Menu Close

මේක ලැබුණොත් නම් ඔක්කොම හරි

දුවල හති

අපි බොහෝ දෙනෙක් හැමදාම ජීවිතය ගෙවන්නේ නුදුරින් ඇති යමක් ගැන සිතමිනුයි. මේක තමයි මට අවශ්‍යම දෙය, ඒක ලැබුණාම මගේ ප්‍රශ්ණ ඔක්කොම විසදෙනවා. ඊට පස්සේ ජීවිතේම සතුටෙන් ඉන්න පුළුවන් කියල හැඟීමක් තමයි අපිව ලඟම තිබෙන ඉලක්කෙට දුවවන්නේ. ඒත් එහෙම වෙනවද?    

පහේ ශිෂ්‍යත්වය සමත් වුනොත් ඔක්කොම ප්‍රශ්ණ විසඳෙයි කියල අවුරුදු දහයක ළමයෙක් හිතනවා. එහෙත් සමත් වුණායින් පසුව තිබෙන ප්‍රීතිය ටික කාලයයි. ඒකෙන් පස්සෙ වෙන පාසැලක් ලැබුණොත් එතන ඉන්න ශිෂ්‍යත්වය සමත් වුණ අනික් අය දකින කොට තමන් උසස් කියල හිතපු සතුට ඉවරයි. ආයිමත් සාමාන්‍ය පෙළ විභාගෙ ලං වෙනකොට කලින් වෙච්ච දේ අමතකයි. OL ඒ 10 ක් ගත්තොත් ජීවිතේ එතනින් පස්සෙ ඔක්කොම හරි කියල හිතනවා. 

උසස් පෙළ විභාගය, සරසවියට තේරුණාම, කෙල්ලෙක් දාගත්තම,  ඩිග්‍රිය ඉවරවුනාම, රැකියාවක් ලැබුනම, විවාහවුණාම, ළමයෙක් ලැබුණම, ගෙයක් හදාගත්තම, වාහනයක් ගත්තම, ආදී වශයෙන් ඒ ඒ අවස්ථාවල නුදුරින් තියෙන ඉල්ලක්කයක් දිහා බලාගෙන යන ගමනක් තමයි බොහෝ දෙනෙක් ගේ ජීවිතය.  ඔබගේ ජීවිතයේ මේ වගේ කඩයිම් ගැන ඒවා ලබාගන්න පෙර හිතුවේ කොහොමද? අද ඒ පරණ ඉලක්ක ගැන අද හිතනකොටත් ඒවගේම වටිනාකමක් දැනෙනවද?  

වාහනයක් තිබෙන හරි යම් තනතුරක් දරන කෙනෙක් වුණත් අළුත් මොඩල් එකේ, වඩා ලොකු වාහනයක් ගත්තම හෝ ඊලඟ ප්‍රමෝශන් එක ලැබුණම තමයි ජීවිතයේ හොයන සියළුම සතුට ලැබෙන්නේ කියල හිතෙනව. තවත් කට්ටියක් කොහොම හරි පිටරටකට සෙට් වුණොත් ඔක්කොම ප්‍රශ්ණ හරියයි කියල හිතනවා. අපිට තිබෙන ආතතිය, අතෘප්තිකර හැඟීම සහ තවත් විවිධ ලෙඩ රෝග වලට හේතුවත් මේ එකකින් පසු එකක් ලෙස ඉලක්ක හඹා යාමයි.

මේ නිසාම තමයි ලෝකයේ ඉහලම තත්ත්ව වල ඉන්න අයත් තව තවත් කවදාවත් සම්පූර්ණ නොවෙන සතුටක් හොයාගෙන තවම දුවන්නේ. මේව තමන්ගෙන් නවතින්නෙත් නැහැ. ළමයව අර ඉස්කෝලෙට දාගත්තොත් ඔක්කොම ප්‍රශ්ණ ඉවරයි කියල හිතල ඊලඟ පරම්පරාව ගැන පටන් ගන්න ඉලක්ක ඊටත් හපන්. ඒකට හේතුව එක්තරා වයසකින් පස්සේ අපිට ඕන ඉලක්ක වලට ළමයින් දුවන්නේ නැතිවුනාම එන ආතතිය. තමන්ට ලබා ගන්න ඕන ඉලක්ක ගැන තමන්ට යම්කිසි පාලනයක් තිබ්බත් අන් අය හරහා ලබා ගන්න බලාපොරොත්තු වෙන ඒවා අපට පාලනය කරන්න කොහොමත්ම බැහැ. 

පොඩ්ඩක් මේක ගැන හිතුවොත් තේරෙයි, මේකෙන් වෙන්නේ කවදාවත්ම සතුටු නොවන එක කියලා. ඒ කියන්නේ අද තිබෙන දේවල් සහ ඉන්නා තත්ත්වය, සහ ජීවිතයේ ලඟාකරගත් දේවල් ගැන සතුටු නොවීම, කියල තේරුම ගැනීම වටිනවා. මේ දවස් වල ඔබ හඹා යන ඉලක්කය ලැබුණත් ටික දවසකින්ම ආයිමත් හිටපු තත්ත්වයටම වැටෙනවා කියල තේරෙනවනම්, ලැබෙන දෙයක් ලැබෙන වෙලාවක ලැබෙයි කියල ඒ සඳහා කළ යුතු දෙයක් තියෙනවනම් එය සිදුකර, අද තත්ත්වය ගැන තෘප්තිමත් වෙන්න හිත හදාගන්න උත්සාහ කරමුද?     

මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

%d bloggers like this: