Menu Close

213. සුහදිනියේ – 18 | අවදානම් සැලසුමක්

කලින් කොටසට 

මගේ සැලසුමේ ඉතිරි කොටස සඳහා පිඹුරුපත් සකසමින් සිටියදී බලාපොරොත්තුව සිටි ඇමතුම පැමිණියේය. ඒ වනවිට අප රාත්‍රී ආහාරය ගෙන නිම වුනා පමණි.

“කියන්න සුන්දර්…!”

“දැන් මම ඉන්නේ ෆිල්ම් හෝල් එක ගාව”

“හරි ඔහොම්මම ඇවිත්………. කලර් ලයිට් එක ගාවින් වමට දාලා………. හම්බවෙන පාරේ ඉස්සරහට ඇවිත්…… කොලපාට ගේට්ටුව තියෙන තැනින්….. ඇතුලට දාන්න.”

සුන්දර්ට මම පැවසුවේ මහල් නිවාසයේ පසුපස ගේට්ටුවේ සිට පැමිණෙන මම, නොපෙනන ස්ථානයයි. එය මම පෙර සිට පාවිච්චි කර ඇති බැවින් විශ්වාසයක් තැබිය හැකිය. සුන්දර් පවා නොදැනගතයුතු දේවල් ඇත.

වහ වහා මා සතු කළුපැහැති බොටම් කලිසම සහ කළුපැහැති ටී කමිසයට බැසගත් මම නිවසේ මගේ ඇඳුම් අල්මාරියේ තිබුණු කුඩා කොලිම්බියා පිහිය ඉනෙහි සඟවාගෙන , සාලයට ආවෙමි. මගේ දකුණු අතෙහි තිබුනේ සපත්තු දැමීමට භාවිතා කරන කළු පැහැති ඝනකම් අලි කකුල බෑගයයයි. එය වඩාත් සමාන වුයේ ගෝනියකටයි. එය තුල මට අවැසි දේ පරිස්සමට ඔතා තිබිණි.

මෙගේ වෙනස ඉව වැටුණු මධුලිකා නිවසේ දොරතෙක් මා සමඟ පසු ගමන් ආ බැවින් ආපසු හැරී එක වරක් ඈ දෙස බැලුවේ සමුදෙන අදහසින්ම නොවේ. අපගේ දෑස් හමුවිය. කිසිදු කතාබහක් නොවුනද මම කුමක්හෝ දෙයකට අර අදින බව ඇයට වැටහුණි යයි පෙනුනි. මධුලිකා මගේ දකුණතේ ඉහල බාහුව උණුසුම්ව අල්වා ගත්තාය.

“පරෙස්සමෙන්!”

මගේ සිතට දැනුන ශක්තිය කොතෙක්දැයි කිව නොහැකි තරමකි. සිය ප්‍රේමය දිනු තරුණියන් වෙනුවෙන් සිය ගෙල පුදන්නට මකරුන් හා සටන් වැදි කුමාරවරුන් ගැන සුරංගනා කතා අසා ඇත්තෙමි. ඒවා සුරංගනා කතාවල පමණක් තිබේ නම් මගේ මේ හැසිරීම විහිළුවකි. ශෛලමය සිත වෙඬරු වන්නට පෙර මධුලිකාගේ හිස මත අත තබා සිනහවකින් විඳගත් මම නිහඬව දොර වසාගෙන නිවසින් පිටවුයෙමි.

සුන්දර් මා එනතුරු, මගේ උපදෙස් පරිදිම සිටියේය. යම් තරමකට නුවණ යොදවා ඔහු සිය 225cc Yamaha TW ට්‍රේලර් සයිකලය නතරකර තිබුනේ වඩාත් අඳුරු මුල්ලකය.

“කෝ බෙහෙත?”

මම සුන්දර් දෙස තියුණු බැල්මක් යොමාගෙනම ඇසුයෙමි. සුන්දර් සිය ජැකට්ටුව තුලට අත දමා හැඩයෙන් සිලින්ඩරාකාර බඳුනක්  අතෙහි තැබුවේය. මම වටපිට බැලුවෙමි. ක්ෂණයෙන් ක්‍රියාත්මක වූ මම මා අත වූ මල්ලේ ඇති සිරින්ජ සහිත බෑගය ගෙන, ඉක්මනින්ම එම සිරින්ජ සහිත ඩාට් වලට ඉක්මනින් බෙහෙත පුරවා ගතිමි. අවාසනාවට එතැන තිබුනේ ඩාට් දෙකක් පමණි.

‘කමක් නැහැ… දෙකක් උනත් ඇති…’

මම අවදානම සුදානම කරගනිමින් සිත හදාගත්තෙමි. මට ඇත්තේ අවස්ථා දෙකක් පමණක් වීම තරමක අවදානමකි. සුන්දර්ට අනුව බෙහෙත ක්‍රියාත්මක වන්නට එතරම් කාලයක් ගත නොවේ. ඇත්තේ නිවැරදි ඉලක්කය ගැනීමේ අවදානම පමණි.

සියල්ල සුදානම්කර, නැවතත් මල්ල සුරැකිව පිට හරහට රැඳෙන සේ රඳවාගත් මම ඔහු අත වූ අමතර පුර්ණ මුහුණු ආවරණය සහිත හිස් ආවරණය පැළඳ සයිකලයේ පසුපස ආසනයට බර වුනෙමි.

“හරි…. මේකෙන් මුණ වහගනින්… “

ලේන්සුවෙන් සුන්දර් සිය මුහුණ යන්තමට වසාගත්තේ වැඩිදුර නොවිසමිනි.

“….මම කියන වේගෙට යන්න ඕනේ අපේ ගේ ගාවදි… ඉස්සරහ හන්දියෙන් වමට දාලා පහල පාරෙන් යමු”

ජැකට්ටු විසින් අප දෙදෙනාගේ ශරීර ප්‍රමාන වසාදමා තිබුණු අතර, මුහුණු ආවරණ අනෙකුත් හඳුනාගැනීම් අවම කර තිබිණි.

සිද්ධීන් පිළිබඳව හැදෑරු මට වැටහීගිය කාරනාව නම්, මේ ලුහුබඳින්නන් වෘතිය මට්ටමේ නොවන, යම් පමණකට මෝඩ මිනිසුන් වන බවකි. මධුලිකා පැහැරගත් කණ්ඩායමම වීමට ඉඩක් ඇත. ඔවුන් එතරම් සුක්ෂම නැති බැවින් ලොකු අනතුරක් නොවනු ඇත.

මා සතු පොයින්ට් 38 රිවෝල්වරය ඇත්තේ නිවසේය. අවශ්‍ය වුවහොත් එය ගන්නට අවස්තාවක් ලබාගතයුතුය. ඒ සියල්ලටම මම නිවසට යා යුතුය. සැමදිනම මෙලෙසින් හැන්ගිමුත්තම් කරන්නට නොහැකිය. එබැවින් මෙම තීරණය පිළිබඳව පැහැදිලි සැලසුමක් මගේ සිතේ කොටාගත්තද, වඩාත්ම වැදගත් ලෙස එය කිසිවකුත් සමඟ සම්පුර්ණයෙන් බෙදා නොගන්නට මම සැලකිලිමත් වුයෙමි. එක කොටසක් සඳහා සුන්දර්ද , අනෙක් කොටස සඳහා තාරුක අයියාද, අවසන් කොටස සඳහා සුදම්ද වෙන වෙනම පෙළගස්වාගෙන සිටියෙමි.

සුන්දර් මම කියූ පරිද්දෙන්ම මාර්ගයේ පසෙකට වන්නට බයිසිලකය ධාවනය කලේ තරමක අඩු වේගයකිනි. නිවසට මීටර් පන්සියක් පමණ තබා , අසල ලැහැබකට මුවාවූ මම අවසන් සෝදුපත් බැලීම සඳහා තාරුක අයියා ඇමතුවෙමි. දුරකථනය නාදවේ. තුන්වරක් ඇමතුවද ප්‍රතිචාරයක් ලැබුනේ නැත. මම තරමක් නොසන්සුන් වුයෙමි. ඒ එක්කම සුදම්ගෙන් ඇමතුමක් ලැබුණි.

“මචං කොහෙද..?”

“තව ටිකක් හිටපන්… මම කියනකල් හිටපන්… සික්කා කෝ?”

“පිටිපස්සේ ගේට්ටුවේ..”

“හරි”

ඇමතුම විසන්ධි කල මම නැවතත් තාරුක අයියා ඇමතුවේ නොඉවසිල්ලෙනි. එවර පිළිතුරු ලැබුණි.

“සොරි මචන්… මට නින්ද ගියානේ!”

“හරි.. අවුලක් නැහැ.. අපි දැන් ළඟ ඉන්නේ… කීදෙනෙක් පේනවද දැන්?”

“දෙන්නෙක් ඉන්නවා…”

මම විපිළිසර වීමි. ඉලක්ක දෙකකි. මා සතුව ඇත්තේද අවස්ථා දෙකකි. වෙනත් විකප්ලයක් නැත.

“හරි…. අපි දැන් එනවා… ඇහැ ගහගෙන ඉන්න”

එලෙස කියා මම මෙතෙක් මල්ලෙහි සුරැකිව රැගෙන ආ සතුන් නිර්වින්දනයට යොදාගන්නා තුවක්කුව ගෙන ; එයට සුන්දර් විසින් ලබාදුන් නිර්වින්දනය කරන බෙහෙත් පිරවූ ඩාට් දෙකෙන් එකක් ඇතුල්කොට හොඳින් සකසා ගත්තෙමි.

එම තුවක්කුව ඊට පෙරදින සුන්දර් සමඟ තේ වත්තෙහි සැරිසරන විටදී ඔහු අතින් සඳහන් වූ ඉත්තෑවන් මර්ධනය ගැන පැවසීමේදී මට ආ කපටි නුවණේ ප්‍රථිපලයකි. එය වනජීවී දෙපාර්තමේන්තුවේ වැඩකරනා මගේ මාමාගෙන් ; ඔහුගේ අනුදැනුම ඇතිවම සොරකම්කරන ලද්දකි. ඔහුගේ කාර්යාලයට ගිය දිනයකදී සෑහෙන වෙලාවක් කන්කෙඳිරි ගෑමෙන් අනතුරුව ලබාගත්තද නැවත ලබාදෙන්නට උනන්දුවක් මට නොතිබි එය එලෙසම මහල් නිවාසයේ අමතකව ගොස් තිබිණි. ඒ දිනවල මමත් විරංගත් විනෝදයට එයින් අසල ඇති ගසකට නිතර පැමිණෙන දඬු ලේනෙකු ඉලක්ක කරමින් සෑහෙන සතුටක් වින්දෙමු.

සුන්දර් විසින් ඉත්තෑවන් විදීම ගැන පවසද්දී මට ක්ෂණිකව මෙම අදහස පහල වුයේ නිතැතිනි.

මට අවැසි වුයේ මේ ලුහුබඳින්නන් ජීවග්‍රහයෙන් අල්වාගෙන මේ හැංගිමුත්තම් සෙල්ලම එළිපිට කරනා චෙස් තරඟයක් බවට පත්කිරීමටයි. අද ඔවුන් මගේ දොරකඩටම පැමිණ ඇත. ඔවුන්ගෙන් ලබාගන්නා තොරතුරු වැදගත්වන්නේ වාසුලගේ දුර්වලතාවය සොයාගැනීමටයි.

බයිසිකල් ස්ටන්ට් කිරීම සහ බයිසිකල් වලින් නොයෙකුත් විකාර සෙල්ලම් කිරීමට මට වඩා දක්ෂ වුයේ විරංගය. නමුත් සයිකලයේ පිටුපස පැත්තට හැරී ‘කමාන්ඩෝ’ ගමනට නම් ඔහුට වඩා මම ඇලුම් කලෙමි.

සුන්දර්ගේ සයිකලයේ පසුපස  ආසනයේ; ඔහුගේ පිටට පිට තබමින් පසුපසට හිඳගත් මම ගමන ආරම්භයට සන් කලේ අතෙහි වූ තුවක්කුව තදින් ග්‍රහණය කරගනිමිනි. බයිසිකලය ත්‍රීවිලර් රථය පෙනෙන මානයට එද්දී මම පහලට කරගෙන සිටි තුවක්කුව වහා ඔසවා මගේ දකුණු උරහිසට වාරු කරගතිමි.

මද එළියේ ත්‍රිරෝද රථය ආසන්නයේ අපට පිටුපා සිටගෙන සිටියේ මගේ පලවෙනි ඉලක්කයයි.

‘ටුඔක් !’

“ඌ…………!”

“මොකද්ද උනේ?”

ත්‍රිරෝද රථයෙන් එලියට ආ හිසකි.

ඒ මගේ දෙවැනි ඉලක්කයයි! මම ඔහුගේ උර ප්‍රදේශය ඉලක්කයට ගතිමි.

‘ටුඔක්!!’

“අඩෝ…. මොකද .බන්. ඌ… වෙඩි තිබ්බද? කොහෙන්ද?”

‘දඩොස්’

මුල්ම ඉලක්කය බිමට පතිත විය.

“හරවපන්..”

මගේ ඇමතුමෙන්  කලබලවූ සුන්දර්ට බයිසිකලය පාලනය කරගත නොහැකිව ගියෙන් අසමතුලිත වූ දෙදෙනාම බයිසිකලය සමඟම පාරේ බිමට පතිත විය. දකුණු පැත්තට බිම රෝල්වී ගිය මම තුවක්කුව නොගිලිහි තබාගන්නට සමත් වීමි.

මා පසුකොටගෙන ඇදීගිය බයිසිකලය සුන්දර් ඉන් මදක් ඔබ්බෙහි බිම පතිත කරවිය. දෙදෙනාගේම මුහුණු ආවරණ කරමින් තිබුණු හෙල්මට් නිසාත්, පෙරලිමේදී ඇතිවූ  නිසාත් හානිය සුළු වන්නට ඇත. දණහිස බිම ඇනීමෙන් මගේ ඇස්දෙක නිලංකාර වනවා යන්තමට දැනුනි.

“.සර්. සර්.. සර්…. අනේ මොකද උනේ සර්…. සමාවෙන්න සර්…. තුවාලද?”

අඳුරේ සුන්දර් කෑගසන්නට විය.

“ෂ්.. අවුලක් නැහැ මම ඉන්නවා… අවුලක් නැහැ..  ඉක්මන් කරලා බයිසිකලේ කෙලින්කර ගන්නවා “

අත වූ තුවක්කුව තදින් අල්වාගෙන ; මම මහපාරට අත ගසා නැගිටින්නට උත්සහ කරමින් පැවසුවෙමි.

ඒ සමඟම ත්‍රිරෝද රථය තුලින් හෝ වෙනත් කොහෙන් හෝ එලියට ආ අයෙක් පාර දිගේ දුවනවා මම යන්තමට මෙන් දුටුවෙමි. සැර දමමින් ආ තරුකගේ කාර් රථය ඒ දෙසට යනු පෙනුනෙන් මම දනී පැණි ගා නැගිට කොර ගසමින් ත්‍රිරෝද රථය ඇති දෙසට එද්දී ‘දඩස්’ හඬින් දෙවැනි ඉලක්කයද බිමට පතිතවනු ඇසුනි.

සැලසුම අසාර්ථක නොමැති වුවත් අමුතු ප්‍රශ්නයකි. මේ තෙවැන්නා කවුරුන්ද?

මම තදින් කලබල වුයෙමි. අප දෙදෙනා බිමට පතිතවිමත්, සැලසුමේ හැටියට තාරුකගේ මෝටර් රථය නොමැති වීමත් මම සෑහෙන කලබලයට පත්කළ අතර ; අඳුරේම සුන්දර් කොර ගසමින් නැගිට මා දෙසට එනු පෙනුණු නිසා අධෛර්ය නොවී ඉතිරිය කෙසේ හෝ කරගැනීමට මම ඉටා ගතිමි.

ත්‍රිරෝද රථය ආසන්නයේ ඒ තුලම මධ්‍යම ප්‍රමාණයේ එක් අයෙකුත්, දිව යන්නට කරනා උත්සාහයේදී විය හැකි ලෙස කෙසඟ තවත් අයෙකුත් ලෙස මිනිසුන් දෙදෙනෙකු බිම වැටි උන්හ. ඔවුන් සිහිමද ගතියෙන් පසුවනවා මිස සම්පුර්ණයෙන් සිහි විසක්ඤාව ගොස නැති බව වැටහුන නමුදු දෙදෙනාගේ වහාම නාඩි පරික්ෂා කර බැලුවෙමි.

“අල්ලපන් මේ මනුස්සයව… අපිව ගන්න හිටපු වාහනේ ගියා… අපි මුන්ව ගෙනියන්න ඕනේ”

සුන්දර් කලබලවී ඇති බවක් පෙනුනද කිසිවකට ‘බැහැ’ කියා පැවසුවේ නැත. අප දෙදෙනාම විසින් සිහිසුන් දෙදෙනා පසුපසට පටවාගෙන, ත්‍රිරෝද රථය සෙමෙන් තල්ලු කරගෙන අපගේ නිවාස වටා බැඳි තාප්පය ඔස්සේ පසුපස ගේට්ටුව දෙසට රැගෙන ගියෙමු. ඒ අතරේ මම සුදම් ඇමතුවෙමි.

සැලසුම්කර තිබුණු පරිදිම ඉදිරි ගේට්ටුවට යැවු අපගේ ආරක්ෂයා විසින් අනාරක්ෂිත කල පසුපස කොටසින්, අපට යාබද ඉඩමේ ඇති තාත්තාගේ පරණ ගොඩනැගිල්ල තුලට මේ මිනිසුන් දෙදෙනා රැගෙන යාමට සුදම් උපකාර කල අතර මම තාරුක අයියා ඇමතුවෙමි.

“මම මේ එනවා”

දුරකතනයට පිළිතුරු ලෙස එලෙස කියා, තාරුක අයියා ඇමතුම විසන්ධි කලෙන් ඔහු අනතුරක් නොමැතිව සිටින බව සිතා ; ඒ මොහොතට අනුව සැලසුම ක්‍රියාත්මක කරන්නට මම ඉටා ගතිමි.

“මු තමයි…… ගෙරි බල්ලා!”

සුදම් එක මිනිසෙක් හඳුනාගෙන බිම වැටී උන් ඔහුගේ ඇලපතට පයින් පහරක් එල්ල කළේය.

“.. මූ තමයි එදා කාර් එක කුඩු කලේ…. “

සුන්දර් මගේ දෙසත් සුදම් දෙසත් වරින් වර බැලුවේ යමක් උකහාගන්නා උවමනාවෙනි. ඔහුගේ බිය දෙනෙත් වලින් පෙනේ.

“මුන් දෙන්නා අර තියෙන කණුවේ ගැටගහමු. ඉක්මනට.. මුන්ට සිහිය එන්න කලින්.. සුදම්.. කෝ උඹට ගේන්න කිව්ව ලණු ?”

සුන්දර් සහ සුදම්ගේ සහය ඇතුව මම ඉක්මනින් මිනිසුන් දෙදෙනා ගොඩනැගිල්ල මධ්‍යයේ තිබුණු සෘජුකෝනාශ්‍රාකාර කණු දෙකක, එකිනෙකට මුහුණලා නොසිටිනසේ ගැටගසන අතරතුර ඇමතුමක් ආවේය.

“කොහෙද උඹ ඉන්නේ?”

“කොහෙද උඹ ඉන්නේ?”

තාරුක අයියාගෙන් ඔහුගේම ප්‍රශ්නය පෙරලා ඇසුවේ සැලසුමේ හැටියට ඔහු මේ වනවිට සිටිය යුත්තේ අපගේ නිවසතුල බැවිනි.

“මම ඉන්නේ උඹේ ගේ ළඟ… වංගුවේ”

“මොකද උනේ? කොහෙද ගියේ? කවුද අර දිව්වේ? උඹ අල්ලගත්තද?”

අතොරක් නොමැතිව මට පැනයන් තිබිණි. සැලසුමේ හැටියට තාරුක අයියා මොවුන් දෙදෙනා මෙහි මට බාර දී සාමාන්‍ය ලෙස අපේ නිවසට යා යුතුය. සුදම් සහ මම ඔවුන් බැඳ දමා පසුව පැමිණීමට නියමිතව තිබිණි. තාරුක පැමිණීමෙන් නිවසේ කිසිවකුත් අවට ගැන සැලකිලිමත් නොවීම මට අවැසි වී තිබිණි. එබැවින් මෙහි රැඳීම එතරම් නුවනට හුරු නොවේ.

ඒ කුමක් වුවත් තාරුක අයියා සොයාගත් යමක්වේද?

“උඹ තනියෙන් වරෙන් එළියට… මම කාර් එකේ ඉන්නේ…. මගෙත් එක්ක ඉන්නවා දුවපු එකා”

මම කලබලයෙන් ඇමතුම විසන්ධි කලමි. එසේ නම් ඔහු අල්වාගෙන!

“සුන්දර් දැන් යන්න.. මේ කිසි දෙයක් ඩඩාට කියන්න එපා! මම විස්තරේ කියන්නම්… බයවෙන්න එපා… මිනීමැරුමක් නෙවෙයි… තේරුනාද?”

සුන්දර් පිටවගිය පසු පසුව හමුවන වෙලාවක් කතිකා කරගත් මම සුදම්ව පිටත්කොට හැරියෙමි. ආලෝකය මද වූ බැවින් තව එක වරක් අප අල්වාගත් මිනිසුන් දෙදෙනා වෙතට දුරකතනයේ විදුලිපන්දම අල්වා බැලුයෙමි. මගේ අනුමානය නිවැරදිය. මුන් දෙදෙනාම මධුලිකා පැහැරගත් කණ්ඩායමේ සාමාජිකයින්ය. වඩා කෙසඟ පුද්ගලයා සුදම් විසින් මේ වනවිටත් ඔහුට ප්‍රහාර එල්ලකළ බව හඳුනාගෙන තිබේ.

වරපට තවත් වරක් සවිමත්ව ඇතිදැයි පරීක්ෂාකළ මම මුහුණු ආවරණයට ගත් කළුපාට රෙදි කැබැල්ල දෙකට ඉරා ඔවුන්ගේ ඇස් බැඳ දැමුයේ වැඩි ආරක්ෂාවටයි. ඝන අන්ධකාරය මධ්‍යයේ මිනිසුන් දෙදෙනා අතරමන් කොට ; ගොඩනැගිල්ලේ දොර වසා දමා; පිටතින් යකඩ දොර අගුලු ලා; මාර්ගයට පිවිසුනෙමි. අත වූ තුවක්කුව කැබලි දෙකකට කඩා ජැකට්ටුව තුල සඟවා ගත්තේ වැඩි ආරක්ෂාව සඳහාය.

විදි ලාම්පු වල කණාමැදිරි එලි ආලෝකයෙන් යාන්තම් මාර්ගය නිශ්චය කරගත් මම ඉක්මන් ගමනෙන් අප නිවසේ ඉදිරිපස තාප්පය දෙසට හැරී ගමන් කරද්දී, ඈත සිට තාරුක අයියාගේ මෝටර් රථයේ විදුලි එළිය දක්වා ඔහු කල සංඥාව දුටු මම ඒ දෙසට ඇවිද ගියෙමි.

තාරුක අයියා කියූ පරිදි අයෙක් අල්වා ගත්තා නම් ඔහු හෝ ඇය සිටිය යුත්තේ පසුපස ආසනයේ බැවින් ඉනෙහි සඟවාගෙන උන් කුඩා පිහිය අතට ගත් මම එකවරම පසුපස දොර හැරියෙමි.

මගේ ඇස්දෙක අදහා ගැනීමට නොහැකි විය. එහි අතපය ගැටගසා ;  මුවෙහි ඇලවූ ඇලුමිනියම් පැහැති ප්ලස්ටරයකින් යුතුව සිටියේ වෙන කිසිවෙකුත් නොවේ!

“චාපා ඔයා???????????”

********** මතු සම්බන්ධයි **********
%d bloggers like this: