Menu Close

ලංකාව කොයිබටද?


මගේ ජීවිත තුල මා සාමාන්‍ය කතා බහක යෙදී ඇත්තේ රාජ්‍ය නායකයන් දෙදෙනෙකු සමග පමණි. ඒ දෙදෙනාම පකිස්ථානුවන්ය. පර්වේස් මුෂරෙෆ් හා බෙනාසීර් භූතෝ ඒ දෙදෙනාය. පළමුවැන්න රාජ්‍ය නායකයාව සිටියදීත් දෙවැන්නා නායකත්වයෙන් පරාජයවී සිය රටෙනුත් පිටමන්වී සිටින අවධියක මට මුණ ගැසුණි.

මුෂරෙෆ් මහතා හමුවූ දෙවතාවෙහිම මම බොහෝ දේ ඉගෙනගත්තෙමි. එක් අවස්ථාවක අපගේ කතාව නොසිතූ පැනයක් වෙතට ඇදී ගියේය. මට මතක ඇති ආකාරයට ඒ මාතෘකාවට අපව ගෙන ගියේ අපගේ සාකච්චාවේ රැඳී සිටි ආතාර්-උර්-රහ්මාන් මහතාය. පැනය වුයේ ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් පාලනයක සිට හමුදා පාලනයකට රටක් ගෙන ඒම බලහත්කාරයක්ද යන්නයි.

මුෂරෙෆ් මහතා සාමාන්‍ය කතාබහේදී ඉතා ප්‍රියමනාප පුද්ගලයෙකි. ඔහු ඉතා සැහැල්ලුවෙන් ඔහුගේ පිළිතුර ඇරඹීය.

“රටක පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මුළු දේශපාලන තන්ත්‍රයම අන්ත දුෂිත වන විට ජනතාව අසරණ වෙනවා. එවිට ඔවුන්ට ඇත්තේ එකම පිලිසරණයි ඒ රටේ හමුදාවයි. මහජනතාවට වැදගත්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්ද නැත්නම් මිලිටරි ආණ්ඩුවක්ද කියන එක නෙවෙයි. වැටුණු දේශයක් ගොඩගත හැකි පාලකයෙක්. රටක දේශපාලනය දුෂණයේ අන්තයටම වැටෙන අවස්ථාවක හමුදා නායකයා නැණවත් එසේම උදාර පුද්ගලයෙක් නම් එය දෙවියන්ගේ ආශීර්වාදය ලත් දේශයක්”

ඔහු තම පැහැදිලි කිරීම නිම කලේ යම් ගාම්භීර, ආත්මාභිමානයෙන් යුත් ස්වරයකිනි.

රටවල් කිහිපයකම දේශපාලනය අත්විඳ ඇති මට ලංකාවේ දේශපාලන අනාගතය පිළිබඳව යම් ඉවක් දැනෙයි. අප මෙතෙක් කල් කතා කල system change එක පැමිණීමට වේදිකාව සකස් වී ඇතැයි මට සිතේ. එහෙත් එය අප බොහෝ දෙනෙක් සිතු පද්ධති වෙනසට වඩා හාත්පසින්ම වෙනස් එකක් වනු ඇත.

ශ්‍රී ලංකාව දෙවියන්ගේ ආශිර්වාදය ලත් දේශයක් දැයි අනාගතය විසින් තීරණය කරනු ඇත.


…………
%d bloggers like this: