසරක දෙකක  කාලයක් ගෙවී ගිය තැන නැවත ඔවුන් ඇමතූ මාහට දැන ගන්නට ලබුනේ ඔවුන් එම ව්‍යාපෘථිය අතර මග නවතා දමා ඇති බවත් අච්චුව සඳහා ගෙන ආ කයාකය ගබඩාවක් තුල “වේලෙන” බවත්ය!

එතැන් පටන් තවත් මාස හයක පමන කාලයක් ගෙවී ගියේ මිල ගනන එකඟ තාවයටය. අවසානයේ රුපියල් 125000 – 150000 පමන වටිනා කයාකය රුපියල් 55000 කට විකිණීමට ඔවුන් එකඟ විය! 

කරේ පාලුවට තිබුනු චේන් පොට හැටන් නැෂනල් බංකුවේ වැඩි පරිස්සමට තැබූ මා එදිනම පසිඳු සමග වාරියපොලට ගොස් කයාකය රැගෙන ගොස් හක්බෙල්ලාවක ගාල් කලෙමි.

කයාකය සමග ලබුනේ එක් හබලක් පමනි. හබලක වෙළඳ පොල වටිනාකම රුපියල් 12000 – 15000 පමන වේ. ලැබුණු හබලද එතරම් දෘඩ එකක් නොවීය. පසුව මා ඒ සඳහා තරමක සටනක් දියත් කලෙමි.

ඒ  “ගියොත් වචනයක් ලැබුනොත් අලියෙක්” තියරියට අනුවය!

අවසානයේ මා හා සටනට පිවිසියේ එම ආයතනයේ අධ්‍යක්ෂක වූ රටේ පිළිගත් මහාචාර්ය තුමෙක්ය! ඔහු මා ගේ ප්‍රශ්ණය ඉතාමත් ප්‍රශංසණීය අයුරින් හරි අපූරුවට විසඳා දුන්නේය.
 ඔහු ගේ වචනයෙන්ම මා එය මෙහි උපුටා දක්වන්නම්. 

“ඔය ගානට ඔය කයාක් එක විකුණුවේ කාගෙන් අහලද කියලයි මම තාම දන්නේ නැත්තේ. කරුණාකර ඕක ආපහු ගෙනත් දෙන්න. මම ඔයාගෙ සල්ලියි ප්‍රවාහණ වියදමයි දෙකම දෙන්න කියලා අකවුන්ටන්ට කියන්නම්! ඕක අපිට කොස්ට් වෙලා තියෙනවා එක්ලක්ෂ හැත්තෑපන් දාහක් විතර ෆ්‍රෙයිට් චාජර්ස් එක්ක” 

ඔබට සතුටුයිද දැන්? මා මගෙන්ම අසා සිටියෙමි!

මා නැවත හබල් ඉල්ලා අඬන්නට නොගියෙමි. 

හබල උන් ගාවද කයාකය මං ගාව නැවතුනි!!!

මෙවර අප ගඟක් දිගේ යාත්‍රා කරණ්නට එම කයාකය මුල් වරට යොදා ගන්නට මා තීරණය කොට තිබුනි.එය ප්‍රථම වරට දියට ප්‍රවිෂ්ඨ කලේ මීට වසර එක හමාරකට කලිනි. එවර මමත් පසිඳුත් මීටර 25 – 50 ක වටයක් පැද ගෙනවිත් ගාල් කල පසු නැවත යාත්‍රා කරණ්නේ මෙවරය. 

මැය ට ඇය නොකියා කුමක් නම් කියන්නද ?

නැවක් හඳින්වීමේදී යොදන සර්ව නාම පදය Pronoun වන්නේ ඇය යන අරුත දෙන She යන්නය. (She නමින් එච් රයිඩර් හැගර්ඩ්ගේ රසාලිප්ත නවකතාවක් වේ. එහි සිංහල පරිවර්ථනය “අයේෂා” ය!) 
 කාන්තාවට ප්‍රමුඛ තාවය උසස් ගරුත්වයක් ලභාදෙන යුරොපීය සමාජය තුල නෞකාවක් හැඳින්වීමට She සර්ව නාම පදය යෙදීමත් සමග එයටද  සමාජය තුල මහත්වූ ගෞරවයක් නිතැතින්ම හිමි වන්නට ඇත!

මේ; නැව දියත් කරණවා විනා  දිය බත් කරණවා නොවේ!


නැවක් නිපදවා ඇය ප්‍රථම වරට දියත්  කිරීම Ship Launching විශාල උත්සවයකි.නැවක් අධිකාරීත්වයට පත් කිරීමට පෙර පවතින උත්සවය එය දියත් කිරීමය. 
සාමාන්යයෙන් නැවක් දියත් කරණ ප්‍රධාන ක්‍රමවේධ තුනකි. ඉන් පලමු වැන්න ආනත තලයක් ඔස්සේ නැවේ පසුපස ප්‍රථමයෙන් දියේ ගැටෙන සේ දියට තල්ලු කර හැරීමය. දෙවැන්න වන්නේ නැව හරස් අතට දියට තල්ලුකර දැමීමය. තෙවන හෙවත් අවසාන ක්‍රමය ලෙස සැලකෙන්නේ නැව සාදන වියළි නැව් තටාකාංගනයට දිය පිරෙණ්න සලස්වා එලියට ගැනීමය. මෙම උත්සවයේදී නැව් බඳේ ගසා ෂැම්පේන් බෝතලයක් බිඳීම සම්ප්‍රදායකි.  

(මල පැන නොවේ – සතුටින් !)
මේ කඩන්නේ ගල් බෝතලයක් නොව ෂැම්පේන් බෝතලයකි.

එය අධිකාරීත්වයට පත් කිරීම සිදුකරණ්නේ චාරිත්‍රානුකූලවය. මෙය හඳුන්වන්නේ Ship Commissioning ලෙසය. කිසියම් කලෙක එම නැව සේවයෙන් ඉවත් කරන්නේ නම් අධිකාරීත්වයෙන් මුදා හැරීමද Ship Decommissioning තවත් උත්සවයකි. එහිදී සියල්ලෝ ඇයට ගෞරව  ආචාර සමාචාර පවත්වා සමුදෙති. 

Ship Commissioning

අපට; අපගේ අභිනව කයාකයට එවන් උත්සවයක් ලබා දීමට නොහැකි වුවද එම ගෞරවණීය පිළිගැනීම මගේ සිත තුල එදා තිබුනි.කිසි දිනෙක අගෞරවාන්විතව, එසේම නොසැලකිල්ලෙන්, අනාදරයෙන්,වගකීමකින් තොරව කයාක බෑම පැටවීම දියට මුදා හැරීම කිරීමට මා කිසිවෙකුට ඉඩ නොදෙන්නෙමි. මා සමග සිටින්නවුන් තුලද එවන් අවර ගනයේ හැසිරීම් මා කිසිදු දිනෙක දැක නොමැත.

දිනය 2019 මාර්තු 15 වැනි සිකුරාදා. තවත් ලෙසකින් පවසනවානම් 16 වෙනිදාට පෙරදා!

ගමන යන්න තියෙන්නේ හෙට!

දැන් සියල්ල සූදානම්ය!  
කණ්ඩායම හරි ය! 
මමත් තෙශාත් පසිඳුත් මෙතෙක් නොදුටු කසුනුත්!!
කයාක් දෙක ගෙනැවිත්ය!!!
හෙල්මට් හතරක් ලැබී ඇත.!!!!
සියල්ල යහපත්ව සිදු වෙමින්ය . . . . . . . . . . . 

උදෑසන  7.30 වන විට කිලෝමීටර 60 ක් ගෙවා මා; මාගේ සේවා ස්ථානයට ස්ථාන ගතවී හමාරය. වසරකට වැඩි කාලයක් දූවිලි වැදෙමින් පැවති කයාක පරිස්සමින් බිමට ගෙන සම්පීඩිත ජල දහරාවකින් හොඳින් පිරිසිදු කිරීම මාගේ සහෝදර සේවක “මල්ලිලා” විසින් ඉෂ්ඨ සිද්ධ කොට දුන්නෝය. ගමනට සියල්ල සූදානම් වෙමින්ය!

අනේ ඉතින් ! වයසට යන විට මිනිසුන් පොඩි ළමයින් වගේ වෙනවා!” 
කියන එක තේරුම් ගත් මගෙ සහෝදර සේවක මල්ලිලා. 
කයාක නාවමින්!

පෙර වරු 11.00 පමන පසිඳු මාගේ කර්‍යාලයට කඩා පාත් විය! සැමදා දකින කෙළිලොල් ස්වභාවය මුහුනේ එලෙසින්ම. මා ඔහු අත අපට මිලදී ගැනීමට; සපයා ගැනීමට තිබුනු අවශේෂ, විශේෂ අඩුම කුඩුම වල ලැයිස්තුව පත් කලෙමි.

“මල්ලි උඹ මේ බඩු ටික අරණ් වරෙන් . . . !”

“අයියෙ පොඩි කේස් එකක් . . . . . !”

“මොකක්ද කේස් එක . . . . . . !?”

“කසුන් ඇතුලෙ . . . . . !?”

“මොකක් . . . . ?”

“ඒකනේ . . !”

පෙරදින බීමතින් රිය පැදවීම කරණ කොටගෙන කසුන් තනමල්විල (මා සිතන පරිදි) පොලීසියෙන් අතඩංගුවට ගෙන අද දින ඇඹිළිපිටිය උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බව පසිඳු එක හුස්මට කියාගෙන ගියේය!

“අද උදෙම ඇප  දුන්නොත් ඌ එයි . . !”

“මගුලයි . . . ! නෑ ඌ ගැන කිසිම බලා පොරොත්තුවක් තියා ගන්න එපා. ඌ නෑ කියලා හිතා ගනිං. ඉක්මනට වෙන එකෙක් බලපං. නැත්නම් වැඩේ එහෙම පිටින්ම අල වෙයි !” මම පසිඳුට මගේ ස්ථාවරය පැහැදිලි කලෙමි.

“හරි අපි වෙන එකෙක් හොයා ගත්තාට පස්සේ කසුන්ට එන්න පුළුවන් කිව්වොත් ?” පසිඳු මගෙන් ඇසුවේ මාහට පැනයක් ඉදිරිපත් කරණ්නටද නො එසේනම් පිළිතුරක් බලා පොරොත්තුවද කියා මට හිතා ගන්නට බැරිවිය.

“ටීම් එක සෙට් උනාට පස්සේ මොකා ආවත් ඌව හලලා යමු . . !?උඹ ආයෙත් ආයෙත් අම්රාන්ට කතා කරපං !”

මුළු මෙහෙයුමම කලවම් වී ඇත. අප; මීට දින දෙක තුනකට පෙර සිටි තැනට වැටී ඇත ! මොනවා කලත් 16 වෙනිදා එනම් හෙට උදේට අප ගඟක විය යුතුය!

“අම්රාන්ට කතා කරලා වැඩක් නෑ අයියේ. ඌ එන්නේ නෑ!”

“හරි!” මම තෙශාන්තව ඇම්තූවෙමි. සිද්ධිය සැකවින් කියා පෑවේය . . .!

” . . . . . . . . . . . ! ” මේ තෙශාන්තගේ තනි වචනයේ පිළිතුරය.

“මචං මම ආයෙමත් ධම්මිකට කතා කරණ්නම් . . . !” මම කීවෙමි. මීට පෙර ධම්මිකට තෙශාන්තත් පසිඳුත් කතා කොට තිබුනි. පසුගිය දා යුග දිවියට එළඹුණු ධම්මිකව මුදා ගැනීම තරමක අපහසු කටයුත්තක් බව පසිඳු මා හා පැවසූ අතර නැවත මා ඔහුට ඇමතූවෙමි. 

ඔහු ඉතා සෙමෙන්; පරිස්සමෙන්; ඇහෙන නෑහෙන ගානට; කෙඳිරි ගාමින්; හිත නොරිද්දෙන පරිද්දෙන්; එනවාද – එන්නේ නැද්ද කියා නොතේරෙණ ලෙස මොනවාදෝ මිමිනුවේය! තවත් විනාඩි ගනනාවකින් පසු මට තේරුම් ගියේ ඔහු කියා ඇත්තේ “එන්න වෙන්නේ නෑ!” කියන එක බවය!

මම නැවත තෙශා මතා තත්වය යාවත් කාලීන කලෙමි!

“මගේ අයියා අනුරයා! ඕකා එළ ස්විමර් ! මං කිව්වොත් මැරෙණ්න හරි ! උඹට මතකයිනෙ අර ගං වතුරේ මල්වානෙ අපිත් එක්ක ආධාර බෙදන්න ගියේ . . . .!  අර ගල්වල හංදියේ කඩේ කරණ්නේ . . !?”තෙශා ඔහුගේ ඤාති සොහොයුරෙකු ගැන කියාගෙන කියා ගෙන යයි!

“හරි හරි බං ! මොකෙක් හරි අපිට සෙට් වෙන එකෙක් උඹ හොයාපං! ” තෙශාගේ ආරළු බූරුළු අසා ඉඳ ඇතිවී මං කීවෙමි. ” මොන දේකට හරි කමක් නෑ උඹ පසිඳු ඔය බඩු ලිස්ට් එක ගෙනෙං !” පසිඳුව පිටත් කර හැරියෙමි.

විනාඩි 15  ගතවෙන්නට මත්තෙන් තෙශගෙන් ඇමතුමක් ලද්දෙමි!

“මචං වැඩේ අවුල් ! උගේ දුවෙක් ලොකු ළමයෙක් වෙලා! “

“හුටා . . !”

“තව එකෙක් ඉන්නවා . . . . . පොඩ්ඩක් හිටපං මං ඌවත් බලන්නම්. . !  කිව්වොත්නම් එන්න හැට හුට හමාරක් ඉන්නවා ! ඒත් අපිට සෙට් වෙන එකෙක් වෙන්න එපායැ . !?”

දැන් ඔයින් මෙයින් දහවල් 1.00 පසුවී ගොස් ය. ඒ අතරේ පසිඳු මග සිට ගේන්නට ගිය බඩු මුට්ටු ගැන විවිධ විමසීම්ය.යලිත් තෙශා මා ඇමතුවේය.

“මචං ඌ හරියන්නෙත් නෑ . . ! ඌ කච්චතිවු ගිහින් !”

මට මේ වන විට පරාජයේ ඉව දැනෙමින් විය. හදවත මගෙන් විවිධ ආකාරයෙන් ප්‍රශ්න කරයි. “මොන විදියට හරි අපි හෙට යනවා . .! එච්චරයි . . !”

අවසානයේ මම “රෝද දෙකේ රස්තියාදුවේ” මද්දා ඇමතිමි.

 (මල්ලි ! බලන්න 2019/03/15 දින ඔබේ දුරකථනයේ මගෙන් ඇමතුමක් සටහන් වී ඇත්දැයි කියා?)  ම්හු! මද්දාගෙන් කිසිදු ප්‍රථිචාරයක් නොමැත.

තවත් පැයක් පමන කාලය ගෙවීයද්දී තෙශාත් මාත් අතර ඇමතුම් දුසිමක් පමන එහා මෙහා ගලා ගියේය.

“අම්මට සිරි! මචං තව එකම එකෙක් ඉන්නවා අපේ ගෙවල් පැත්තේ ! ඌ මගේ බ්ලොග් එකට කමෙන් කරණ එකෙක්. ඌ ෆොටෝග්‍රැෆර් ! ඕකා දවසක් මට කිව්වා ගඟක යනවා නම් එන්නම් කියලා. පොඩ්ඩක් හිටිං ! මං බලන්නම්!” මම තෙශාට කියාගෙන කියාගෙන ගොස් දූරකථනය විසන්ධි කර නැවත එයට එබුනෙමි. මම දූරකථනය ගෙන නාමාවලිය පිරික්සුවෙමි.

“ආ මේ තියෙන්නේ . . ! 


මා දෙවරක් නොසිතාම ඔහුව ඇමතුවේ ය.


“මල්ලි ! හෙටයි අනිත්දායි මොකද කරණ්නේ ?”

“…………………………………!”

“හරි එහෙම නියමිත් වැඩක් නැත්නම් කයාකින් කරමුද ?”

“………………………………………….”

 ආ ඒකට කමක් නෑ ලයිෆ් ජැකට් තියෙනවානේ ? එළ එහෙනම් උඹ අද අපේ ගෙදරට සෙට් වෙයං !

“………………………………………….”

 පොඩි අඳුම් කෑලි ටිකක් ගනිං ! උඹ ගාව වොටර් පෲෆ් කැමරාවක් තියෙනවාද ?

“……  …..”

“ අවුලක් නෑ මං ගාව ගෝ ප්‍රෝ  එකක් තියෙනවා. හරි එහෙනම් වෙනසක් නෑනෙ!”

“හරි අයියේ! මං එන්නම් රෑට එන්නම් ඔයාලගෙ ගෙදරට !”

එළ!

ගමනට සූදානම්ව ගෝ ප්‍රො !

අපගේ සැලැස්මේ මුල් කොටසට අණ්ඩ දමා මෙලෙසින් අවසන් විය. ගමන කළු ගඟ දිගේ බව එකිනෙකා හට දැනුනේ කෙලෙසින්දැයි කියන්නට මට මතක නැත. කෙසේ හෝ වේවා කළු ගඟ දිගේ යන ගමනක් සඳහා පිඹුරු පත් සැකසෙමින්ය!

හොඳින් කුනු අතුල්ලා නා ගැනීමෙන් පසු 
නැවත ලොරි පොඩ්ඩාගේ පිට මතට වී . . !

මෙවර මා අමතර හබල ලෙස ගෙන ගියේ අළුත් කයාකය සමග ලැබුණු හබලය. එය කොටස් දෙකකට වෙන් කල හැකිවීම ; අමතර හබල ලෙස ගමනට එක් වීමට තිබුණි එකම සුදුසු කම විය!

අමතර හබල විශ්වසණීය ලෙස සැකසීම!
අමතර ශක්තිමත්භාවයක් එක් කරලනු වස් ගැසීමට රිවටයක් ලකුණු කිරීම.

සියල්ල යම් පමණකට සෙටමෝල් කර ගැනීමට හවස් වන විට අපට හැකි විය.
 පසිඳු හවස් වන විට නැවත මා හා එක් විය.

මා හදවත ස්පර්ශ කොට බැලුවෙමි. එය උනුසුම්ය. එය මා නිරණ්තරයෙන් මා උනුසුම් කරමින් ය! ඔව් ඒ උනුසුම සමගින්  නැවතත් මා ශක්තිමත්ව !

ඒත් අහපු ගමන් “හා!” කියූ ලෙසින්ම තව ටික වේලාවකින් ඇනෝපිලිස් “බෑ” කියයිද? සිත දෙගිඩියාවෙන් නිරන්තරයෙන් අසයි. හවස 5.00 ට විතර මා නැවත ඇනෝපිලිස්ට ඇමතුමක් ගත්තෙමි.

 ම්හු! 

ඇමතුම විසන්ධි වනතුරු බලා සිටියෙමි. නැවත ඇමතූවෙමි. ප්‍රථිඵලය පෙර පරිදිම විය. මෙසේ හත් අට වරක් උත්සාහ කලමුත් ප්‍රථිඵලයේ වෙනසක් නොවීය. 

“ඇත්තටම මූ එන්නේ නැතිව කෙළින් කියන්නට බැරි නිසා ෆෝන් එක නොගෙන මග අරිණවා වත්ද?” මා මගෙන්ම ඇසීමි. 

අවසානයේ මා ඔහුට කෙටි පණිවිඩයක් ලියා යැව්වෙමි.

“යකෝ කෝල් එක ගනිංකෝ !” 

මේ ඒ පණිවිඩයය!


තවත් විනාඩි 10 කින් පමණ මගේ දූරකථනය ඈඟිරි ගෑවේය!

“ඇනෝපිලිස් “


මා දෙගිඩියාවෙන් ඇමතුමට අවතීරණ වුනෙමි.

“ඇයි අයියේ ?”හීන් හඬින් කෙඳිරියක් සේ එහා ඉමෙන් ඇසුනි!

“ඇයි උඹ කතා නොකලෙ මල්ලි!? උඹ සිරාවටම එනවා නේද? ආයෙ මට වෙන එකෙක් හොයා ගන්නත් වෙලාවක් නෑ! හරිණේ?” මා නොනවත්වාම කියවා ගෙන ගියෙමි.

“නෑ දැන් රෑ යන්න තියෙනවා කිව්ව නිසා මම පොඩ්ඩක් ඇල වුනා! හරි! හරි!! ඇයි අපි යනවා නේ?”

ඔහුගේ පිළිතුරෙණ් මා නව ජීවයක් ල්බා ගත්තෙමි. මේ වගේ වැඩ වලට ඇඟේ මොන ලේ දිව්වත් හිත B Positive  විය යුතුමය. 

අප ගමන ඇරඹීමට සූදානම්ව සිටින්නේ රත්නපුර මහ සමන් දේවාලය අසලිනි. එතැන තෙක් කයාක ප්‍රවාහනය කරණ අපේ ආදරණීය ලොරි පොඩ්ඩාව එතැන සිට කළුතරට ගෙන ආ යුතුය. ඒ; ගඟ දිගේ කළුතරට එන අපව ගෙදර එක්කගෙන ඒමටය.


එහෙත් රත්නපුර සිට කළුතරට ලොරි පොඩ්ඩාව ගෙන ඒමට ක්‍රම වේදයක් නොමැති විය. තෙශා මුල සිටම කීවේ ඔහුගේ යාවජීව මිතුරෙකු වුනු සුසන්ත නම් අයෙකු වෙතින් අපගේ ලොරි පොඩ්ඩාව රත්නපුර සිට කළුතරට ගෙන යාම කර ගැනීමට හැකි බවයි.

 මන්ද රෑ 9.00 ත් පාන්දර 4.30 ත් අතර පානදුරෙණ් රත්නපුරට පැමිණීමට පොදු ප්‍රවාහන සේවාවක් නොමැති බැවින්ය. ලොරි පොඩ්ඩා කළුතරට ගෙන ගිය පසු ආපසු පැමිණීමට සිදුවන්නේ ගිය ආකාරයෙන්ම වන පානදුර හරහාය.

එහෙත් මා  ලොරි පොඩ්ඩාව කිසිවෙකු අතට මොහොතකට හෝ පත් කිරීමට හිතේ කිසිදු මනාපයක් නොවීය. එම අකමැත්ත, අමනාපයට හේතුව හුදෙක් ලොරි පොඩ්ඩාට ඇති දැඩි ආදරය ලෙංගතුකම නිසා නොවන්නට තෙශාගේ මිතුරාගේ රියැදුරු භාවයේ අඩු පාඩුවක් හෝ විශ්වසණීයත්වයේ ගැටළුවක් කරණ කොට ගෙන නොවේ.

මා සිතා සිටියේ රත්නපුරයට කයාක ප්‍රවාහණයෙන් පසු මා කළුතර මාගේ මිතුරෙකුගේ නිවසට ලොරි පොඩ්ඩා ඇරළවා නැවත රත්නපුරට පැමිණීමටය. නමුත් රත්නපුර සිට කළුතරට ගෙඩි පිටින් කිලෝමීටර 70 ක් පමණ වේ යැයි සිතන විට එය කල නොහැක්කක් බවත් කලත් එය දැඩි වෙහෙස කාරී හා කාලය නාස්ති වන කට යුත්තක් බව මා හටම පසක් විය. 
පසුව තෙශාන්ත හා මා අතර; අපහසු තාවයෙන් වුව  එකඟ තාවයකට එළඹුනේ ලොරි පොඩ්ඩා සුසන්ත වෙතින් කළුතරට ඇරළවීම පමනක් වුවත් අවසාන හෝරාව වන විට එය තරමක් වෙනස් විය.
ඒ මෙසේය:මමත් පසිඳුත් රාත්‍රී එනම් 15 වන දින9.00 පමන; අවසාන සැකසීම් වල යෙදෙන විට අහස දෙදරවා, මහ පොළොව කළම්භවා, වා තලය දෙබෑ කරමින් මතුවූයේ තෙශාන්ත මුල්කිරිගලය! එසේ නොවුනා නම් ඒ තෙශාන්ත නොවේය!

ඒ ඔහුගේ සාමාන්‍ය චර්‍යා රටාවය. ඔහු පැමිණියේ මහවැළි යන්නට පොරොන්දුව අවසාන මොහොතේ පොල්ල තැබූ  ප්‍රියන්ජන් සිල්වාගේ පජේරෝ රථයෙනි. ඒ තනිවමද නොවේ. මෙතෙක් නමින් පමනක් දැන සිටි “සුසන්ත” ද කැටිවය.
 රාත්තල් 300 ක ආදරයක් පුදන “අසන්ධිමිත්තා” තරම්ම විශාල නොවුනත්; සුසන්ත; හයෙ  නැතත් හතරේ ඩෑල් එකකි. අත්දෙක පුරා නොසිටියේ තාරා හොටක් සහිත ප්ලැටිපස් හා කුහුඹුවන් ඇහිඳ කන ආඩ්වාර්ක් පමණි! කනේ කඩුක්කමකි! කොන්ඩය ද බැඳලාද කොහෙද?

 සුසන්ත වගේ(ම) පොරක්!

නොහොටියානම් නොහිටියේ මුං දෙන්නා පමණි.! 
තාරා හොටක් ඇති ප්ලැටිපස් හා කුහුඹුවන් ඇහිඳාගෙන කන ආඩ්වාර්ක්.


ඇඟට හිරවෙන්නට ඇඳි ටීෂර්ට් එකකින් හා දණ හිස ලඟට දික් වූ කොට කලිසමකින් හේ විළිවසාගෙන පැමිණ තිබුනි. 

“සුසා මෙන්න භාන්ඩෙ . . . !?” තෙශා ලොරි පොඩ්ඩාව සුසාට දැක්වූයේ ටවුමේ මස් කඩේ මුදළාලිට හරකෙකු පෙන්වන බ්‍රෝකර් කෙණෙකු මෙනි.


මා ලොරි පොඩ්ඩා ඉස්සරහින් හිට ගත්තේ තරුණ ළමිස්සියක් ආවරණය කර ගන්නා තාත්තෙකු පරිද්දෙනි. ලොරි පොඩ්ඩා මා දෙස බලා සිටියේ මා කුමක් කරණ්නේදැයි සිතා ගත නොහැකිවය. සුසා ලොරි පොඩ්ඩාට ඉව කලේ එතරම් කැමැත්තකින් නොවේ.


ලොරි පොඩ්ඩා කයාක දෙකද පිට මත පටවා ගෙන නොසෙල්වී සිටියි. 

“මචං මූට බැරිලු මේක කළුතරට දාලා බස් එකේ කොළඹ එන්න. මූ  අපිව දාලා රත්නපුරෙන් ගෙදර ඇවිත් ඉරිදට අපිව ගන්න කළුතරට එයි. අවුලක් නෑනේ?”

“අම්මට සිරි ඒ කියන්නේ මේ සුසාද මොකාද කියන පෝරිසාදයා; ලොරි පොඩ්ඩාව රත්නපුරේ ඉඳන් කොළඹ ගෙනත් ආයෙ කොළඹ ඉඳන් කළුතරට ගෙනියන්න දෙන්න වෙනවාද?  මගෙ අම්මෝ මේකා මගෙ ලොරි පොඩ්ඩාව අපයෝජනය කරයි! මේකට මම එකඟ උනත් මගේ හදවත එකඟ කර ගන්න කොහොමත්ම බැරිවේවි!මේක හරියන වැඩක් නෙවෙයි!” මම මටම කියා ගත්තෙමි!


“අයියෙ බැරිද මේ දෙක ඔයාගෙ කැබ් එකේ දා ගන්න . . .?”

සුසා තෙශා දෙස හැරෙමින්ම විමසුවේය.

 දන් හවස් වනතුරු තෙශාන්ත සමග මා එකඟ වී සිටියේ පාන්දර යන්නට සිතා සිටියාට පැයකට කළින් එනම් පාන්දර 2.00 නිවෙසින් පිටත් වීමටය. මන්ද ලොරි පොඩ්ඩාව කළුතරට ගාල් කොට සුසන්තට ආපසු කොළඹට උදේ 7.00 වන විට පැමිනීමට ඉඩ අවකාශ සැපයීමටය. ඒත් දැන් ගහෙන් ගෙඩි එන්නැහැ තෙශා කියන්නේ වෙන අපභ්‍රංසයකි! මට ටික වෙන්න ගිනි කණ පැන ගෙන එමින්ය!

කොහොමටත් ලොරි පොඩ්ඩාව පැදවීමට මා කිසිවෙකුට වත් ඉඩ දෙන්නේ දැඩි අපහසු තාවයෙනි! 

 ” මචං මේක හැම තැනම හිටිනවා. හැමෝටම ගෙනියන්න බෑ! තාම හදන ගම්න් නේ තියෙන්නේ! මේකෙ තියෙන සර්වාංග ලෙඩ ටික දන්නේ මමනේ. මාත් මේක අටව ගෙනනෙ දුවන්නේ!” 

මා කටට ආ විස්තරේ පත්තරේ දැම්මේය. ඊට හරියටම සතියකට පෙර මමත් මධුෂානුත් කඩවතින් රාත්‍රී 9.00 ට පිටත් වී හම්බන්තොට ගොස් පසු දින උදේ වැඩට යන්නට කොළඹ ආවේ ලොරි පොඩ්ඩා සමගින් බව තෙශාට අමතක වුනු සේය!

තවත් දෙබස් කිහිපයක් ඒ මේ අතට ගමන් ගනිද්දී මා දැඩි තීරණයක් ගතිමි.

“හරි කවුරුත් එපා. මම වැඩේ කර ගන්නම්! උඹ හෙට උදේ 6.00 වෙන කොට රත්නපුරේ මහ සමන් දේවාළෙ ලඟට වරෙං තෙශා. එච්චරයි මම ගේම ගහන්නම් කොහොම හරි. පසිඳු මල්ලි දැං නිදා ගන්න වෙලාවක් නෑ. දැං පිටත් වෙමු. මම ට්‍රක් එක කළුතරට දාලා එන්නම්!


” හරි ඕ කේ මචං! අපි යං සුසා!” තෙශා ආවටත් වඩා වැඩි වේගෙකින් Mitsubishi 4D56 ඉන්ටර් කූලර් ටර්බෝ එන්ජිම යටිගිරියෙන් කෑ ගස්සවමින් ඉගිල ගියේය.  ඒක්ෂණයෙන් මා ඇනෝපිලිස් අමතූවෙමි. ඌ ද එකෙන්ම සෙට්ය. 

මමත් පසිඳුත් ඇනෝ ලාගෙ ගෙදර යද්දී ඇනෝ තම පියාට තෙලක් බෙදමින් විය.

“නෑ! නෑ!! ඒ වයිට් වෝටර් රාෆ්ටින්නේ!? මේක මේ  අපි පොඩි බෝට්ටුවක් පදිනවා එච්චරයි! නෑ නෑ අවුලක් කොහෙත්තම නෑ!” 

ඇනෝගේ හීන් හඬ මිදුලටම ඇසෙයි!
වැඩි ප්‍රශ්න කිරීම් වලට හසු නොවී අප තිදෙන ඇනෝ ගේ නිවසින් පැන ගෙන රාත්‍රී 10.30 ට පමන ගමන ඇරඹූවෙමු.

සියළු බඩු මුට්ටු ආම්පන්න ඇඳුම් ආදී එකී මෙකී නොකී සියල්ල අතුරිණ් තෝරාගත් අත්‍යාවශ්‍ය යැයි හැඟුණු දේද කයාක දෙකද පටවා ගත් අප වෑබඩින් ඇඹරළුව හරහා වැලිවේරියටද එතැනින් වතුරුගම හේනෙගම; සේකරගෙ උපන් ගම්පියස වන තුං මං හංදියද පසු කරමින් කරමින් ය.   
කිරිඳිවැලට ආසන්නයෙදී  නවතා බිමට බැස සියල්ල හදවතට ප්‍රථ්‍යක්ෂ කරගෙන රී ලෝඩ් එකක්ද දා ගනිමින්ම කිරිඳිවැලට ආවෙමු.පසු කරණ කිලෝමීටරයක් කිලෝ මීටරයක් පාසා රස කතා කියමින්ද; ලබන අගෝස්තුවේ දකුණු අප්‍රිකාවේ Kruger National Park ආයතනය වෙත; Field Guide Association of South Africa – FGASA level 1 පාඨමාලාව සඳහා යෑමට නියමිත පසිඳුගේ එම විස්තරද අසමින් අප තිදෙන ගමන් ගනිමින්ය. 


මා ඇනෝ ගෙන් ලබාගත් රී ලෝඩ් එකක් හෙවත් බුලත් කොලයක් හා පුවක් කෑල්ලක් හපමින් ලොරි පොඩ්ඩා පදවමින්ය. 

ජීවිතයේ තවත් සොඳුරු අත්දැකීමක් අභියස සිටිමින් පාසල් වයසේ තුරුණු යෞවනයන් මෙන්; අප නිදහසේ ;  ටර්බෝ චාජරයකින් සවි ගැන්වෙන එන්ජිමකින් බලගැන්වෙන ෆෝ වීල් ට්‍රක් රියක නැගී මහ රාත්‍රිය ඉරා දමන වොට් 200 ක එළියකින් ගමන් ගනිමින්ය. හෙට දින අපගේ ජීවිත අවිනිශ්චිතය.
මේ මොහොතේ සුව පහසු ඇඳ ඇතිරිල්ලක් මත සුව දායක නින්දක වෙසෙන සිටුවරයෙකුගේ ජීවිතයට අපේ ජීවිතවලට වඩා වැඩි ලංසුවක් දෙවියන් හෝ මාරයා තබාවිද? 
කොහෙත්ම නැත! එකම මිළකි ! 
අද පරිස්සමින් තම සයනයට ගිය කී දෙනෙකුගේ ජීවිත් ඉරණම එම සුව යහන මතම විසඳේවිද? 
එහෙත් අපේ ජීවිත වල අවසානය වඩා සුන්දර වනු ඇත. අප මිය ගියද ඒ ජීවිතයේ අතිශය සුන්දර මතක රොත්තක් සමගය!
 එසේම අප ගැන කතා කරණ්නට යමක් තියේවි.

මද්දුම බණ්ඩාරගේ විනා ඔහුගේ සොහොයුරාගේ නම අපට මතක නැත!

කිරිඳිවැලෙන් අවිස්සාවේල්ලට යන්නට අප තොරා ගත්තේ අමිතිරිගල හරහා වැටුනු මාර්ගයය.

තනි කෙලින් හා යාන්තමින් වංගු වැටුනු පුළුල් පාරේ අප තරමක වැඩි වේගයක් රඳවා ගනිමින් ගමන් කළෙමු.
 32 X 11.50 X 15 ටයර මගින් ඉපැදුනු හඬ ගමනට  එක් කලේ තීව්‍ර ජවයකි. 
එය එන්ජිමේ හඬ අභිබවා අවට වා තලය සිසාරා පැතිර ගියේය. Nissan TD 27 ටර්බෝ චාජරයෙන් බල ගැන්වෙන එන්ජිම එකම හඬක් නගමින් ය.

 එය කනට මිහිරි හඬකි. වේග පහේ ගියර පෙට්ටිය; එන්ජිම මහන්සි නොකලේය!

 තරුණ එන්ජිම  හා අළුතින් එක්කල වේග පහේ ගියර පෙට්ටිය;  වයසක ලොරි පොඩ්ඩාට නව ජීවයක් ලබා දෙමින් ය. අප තිදෙන ග්‍රාම්‍ය නොසරුප් වදනින් අලංකාරවූ කතා කියමින් උස් හඬින් හිනා වෙමින් යමින් වන්නෙමු. 

ඔව් එය  සුන්දර ගමනක්! අතිශය සුන්දර ගමනක් . . . . . . . !


අමිතිරිගල පසු කොට ගුරුගල්ල තල්දූව හරහා අවිස්සාවේල්ලට පැමිණි අප රත්නපුර දෙසට හැරුණෙමු.  




තවත් නවමු අත් දැකීමක් සමගින් . . . . ළඟදීම . . . . !


%d bloggers like this: