Menu Close

රට ආපහු ස්ටාර්ට් කරන්න


අප්‍රේල් 21 සිද්දියට ලංකාවෙ නැගී එමින් තිබුනු සිංහල බෞද්ද අන්තවාදයේ පෙර බලපෑමක් තියෙනවා කියල මං විශ්වාස කරන්නෙ නෑ. ඒත් ඒක පසු බලපෑමක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. සෝම හාමුදුරුවන්ගෙ කාලෙ ඉඳන් ටිකෙන් ටික වර්ධනය වෙමින් ආපු මුස්ලිම් අන්තවාදයට එරෙහි සිංහල බෞද්ද ප්‍රවනතාව වඳපෙති, බ්‍රෙසියර් ආදී නොයෙක් ජෝක් සහ ඥානසාර, ඩෑන් ප්‍රියසාද්, මහසෝන් ආදී චන්ඩින්ගෙන් අලුත් වෙමින් යුද්දෙට පස්සෙ පාලු කපන්න ගත්තා. මේ 21 ගැන ඥානසාර කලින් දැනගෙන හිටියා, උන්නාන්සෙ කියපු දේ අහන්න තිබුනා වගේ කතන්දර කියන බහුතරයක් අමතක කරන්නෙ ඥානසාර දැනගෙන හිටියද නැද්ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ ඥානසාර ඒ දේ කියපු අරමුන මොකක්ද කියන එක බවයි. ඇත්තටම මුස්ලිම් අන්තවාදයක තොරතුරු තිබුනා නම් ඥානසාර ප්‍රමුක සෙට් එක කළ යුතුව තිබුනෙ ඊට එරෙහි සිංහල බෞද්ද අන්තවාදයක් නිර්මාණය කරන්න කටයුතු කරන එක නෙමෙයි. ඒ වෙනුවට ඒ තොරතුරු අදාල බලය ඇති පාර්ශ්වයන් වෙත ලබාදෙමින් රාජ්‍ය මට්ටමින් ඒ ගැන ක්‍රියාමාර්ග ගැනීමට බලකරන එකයි. ඒක පොදු ජනතාව අතරට නොයා යුතු සංවේදී ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය වෙනුවෙන් ඥානසාරගේ විසදුම වුනේ ඒකෙ පැවැත්ම සාධනය කරන බෞද්ද අන්තවාදයක්. ඥානසාරට අමතරව ඒ වෙද්දි තවත් අන්තගාමී සිංහල බෞද්ද ප්‍රවනතා මතුවෙමින් ආවා. ඥානානන්ද එක පැත්තකින් එද්දි තව අය කොට ඇදුම්වලට විරුද්දව බුර්කා පන්නයේ සදාචාරයක් දේශනා කළා. අනිත් පැත්තෙන් මැල්කම් රංජිත් මානව අයිතිවාසිකම් ඕන නෑ කිව්වා. මුස්ලිම් අන්තවාදයට සාපේක්ෂව අනෙකුත් ආගම්වලිනුත් අන්තවාදී ලක්ෂන මතුවෙමින් තිබුන. 

මේ මුස්ලිම් අන්තවාදය ලංකාවෙ ව්‍යාප්ත වෙන්න ගත්තෙ පසුකාලීනව සිද්ද වුණු  අරාබිකරණය එක්ක වග පැහැදිලියි. ඒක එක විදිහක සංස්කෘතික ආක්‍රමනයක්. අයිඑස්අයිඑස් මරාගෙන මැරෙන ත්‍රස්තවාදය එන්නෙ ඒකෙ අන්තිම ප්‍රතිඵලය විදිහට. ඒක පැලවෙන්නෙ අරාබිකරණය ඇතුලෙ. මේ හරහා ලංකාවෙ මුස්ලිම් ප්‍රජාව ඇතුලෙ රැඩිකල් රැල්ලක් නිර්මාණය වෙනවා.  සුලුජාතික වෙනස, සුවිශේෂත්වය සහ ජීවත්වන වෙනම ප්‍රදේශ කියන තත්ව ඇතුලෙන් මේ රැඩිකල් රැල්ල පැතිරෙනවා. ඒත් හැම රැඩිකල් ව්‍යාපාරයකම ඉන්නෙ මහ ප්‍රජාවෙන් සුලුතරයක් කියන සත්‍යය මේකටත් අදාලයි.
  
අන්තවාදී අදහස් පැතිරීම, රැඩිකල්කරනය සිද්ද වෙමින් තිබුනත් මේ බෝම්බ පුපුරන ත්‍රස්තවාදය මුස්ලිම් ජනතාව තිගස්සනසුලු එකක් වග පැහැදිලියි. පිටරට විශ්ව විද්‍යාලවලට ගිය සල්ලි තියෙන පවුල්වල ළමයි ටිකක ළදරු වලිප්පුවක් විදිහට තමයි මට තාම මේක පේන්නෙ. හරියටම රුසියාවට ගිය විජේවීර ලංකාවෙ සන්නද්ද අරගලයක් කරන්න හැදුවා වගේම ඔස්ටේ්‍රලියාව වගේ රටවල විශ්ව විද්‍යාල කල්ට් වලින් රැඩිකල් සන්නිපාතය වැළදුනු කීප දෙනෙක් කිසි පදනමක් නැතුව වීරයො වෙන්න කරපු වැඩක්. ඒක පස්සෙ අයිඑස්අයිඑස් තමන්ගෙ ගිනුමට බැර කරගත්තා කියල විශේෂඥයො අදහස් පලකරනවා. කොහොමවත් ජවිපෙ තිබුනු විමුක්ති දේශපාලනය මේ හිස් දේව ඇදහිල්ල එක්ක සමපාත කරනවා නෙමෙයි. මේ සහලෝලා උණ ගැනීම ගැන විතරයි උදාහරනය.
මේ ත්‍රස්තවාදය ඉවර කරන්න ලේසියි. ඒක සමාජයේ මුල් ඇදපු තත්වයක් නෙමෙයි කියල සහතිකයි. ඒත් මේ භීතිය වවාගෙන කෑමේ උවමනාවක් විවිධ පාර්ශ්වවලට තියෙන වග පැහැදිලියි. අවුරුදු 30ක් බෝම්බ මැද හිටපු ජනතාවක් බබ්බු වගේ හැංගෙන්න පටන් අරන්. මීට වඩා බෝම්බ පුපුරද්දි ලංකාවෙ මිනිස්සු රස්සාවලට ගියා. අපි ඉස්කෝලෙ ගියා. ඒත් අවුරුදු දහයක විතර නිදහස විසින් අපිව එක දවසෙ බෝම්බෙකින් වට්ටන්න පුළුවන් ජාතියක් තරමට දුර්වල කරලා තියෙනවා.

ඇත්ත අනතුර තියෙන්නෙ මේ පුපුරා යාමට පස්සෙ දැන් උද්ගත වෙමින් තියෙන තත්වය ඇතුලෙයි. ආර්තිකය සහ සාමාන්‍ය ජන ජීවිතය අසාමාන්‍ය විදිහට කඩන් වැටිලා තියෙනවා. හෝටල්වලින් සීයට හැත්තපහක් විතර ඩිස්කවුන්ට් දෙමින් යන්තමින් හෝ ව්‍යාපාරය පවත්වා ගැනීමට ගන්න උත්සාහය දැක්කම දුක හිතෙනවා. පොඩි පොඩි බිස්නස් කරපු මිනිස්සු අනාතයි. පාරෙ හිගන්නා දක්වාම ආර්තික ක්‍රියාවලිය නන්නත්තාර වීම බලපෑවා. ඒ අතරෙ ජනතාව ත්‍රස්ත බිය එන්ජෝයි කරන්න පටන් අරන් තියෙනවා. පල්ලිවල කඩු ගනං කර කර මුස්ලිම් සමාජය වෙත පතල වෛරයකින් නිකං කාලය කකා ඉන්නවා. හැමෝටම එකිනෙකා එක්ක හොඳට සෙට්වෙන්න, හපන්න එක මාතෘකාවක් තියෙනවා. ඒ තමයි මුස්ලිම් විරෝධය. 

මේකෙ අනිත් පැත්තෙන් මුස්ලිම් සමාජය ලොකු කම්පනයකට ගිහින් තියෙනවා. ඉඩමක් ගෙයක් තැනක් කුලියට ගන්න බැරි තරමට අනෙක් සමාජය විසින් කොන්වෙමින් තියෙනවා. ත්‍රීවීල් හයර් එක පවා මුස්ලිම් නම් නොයන්න තරමට චීත්ත පලිගැනීම් මහා සමාජයෙන් පටන් අරන් තියෙනවා. ආර්තිකය, අනාරක්ෂාව, සහ ආත්ම ගරුත්වය කියන කාරනා අතින් වඩාත්ම පීඩාවට ලක්වෙන තැනක ඉන්නෙ ඒ අයයි. මුස්ලිම් සමාජය එකට එකතු කාරනය වෙන්නෙ මේ බය.

මේ ධ්‍රැවීකරණය අනිවාර්ය ලෙසම අරාජික තත්වයක් නිර්මානය කරනවා. මේක සමාජ ආතතියක්. ඕනම වෙලාවක ඕනම අතකට පුපුරා යා හැකි. ත්‍රස්තවාදය විසින් තමන්ගේ අරමුන ජයගත්තා කියල කියන්නෙ මේකට. මේ ආතතිය අනාරක්ෂාව සැකය සහ උනුන් මත පීඩාව නිර්මාණය කරන එකට.

මේක ජවිපෙ හෝ එල්ටීටීඊය වගේ එකක් නෙමෙයි. ඒ නිසා කිසිම විදිහකින් මේ ත්‍රස්තවාදය හුරතල් කළ යුතුයි වගේ අදහසක් මගේ නෑ. ඉතාම සුලුවෙන් හැදීගෙන එන මේ අනතුර මුලිනුපුටා දැමිය යුතුයි කියන තැනයි මං ඉන්නෙ. ඒත් එතනදි උපායශීලීත්වය නැත්තං ස්ට්‍රැටජි එක වැදගත්. අපි වැඩ කරන්නෙ ත්‍රස්තයාගෙ ස්ට්‍රැටජියෙ නං අපි ඉන්නෙ වැඩේ වවමින් පෝර දාමින්.

එක පැත්තකින් නීතිය දැඩිව පාවිච්චි කරමින් ත්‍රස්තවාදය අතුගාලා දාන්න ඕන. ඒක තමයි අංක එක. දෙවනුව මේ වෙද්දි අන්තවාදය වෙතට යමින් ඉන්න නමුත් තාම ත්‍රස්තවාදීන් වෙලා නැති පිරිස් පුනරුත්ථාපනය කරන්න ඕන. තෙවනුව සාමාන්‍ය බහුතර මුස්ලිම් ජනතාව අන්තවාදයෙන් ගලවාගන්න ඕන. වෙන විදිහකට නම් ඒ අයව අන්තවාදය පැත්තට තල්ලු කිරීම නතර කරන්න ඕන.

මීට අමතරව ගත යුතු විධිමත් දීර්ග කාලීන පියවර රොහාන් ගුනරත්න එයාගෙ ඉන්ටවිව් එකක පැහැදිලි කරලා තිබුන.  එතනදි හැමෝටම එක විදිහට සලකන, වෙන් කොට හෝ විශේෂ කොට නොසලකන සමාජයකට අවශ්‍ය නීතිමය රාමුවක් සකස් වීමේ වැදගත්කම එයා පෙන්නලා තිබුන.

කඩුපොලු පල්ලිවලින් හමුවෙන සිද්දි වාර්තා කරන්න මාධ්‍යවලට අවසර නොදීම ගැන මං සතුටුයි. මේ අඳුරු මොහොතේ මාධ්‍ය හැසිරීම අතිශය කාලකන්නියි, තක්කඩියි. තමන්ගේ දේශපාලන උවමනා වෙනුවෙන් ජනතාව උසි ගැන්වීම මිස ජාතික හැගීමක් ඇතුව කරන මාධ්‍යකරනයක් අපේ රටේ නෑ. එහෙම දැක්මක් තියෙන මාධ්‍යවේදියො මාධ්‍යවල නෑ.   සාමාන්‍ය මුස්ලිම් ජනතාව පැත්තට වෛරය එල්ල විය හැකි ප්‍රවෘත්ති සමාජගත වීම වැලැක්වීම මේ වෙලාවෙ අවශ්‍යය දෙයක්.  ඒකෙන් මුස්ලිම් අය ආරක්ෂා කරන්න හදනවා වගේ පේන්න පුළුවන් වුනත් ඇත්තම කාරනය ඒ තව අවුරුදු ගානක් පරිප්පු කන්න වෙන යුද්දයක් නිර්මාණය වීම වලක්වන එකයි

පුරවැසියො විදිහට වැදගත්ම දේ පොඩි ළමයි වගේ හැසිරීමෙන් වලකින එකයි. මුස්ලිම් ජනතාවට ඇගිල්ල උරුක් කරගෙන උන්ව බිත්තියට හේත්තු කිරීමෙන් ඇත්තටම ලබාගන්න හදන්නෙ මොකක්ද?. එහෙම කරලා උන්ව හදාගන්න හරි යට කරගන්න හරි පුළුවන් කියල කවුරු හරි හිතනවා නම් ඒ හිතුවිල්ල හරි ලාමකයි. මුස්ලිම් ජනතාව කොන් කිරීමේ හැම වෑයමක්ම කෙලවර වෙන්නෙ අයිඑස්අයිඑස් එක ලෙජිටිමේට් කරන්න පදනමක් හදලා දීමෙන්. 

අපි කැමති වුනත් අකමැති වුනත් අපිට කරන්න පුළුවන් එකම දේ මුස්ලිම් මනුස්සයාව ආදරෙන් වැළඳගැනීම විතරයි. තමන් ත්‍රස්තවාදියෙකු නොවේ කියන සිතුවිල්ල ජීවත් කරවන්න ඒ මනුස්සයාට ඉඩක් හදලා තියෙන්න ඕන. අපි කරමින් ඉන්නෙ උඹ ත්‍රස්තවාදියෙක් කියලම ඒ මිනිහට පිලිගන්වන්න උත්සාහ කරන එක විතරයි.
එක එකා ගැන තරහෙන් පැලෙනවාට වඩා මේ වෙලාවෙ වැදගත්ම පුරවැසි වගකීම වෙන්නෙ ආපහු සාමාන්‍ය ජීවිතය පටන් ගන්න එකයි. කඩවලින් බඩු ගන්න, පාරෙ තොටේ ගැවසෙන්න, රස්සාවලට, ඉස්කෝලවලට යන්න, සති අන්තවල නිවාඩු ගත කරන්න, මේ දේවල් පටන් අරන් ආපහු රට ස්ටාර්ට් කරන්න ඕන. ඒක තමයි අමාරුම.
මොකද ගොඩක් අයට ඕන රට ඕෆ් කරලා තියාගන්න.




%d bloggers like this: