Menu Close

නන්පේරියල් හරහා ලෝකාන්තය පාමුලට

මේකත් මේ සෑහෙන කාළයක් යන්න හිතේ තියාගෙන ඉදලා ගියපු ගමනක්. මේ ගමනත් ටිකක් විතර දුශ්කර ගමනක්. දුශ්කරයි කිව්වේ මේ ගමන පුරාවට කිලෝමීටර් 25කට වඩා පයින් යන්න තියෙන ගමනක්.

කට්ට කගෙන පයින් ගියාට සෑහෙන සුන්දර ගමනක්. හරි ඒවයින් කාරි නෑ. වැල්වටාරම් ඕන නෑ. අපි ගියේ නන්පේරියල් හරහා ලෝකාන්තය පාමුල තියෙන නැග්රක් බංගලාව බලන්න.

සුපුරුදු විදිහට අපි සිකුරාදාවක රෑ කොළඹින් බදුල්ල බලා යන බස් එකකට ගොඩ වෙන්න පිටකොටුව පුද්ගලික බස් නැවතුම් පොළට ආවා. කලින් පාර වගේ මෙදා සැරෙත් අපි ටිකට් බුක් කරලා තිබ්බේ නෑ. ඒකට හේතුව තමයි ගමන යන සෙට් එක කවුද කියලා අන්තිම මොහොත වෙනකන් ෂුවර් කරගන්න බැරි වෙන එක.

මුලදි හා කියලා කියන කට්ටිය පස්සේ පස්සේ එන්නේ නැති වෙන නිසා ස්ථිර ගානක් කියලා බස් වල ටිකට් බුක් කරගන්න බෑ.


ගිය පාර ගමනේදි අපිට ඒසී බස් එකක යන්න පුළුවන් උනාට මෙදාපාර ඒසී බසුත් පිරිලා. ඒ නිසා අපිට සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්න උනා. කොහොමහරි ආපු බස් එකකින් අපි සබරගමුව කැම්පස් හෝල්ට් එක ගාවින් බැහැගත්තා.

එතැන තිබ්බ කඩේකින් උදේ කෑම කාලා අපි පඹහින්න හන්දියේ තියෙන ඔර්ලෝසු කණුව ගාවට වෙලා හිටියා.

නන්පේරියල් යනවා නම් උදේ හය වෙනකොට පඹහින්න ඔර්ලෝසු කණුව ගාවින් පටන් ගන්න බස් එකක් තියෙනව. ඒකේ නන්පේරියල් ගම්මානය ගාවට යන්න පුලුවන්. ඒ කියන්නේ නන්පේරියල් විවේකානන්ද විද්‍යාලය ගාවට.

එතැන ඉදලා කිලෝමීටර් 15ක් වගේ දුරක් පයින්ම එන්න ඕන නැග්රක් බංගලාව වෙනකන්.

කොළඹ බඩුල්ල පාරේ නන්පේරියල් හන්දියේ ඉදලා නැග් රක් බංගලාව වෙනකන් කිලෝමීටර් 23ක් විතර තියෙනවා. බස් එකේ නන්පේරියල් ගම්මානයට එන්න පුලුවන් නිසා යන ගමනේ මුළු දුරෙන් කිලෝමීටර් 9ක් විතර අඩු කර ගන්න පුලුවන්.

මේ බස් එකේ ගමන් වාර කිහිපයක් විතරයි දවසටම තියෙන්නේ. අන්තිම ගමන් වාරය හවස තුනහමාරට නන්පේරියල් ගම්මානයෙන් පිටත් වෙනවා. ඊට පස්සේ සෙට් උනොත් ඉතින් පයින්ම තමයි ගමන යන්න තියෙන්නේ.

පළමු ගමන්වාරය උදේ හයට පඹහින්නෙන් පටන් අරගෙන නන්පේරියල් ගම්මානයට එනකොට උදේ හතට විතර වෙනවා.

ඒ නිසා අපිට උදේ හතේ ඉදලා හවස තුනහමාර වෙනකන් වෙලාවක් තියෙනවා ඇවිදලා කරලා ඕන දෙයක් කරගෙන එන්න. මේ හින්දම මේ ගමනේදි අපි කාළය ගැන සැලකිලිමත් වෙන්න ඕන.

අතරින් පතර ගමේ අයගෙන් ශෝට් කට් අහගෙන ගියොත් ගමනේ මුළු දුරෙන් කිලෝමීටර් 4-5ක් වගේ දුරක් අඩු කර ගන්න පුලුවන්. ඒ නිසා ඒ ගැනත් සැලකිල්ලක් දක්වන්න.

මේ ගමනේදි අපිට හිරිකටු ඔය සංචාරක කලාපයත් බලන්න පුලුවන්. ඒත් අපි ආවේ බස් එකේ නිසා හිරිකටු ඔය හරියෙන් බැහැලා හිරිකටු ඔය සංචාරක කලපය බලන්න යන්න උනේ නෑ.

පඹහින්නේ ඉදලා නන්පේරියල් වෙනකන්ම බස් එකට හිටියේ අපි කට්ටිය විතරයි. බස් එක නන්පේරියල් ඉස්කෝලේ ගාවින් නැවැත්තුවාට පස්සේ කන්දේ ගම් වලින් මිනිස්සු බස් එකට එන බව දැක්කා. කොහොමහරි මිනිස්සු ගොඩක් බස් එකට ගොඩ උනා.

ඔය දුඹුරු පාටින් පේන්න තියෙන්නේ අපිට යන්න තියෙන පාර. මේ පාර තාර දාපු පාරක් නෙමෙයි. අතරින් පතර කොංක්‍රීට් කරපු වැලමිටි වංගු නම් පේන්න තියෙනවා. ඒ ඇරෙන්න ගල් ඉලිප්පුන පාරවක් තියෙන්නේ ෆෝ වීල් වාහනයක හරි බයික් එකක හරි තමයි මේ ගමන එන්න ඕන. කාර් එකක වගේ එනවා නම් නන්පේරියල් ඉස්කෝලේ ගාවින් නවත්තලා තමයි එන්න වෙන්නේ.

අපි එතනින් එහාට පාර දිගේ ඇවිදගෙන ආවා. ඒ යන ගමනේදි අපිට නන්පේරියල් ඇල්ල දකින්න හම්බ උනා. අපි ආවේ පායන කාළයක නිසා වතුර ගොඩක්ම හිඳිලා. පරිසරයත් මලානික පැහැයක් තමයි පෙන්නුවේ.

ඒත් පරිසරයේ සුන්දරත්වයෙන් අඩුවක් නෑ. වටේටම කඳු පේන්න හියෙනවා.

අපි දිය ඇල්ලත් බලාගෙන සෑහෙන තරමක් වේගයකින් ගමන පිටත් උනා. අතරින් පතර පොඩි පොඩි දොළ පාරවල් එහෙමත් හම්බ වෙනවා මේ ගමනේදී.

අපි උදේ 10 වගේ වෙනකොට ගමනේ ප්‍රධාන ස්ථානයක් වෙන බේකර්ස් වංගුවට ආවා. මේක ගොඩක්ම ප්‍රසිද්ධ තැනක්. මේ වන්ගුව තියෙන තැනට අවට පරිසරය ලස්සනට පේනවා.

මේ වන්ගුව හරියට අශ්ව ලාඩමක හැඩය ගන්නවා.

මේ වංගුවට බේකර්ස් බෙන්ඩ් කියලා කියන්නේ එවකට හිටපු සැමුවෙල් බේකර්ස් කියන ආණ්ඩුකාරවරයාගේ අශ්වයා මේ වංගුව තියෙන හරියෙන් පහලට වැටිලා මැරිලා තියෙනවා.

තමන්ගේ අශ්වයා වැටිලා මළ හින්දා බේකර්ස් මහත්මයා සෑහෙන්න දුක් වෙලා තියෙනවා. ඒ හින්දම මේ සිදුවීම සිහිවෙන්න මේ වංගුව අශ්වයෙක්ගේ ලාඩමක හැඩයට හැදෙව්වා කියලා තමයි දනගන්න හම්බ උනේ.

බේකර්ස් වංගුවෙන් එහාට තියෙන්නේ ටිකක් විතර සීඝ්‍ර නැග්මක්. මේ ගමනේදී 23 වෙනි වංගුව තමයි බේකර්ස් වංගුව. සෑම වැලමිටි වංගුවක්ම අංකනය කරලා තියෙන්නේ.

බේකර්ස් වංගුවේ ඉදලා පහල බැලුවහම පේන්නේ මෙන්න මෙහෙමයි. මේ පේන්නේ නන්පේරියල් ගම්මානය.

ඔය පල්ලෙහා පින්තූරේ බේකර් වංගුවේ ගැට්ටේ වාඩිවෙලා ඉන්නේ මම. සෑහෙන මහන්සියක් වෙන්න ඕන මෙතැනටත් එන්න

නැග්රක් බංගලාව වෙනකන් වංගු 34ක් තියෙනවා.

අපි පය ඉක්මන් කරලා ඉතුරු ටිකත් ආවා. පෑ කිහිපයක් යනකොට අපිට නැග්රක් කලාපයට ඒ ගන්න පුලුවන් උනා.

මෙතන ඉදලා අපිට පරිසරයේ වෙනස් කමක් දකින්න පුලුවන්. අපි කලින් දැකපු වියළි ගතිය මේ හරියේ නෑ. තණකොළ උනත් සශ්‍රික කොළ පාටක් තියෙනවා. ඒත් එක්කම වලාකුල් වනාන්තර වල ස්වබාවයක් තමයි දිස් වෙන්නේ.

මෙතන ඉදලත් තව කිලෝමීටර් 2-3ක් එන්න ඕන බංගලාව වෙනකන්. මේ හරියේ නම් සෑහෙන්න තදින් සීතල දැනෙනවා. මීදුමත් යහමින් තියෙනවා.

අපි කොහොමින් කොහොමහරි බංගලාව ළඟට ආවා. නැග්රක් බංගලාවේ ඉදලා හෝර්ටන් තැන්නට යන්න පුලුවන් කෙටි පාරක් තියෙනවා. ඒ පාරේ ආවොත් බොහොම කෙටි වෙලාවකින් හෝර්ටන් තැන්නට එන්න පුලුවන්.

ඔය පල්ලෙහා පින්තූරේ තියෙන්නේ නැග්රක් බංගලාව. මේකේ නවතිනවා නම් කලින් වෙන් කරගෙන ඉන්න ඕන. මේ බංගලාවේ දවසක් ඉන්න තියෙනවා නම් නියමයිනේ කියලා වෙලාවකට හිතුනා. ඒත් බුක් කරන්න ටිකක් ලොකු ගානක් යනවා කියලා අහන්න හම්බ වෙච්ච නිසා ඒ අදහස අතහැර ගත්තා.

නමුත් මේ පාර වනජීවි එකෙන් තහනම් කරලා තියෙන්නේ. ඒත් සබරගමුව පළාත් සභාවෙන් ඒ තහනම ඉවත් කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ඒක හරි ගියොත් සදාහරිත පැහැයත් එක්කම හෝර්ටන් තැන්න රක්ෂිතයට ඇතුළු වෙන්න පුලුවන්.

අපි ටික වෙලාවක් බංගලාව අවට සිරි නරඹල ආපහු පහලට බැස්සා. මේ ගමන දුර උනාට ගමන් මාර්ගය සුන්දර නිසා ඒ තරම්ම විඩාවක් දැනෙන්නේ නෑ.

නන්පේරියල් තේ වත්ත බලංගොඩ ප්ලාන්ටේශන් සමාගමට අයිති වත්තක්. ඒ වගේම නන්පේරියල් තේවත්ත ජනප්‍රිය වෙන්නේ ලෝකාන්තය මුදුනේ ඉදලා කවුරුහරි පහලට වැටුනොත් වැටෙන්නේ මේ නන්පේරියල් කියන තේ වත්තට.

අපි ආපහු එන ගමනේදි විඩාව නිවෙන්න කියලා නන්පේරියල් ඇල්ලෙන් ටික වෙල්වක් නගත්තා. ඊට පස්සේ ආපහු ගම රට බලා යන්න ඕන නිසා තුනහමාරේ අන්තිම බස් එකට ගොඩ උනා. එතැනින් අපි පඹහින්නට ගිහින් කොළඹ-බදුල්ල බස් එකකට ගොඩ උනා.

ඔන්න ඔහොමයි අපේ එක කටු ට්‍රිප් එකක් ඉවර උනේ. මේක කට්ටක් උනත් සුන්දර කට්ටක් !!!

එහෙනම් මම ගිහින් එන්නම්… ජය වේවා !

%d bloggers like this: