Menu Close

අංගුලිමාල ගැන – වෙසක් කළාපය

අංගුලිමාල සූත්‍රයෙ තියෙන්නෙ මොනවද? මේ පහළ තියෙන්නෙ ඒ සූත්‍රය මුල සිට සිංහලෙන්…

බුදු හාමුදුරුවෝ එක කාලයක සැවැත් නුවර ආසන්නයේ ජේතවන නම් උයනේ අනේපිඬු සිටුවරයා ඉදිකරවා පූජා කළ ආරාමයේ වාසය කළා.

ඒ කාලයේ ප්‍රශන්නජිත් කොසොල් රජු ගේ පාලනයට යටත් වුණු කොසොල් ජනපදයේ රෞද්‍ර වූ, ලේ තැවරුණු අත් ඇති, මැරීමෙහි සහ විනාශ කිරීමෙහි යෙදුණු, ප්‍රාණීන් ගැන කරුණාවක් නැති අංගුලිමාල නම් හොරෙක් වාසය කළා. ඔහු නිසා ගම්, නියම්ගම්, ජනපද පාලුවට ගියා. ඔහු මිනිසුන් මරා ඔවුන්ගේ ඇඟිලිවලින් බැඳපු මාලයක් දැරුවා. (මට පොඩි කාලෙ ඉඳන් තිබුණු ප්‍රශ්නයක් තමයි, දවස් කීපයක් යද්දි ඔය ඇඟිලි කුණු වෙනව නේද? එතකොට ඔය මනුස්සයට ලෙඩ හැදෙන්නැද්ද? කියන කාරණා)

ඉතින් දවසක් බුදු හාමුදුරුවෝ හවස් කාලයේ අංගුලිමාල කියන හොරා ඉන්න ප්‍රදේශයට වැඩම කරන්නට ඒ දෙසට තියෙන පාරෙ ගමන් කළා. එතුමා දැකපු ගොපල්ලෝ, සතුන් බලන්නෝ, ගොවියෝ, මගියෝ ආදී අය අංගුලිමාල ගේ රෞද්‍රකම ගැන කියලා, එතුමා වළක්වන්නට තැත් කළා. “මේ පාරෙ යනවනම්, දහදෙනෙක්, විසි දෙනෙක්, තිස් දෙනෙක්, හතළිස් දෙනෙක්, පණස් දෙනෙක් ආදී වශයෙන් කණ්ඩායම් විදිහටයි මිනිස්සු යන්නේ. ඒත් අංගුලිමාලගෙන් බේරුණු කෙනෙක් මේ වන තෙක් හිටියෙ නෑ” කියලත් කිව්වා. ඒත් බුදු හාමුදුරුවෝ ඔවුන්ට උත්තර නොදී දිගටම ගමන් කළා.

අංගුලිමාල දුරදීම බුදු හාමුදුරුවන් දැක්කා. “සාමාන්‍යයෙන් මේ පාරෙ මිනිස්සු යන්නෙ කණ්ඩායම් විදිහට. පණහක් ආවත් මගෙන් විනාශ වුණා මිසක් බේරුණු කෙනෙක් නෑ. ඒත් මේ මහණා තනියම එන්නෙ. මොකක් නමුත් බලවත් කමක් නිසා. මම මේ මහණා මරණවා” කියා අංගුලිමාල හිතුවා.

ඉතින් අංගුලිමාල කඩුවත්, පළිහත් අරගෙන, දුන්න ඇද ගෙන බුදු හාමුදුරුවන් පස්සෙ ලුහු බැන්දා. සාමාන්‍ය ගමන් විලාසයෙන් යන බුදු හාමුදුරුවන් ට, පුළුවන් තරම් වීර්යයෙන්, ශක්තියෙන් එළවන අංගුලිමාල ට කිට්ටු වෙන් බැරි වන විදිහේ සෘධියක් බුදු හාමුදුරුවෝ පෑවා.

“පුදුමයි. මම මීට කලින් දුවන ඇතෙක්, අශ්වයෙක්, රථයක් වුණත් එළවාගෙන ගිහින් අල්ල ගන්නවා. දුවන මුවෙක් උනත් මට අල්ලගන්න පුළුවන්. ඒත් මේ සාමාන්‍ය ගමනින් යන මහණා අල්ල ගන්න බෑ.” අංගුලිමාල පුදුම වුණා.

“මහණ, සිටු!” අංගුලිමාල නැවතිලා, කෑගැහුවා.

“අංගුලිමාල, මම නැවතුණා. නුඹත් නවතින්න” බුදු හාමුදුරුවෝ කිව්වා.

“මේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයා ඇත්ත කතා කරනවලු. ඒත් මේ ශ්‍රමණයා යන ගමන්ම, “මම නැවතුණා. නුඹත් නවතින්න” කියනවා. මම මේක අහන්න ඕනෙ…” කියා අංගුලිමාලට හිතුණා.

“ඔබ යමින් සිට, මම නැවතුණා කියනවා. නැවතුණු මට නවතින්න කියනවා. ඔබ නැවතුණා කියන්නෙත්, මම නැවතුනේ නැතැයි කියන්නෙත් කොහොමද?” කියා අංගුලිමාල ඇහුවා.

“අංගුලිමාල, මම හැම විටම කිසිම සතෙකුට හිංසා නොකර සිටිමි. ඔබ සතුන්ට හිංසා කරමින් සිටියි. ඒ කාරණයෙන්, මම නැවතිලා, ඔබ නැවතිලා නෑ…” බුදු හාමුදුරුවෝ වදාළා.

“මේ ශ්‍රමණයා ඒකාන්තයෙන්ම මට කරුණවෙන් මේ කැළෑවට වැඩියේ. මටත් සෑහෙන කාලයකින් ධර්මය ගැබ්වුණු කියමනක් අසා, අකුසල් දුරු කරන්න ලැබුණා…” මෙහෙම හිතලා අංගුලිමාල නම් හොරා ආයුධ ගැඹුරු වළකට දාලා, බුදු හාමුදුරුවන්ට වැන්දා. ඒ ගමන්ම “මා පැවිදි කරන්න” කියලා ඉල්ලුවා.

බුදුහාමුදුරුවෝ එයාට, “මහණ, මෙසේ එන්න” කියා පැවිදි කළා. (ඒහි භික්ඛු භාවයෙන්… මෙහෙම මහණ වෙන්න නම් ගිය ආත්ම වල පිරිකර පූජා කරල තියෙන්න ඕනෙලු කියලා බාහිය දාරුවීරිය කතාවෙදි කියනවා… (කොහොමද මාකටින්?))

ඉන්පසු අංගුලිමාල හාමුදුරුවෝ බුදු හාමුදුරුවන් පසුපසින් සැවැත් නුවරට වැඩියා.

එදා ප්‍රශන්නජිත් කෝසල රජතුමාගෙ මාළිගාවේ දොරටුව ළඟ නගර වැසියෝ එකතු වෙලා උද්ඝෝෂණයක් කළා, අංගුලිමාල නම් හොරාගෙන් ජනපදය බේරා දෙන්න කියලා. ඒක ඇහුණු රජතුමා පන්සීයක් අශ්වාරෝහකයන් අරගෙන රථයකින් පිටත් වෙලා, ජේතවනාරාමයට ආවා. ඇවිත් රථයෙන් බැහැලා පා ගමනින් ඇවිත් බුදු හාමුදුරුවන් බැහැ දැක්කා.

“මොකද මහරජ, මගධ රටේ බිම්බිසාර රජු හෝ, විශාලාවේ ලිච්ඡවි රජ දරුවන් හෝ වෙනත්  සතුරු රජ කෙනෙක් කිපිලා ද?” කියා බුදු හාමුදුරුවෝ ඇහුවා. (මම බෞද්ධ සාහිත්‍යයේ කීප විටක්ම දැකලා තියෙනවා ඔය විදිහට උත්තරය දැන දැන, ප්‍රශ්න අහන අවස්ථා)

“හාමුදුරුවනේ, සතුරු රජ කෙනෙක් නෙවෙයි, මගේ ජනපදයේ රෞද්‍ර, අංගුලිමාල නම් ඝාතකයෙක් ඉන්නවා. මම ඔහු වළක්වන්න යන්නෙ” රජතුමා කිව්වා.

“මහරජ, ඔය කියන අංගුලිමාල: කොණ්ඩය, රැවුළ කපලා, කසාවත ඇඳලා, ගිහි ගෙයින් නික්මිලා, පැවිදි වෙලා, සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන්, බොරු කීමෙන් වැළකිලා, දවසට එක වේලක් අනුභව කරලා, බ්‍රහ්මචාරී වෙලා, සිල්වත් වෙලා, යහපත් වෙලා ඉන්නවා දැක්කොත් ඔබ මොකද ඔහුට කරන්නේ?” බුදු හාමුදුරුවෝ ඇහුවා.

“එහෙනම් මම එතුමාට වඳිනවා. මම ඉන්න ආසනයෙන් නැගිටිනවා, ආසන පණවනවා. පිරිකර පූජා කරනවා. ධාර්මික විදිහට එතුමාට ආරක්ෂාව සපයනවා.” කෝසල රජු කිව්වා “ඒත් හාමුදුරුවනේ, ඒ වගේ දුස්සීල, ළාමක මනුස්සයෙක් ඔය කියන විදිහේ සංවරයක් ඇති කරගන්නෙ කොහොමද?”

ඒ ගමන බුදුහාමුදුරුවෝ ඒ අසළ තැනක වැඩ හිටපු අංගුලිමාල තෙරුන්ට අත දික් කරලා, “මහරජ, මේ ඉන්නේ ඒ අංගුලිමාල” කියා පෙන්නුවා. ඒ දැකපු රජතුමාට, බය හිතුණා. තැති ගැනුනා, ලොමු ඩැහැගැන්මක් ඇති වුණා. ඒක දැකපු බුදු හාමුදුරුවෝ, “මහරජ බය වෙන්න එපා.” කිව්වා. ඒ වචන වලින් බය නැතිවුණු රජතුමා, අංගුලිමාල තෙරුන් ළඟට ගියා.

“හාමුදුරුවනේ, ඔබ වහන්සේ අංගුලිමාල හාමුදුරුවොද?” රජතුමා ඇහුවා.

“මහරජ, ඔව්” එතුමා කිව්වා.

“ඔබවහන්සේ ගේ පියා ගේ ගෝත්‍රය මොකක්ද, මව් ගේ ගෝත්‍රය මොකක්ද?” (මේ ප්‍රශ්නය හරියට කෝසල රජතුමාට බුදු හාමුදුරුවන්ගේ වචනය විශ්වාස කරන්න බැරි වෙලා ඇහුවා වගෙයි.)

“මහරජ, මගේ පියා ගර්ග ගෝත්‍රයේ. මව් මන්තානී නම් බැමිණිය.”

“එසේනම්, ඔබ වහන්සේ ශාසනයේ ඇලී වාසය කරත්වා. මම ඔබට සිව්පසයෙන් පිදීමට උනන්දුව ඇති කරන්නම්” රජතුමා කිව්වා.

අංගුලිමාල තෙරුන් ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික වගේම තුන් සිවුර පමණක් දරන හාමුදුරු නමක් වූ නිසා, “මහරජ, ඒක අවශ්‍ය නෑ. මට තුන් සිවුර සම්පූර්ණයි.” කිව්වා.

ප්‍රශන්නජිත් කෝසල රජතුමා බුදු හාමුදුරුවන් ළඟට ආවා. ඇවිත් වැඳලා, “හාමුදුරුවනේ, පුදුමයි. ඔබ වහන්සේ දමනය කළ නොහැකි අය දමනය කරනවා. සංසිඳුවන්න බැරි අය සංසිඳුවනවා. කෙලෙස් නිවා නැති අය නිවනවා.

“අපි දඬු මුගුරුවලින්, ආයුධවලින් උත්සාහ කරලා දමනය කරන්න අපොහොසත් වෙනවා. ඒ උදවියම ඔබ වහන්සේ දණ්ඩෙන්, ආයුධවලින් තොරව දමනය කරනවා.”

මෙහෙම කියලා රජතුමා බුදු හාමුදුරුවන්ට වැඳලා ආපහු ගියා.

දවසක් අංගුලිමාල හාමුදුරුවෝ පිඬුසිඟා වැඩියා. ඒ ගිය එක් ගෙදරක ගර්භයේ හරහට පිහිටපු දරුවෙක් බිහි කරන්න වේදනා විඳින ස්ත්‍රියක් දුටුවා. පිඬු සිඟා යාමේ කටයුත්ත ඉවර වුණාට පස්සේ එතුමා බුදු හාමුදුරුවන් ළඟට වැඩියා.

“ස්වාමීනී, මම සැවැත් නුවර පිඬු සිඟා යද්දි, දරු ගැබ හරහට පිහිටීමෙන් වේදනා විඳින එක්තරා ස්ත්‍රියක් දුටුවා.” අංගුලිමාල තෙරුන් කිව්වා.

“එහෙනම් ඔබ එතනට ආපහු යන්න. ගිහින් ඒ ස්ත්‍රියට, “නැගණිය, මම උපන්දා සිට සතෙකුගේ ජීවිතය දැන දැන හාණි කළ බවක් නොදනිමි. ඒ සත්‍ය වචනය නිසා ඔබට සැපක් වේවා. දරු ගැබටත් සැපක් වේවා!” කියා කියන්න.” බුදු හාමුරුවෝ වදාළා. (ඒකත් අර උඩ කිව්වා වගේ දැන දැන වෙන දෙයක් කියන අවස්ථාවක්. මම හිතන්නේ පසු කාලයකදී බණකතා කාරයන් එකතු කරපු දෙබස් වෙන්නත් පුළුවන්. නැත්නම් දැනට අවුරුදු දෙදාස් හයසීයකට විතර කලින් ඉන්දියාවේ කතා කරපු විලාසය වෙන්නත් පුළුවන්…)

“ස්වාමීනී, මම එහෙම කිව්වොත් ඒක බොරුවක් වෙනවා.” අංගුලිමාල හාමුදුරුවෝ කිව්වා.

“අංගුලිමාල, එහෙනම් ඔබ ගිහින් මෙහෙම කියන්න. “නැගණිය, මම ආර්ය ජාතියේ උපන් දා පටන් දැන දැන සතෙකු ජීවයෙන් තොර කළ බව නොදනිමි ඒ සත්‍ය වචනය නිසා ඔබට සැපක් වේවා. දරු ගැබටත් සැපක් වේවා!” කියා කියන්න.” බුදු හාමුරුවෝ වදාළා.”

ඒ අනුව අංගුලිමාල තෙරුන් ඒ ගෙදරට වැඩම කරලා, ඒ ස්ත්‍රියට, “නැගණිය, මම ආර්ය ජාතියේ උපන් දා පටන් දැන දැන සතෙකු ජීවයෙන් තොර කළ බව නොදනිමි ඒ සත්‍ය වචනය නිසා ඔබට සැපක් වේවා. දරු ගැබටත් සැපක් වේවා!” කියා වදාළා. එයින් ඒ ස්ත්‍රිය සුවපත් වුණා. දරු ගැබත් සුවපත් වුණා.

ඉන්පසු අංගුලිමාල තෙරුන්, තනිවම, විවේකීව, කෙළෙස් නැතිකිරීමේ වීර්යයෙන්, තමන් ගැන ආලය අත්හැර වාසය කරමින්, කෙටි කාලයකින්ම රහත් බව ලබාගත්තා.

ඉන්පසු දවසක, අංගුලිමාල රහතන් වහන්සේ සැවැත් නුවර පිඬු සිඟා වඩිද්දී, වෙනපැත්තකට ගහපු ගලක්, දණ්ඩක්, කැටකැබිලිති, එතුමාගේ ඇඟේ වැදුණා. ඉතින් එතුමා හිස පැළිලා, ගලන ලෙයින් නැහැවිලා, පාත්‍රය කැඩිලා, සිවුරු විසිරිලා ගිහින් බුදු හාමුදුරුවන් ළඟට වැඩියා. බුදු හාමුදුරුවෝ අංගුලිමාල රහතන් වහන්සේ ඈතදීම දැකලා, “බමුණ, ඉවසන්න. කර්මයක විපාකය නිසා අවුරුදු ගණන්, අවුරුදු සිය දහස් ගණන්, නරකාදියේ පැසෙමින් ඉන්න වෙනවා. නමුත් ඔබ ඒ විපාකය මේ ආත්මයේදීම විඳිනවා.” කියා වදාළා.

එවිට අංගුලිමාල රහතන් වහන්සේ නිවන් දුටු තැනැත්තෙක් විදිහට තමන්ගේ සතුට ප්‍රකාශ කරන්න මේ විදිහට කිව්වා…

1. කලින් ප්‍රමාද වූ කෙනෙක් පසුව අප්‍රමාද වෙනවා නම්, ඒ තැනැත්තා වළාකුළෙන් මිදුණු සඳ වගේ ලෝකය බබලවයි.

2. කෙනෙක් කලින් අකුසල කර්ම කරලා, ඉන්පසු කරන කුසල් කර්මවලින් ඒවා වසා දමන්නේ නම්, ඒ තැනැත්තා වළාකුළෙන් මිදුණු සඳ වගේ ලෝකය බබලවයි.

3. තරුණ මහණෙක් බුදුන්ගේ ශාසනයේ වීර්යයෙන් යුක්තව වාසය කරනවානම්, ඒ තැනැත්තා වළාකුළෙන් මිදුණු සඳ වගේ ලෝකය බබලවයි.

4. මගේ සතුරෝ ධර්මානුකූල කතා අසත්වා, මගේ සතුරෝ බුදුන්ගේ ශාසනයේ වීර්යයෙන් යුක්තව වාසය කරත්වා, මගේ සතුරෝ ධාර්මික සත්පුරුෂයන් ආශ්‍රය කරත්වා.

5. මගේ සතුරෝ: ඉවසීම ප්‍රකාශ කරන, මෛත්‍රියට ප්‍රශංසා කරන අයගේ ධර්මය නියම කාලයේදී අසා, ඒ ධර්මයට අනුව කටයුතු කරත්වා.

6. ඔවුන් මට හිංසා නොකරත්වා, වෙනත් අයටත් හිංසා නොකරත්වා, නිවණ අවබෝධ කරගෙන කෙළස් රහිත හා සහිත සත්ත්වයන් ආරක්ෂා කරත්වා.

7. දිය මං තනන්නෝ තමන්ට උවමනා තැනට දිය බැස යාමට සළස්වති. ඊ වඩුවෝ දඬුවල ඇද අරිති. වඩුවෝ යතු ගා දඬු ඇද අරිති. එසේම නුවණැත්තෝ තමන් දමනය කරගනිති.

8. සමහරු දණ්ඩෙන්, හෙණ්ඩුවෙන්, කසයෙන් හෝ සැමිටියෙන් දමනය කරති. අටලෝ දහමින් කම්පා නොවන සර්වඥයන් වහන්සේ දණ්ඩක් හෝ ආයුධයක් නැතිව මා දමනය කළ සේක.

9. මීට කලින් මට “අහිංසක” යැයි නමක් තිබුණා. අද මම ඒ නම සත්‍ය වශයෙන් දරණවා. මම කිසිවෙකුටත් හිංසා කරන්නේ නෑ. මීට පෙර මම අංගුලිමාල කියා ප්‍රසිද්ධ වූ හොරෙක් වී සිටියා. කාම ආදී මහ වතුරෙන් ගහගෙන ගිය මම බුදුන්ගේ මාර්ගයේ ගමන් කරන්න පටන් ගත්තා.

10. මීට පෙර අංගුලිමාල කියා ප්‍රසිද්ධවී ලේ තැවරුණු අත් ඇති තැනැත්තෙක් වූ මා අද ගමන් කරන මාර්ගය බලන්න. මම භවයට ඇති ආශාව අත් ඇරියා.

11. දුගතියට පත් කරන එවැනි අකුසල කර්ම රාශියක් කරමින් ඉඳලා, කුසල් මාර්ගයට මම පැමිණියා. දැන් මම භුකිත් විඳින දේට ණයක් නෑ.

12. නුවණ නැති බාල ජනයා ප්‍රමාද වී වාසය කරති. නුවණැත්තෝ අප්‍රමාදව (එළඹ සිටි සිහියෙන් කටයුතු කරමින්) වාසය කරති.

13. ප්‍රමාද නොවන්න. පස්කම් සැපයට ඇලී නොසිටින්න. අප්‍රමාදව නුවණින් දකින තැනැත්තා සුවපත් වේ.

14. බුදුවරුන් දෙසා වදාළ ධර්මයන් අතරින් උත්තම ධර්මයට මම පැමිණියෙමි.

15. මම බුදුන් වහන්සේ අනුශාසනය කරන ලද ත්‍රිවිද්‍යාවන්ට පැමිණියෙමි.

ආශ්‍රිත මූලාශ්‍ර…
https://dahamsithum.wordpress.com/2012/09/14/86-අංගුලිමාල-සූත්‍රය/

%d bloggers like this: