Menu Close

රුහිරෙන් පුදමි – 2 කොටස


තම ඉඟ වටා අතක් වෙළෙනු දැනී යුවතිය කිළිපොලා ගියා ය. ඇගේ මුවින් පිටවන්නට ගිය විළාපය ලත් තැනම නැවතුණි. ඒ, ඈ ඔහු හඳුනාගත් හෙයිනි.


තරුණිය දිගු හුස්මක් හෙළා ඔහුට තුරුළු වූවා ය. ඔහු  සිහින් තරුණයෙක් විය. කළුවන් කෙස් හා සිහින් නාසය ඔහුගේ ගිළුණු කම්මුල් වලට අමුතු පෙනුමක් ගෙන දුන්න ද, කැපී පෙණුනු සුදුමැළි බව තරම් කිසිවක් අමුතු නොවීය.

“ඔයා තව තප්පරයක් පරක්කු උනා නම්……….“ ඈ කොඳුළා ය. තරුණයා තම වමතින් ඈ තමා වෙත තද කර ගති.

ඇයි?……. ඔයා බය වුනාද?“ ඔහුගේ දිගු සුදුමැලි ඇඟිලි ඇගේ නිකට තුඩ ස්පර්ෂ කළේය. යුවතිය හිස ඔසවා, අඩවන් දෑසින් ඔහු දෙස බැලූවාය. ඇගේ දෑසේ වූයේ සුරතල් දොස්පවරනසුළු බැල්මකි.

අඩවන් ව තිබූ ඇගේ දෑස් වලට ඉහළින් සිපගත් තරුණයා, සෙමෙන් තම දෑතම ඇගේ සිරුර වටා යවා, ඈ තමන් වෙත තවත් තෙරපා ගති. “ශාම්“ යි කොඳුරමින් තරුණිය ඔහුට තුරුළු වූවාය. ඔහුගේ උණුසුම් සුසුම් තම මුහුණ මත වැටෙද්දී, ඈ දෑස් පියාගත්තා ය.

ඇගේ දෑත් ඔහුගේ ගෙළ වටා එතුනේ නිරායාසයෙනි. ඈ ඇඳ සිටි ජර්සියට යටින් ඇගේ ස්ත‍්‍රී උණුසුම ශාම් වෙත තෙරපී ගියේ ය. ඔහු තම සුරතේ ඇඟිලි තුඩු වලින් ඇගේ දෙකොපුල් මෘදුව පිරිමැද්දේ ය. ඉතා සියුම් කිළිපොලායාමක් ඇගේ මුහුණේ සම තුළින් දිව ගියේ ය. තරුණියගේ දෙතොල් සෙමෙන් විවර විය.

නෙල්කා…….“ සෙමෙන් කොඳුරමින් ශාම් ඇගේ මුහුණට සෙමෙන් පහත් විය.

ම්ම්ම්…….“

ඔහුගේ ඇස් වල වූ අමුතු කාන්තිය තරුණියගේ පියවුණු දෑසට නොපෙණුනි. ඔහුගේ දෙතොල් ඇගේ සැළෙන තෙත් දෙතොල් මත සෙමෙන් පතිත වී මෘදුව තෙරපී ගියේ ය.

———————————————————————— 
මළාණික හිරු රැස් රැස්ව සිටි කුඩා පිරිස මත වැටී තිබිණ. හාත්පස පැතිර තිබුණේ ගුප්ත නිසලතාවකි. මඳ අඳුර ශෝකී බවක් පරිසරයට එක් කළේ ය. පොද වැස්ස හඬක් නොනගා තණපත් මත සෙමෙන් පතිත විය. මඳ සුළඟක් පවා හැමුවේ නැත. පැවති නිහැඬියාවට බාධා කිරීමට කිසිවක් එඩිතර නොවීය.

කොකෝගස් දෙකක සෙවණ යට කුඩා පිරිස රැස්ව සිටියහ. දැරියන්, කන්‍යාසොයුරියන්……. ඔවුන් මැද වූ දිගැති නැවුම් පස් කන්ද මත ඉටිපන්දම් කිහිපයක් දැල්වෙමින් තිබිණ. සිහින් ඉකිබිඳුම් හා තද කරගත් සුසුම්……. එකිනෙකා සෙමෙන් කුරුසිය ලකුණු කළහ, හිස……. බර වූ හදවත……. සහ ඉකියෙන් ගැහෙන දෙඋරහිස් හරහා.

සෙමෙන් එකිනෙකා ආපසු ඒමට හැරුණහ. අවසන් වරටද තම හිතවතියගේ විවේකස්ථානය දෙස බැලූ ඔවුහු ආපසු පියනගන්නට වූහ.

අවසන එතැන ඉතිරි වූයේ දෙදෙනෙක් පමණි. මළාණිකව ගිය තරුණයන්……. ඔවුනතරින් වඩා දුබල සේ පෙනුණු තැනැත්තා සෙමෙන් සෙමෙන් කොකෝගස් දෙක යටට ආයේය. දණින් වැටිණ ඔහු එතැන……. කුඩා පස් කන්ද මතට නැඹුරු වූ ඔහුගේ උරහිස් වෙව්ලීය. ඔහුගේ දෑතේ ඇඟිලි ඔහුගේ ම හිසකෙස් අතරින් රිංගා ගියේ ය.

හමා ආ මඳ සුළඟට හසුව කොකෝ ගස් වල අතු, පත්, දළු සෙමෙන් සැළිණ. පස් කන්ද මත වූ ඉටි පන්දම් වල දැල්ල, හුදෙකළා තරුණයාගේ හිසකෙස්, සුළඟට හසුව සැළෙන්නට විය.

කොකෝ ගස් යට වූ මඳ අඳුර සෙමෙන් සෙමෙන් තරුණයා ගිළගති. කුඩා පස්කන්ද මත වූ ඉටිපන්දම් වල දැල්ල දීප්තිමත් අඳුර තුළ දිස් වූ අතර, ඒ අසළ වූ වෙව්ලන අඳුරු ඡායාවක් පමණක් බවට ඔහු පත් විය. අනෙකා ඔහු වෙත පියනගා ආයේ ය. ඔහු ගේ පියවර තණපත් මත තැබෙන හඬ ශෝකාතුරයාට බාධාවක් වූයේ නැත.

අකිල…….“

තරුණයාට එය ඇසුණ වගක් නොපෙනින.

ඔහු අකිල ගේ ගැහෙන දෙවුර මත අත් තැබීය. අකිල සෙමෙන් නැගී සිටියේ ය. තවතවත් බිමට නැඹුරු වූ හිස……. අවුල් වූ හිසකෙස්……. දෙතුන් දිනක් පැරණි රැවුළු……. ගිළී ගිය දෑසින් ගළා ගිය කඳුළු බිඳු ඔහුගේ දෙකොපුල් මත රැඳී තිබිණ.

දෙදෙනා සෙමෙන් ආපසු එන්නට වූහ. ගේට්ටුවෙන් ඔබ්බට……. දෙපස හෙවුණු උස ගස් වලින් අඳුරු වූ පාළු පටු පාර දිගේ…….
———————————————————————

දින කීපයකට පසුව, හිරු ප‍්‍රචණ්ඩව බැබළෙමින් තිබිණ. කැකෑරෙන අව්ව යට, තාර පාර උණු වන්නට මෙන් රත්ව, තබන අඩියක් පාසා සෙරෙප්පු අඩියට ඇළවෙයි.

අපිළිවෙලට ඇඳගත් අවුල් වූ කෙසින් යුතු තරුණයෙක් වේගවත් ගමනින් තාර පාර දිගේ ඉදිරියට යමින් සිටියේ ය. නළල දිගේ ගළා එන උණු දහදිය බිඳු ඔහුගේ ඇසිපිය මතට වැටී දෑස් දවයි. අව්වෙන් පිච්චෙන දෙකොපුල්……. නළල දෙපස වූ නහර උණු වූ ලෙයින් පිරී ගැහෙයි.

අකිල දිගටම ඇවිද ගියේ ය. ගිණියම් හිරු යට……. අවසන, පාර අද්දර වූ ගොඩනැගිල්ලක් ඉදිරිපිට අව්ව යට ඔහු නැවතිණ. හිස එසවූ ඔහු, සුරතින් ඇස් මුවා කරගනිමින් එහි නාම පුවරුව දෙස හොඳින් බැලීය.

පැද්දෙන කෙටි දොරවල් විවර කරගනිමින් ඇතුල් වූ අකිල හාත්පස වූ මේස මතින් සිසාරා යන බැල්මක් හෙළීය. ඒ බැල්මට, කෙළින්ම ඈත මේසයක වාඩි වී, දොර දෙස යොමු වූ බැල්මෙන් සිටි, හුදෙකළා මිනිසෙකු  හසු විය. ඔහු කෙළින්ම ඒ වෙත ගියේ ය.

අකිල !“ අඩක් හිස් වූ බියර් බෝතලයක් ළඟ වාඩි වී සිටි මිනිසා විස්මයාර්ථ රාවයක් නැංවීය.

ඉඳගනින්,“

විකුම්, මම උඹේ රූම් එකට ගියා. එතනින් කිව්ව උඹ මෙහෙ ආව කියලා.“ අකිල පුටුවක් ඇද වාඩිවෙමින් කීය.

ඉතින්……. තව බියර් එකක් ගෙන්නන්නද?“

“………….“
ඉතින්……. එහෙනං කතාකරමු……. මට කියපං මොකද මේ හදිස්සියෙ උඹ මාව හොයාගෙන ආවෙ කියලා…….“

තවත් බෝතලයක් සහ වීදුරුවක් ගෙන්වාගත් විකුම්, තම මිතුරා වෙනුවෙන් එය පිරවීය.

උඹට ආරංචි ඇති ළඟදි වෙච්ච සිද්ධිය.“ අකිල තෙපළේය. විකුම් දෑස් දල්වාගෙන ඔහු දෙස බලා සිටියේ ය.

අකිල බියර් වීදුරුව එක්වනම අතට ගෙන උගුරු කීපයක් බීවේය, වේගයෙන්……. තිත්ත රස අතරින් උගුර අභ්‍යන්තරයට දැනෙන්නට වූ උණුසුමින් ඔහු තරමක් පිබිදුනි.

විකුම් සිගරැට්ටුවක් ගෙන දල්වා ගති.

අකිල ඉවත බලා ගත්තේ ය.
“ඉතිං……. ඒක ස්වාභාවික මරණයක් නෙමෙයි…….“ ඔහු දිගු වේලාවකට පසු කටහඬ අවදි කළේ ය.

විකුම් වීදුරු දෙක නැවත පිරවීය, නිහඬවම…….
“මට හොයාගන්ඩ  ඕනෙ…….“ අකිල කතා කරන්නට විය. “මගෙ ……. මගෙ අහිංසක කෙල්ලව මරල දාපු එකා…….“ ඔහුගේ කටහඬ එතැනදී බිඳිණ.

වීදුරුව වෙත ඔහු අත දිගු කළේ ය. තදින් එය ග‍්‍රහණය කළ ඔහු…….

වචන ප‍්‍රමාණවත් නොවන……. වචන අවශ්‍ය නොවන මිනිත්තු කීපයක් ගත වී ගියේ ය. ඒ කාලය තුළ බියර් බෝතලය සෙමෙන් සෙමෙන් හිස් විය.

බිත්තියේ අඳුරු කොණක වූ බිත්ති ඔරළෝසුවේ ටික්……. ටික් හඬ සෙමෙන් නැඟී ආවේ ය. අඳුරට හුරු මඳ එළියක් හාත්පස පැතිර තිබිණ.

හරි……. අපි හොයාගම්මු.“ විකුම් නැඟිටිමින්, සිය දකුණත මේසය හරහා දිගු කළේ ය. එය ග‍්‍රහණය කළ අකිලට සිය මිතුරාගේ ගෝරෝසු හමට යටින් වූ උණුසුම දැණින. ඔහු තම ග‍්‍රහණය තවත් දැඩි කළේය.

%d bloggers like this: