Menu Close

සතුටු කන්ද

කළුවරයි..මේ දැන්, මේ මොහොතේ, මට දැනෙන එකම හැඟීම කළුවර..ඇස් දෙක පියා ගත්තාමත්, ඇස් දෙක ඇරගෙන හිටියාමත් මගේ හතර වටේම පිරිලා තියෙන්නේ කළුවර.. මම ඒ කළුවරේ කිසිම අපහසුවක් නැතිව ගිලිලා ඉන්නවා.. සදෙව් ඇඳේ අනිත් පැත්තට හැරිලා නිදාගන්න පටන් අරගෙන..බාගදා තවම  ඇස් වහගෙන නිදාගන්න උත්සහ කරනවා වෙන්න පුළුවන්.. ඒත්, සුවදායි සුරතාන්තයකට පස්සේ සාමාන්‍යයෙන් සදෙව්ට හොදට නින්ද යන විත්තිය මම දන්නවා.. තව ටිකකින්, ඒ නිසා සදෙව් වළහෙක් වගේ ගොරවන්න පටන් ගනීවී..

දැවිල්ලයි..සදෙව්ගේ අතේ තියෙන මගුල් මුද්දට ද කොහෙද බෙල්ල සීරිලා ගිහින් වෙන්න ඔනි.. කොච්චර කිව්වත් මගුල් මුද්ද ගලවලා ඇඳට එන්න කියලා, හැමදාම අමතක කරනවා..මටත් හැමදාම මතක් කරලා මහන්සියි..ඇරත් හැමදේකටම ඇඟිලි ගහන වදක භාරියෙක් වෙන්න මට උවමනාවක් නෑ…එයාට ඔනි විදිහට හිටපුවාවේ..චුට්ටක් බෙල්ල සීරුණාට මිනිස්සු මැරෙන්නේ නෑ නෙහ්..

මට සීතලයි..අපි දෙන්නාටම  තියෙන්නේ එක බ්ලැන්කට් එකයි..ඇඳ ගොඩක් ලොකු වුනත් බ්ලැන්කට් එක හරිම පොඩියි..මම බ්ලැන්කට් එක මගේ පැත්තට  අදිනකොට අනිත් පැත්තෙන් සදෙව් නිදන් හිටියත් එයාගේ පැත්තට බ්ලැන්කට් එක ඇදලා ගන්නවා..මට හරිම  සීතලයි..බිමට විසි කරපු රෑ ගවුම ආයිමත් ඇහිදගෙන ඇදගන්න මට කම්මැලි.. මම එහෙමම්ම ගුලිවුනා..මගේ පපුව රස්නෙයි.. අත්ල රස්නෙයි..මම මගේ රස්නෙටම ගුලිවුනා..

සදෙව් සතුටු කන්ද, මට  බොහෝම කලියෙන්, නැගලා බැහැලා සාමකාමී තැනිතලා බිමට යනවා… සදෙව්ට මාව මතක සතුටු කන්ද මුදුනටම යනකන් විතරයි..ඒක සමහර විට ස්වාභාවික ඇති..සතුටු කන්ද මුදුනෙදි සදෙව් මං දිහා හැරිලා බලන්නෙවත් නැතිව සාමකාමී තැනිතලා බිම දිහාවට දුවලා ගිහින් නින්දට වැටෙනවා..හැමදාම මම, සතුටු කන්දේ බාගයක් දුරවත් යා ගන්න බැරිව මඟ නතර වෙනවා…

මට දුකයි…මට ආසයි කන්ද මුදුනටම ගිහින් බලන්න..කවමදාවත් කන්ද මුදුනට යන්න බැරි වුන කෙනෙක්ට, ඒ කන්ද මුදුන ගැන හිතා ගන්න අමාරුයි..කන්දෙන් පල්ලෙහාට ගිහින් සදෙව් වගේම සාමකාමී තැනිතලාවේ වැතිරිලා නිදා ගන්න මම ආසයි…

ඇස් දෙක තද කරලා වහගෙන නිදාගන්න ඔනි.. දන්නවද, නිදාගන්න පහසුවම ක්‍රමය තමා මොකක් හරි හීනයක් දකින්න උත්සහ කරන එක..මට ඇස් දෙක වහගත්තාම පේන්නේ මුහුද මැද පාවෙන මාව..පුංචි දර කොටයක් වගේ,එහෙමත් නැත්නම්  පුංචි ඇල්ගී පඳුරක් වගේ, ලුණු වතුර තටාකයේ මාව පාවෙනවා.. වතුර වල තියෙන කැළතෙන සද්දේ කන් බෙරයේ වැදිල හදවත කම්පනය කරනවා..මට ඉහළින් තියෙන්නේ තනි නිල් අහස…රොකට් එකක් ඒ අහසේ දෙකට මැද්දෙන් සුදු පාට වලාකුළු ඉරක් ලකුණු කරනවා.. මට සැහැල්ලුයි..ඒත් මට නිදා ගන්න අමාරුයි..ඒ සැහැල්ලුව තවම අසම්පූර්ණයි වගේ දැනෙන නිසා වෙන්න ඇති..

සදෙව්ව නැගිට්ටලා මේ ගැන කතා කලොත් නරක ද..එහෙම කලොත් සදෙව් හිතයි මං වලත්ත ගෑනියෙක් කියලා..සදෙව් කැමති වෙන එකක් නෑ සමහර කාරණා පිළිගන්න…බාගදා අපේ පවුල කැඩිලා යන්නත් පුළුවන්..සදෙව් මට උවමනා දේවල් අහලා තියෙනවාද..මේ කාරණා වලදි සදෙව් ආත්මාර්ථකාමී… එහෙව් එකේ සතුටු කන්දේ තනි අයිතිය ගැන, මගේ සතුටු කන්ද කොයිවගේද කියන එක ගැන, එයා සැළකිලිමත් වෙයි කියලා මට හිතෙන්නේ නෑ…ඇත්තටම සදෙව් මගෙන් උවමනා දේවල් ඇහුවොත්.. ඇත්තටම මම කැමති මොනවටද කියලා කලින් කවමදාවත් කල්පනා කරලා නෑ නේද..

සදෙව් ආසම පාට, එයා ආසම කෑම එයාගේ ජීවිතේ ආසම දේවල් ගොඩක් මම දන්නවා… මම ආසම කෑම , පාට එයා දන්නවා වුනාට, ඊට එහාට මම ආස දේවල් කොයිතරම් තියෙනවා ද… මම ආස දම් පාට වුනාට, සදෙව් ගෙනත් දුන්න සාරියේ දම් පාට මට අප්පිරියයි…දම් පාටේ වුනත් කොයිතරම් ප්‍රභේදද..ජීවිතේ කොයිතරම් සංකීර්ණ ද..

ආදරේ කියන්නෙ මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ.. අම්මා කිව්වේ ජීවිත කාලයක එකම මිනිහෙක් එක්ක ජීවත් වෙන්න හිත හදා ගන්න එකට නම් කියන්නේ කසාදේ කියලා…සදෙව් මට ආදරෙයි ද…හෙට උදේට නැගිට්ටම අහන්න ඔනි..  උත්තරේ සරලයි.. “ඔව්” නැත්නම් “නෑ”.. සදෙව් ඒ ප්‍රශ්නෙම මගෙන් ඇහුවොත්, මට එහෙම උත්තර දෙන්න පුළුවන් ද.. ඇයි එහෙම උත්තර දෙන්න ඒ  තරම් අමාරු…

ආදරේ කියන එක දෙකට තුනට හතරට මේ වගේ දෙයක් නිසා කැඩිලා යන්න පුළුවන් නම් ඒ ආදරේ වෙන්න බෑ නේද…

සදෙව් ගොරවන සද්දේ ඇහෙනවා.. හෙට පහට නැගිටලා අපි දෙන්නාම වැඩට යන්න ඔනි.. සදෙව්ගේ සුදු පාට සර්ට් එකට රතු පාට ටයි එක ලෑස්ති කරලා අල්මාරියේ එල්ලලා තියෙන්නේ..ඒ ඇඳුමට එයා ලස්සනයි…

සදෙව් කවි ලියනවා…සමහර වෙලාවට ගිටාර් එක ගගහා මාත් එක සිංදු කියනවා…ඒ වෙලාවට එයා ගාවින් ඉන්න එක මට සතුටක්…එයා පොඩ්ඩක් පරක්කු වෙලා ගෙදර ආවත් මට බය හිතෙනවා…බාගදා ඇස් වලට කඳුළු එනවා..පස්සේ මහ මෝඩ කඳුළු කියලා හිතුනත්, ඒ මම සදෙව්ට ආදරේ  නිසා ආපු කඳුළු කියලා විස්වාස කරන්න මේ දැන් මම කැමති…මම සදෙව්ට හේත්තු වුනා.. සදෙව් රස්නෙයි.. මට හීතලයි..

ජෙනිකා මට උදේ කම්මුලට කිස් එකක් දුන්න වෙලාවේ එයාගේ අතේ බැඳලා තිබ්බ පුංචි දම්වැලටද මේ බෙල්ල හීරුණේ කියලා මට සැකයි..
ජෙනිකා බදාගන්නකොට හරිම උණුසුම්..බාගදා සදෙව්ටත් වඩා..ඒත් එහෙම හිතන එක හරි වැරදියි..ජෙනිකාගේ ෆෝන් නම්බරේ ලියපු පුංචි කොළ කෑල්ල පිටි පස්සේ තමා සදෙව්ගේ හෙම්බිරිස්සාවට ගන්න බෙහෙතක නමක් ලිව්වෙත්…
මේ ජීවිතේ කාසියක් වගේ.. දෙපැත්තෙන් කොයි පැත්ත ද තෝරගන්නේ කියලා හිතාගන්න බැහැ..ජීවිතේ දෙපැත්තකට වඩා තියෙනවා කියල වෙලාවකට හිතෙනවා… ජීවිතේ දාදු කැටයක් වගේ.. මේ මොහොතේ මට එහෙම හිතෙනවා..

සතුටු කන්දේ ඉඳන් වලාකුළු අතපත ගාන මගේ යාලුවන්ගේ කතා ඇහුවාම  ඇතුළෙන් බිඳිලා යනවා..ඇත්ත!!ඒත් දැන් කරන්න කියලා දෙයක් ඉතිරි වෙලා තියෙනවද..
බාගදා මගේ සතුටු කන්ද ලඟා වෙන්න බැරි තරම් දුරක වෙන්න ඇති..සදෙව්ගේ වරදක් නැතිව ඇති..එහෙම හිත හදාගන්න පුළුවන් නම් කොයිතරම් ලේසි ද..

ජෙනිකා කෝපි බොන්න යන්න කතා කලා නේද හෙට.. තද දම් පාට ගවුම හෙට ඔෆිස් ඇඳගෙන ගියොත් මට එහෙම්මම කොෆී ශොප් එකට යන්න පුළුවන්.. ඒක කොච්චර ලේසි ද..”ගෑනු කෙනෙක්ට පිරිමි අයට වගේ නෙමෙයි ඩියර්..ගෑනු කෙනෙක්ට ගෑනු කෙනෙක් ගැන පිරිමි අයට වඩා දැනෙනවා” කියපු එක ගැනත් ජෙනිකාගෙන් අහලා බලන්න ඔනි..

%d bloggers like this: