Menu Close

ජෛව විවිධත්වය සුරැකීම සඳහා, වන වැදී ඇති බළලුන්, මිලියන දෙකක් ඝාතනය කිරීම

·        සුරතල් සතුන් වුවද පාලනයෙන් ගිලිහී ගියහොත් විනාශකාරී විය හැකිය.
·        දඩාවතේ යන බළලුන් මහා විපතකි.
·        බළලුන් සඳහා ඇඳිරි නීතියක්

බොහෝ අය සුරතල් සතුන් ඇති කිරීමට මහත් කැමැත්තක් දක්වති. සමහර සුරතල් සතුන් ගෙදර සාමාජිකයින්ම ලෙසසැලකීමක් දක්වන  අයද සිටිති. බල්ලන් සහ බළලුන් සුරතල් සතුන් ලෙස ඇති කිරීම, මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම පැවති බව පෙනේ. වසර හාරදහසකට පමණ පෙර සිටි  ඊජිප්තු වාසීන්ද  බළලුන් හීලෑ කර සුරතල් සතුන් ලෙස ඇතිකර තිබෙන බව කියැවේ.

D.L. Brown විසින් රචිත The Adventures of An Awful House Cat යන ළමා පොත කියවා ඇති අය, ගෙදර ඇතිකරනු ලබන බළලෙකුගේ, අපූර්ව රාත්‍රී චාරිකා පිලිබඳ  හොඳ අවබෝධයක්  ලබන්නට  ඇති බව නිසැකය. මෙම පොතෙහි සඳහන් ‘නොරිස්’ නමැති සුරතල් බළලාගේ හාස්‍ය ජනක ගමන් බිමන් සහ මිතුරු මිතුරියන් ඇසුරු කිරීම ළමා සිත් ඇද ගන්නාසුළු විය. සුරතල් සතුන් අතරින් බල්ලා තම ස්වාමියාට සහ ගෙදර අන් අය සමග ඉතා ලෙන්ගතුව සිටී. එසේ වුවත් බළලුන් හිතවත් කම පෙන්වුවද, බොහෝ විට ආත්මාර්ථකාමී සුරතල් සතුන් බව ප්‍රකටය.

විද්‍යාත්මකව බළලුන් හඳුන්වනුයේ  Felis catus වශයෙනි. ගෙවල ඇතිකරනු ලබන බළලුන් Felis catus domesticus  ලෙසද හැඳින්වේ. බළලා ‘pussy’යන ඉංග්‍රීසි වචනයෙන් බිඳී ආ  ‘පූසා’ යන සුරතල් නමින් හැඳින්වීම කාගේත් කටට හුරු වදනකි. බළලුන් ඇතිකිරීම පහසුය. ඔවුන්, තමන්ට අවශ්‍ය ව්‍යායාම් තනිවම කර ගන්නා අතර, තනිවම  ඇඟපත පිරිසිදු කරගැනීමද ඔවුනට කළ හැකිය. ගෙදරට  මීයන් වැනි අහිතකර සතුන් පැමිණීම පාලනය කිරීමටද බළලා සමතෙකි. පොදුවේ Cats යන නමින් හඳුන්වනු ලබන  Felidae හෙවත් බිළාල ගෝත්‍රයට අයත් කොටි, සිංහයින්, ව්‍යාඝ්‍රයින් වැනි මාංශ භක්ෂක විශාල ශරීර සහිත බිළාලයින් බළලුන්ගේ පරිණාමික ඥාතීහු වෙති. 

මුල් අවදියේදී යුරෝපීය සංක්‍රමණිකයින් විසින් ඕස්ට්‍රේලියාවට  ගෙනෙන ලද බළලුන්, දඩාවතේ ගොස් වල් වැදී වෙනත් සතුන්ට මහත් තර්ජනයක් වී තිබේ. එම තර්ජනයේ ස්වභාවය සහ එම තත්ත්වය මර්දනය කිරීම සම්බන්ධයෙන්, ‘Live Science Essentials’ හි ජේෂ්ඨ ලේඛිකාවක්  වන  Mindy Weisberger විසින් 2019 අප්‍රියෙල් 29 වන දින එම ප්‍රකාශණයට ලියන ලද  ලිපියක, මහා බළල් සංහාරයක් පිළිබඳ තොරතුරු දක්වා තිබේ.    
1700 ගණන් වලදී ඔස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා පැමිණි යුරෝපීය සංක්‍රමණිකයින් විසින් ඔවුන් සමග බළලුන්ද  ගෙනැවිත් තිබේ. එකළ, මෙම බළලුන්ගේ හැසිරීම් රටා පිලිබඳ පාලනයක් නොතිබුණු නිසා, සමහර බළල්ලු දඩාවතේ යන්නට පටන් ගත්හ. එසේ දශක කිහිපයක් ගත වන විට,   වල් වැදුනු බළල්ලු බහුලව බෝවීම නිසා  ඉතා විශාල ගහණයක් ලෙස ව්‍යාප්ත වී තිබේ. දැනට මෙය ඕස්ට්‍රේලියාවේ සිටින  විශාලතම බළල් ගහණයයි.
 මේ ආකාරයටම  අයිතිකරුවන් නොමැති, දඩාවතේ යමින් ගෘහාශ්‍රීතව පමණක් හැසිරෙන දෙවන බළල් ගහණයක්ද බිහිවී තිබේ.
 දඩාවතේ යාම සීමාවී සිටින  ගෙවල ඇතිකරන බළල්ලු තුන්වන කණ්ඩායමයි.
 වික්ටෝරියා ප්‍රාන්තයේ මොනෑෂ් කවුන්සිලයට අයිති ප්‍රදේශයේ පමණක්, ලියාපදිංචි කරන ලද ගෙවල ඇති කරන බළලුන් 4,664 ක් සිටින බව වාර්තාවේ.

ලෝකයේ කුඩාම මහාද්වීපය වන ඕස්ට්‍රේලියාවේ වල් වැදුනු බළලුන් මිලියන පහකට වැඩි සංඛ්‍යාවක් සිටින බව ඔබ විශ්වාස කරන්නෙහි ද?  2017 වර්ෂයේදී The Sydney Morning Herald පත්‍රයට ප්‍රකාශයක් කළ  ඕස්ට්‍රේලියාවේ, ‘වඳවී යාමට ආසන්න සතුන් පිලිබඳ කොමසාරිස්’ ග්‍රෙගරි ඇන්ඩෘස් විසින් මේ බව පවසා තිබේ.
ඔහුගේ ඇස්තමේන්තුව අනුව, මහාද්වීපය පුරාම සහ අවට දුපත් වලද  වල් වැදී ඇති බළලුන් සිටිති. මෑතදී ලබා ඇති දත්ත අනුව මෙම වල් බළලුන් විසින් ඕස්ට්‍රේලියාවේ වනාන්තර සහ මිනිස් වාසස්ථාන ආශ්‍රිතව ජීවත්වන මිලියනයක් පමණ උරගයින්, එක දිනකදී විනාශ කර දමති.
 එසේම ඕස්ට්‍රේලියානු වනජීවී සංරක්ෂණ ආයතනයෙන් ලැබී ඇති තවත් තොරතුරකට  අනුව, වල් වැදුණු බළලුන් විසින් වාර්ෂිකව, කුරුල්ලන් මිලියන 316 සහ උරගයින් මිලියන 596 පමණ මරා,  කා දමන බව සොයාගෙන තිබේ. මේ නිසා ඕස්ට්‍රේලියාවේ දේශීය වනජීවින් හට වල්වැදුනු බළලුන්ගෙන් වන විපත ඉතාමත් භයානකය. ඕස්ට්‍රේලියාවේ, තිරසාර බව, පරිසර, ජලය, ජනගහනය සහ ප්‍රජා කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුවේ  (Department of Sustainability, Environment, Water, Population and Communities SEWPAC). වාර්තාවකට අනුව මෙම වල් වැදුණු බළලුන්ගේ ග්‍රහණයට අසුවන කුරුළු විශේෂ 35 ක්, ක්‍ෂීරපායි විශේෂ 36 ක්, උරග විශේෂ 7 ක් සහ උභයජීවී  විශේෂ 3ක් සිටිති. ස්වාභාවික පාලනයකින් තොර මෙම වල් වැදුනු බළලුන්ගේ ශීඝ්‍ර බෝවීම නිසා පසුගිය දශක කිහිපය තිස්සේ වනජීවී විශේෂ රාශියක ගහණය තුනී වී ගොස් තිබේ.
සුවිශේෂී ජෛව විවිධත්වයකින් යුක්ත ඕස්ට්‍රේලියාවේ, වනාන්තර ආශ්‍රීතව  විලෝපියයෙකු (predator) වී ඇති, වනවැදුනු බළලුන්ගේ, ගොදුරු බවට පත්වන අනිකුත් සතුන්, වඳවී යාමෙන් බේරා ගැනීම සඳහා වනජීවී බලධාරීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවී තිබේ. මොවුන් ආක්‍රමණශීලී සත්ත්ව ප්‍රභේදයක ස්වරූපය ගෙන ඇති නිසා  ජෛව විවිධත්වය රැකගැනීම පිණිස ආක්‍රමණිකයන් ඉවත් කිරීම විනා,  වෙනත් විකල්පයක් නොමැත.
මේ නිසා වටිනා ජෛව විවිධත්වය රැක ගැනීම සඳහා  වනවැදුනු බළල් ගහණය සමග මහත්
සංග්‍රාමයක් කිරීමට සිදුවී තිබේ. පසුගිය දශක කිහිපය තිස්සේ විවිධ ගහණ පාලන ක්‍රමවේදයන් භාවිත කරනු ලැබුවත්, දිනෙන් දිනම බළල් ගහණය වැඩිවීම මහත් ගැටලුවකි. අවසානයේදී, මෙවැනි උපද්‍රවයකදී ගනු ලබන කෲරතම ක්‍රමය ක්‍රියාත්මක කරන්නට සිදුවී තිබේ. එය නම් අධිකතර ගහණය තිරසාර වන පරිදි, සෙස්සන් විනාශ කිරීමයි. මෙම තීරණය ගත් පසු, 2016 වසරේදී පමණක් වන බළලුන් 211,000 ක් ජීවිතක්ෂයට පත්කළ බවට SEWPAC වාර්තාවක දක්වා තිබේ. 2020 දක්වා කරගෙන යනු ලබන මෙම සංහාරය මගින්,වන බළලුන් මිලියන දෙකක් පමණ විනාශ කර දැමීම ඔවුන්ගේ ඉලක්කයයි.

මෙයට සමගාමීව ගෙවල ඇතිකරන සුරතල් ‘පූසන්’ රැක ගැනීම සඳහාද  ඉතාමත් සත්ත්ව හිතකාමී වැඩපිළිවෙලක් යෙදවීම පිණිස  ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මොනෑෂ් කවුන්සලය පියවර ගෙන තිබේ. එය නම්කර ඇත්තේ ‘බළලුන් සඳහා ඇඳිරි නීතියක්’     (A cat curfew) යනුවෙනි.
මොනෑෂ් ප්‍රාදේශීය කවුන්සලයේ 2019 මාර්තු නිල පුවත් නිවේදනයට අනුව ‘බළල් ඇඳිරි නීතිය’ පිලිබඳ දැනුවත් කිරීමක් කර තිබේ.) ඡායාරූපයේ දැක්වෙන පරිදි එම නිවේදනයේ අවසාන කොටස මෙසේය: 
“Cats are great companins to many residents in Monash. However, they are also natural predators and if they are left to roam at night they can do enermous dmage to native wildlife and be a nuisance to residents, and that is of concern to Council.
The  ‘cat curfew’ is one of a number of measures in Council’s Domestic Animal Management (DAM), plan which was adopted at the 31 st October 2017 Council meeting.
There are 4,664 registered cats in Monash.” (www.monash.vic.gov.au)
මේ ආකාරයට ‘බළල් ඇඳිරි නීතිය’ ක්‍රියාත්මක කර,  බළලුන් ගෙවල් වලට කොටු කර තැබීම සඳහා අයිතිකරුවන් දැනුවත් කිරීම සඳහා, මාධ්‍ය හරහා  විශාල ප්‍රචාරයක් දී තිබේ. මේ  මගින් බලාපොරොත්තු වන්නේ  රාත්‍රී කාලයේ දඩාවතේ යමින්, විලොපියයන් ලෙස හැසිරෙමින්,  අනිකුත් සතුනට පීඩාකාරී වන බළලුන් මර්දනය කර ගැනීම සඳහා සුදුසු පියවර ගැනීමට ඉඩකඩ සලසා ගැනීමයි.

වන වැදී සිටින පීඩාකාරී බළලුන් මර්දනය කිරීම සඳහා විවිධ ක්‍රමෝපායයන් භාවිත කරනු ලැබේ. වෙඩි තැබීම, උගුල් ඇටවීම සහ මරණීය විෂ සහිත ආහාර දීම මගින් මෙම බළල් ගහණය තුනී කර ගැනීමට මහත් උත්සාහයක් ගනිමින් සිටින බව දකින්නට ලැබේ.

මීට පෙරද, 1907 දී පමණ, සංක්‍රමණිකයින් විසින් ගෙනෙන ලද,රටහාවුන් (rabbits) ශීඝ්‍රයෙන් බෝවීම නිසා, ඔස්ට්‍රේලියාවේ පාලනය කර ගත නොහැකි වූ හාවුන්ගේ ගහණයක් නිසා, මෙවැනිම විපතක් සිදුවී ඇති බවටද වාර්තාවේ. එම අවස්ථාවේදී, බටහිර ඕස්ට්‍රේලියාවේ ශීඝ්‍රයෙන් බෝ වීමට පටන්ගත් හාවුන් රටෙහි අනිකුත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීම  වැලැක්වීම  පිණිස, හාවුන්ට රිංගා යාමට නොහැකි වැටවල් තුනක් ප්‍රාන්ත මායිමේ ඉදි කරන්නට සිදුවිය. වසර හයක් තිස්සේ එසේ ඉදිකරන ලද වැටවල් වල දිග කිලෝමීටර් 3,256 ක් විය. මෙයින්, කිලෝමීටර් 1,139  ක් දිගින් යුත් වැට, ලෝකයේ දිගම වැට ලෙස වාර්තාවක්ද පිහිටුවන ලදී. ඒ කාලයේ මෙම වැටෙහි කිලෝමීටරයක් ඉදි කිරීම සඳහා ඩොලර් 250 පමණ වැයවූ බවද සටහන් කර ඇත.

යම්කිසි පරිසරයක සමතුලිත බව පවතින්නේ සහ එයට හානි සිදුවන්නේ කෙසේද?

·        සීමිත විලොපියයන් පමණක් සිටීමඕස්ට්‍රේරේලියාව, මහා සාගරය නිසා භු ගෝලීයව සෙසු ලෝකයෙන් දුරස් වී තිබෙන මහාද්වීපයයි.  මෙහි සත්ත්ව පරිණාමයද තරමක් ‘සෙමින්’ සිදුවී ඇති නිසා ආදී කාලීනයින් යයි සැලකෙන උදරයේ පැසක් (pouch) සහිත, කැන්ගරු සහ වොලබි  වැනි සේපාටිකයින් (marsupials) තවමත් නිරුපද්‍රිතව සිටිති. මොවුන්ගේ ගහණය ස්වභාවිකව පාලනය වේ. එසේම උභය ජීවීන්, උරගයින් සහ පක්ෂීන් වැනි දේශීය සතුන්ගේ ගහණද, දේශයට ආවේණික විලෝපියයන්ගේ බලපෑම නිසා ස්වාභාවික සමතුලිත බවකින් පවතී. 
    
·        මාංශ භක්ෂක බළලා ආගන්තුක විලෝපියයෙකිකුඩා සතුන් දඩයම් කිරීම සඳහා අනුවර්තන සහිත බළලා ඕස්ට්‍රේලියාවේ ආවේනික සත්ත්ව ප්‍රජාවට විලෝපියයෙකි. ආගන්තුක විලෝපියයාගේ ග්‍රහණයෙන් මිදියාම සඳහා දේශීය සතුන්ට අනුවර්තන නොමැත. මේ නිසා පහසුවෙන්ම ඔහුගේ ග්‍රහණයට හසුවේ. 

·        සම්පත් සූරාකෑම සහ අධික බෝවීම බාහිර බාධක නොමැති විට ආගන්තුක විලෝපියයා පරිසරයේ ඇති සතුන් අධික ලෙස ගොදුරු කර ගනිමින් ශීඝ්‍ර ලෙස තම වර්ගයා බෝ කිරීමට පටන් ගනී.

·        ආගන්තුකයා තමන්ට ගැලපෙන පරිදි පරිසරය වෙනස් කිරීමආගන්තුක විලෝපියයන් විසින් පරිසරයට ආවේනික සතුන් අධිකලෙස ගොදුරු කර ගැනීම සම්පත් සූරාකෑමකි. මේ නිසා ආවේණිනික දේශීය ගහණ ක්‍රමක්‍රමයෙන් තුනී වේ.

·        වෙනස් වන පරිසරය, දේශීය සතුන්ට හිතකර නොවීම විලෝපියයන්ගේ බලපෑම නිසා විකෘති වන පරිසරය ආවේනික දේශීය සතුන්ට අහිතකර බවට පත්වේ.

·        ගහණය තුනී වී  වඳවී යාමවෙනස් වන පරිසරයට අනුවර්තනය වීමට නොහැකි වන දේශීය සත්ත්ව ගහණය ක්‍රමක්‍රමයෙන් තුනිවී ගොස් අවසානයේදී වඳවී යාමට තුඩු දේ. 

මෙසේ සලකා බලන කළ, ඕස්ට්‍රේලියාවේ ආරම්භ කර තිබෙන, මහා වන බළල් සංහාරය පරිසර විද්‍යාත්මකව, ඉතාමත් නුවණට හුරු, පරිසර සංරක්ෂණ ක්‍රමවේදයක් ලෙස සැලකිය හැකිය.

%d bloggers like this: