Menu Close

එදා සිංහල කඩු සහ මෙදා “සහජීවන” කඩු

නූතන දොන් ජුවන් ධර්මපාල නැවත වරක් “පැරකුම් යුගයක්” ගැන මෑතකදි කටමැත දොඩවා තිබුණි. පැරකුම් රජුද වැට් (Tax හෙවත් බදු නොවේ VAT හෙවත් එකතු කල අගය මත බද්දක් [Value Added Tax] ) ගැසූ බව එමගින් ඔහු කියා තිබේ. මීට පෙර අවස්ථා කිහිපයකදීම මේ මහා “ඉතිහාස අඥානයාගේ” ප්‍රකාශ පිළිබඳව අප කතා කර ඇති මුත් මෙම ප්‍රකාශය එතරම්වත් කතා කරන්නට යමක් නොවන බැවින් එයට වඩා කාලීන මාතෘකාවක් පිළිබඳව ඓතිහාසික කරුණු කිහිපයක් සඳහන් කිරීම මෙම ලිපියේ අරමුණයි. ඒ සැබවින්ම “පැරකුම් යුගයක්” නැවත “යහපාලන ලාභී සසිරි බර මේ සිරිලක” තුල උදාවී ඇති බැවිනි. මහ පරාක්‍රමබාහු රජු විදේශ රටවල් කිහිපයකද යුද වැදුණු බව වංශ කතාව පවසයි. ඒ සඳහා එකල ඔහුගේ හමුදාවන් භාවිතා කල ප්‍රමාණයටත් වඩා කඩු ප්‍රමාණයක් මේ වන විට මෙරට දස දෙසින් හමු වෙමින් පවතී. නැවතත් “පැරකුම් යුගයක්” උදාවී ඇත්තේ එම යුගයට සරිලන මට්ටමේ නැතහොත් එයටත් වඩා කඩු දැන් මෙරටින් හමු වෙමින් පවතින බැවිනි.

 මේ ලිපිය ලියවෙන අවස්ථාව වන විට නම් එම සොයාගන්න කඩු මාධ්‍ය මගින් පෙන්වීමද වාරණය කර තිබේ. ඒ “සංහිදීයාව” වෙනුවෙන් විය යුතුය. මල් පහන් රැගෙන පන්සල් යන බෞද්ධයා සිය පන්සල් තුලද, පසුගිය 21 දින දක්වා සිය පල්ලි තුල නිදහසේ සිය ආගම ඇදහු කතෝලිකයාද, හින්දු ආගම අදහන දෙමළ බැතිමතුන්ද සිය ආගමික ස්ථාන තුලද අවි ආයුධ තබා ගෙන ඒවා වන්දනාමාන කරන බවක් නම් අප අසා නැත. ඇතැම් දේවාල තුල දෙවියන්ගේ ආයුධ බව පැවසෙන කඩු ඇති මුත් ඒ එකක් හෝ දෙක තුනක් පමණි. එවන් තත්වයක් යටතේ කිසියම් වෙනත් ආගමික ස්ථාන තුල මෙතරම් විශාල කඩු ගබඩා කර තබා ගත්තේ තණකොල කැපීමට බව කියන ගජබින්නය පිළිගැනීමට නම් අප පළමුව කොන්ඩය බැඳ චයිනිස් කතා කල යුතුය. කිසියම් ශරීර අවයවයක කරන සියුම් ආගමික කටයුත්තක් උදෙසා ඒවා තිබූ බව “මිරිස් කරල්” වගේ නමක් සහිත පුද්ගලයකු කිවූ බවක්ද ඇසීමු. කඩුවකින් එම කටයුත්ත කලේ නම් එම අවයවය රහිත පුද්ගලයන් පමණක් එම ආගමික කොට්ඨාසය තුල ඉතිරි විය යුතු මුත් ඔවුන්ගේ ජනගහණ වර්ධන වේගය එය එසේ නොවන බව අපට පසක් කරයි.

අලුත්ම කෙප්පය කඩු ඇත්තේ සියල්ල වසාගෙන ඇස් දෙකත් වසන් යන කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා බවය. ශරීරයේ කිසිදු තැනක් නොපෙනෙන “ගෝනියකට” අතවර කිරීමට තරම් මානසික ලෙඩුන් මෙරට අනිත් ආගම් අදහන පුද්ගලයන් අතර නම් සිටිය නොහැක. කතාව පැහැදිලිය. මේ කඩු යම් අවස්ථාවක භාවිතා වන්නට තිබුනේ අහිංසක මිනිසුන්ගේ රුධිරයෙන් මෙම බිම තෙත් කිරීම උදෙසාය. ඒ සඳහා මුල් පියවර අහිංසක කතෝලික බැතිමතුන් සිය ගණනක් සහ විදේශික සංචාරකයන් පිරිසගේ ජීවිත මගින් මේ සූකර රැල පසුගිය දා තබන ලදී.

අනුරාධපුර යුගයට අයත් ගල් කැටයම් වල නිරූපිත කඩු සහිත රූප. වම්පස > ජේතවනාරාම වාහල්කඩක්, දකුණු පස > ඉසුරුමුණිය 

ඒ අද කඩු ගැන කතාවය. මේ එදා සිංහල කඩු ගැන කතාවෙන් බිඳකි…

මහාවංශයේ විජය පුරාවෘත්තය පිළිබඳව වූ විස්තරයේදී ඔහුට පොකුණක් අසලදී කුවේණිය නම් වූ යකින්න හමුවන විට විජය පංචායුධයෙන් සන්නද්ධව සිටි බව පැවසේ. “පංච ආයුධ” අතර කඩුවද ඇති අතර එහිම පසුව සඳහන් වන්නේ විජය වමතින් යකින්නියගේ කෙස්වැටිය ගෙන දකුණතින් කඩුව ඔසවා ‘දැන්ම මාගේ පිරිස දෙව නැතහොත් තී මරමි’ යි ඇයට තර්ජනය කල බවය. ධර්මාශෝක රජු විසින් දේවානම්පියතිස්ස රජු වෙත එවූ රාජ කකුධ භාණ්ඩ අතර කඩුවක් ද විය. දුටුගැමුණු රජු පිළිබඳව වූ දීර්ඝ මහාවංශ විස්තරයේදීද කිහිප තැනකදීම කඩු පිළිබඳව සඳහන් වේ. ඒ අතරින් භල්ලුක සමග වූ සටනේදී දුටුගැමුණු රජු කඩු පතින් සිය මුඛය වසාගෙන භල්ලුකයාට අවමන් වචන කී බවත් එවිට භල්ලුක “ක්ෂත්‍රියාගේ මුඛයට විදිමි” යි මහා හඬින් කෑගසමින් හීයක් විදි බවත්, එය කඩු පතෙහි වැටී බිම වැටුණ බවත් විස්තර වේ.

හඟුරන්කෙතින් හමු වූ කඩු  සහ පලිහ රැගත් සොල්දාදුවන් දෙදෙනෙකුගේ ද්වන්ද සටනක් නිරූපනය වන ගල් කැටයමක් – කොළඹ කෞතුකාගාරය

මහා පරාක්‍රමබාහු රජු මානාභරණ රජු සමග යුද වැදි අවස්ථාවක ඛදරවල්ලි නම් ගමේදී පරාක්‍රමබාහුගේ සේනාව දරුණු පසු බෑමකට ලක්වූ අවස්ථාවකදී රජු සතුරන් සමග යුද වැදීම සඳහා “මට සිංහළ කඩුවක් දෙන්නැ” යි සිය අත් ආයුධ භාරකරුට කී බවත්, ඔහු විසින් නොදැනුවත්කමින් දඹදිව කඩුවක් ගෙන ආ කල, “සිංහල ද්වීපයෙහි ආයුධයක් මා අතට දෙන්නට සමතෙක් නැතැ” යි අසල සිටි කේසධාතුනායක රක්ඛ සහ නාථනගර නමැත්තාගේද මුහුණු බැලූ බවත් මහාවංශයේ සඳහන් වේ. මේ සඳහන විවිධ ආකාරයෙන් අර්ථ කථනය කල හැකි මුත් සිංහළ  කඩු දඹදිව කඩු වලට වඩා භයානක (Terrible) ආයුධයක් හෙයින් රජු සිංහළ කඩුවක් ඉල්ලුවා වන්නට ඇතැයි ඇන්ටන් මුත්තුකුමාරු මහතා මෙරට යුද ඉතිහාසය සම්බන්ධව වූ සිය ග්‍රන්ථයේ සඳහන් කරයි. නමුත් එම අවස්ථාවේ සිංහළ කඩුවක් රජුගේ ආයුධ සපයන්නන් ලඟ නොමැති වූවේ මන්ද යන පැනය මෙහිදී පැන නගී. කෙසේ නමුත් සිංහළ කඩුවක් නොමැති හෙයින් රජු සටනට නොගිය බවත් ඉහත කී අනෙක් සෙන්පති දෙදෙන රජුගේ ඉඟිය වටහාගෙන සතුරන් සමග යුද වැදුණු බවත් මහාවංශ විස්තරය කියවීමේදී පෙනේ.

වම් පස > බ්‍රිතාන්‍යයේ Victoria and Albert කෞතුකාගාරයේ ප්‍රදර්ශනය වන කෝට්ටේ යුගයට අයත් මෙරටින් ගෙන ගිය කඩුවක ඇත් දලින් කල මිටක්. දකුණු පස > බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරන මෙරටින් ගෙන ගිය මහනුවර යුගයට අයත් කස්තාන කඩු සහ පිහි

ජාතක අටුවා ගැටපදයේ සඳහන් වන ලෙසට එකතොධාර සහ උභතොධාරා ලෙසින් වූ කඩු වර්ග දෙකක් තිබී ඇත. එහිම විස්තර වන ලෙසට එකතොධාරා අසි යනු එක් දිසායෙකින් මුවහත් ඇති කඩු (Single edged sword) වන අතර උභතොධාරා අසි යනු දෙදිසායෙන් මුවහත් ඇති කඩු වේ (Double edged sword). 14 වන සියවසට අයත් කෘතියක් වන දඹදෙණි අස්නෙහි මෙරට භාවිතා වූ කඩු වර්ග 26 ක නම් සඳහන් කර ඇත. එනම් 1) රන් කඩු 2 )රිදී කඩු, 3) මිණි කඩු 4)සත් රුවන් කඩු 5)ඇරා කඩු 6) ගුජර කඩු 7) පාඬි කඩු 8)වංග කඩු 9) චීන කඩු 10) මලය කඩු 11) මදුර කඩු 12) තෙලිඟු කඩු 13) ජාව කඩු 14) වංග කඩු 15) අයොධ්‍ය කඩු 16) දෑත් කඩු 17) මූන කඩු 18) දාර කඩු 19) සිරිවාල් කඩු 20) දිළෙන කඩු 21) ලෙළෙන කඩු 22) විසී කඩු 23) ධවල කඩු 24) වක් කඩු 25) දික් කඩු 26) ලුහුඩු කඩු වේ.

කොළඹ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති විවිධ කඩු වර්ග. දකුණු පස කෙලවරේ සිංහලේ අවසන් රජු වු ශ්‍රි වික්‍රම රාජසිංහ රජුට අයත් කස්තාන කඩුව දැක්වේ.

මේ අතරින් මුල් කඩු වර්ග 4 රජවරු වන් ප්‍රභූ පැලැන්තිය අලංකාරය පිණිස නැතහොත් ඔවුන්ගේ උසස් බව පෙන්වීමට යොදාගත් Ceremonial කඩු වර්ග බව පෙනේ. ඉන් පසු 5 සිට 16 දක්වා නම් සඳහන් කඩු විදෙස් දේශයන්ගේ නම් සඳහන් එම රට වල භාවිතා වන හෝ එම රටවලින් මෙරටට හඳුන්වාදුන් කඩු වර්ග ලෙසට හඳුනාගත හැක. විදෙස් කුලී හේවායන්ද මෙරට රජවරුන්ගේ සේනා වල සටන් කල හෙයින් ඔවුන් සමග එම ඇතැම් කඩු වර්ග මෙරටට පැමිණියා විය හැක. දැත්/දෑත් කඩු යනු කියතක ආකාරයෙන් දැති සහිත කඩු හෝ දෙපසම මුවහත් කඩුද, දාර කඩු යනු තියුණු මුවහතක් ඇති කඩුද විය හැකි බව M.B. ආරියපාල මහතා අනුමාණ කරයි.  මූන කඩු යනු එහි තලය උල් වූ අගිස්සක් සහිත කඩු විය හැක (Swords with blades ending in an acute point). විසී කඩු යනු දමා ගසන කඩු ලෙසත් (Throwing swords), දික් කඩු දික් වූ තලයක් සහිත කඩු ලෙසත්, ලුහුඩු කඩු කොට තලයක් ඇති කඩු ලෙසත් වක් කඩු යනු වක් වූ තලයක් සහිත කඩු ලෙසත් හඳුනාගත හැක. (de Silva P.H.D.H. & Wickramasinghe S., 2006 )

මූලාශ්‍ර

  • de Silva P.H.D.H. & Wickramasinghe S., 2006,  Ancient Swords, Daggers & Knives in Sri Lankan Museums, 
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • දඹදෙනි, කුවේණි, සිහබා අස්නත්‍රය, මා. මෛත්‍රිපාල1997
  • ජාතක අටුවා ගැටපදය, ඩී. බී. ජයතිලක සංස්කරණය, 2003
  • The Military History of Ceylon – an outline, Antom Muttukumaru, 1987
  • A Catalogue of Antiquities and other Cultural Objects from Sri Lanka (Ceylon) Abroad, de Silva P.H.D.H., 1975
%d bloggers like this: