Menu Close

එදා … මෙදා… වෙසක් කූඩු සෑදීම ……….

    සුගිය දිනවල රටෙහි සිදුවූ අභාග්‍ය සම්පන්න සිද්ධි නිසා, මෙවර වෙසක් සැමරීම  අඩුවේයැයි බොහෝ අය සිතති. ආමිෂ පූජා වල මෙන්ම ප්‍රතිපත්ති පූජා වලත් නියැලීම අවශ්‍ය බව, බුදු දහමේ ඉගැන්වීමයි. වෙසක් දිනවල සැරසිලි කිරීම,  පහන් කූඩු දැල්වීම, වෙසක් තොරන් ඉදිකිරිම වැනි දෑ ආමිෂ පූජා ලෙස සැලකෙන අතර ශීල, භාවනා, දාන මානාදී සත්ක්‍රියා, ප්‍රතිපත්ති පූජාවන් වේ.

සමාජයේ බොහෝ දේවල් වානිජකරණය වෙමින් පවතින මේ කාලයේ, වෙසක් සැමරීමට අදාළ සමහර භාණ්ඩ සහ සේවාද, ඉල්ලුම සහ සැපයුම නමින් හැඳින්වෙන  විෂම ජාලයට අවතීර්ණ වෙමින් පවතී.

වානිජකරණයේ උදාහරණයක් වශයෙන් වෙසක් පහන් කූඩු ගෙන බලමු. අද විවිධ ආකාරයේ වෙසක් කූඩු, වෙළඳ පළේ මිලදී ගැනීම සඳහා තබා තිබේ. නිෂ්පාදකයෝ මේවා මහා පරිමාණයෙන් නිපදවන අතර, වෙළෙන්දෝ කල්තියාම තොග ලබා ගනිති. බට ගස් සොයා ගොස්, බට දඬු කපා,  බට පතුරු සකස්කර, වෙසක් කූඩුවක් තනා,  සව් කඩදාසි අලවා මහන්සි වනවාට වඩා, සියල්ල නිමකළ වෙසක් කූඩුවක් වෙළඳ පළෙන් මිලයට ගැනීම පහසු බව අද පාරිභෝගිකයාද තීරණය කර තිබේ. 
      
පසුගිය වසරේ වෙසක් සමයේ, කෘතීම වෙසක් කූඩුවක් ගැන පාඨකයෙකු මාධ්‍යයක පළකර තිබූ පුවතක් මෙසේය.

‘නගරයේ කඩයකට ගොස් වෙසක් කූඩු ‘පැකට්’ හතරක්  මිලයට ගත්තෙමි.’ ‘එකම වෙනස වූයේ මේවා ෆ්ලැට් පැක් හෙවත් පැතළියට අසුරා තිබුණු කුඩා පැකට්ටුවක බහා තිබීමයි. ඒවා සාදා තිබුණේ බ්‍රිස්ටල් බෝඩ් වැනි තරමක් ඝන කඩදාසි වලිනි.’
‘අද මම ඒ අටපට්ටම් වෙසක් කූඩු හතරෙන් එකක් එකලස් කළෙමි.
පැතළියට අසුරා තිබුණු කුඩා පැකට්ටුවේ, හතරැස් කැබලි හයක් සහ තුන් හුලස් කැබලි අටක් විය. රැළි සඳහා සව් කඩදාසි හතරක් ද තිබුණි. කූඩුව එකලස් කිරීම සඳහා පැය භාගයක්වත් ගත නොවීය.’
‘විචිත්‍ර ආකාරයට කැටයම් කපා තිබුණු කූඩුවේ, කොටස්වල නැමිය යුතු තැන්ද සලකුණු කර තිබිණ. ගැලපෙන පරිදි නැමුම් එකට තබා ස්ටේපල් කටු ගැසූ විට රුපයේ දක්වා ඇති ආකාරයේ අටපට්ටම් කූඩුවක් ලැබුණි.’
වානිජකරණයට භාජන වී ඇති මෙම වෙසක් කූඩුව දෙස බලන විට, දශක හයක් හතක් තිස්සේ, සෑම වසරකම  නොකඩවා වෙසක් කූඩු සකස් කළ මම තරමක් පුදුමයට පත්වීමි.  එම පාඨකයා අවසාන වරට වෙසක් කුඩුවක් සකස් කළේ, ඔහු  නවවෙනි ශ්‍රේණියේ ඉගෙනීම ලබද්දී  බවත් පවසා තිබුණි. ඒ දැනට වසර තිහ හතළිහකට පෙරාතුව වන්නට ඇත. ඒ කාලයේ මෙම නවීන වෙසක් කූඩු නොතිබෙන්නට ඇත.

දින කිහිපයකට පෙර Face book සටහනක තිබුණු කාලෝචිත කෙටි ඉල්ලීම් දෙකක්ද මෙම කරුණට අදාළ කර ගත හැකි බවද  පෙනේ. ඒවා මෙසේය:

දශක කිහිපයක අතීතය මෙනෙහි කළ  මට, ඒ කාලයේ වෙසක් කූඩු සකස් කළ අකාරය පිළිබඳ පහත දැක්වෙන පරිදි සටහනක් තැබීම උචිතයයි හැඟීමක් ඇතිවිය. 

මගේ සටහන මෙතැන් සිට …..

පස්වන හයවන ශ්‍රේණිවල ඉගෙන ගන්නා කුඩා කාලයේ සිට, සෑම වසරකම,  නොකඩවා වෙසක් කුඩු සකස් කර එයින් ආස්වාදයක් ලැබීමට මම පුරුදුව සිටියෙමි. දැනට දශක හයකට වැඩි කාලයක්, අවුරුදු පතා නොකඩවාම, ඉතාමත් කැමැත්තෙන් කළ එම කාර්යය අදටද කරමි. එකළ සිටම මා ඉතාමත්  ප්‍රිය කළේ, අටපට්ටම් කුඩු සකස් කිරීමටය. කුඩා කාලයේ අපගේ ගම්බද ‘මහගෙදර’ ජීවත්වූ අපට, අවුරුදු නිවාඩුවේ අවසාන දින කිහිපයේදී  තිබුණු වැදගත්ම ක්‍රියාකාරකම වූයේ, වෙසක් කුඩු තැනීමයි. අක්කරයක් පමණ වූ ගෙවත්තේ  එක් කොනක, බට පඳුරක් විය. මේ පඳුරෙන් මේරූ බට දඬු කිහිපයක් කපා ගැනීම එහි පළමුවෙනි කාර්යය විය.  මේවා අඟල්  අටක පමණ ප්‍රමාණයේ කැබලි වලට කපා ගැනීම ඊළඟ පියවරයි. ඊට පසු,  ඒ දඬු කැබලි හතරට පලා ගත යුතුය. එක් එක් බට පතුරේ  ඇතුලත තියුණු දාර, පිහියෙන් සැස, සුමට කර ගැනීමද වැදගත්ය. මෙහිදී බට පතුරුවල තියුණු දාර හා සම්බන්ධ,  ඒ කාලයේම කියවූ කෙටි කතාවක්ද සිහියට නැගේ. 
එය, මාර්ටින් වික්‍රමසිංහ ශුරීන්ගේ ‘මගේ කථාව’ කෙටි කතා සංග්‍රහයේ එන ‘බබාගේ වෙසක් පහණ’ කෙටි කථාවයි. එහි කුඩා දරුවන්ගේ ලෝකයේ සිද්ධියක් විස්තර කර තිබේ.

“ගෙදර දරුවෝ කිහිපදෙනා වෙසක් කුඩු තැනීමට බටපතුරු සකස් කරති. තුන් හැවිරිදි  පවුලේ බාලම දියණිය, අයියලා විසින්  පලා, පැත්තකින් තැබු සුමට නොකළ බට පතුරක් අතේ මිටට ගනී. අයියා නැගණිය අත තිබුණු බට පතුර උදුරා ගනියි, බට පතුරේ තියුණු දාරය නිසා නැගණියගේ අල්ල කැපී තුවාල වී ළේ ගලයි.  ඇය හඬමින් පියා වෙත දුව යයි. එයින්  බියපත්වූ අයියා, වෙසක් කූඩු තැනීම පසෙක තබා,  ගෙයි මුල්ලක සැඟවෙයි. පසුව පියාගේ අස්වැසීම සහ තුවාලයට පැලැස්තරයක් ඇලවිමෙන් පසුව, සියලු දෙනාම එකතුවී, නැවත  වෙසක් කූඩු සකස් කරති’.
 
මෙය වෙසක් කුඩු තැනීම පිලිබඳ සුන්දර සිද්ධියකි.   

දැන් පැරණි ක්‍රමයට අටපට්ටම් කූඩුවක් තැනීම ගැන සිත් යොමු කරමු. එක් අටපට්ටම් කුඩුවක් සඳහා බට පතුරු කැබලි 24ක් අවශ්‍ය ය. මුලින්ම, දාර සුමට කරගත් බට පතුරු හතරක් බැගින් එකට බැඳ, හරි හතරැස් කොටු හයක් සකස් කර ගත යුතුය. මෙම කොටු හය සියලුම මුලු යාකර වටේට බැන්ඳ විට අට පට්ටම් කූඩුවක් ලැබේ.

හරි  හතරැස් කොටු හයකින් සකස් කළ කුඩුවේ, අවසානයේදී,  හතරැස් කොටු හයක් සහ තුන් හුලස් කොටු අටක්ද තිබීම, අපට කුඩා  කාලයේ පුදුම උපදවන දෙයක් විය.

බට පතුරු එකට තබා බැඳීම සඳහා අප එකළ භාවිත කලේ, ‘ඔට්ටපාළු’ යන නමින් හැඳින්වෙන ස්වාභාවික රබර් පටි වේ. රබර් කිරි එකතු කර ගැනීමෙන් පසු ගසෙහි කැපුමේ ඉතිරිවන කිරි, මිදීම නිසා සෑදෙන ඇදෙනසුලු පටි වැනි ව්‍යුහ දෙමළෙන්  ‘ඔට්ට පාල්’ ලෙස හැඳින්වේ. සිංහලෙන් එම නාමය ‘ඔට්ටපාළු’ වී තිබේ බට පතුරු අග්‍ර  එකට තබා නොගැලවෙන සේ එකට බැඳීම සඳහා ‘ඔට්ට පාළු’ ඉතාමත් යෝග්‍යය.

මුල් අවදියේදී, අපගේ මහ ගෙදර  විදුලි බලය නොතිබුණි. මේ නිසා වෙසක් කුඩු ආලෝකමත් කිරීම සඳහා ඉටිපන්දම් භාවිත කිරීමට සිදුවිය. අටපට්ටම් වෙසක් කූඩුවක් තැනීමට වඩා, එහි ඉටිපන්දමක් ඇමිණීම සඳහා යෝග්‍ය පොල් පිත්තකින් කපා ගන්නා පැතලි පතුරක් බැඳගැනීම බෙහෙවින් අමාරු වැඩකි. ඉටිපන්දම් අමුණන පතුර ඇති පැත්තට විරුද්ධ පැත්තේ හතරැස් කොටුවේ, පැති දෙකක,  කූඩුව එල්ලීම සඳහා ශක්තිමත් හණ නූලක් ගැට ගැසිය යුතුය. මේ සියල්ල අවසන් වූ පසු වෙසක් කුඩුව සව් කොළ  ඇලවීම සඳහා සූදානම්ය.  එක කූඩුවක් සඳහා  හතරැස් කොටුවේ ප්‍රමාණයට වඩා මඳක් විශාල හතරැස් කොල හතරක් සහ තුන්හුලස් කොල අටක් අවශ්‍යය.

කඩෙන් මිලදී ගන්නා සව් කොළ අපතේ නොයන පරිදි කපා ගැනීමද ප්‍රවේශමෙන් කළ යුතුය. සකස් කරන සියලුම කූඩු එකම ප්‍රමාණයකටම  තිබෙන විට මෙය පහසු වේ.

(දැනටද අපේ පාසැල්වල පස්වන ශ්‍රේණියේ, පරිසරයට අදාළ පාඩමක, ‘වෙසක්’ තේමාව යටතේ, සෙන්ටිමීටර් 75 දිග සහ සෙන්ටිමීටර් 50 පළල සව් කඩදාසිය අපතේ නොයන ආකාරයට, කපා ගතහැකි වීම සඳහා, අටපට්ටම් වෙසක් කූඩුවක  බට පතුරු සකස්කර ගැනීමේ නිවැරදි   මිමි  පිලිබඳව, සිසුන්  සඳහා  සටහනක්ද තිබේ.)

පාසල් යන කාලයේ නම් අප යහළුවන් සමග තරඟයට මෙන් කූඩු තැනීමට උනන්දු වූවෙමු. ගෙදර සහෝදර සහෝදරියන් සමග එකතුවී  කූඩු දොළහක් පමණ සකස් කළ එක් වතාවක්ද මතකයට නැගේ. 
තව වරක්, මිදුලේ එල්ලා තිබුණු වෙසක් කූඩු වැල සුළඟට සෙලවීම නිසා, එක් කූඩුවක ඉටිපන්දමක් පෙරළී ගිනිගත් නිසා, වැලේ එල්ලා තිබුණු කූඩු දහයක් පමණ, එකවිට ගිනිබත් වූ අවස්ථාවක්ද සිහිවේ. ඒ සිද්ධිය නිසා, අප  මහත් දුකට පත්වී සිටියදී  ‘ප්‍රීතී වෙසක්’ යනුවෙන් මුද්‍රිත නවීන පන්නයේ කුඩු හයක් සහ ‘බකට්’ කූඩු දහයක් නගරයේ සාප්පුවකින් ගෙනවිත් දී, තාත්තා අප සැනසූ ආකාරයද අද වගේ මතකය.

අඟල් අටේ බට පතුරු වලින් සෑදු කුඩුවක, හතරැස් කොටු සහ තුන් හුලස් කොටු සියල්ලම, සාමාන්‍ය ප්‍රමාණයේ (75cm x 50cm) සව් කොළ දෙකකින් පමණ අලවා අවසන් කළ හැකිය. පතුලේ රැලි සහ පැති මුළු වලට එල්ලන රැලි සඳහා තවත් සව් කොළ  දෙකක්වත් අවශ්‍යය. රැලි කැපීමද ඉතා සීරුමාරුවකින් කළ යුතු කාර්යයකි.  සව් කොලය අග සිට කුඩා වනතුරු සිරස්ව නමා, නැමු කොටසට ඉහලින් ඇති නොනැමූ තීරුව දක්වා, කතුරකින් කැපීමද එතරම් පහසු කාර්යයක් නොවේ. ඉන්පසු එකට බැඳි ඇති රැලි පොටවල් වෙන්කළ යුතුය. සව් කඩදාසි දෙකක් හෝ කිහිපයක් එකට තබා රැලි කැපුවහොත්,  රැළිපොටවල් වෙන් කිරීම තවත් අපහසුය. මේ සියල්ල අවසන් කළ පසු, එළඹෙනුයේ කූඩු ඇලවීමයි.

කූඩු ඇළවීම සඳහා ඒ කාලයේ යොදා ගත් ‘පාප්ප’ සකස් කර ගන්නේ  පාන් පිටි වලින්ය. පාන් පිටි උණු වතුරේ දියකර, එම මිශ්‍රණය භාජනයක දමා කකාරා ගත් විට, සව් කඩදාසි ඇලවීමට යෝග්‍ය ලාටු වැනි තලපයක් ලැබේ. කූඩුවේ බටපතුරු දිගේ පාප්ප තවරා, කපාගත් සව් කඩදාසි, ඒ මත පහසුවෙන් ඇලවිය හැකිය. ඊටපසු රැලිද අලවා ගත් විට අලංකාර වෙසක් කූඩුවක් නිර්මාණය වේ. බට කැපීමේ සිට, නිමි කූඩුව එල්ලීම දක්වා, සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා එක වෙසක් කූඩුවක් වෙනුවෙන් පැය තුන හතරක් ගත කිරීමට සිදුවේ. එසේ වුවත් අද කඩයෙන් මිලදී ගන්නා කෘතීම වෙසක් කූඩුව එකලස් කිරීමට පැය භාගයකට වඩා ගත නොවේ. බට පතුරක දිග අඟල් අටක් වන අටපට්ටම් කූඩුවක් තනා නිම කිරීම සඳහා සාමාන්‍ය ප්‍රමාණයේ (75cm x 50cm) සව් කඩදාසි හතරක් ප්‍රමාණවත් වේ. යම්කිසි රටාවක ආකාරයට හතරැස් කොටුවල සහ තුන් හුලස් මූනත්වල, විවිධ වර්ණ ගැලපීම් කර වර්ණවත් කඩදාසි ඇලවීමෙන් කූඩුවේ අලංකාරය වැඩිකර ගත හැකිය. පහලට එල්ලෙන රැලි එකම වර්ණයකින් යෙදීමද හොඳ ගැලපීමක් වන බව පෙනේ.  මෙසේ කල්පනා කර බලන විට, කුඩා දරුවන් තුළ වෙසක් සැමරීම පිලිබඳ යහපත් ආකල්ප වර්ධනය වන්නේත්, ඔවුන්ගේ හසුරු කුසලතා ඔප් නැංවෙන්නේත්, තමන්ගේම නිර්මාණයක් සඳහා අභිමානයක් ඇතිවන්නේත්, පැරණි ආකාරයට, බට පතුරේ සිට සියලු පියවර අනුගමනය කර වෙසක්  කූඩුවක් සකස් කළහොත් පමණකි. 

දැන් අපේ මහගෙදරටද විදුලි බලය තිබේ. මේ නිසා කූඩු ආලෝකමත් කිරීම පහසුය. මහගෙදර වෙසක් ගැන ගන්නා ලද  ඡායාරූපයක්නම් සොයා ගැනීමට  නොමැත.

මහගෙදරින් පිටවී, දරු මල්ලන් සමග වෙනම නිවසක පදිංචියට ගිය පසුවත්, වාර්ෂිකව වෙසක් කූඩු තැනීම නොකඩවා කළෙමි. වසර ගණනාවක් තිස්සේ අපේ ගෙදර ආලින්දයට ගැලපෙන පරිදි අටපට්ටම් කූඩු හයක් සෑදීම මාගේ සිරිත විය.

පසු කලකදී විදේශ ගතවී, දැන් මුනුපුරු මිනිපිරියන් සමගද වෙසක් කුඩු සෑදීම අමතක කළ නොහැකිය.

එදා, වත්තේ කොනක වැවුණු, බට පඳුරෙන් කපාගත් බට දඬු වෙනුවට, අද පිටරටින් ගෙනෙන බට හෝ උණ දඬු මිලයට ගත යුතුය. ‘ඔට්ට පාල්’ පටි වෙනුවට රබර් වලින්ම නිෂ්පාදනය කර ඇති rubber bands භාවිත කළ යුතුය. වෙසක් කූඩු ආලෝකමත් කිරීම සඳහා ප්‍රධාන විදුලිය වෙනුවට සූර්ය කෝෂ සහ LED බල්බ යොදාගත හැකිය.  අද මේ සියල්ලම සහිතව සාදා නිමකළ, විවිධ ආකාරයේ වෙසක් කූඩු පහසුවෙන්ම මිලදී ගත හැකිය.  

මේ සියල්ල තාක්ෂණ දියුණුවත් සමග පැමිණි පහසුකම් ලෙස සැලකීම නිවැරදිය. එසේ වුවත් අප කුඩා කළ, වෙසක් සමයේදී, බට කැපීමේ සිට, වෙසක් කුඩු තනා  ඒවා ආලෝකමත් කිරීම දක්වා, සියලුම පියවර වලදී  ලැබූ අහිංසක වින්දනය සහ හසුරු කුසලතාව අද දරුවන්ට නොලැබී යාම නම්  සන්තාපයට හේතුවකි. නැවත එවැනි කාලයක් උදා නොවනු ඇත. පාසල් යන දරුවෙකුට වෙසක් කූඩුවක්, සරුංගලයක් වැනි සරල දෙයක් සාදාගෙන, එයින් වින්දනයක් ලබාගැනීමට නොහැකි නම් එය මහත් අඩුවක් ලෙස දැනේ.   තාක්ෂණ දියුණුව කොයි තරම් වේගයෙන් ඉදිරියට ගියත්, අපගේ සංස්කෘතිය හා සම්බන්ධ පැරණි දේ දරුවන්ට ප්‍රගුණ කිරීමේ වගකීම දෙමාපියන් සහ අනිකුත් වැඩිහිටියන්ගේ යුතුකමක් බව මගේ හැඟීමයි.
                    
                 

%d bloggers like this: