Menu Close

බිත්තර, හාවන් සහිත පාස්කු Easter

පාස්කු ගැන බොහෝ ශ්‍රී ලාංකිකයන් දන්නේ ක්‍රිස්තියානි ආගමිකයන්ගේ දුක් ප්‍රාප්තියකින් පසු එළඹෙන සතුට සලසන දිනයක් ලෙසයි. වසන්ත උදාව සමරන මාර්තු අප්‍රේල් සමයේ පැවැත්වෙන පාස්කු, ආගමික උත්සවයක් වුවත් එයට අඩංගු විවිධ චාරිත්‍ර ඊට පෙර සිට විවිධ ජාතින් විසින් අනුගමනය කරන ලද සිරිත්වලට සම්බන්ධ වීමක් දක්නට ලැබේ.  දෙවියන් වහන්සේගේ පුත්‍ර ජේසුස් වහන්සේ කුරුසිය මත දිවි පුදා, අඳුරේ ශක්තිය මැඩ නැවත ඉපදීම සංඛේතවත් කරන පාස්කු එසමයේ අනෙකුත් උත්සවවල තේමාවන්ට ඉතා මැනවින් ගැලපෙන නිසා එම උත්සව මාලාවන් සමග අතිපිහිතව ගමන් කිරීමක් නිරීක්ෂණය කල හැකිවේ.

නත්තල් දිනෙක උපත ලද මිත්‍රස් ගේ අනුගාමික පේගන්වරු  ජේසු උපතට බොහෝ පෙර සිට වසන්ත උදාව සමරති. දිවා රාත්‍රී කාල සමව ලැබෙන වසන්ත සමය ශුද්ධ වූ කාලයක් ලෙස ඔවුහු සැලකුහ. පසුකාලීනව ඔවුන් කාගේ දෙවියන් නිවැරදිදැයි ක්‍රිස්තියානුවන්  සමග අඩදබර කරගත් බව සඳහන්ය. ඊටත් පෙර ඉතිහාසයේ සුමේරියානු දෙවි ඉනන්නා නිරුවතින් එල්ලා මැරූ පසු නැවත උපත ලද බව කියවේ. දෙසැම්බර් 25 දිනක උපත ලද ඊජිප්තු ජාතික හොරස් මරණින් උපත ලද කථාව ඉපැරණිය. ග්‍රීක දෙවි සිබිල් ගේ ආදරවන්තයා වන ඇටිස් කන්‍යාවකගෙන් උපත ලබා මියයාමෙන් පසු වාර්ෂිකව උපත ලබන බව පැරණි ග්‍රීකයෝ ඇදහුහ.
පේගන්වරුන්ගේ  වසන්ත උදා සුර්ය උත්සවවලට අනුව මුල් සියවස්වල ක්‍රිස්තියානි පල්ලි sunrise services පැවැත්වූ බව කියවේ. “වසන්ත උත්සවවල තේමාව වන කටුක ශීතලෙන් මිදීම හා නව ජීවනය, ජේසුස් වහන්සේ දුක්ඛදායක මරණයෙන් පසු උත්ථානය වීම නිසි ලෙස ගැලපුණු හෙයින් පේගන්වරුන්ගේ උත්සව වලට මේවා ක්‍රමයෙන් සම්බන්ධ කල බවක් පෙනෙයි”. සිඩ්නි විශ්ව විද්‍යාලයේ ආගමික අධ්‍යයන අංශයේ මහාචාර්ය කුසැක් කියයි.

ක්‍රි.ව. 325දී නිකෙසියා දෙවස්ථාන කවුන්සිලය විසින් පාස්කුව වසන්තය උදාවෙන් පසුව එන පළමු පුරහඳට පසු එළඹෙන ඉරිදාට පැවැත්විය යුතුයි තීරණය කෙළේය. එනිසා පාස්කුව, වසන්ත උදාව මෙන් නියමිත දිනකට සිමා නොවී මාර්තු 22 ත් අප්‍රේල් 25ත් අතර ඉරිදාවක යෙදෙන්නට විය.
පාස්කු යන වචනයට ආසන්න වචන මෙම දිනය උදෙසා බොහෝ රටවල භාවිතා වේ. ග්‍රීකයෝ Pascha ලෙසත්, ඉතාලි ජාතිකයෝ pasqua ලෙසත්, ප්‍රංශ ජාතිකයෝ paques ලෙසත්, ඩෙන්මාර්ක හා ස්වීඩන් ජාතිකයෝ paaske ලෙසත්, ස්පාඤ්ඤ ජාතිකයෝ pascua ලෙසත් මෙම දිනය හඳුන්වති. මෙය යුදෙව්වන් ගේ Passover (හිබ්රු භාෂාවෙන් pesakh) වචනයෙන් බිඳී ආ එකක් ලෙස සැලකේ. යුදෙව්වන් පාස්ඕවර් ලෙස සඳහන් කරන්නේ ක්‍රිස්තු උපතට වසර 1300 කට පෙර සිදුවූ මෝසේස්ගේ නයකත්වය යටතේ පැරණි ඊජිප්තුවෙන් යුදෙව්වන් වහල් බවින් නිදහස් වීමයි. දෙවියන් විසින් ඔවුනට විමුක්තිය ලබාදීම වෙනුවෙන් දින අටක් සමරන මෙම කාලය  මාර්තු මස (පෙර දින දර්ශනයේ වසරේ මුල්ම මස) යෙදී ඇත.
ඉංග්‍රීසි කතාකරන රටවල පාස්කු දිනය සඳහන් වෙන්නේ ඊස්ටර් ලෙසයි. අටවන සියවසේ විසු පුජකවරයෙක් වන බෙඩේ සඳහන් කරන අන්දමට උතුරු යුරෝපයේ සැක්සන්වරු  වසන්තයට හා නව්‍යතාවට අධිපති ලෙස සලකන ඊස්ටර් දෙවඟනගේ නම මෙලෙස යොදාගෙන ඇත. ජර්මන්  ජාතිකයන් භාවිතා කරන ඔස්ටර්න් නමද එම දෙවඟනම හඳුන්වන ඔස්ටාරා නම ඇසුරෙන් ලබා ගන්නට ඇතැයි සැලකේ.

ලංකාවේ බහුලව දක්නට නැතත්  පාස්කුව සමග බැඳුනු දෙයක් ලෙස වර්ණවත් බිත්තර යොදාගැනීම යුරෝපා හා ඇමරිකානු රටවල බහුලය. පේගන්වරු වසන්තයේ සරුබව හා බලාපොරොත්තුව දැනවීමට බිත්තර උපයෝගී කරගෙන ඇත. නව ජිවිතය සංඛේතවත් කිරීමට බාගෙට තම්බන ලද බිත්තරවල මොස්තර ඇඳ තෑගි කිරීම  පෝලන්තය, යුක්‍රේනය වැනි නැගෙනහිර යුරෝපා රටවල ඈත අතීතයේ සිටම සිදුවූ, දැනටත් පවතින චාරිත්‍රයකි. එවන් සිරිත් පාස්කුවට පහසුවෙන් අවශෝෂණය විය. දින හතකට පෙර අළු බදාදා සිට ජේසුස් වහන්සේ කුරුසියේ දිවිදුන් මහ සිකුරාදා දක්වා මස් හා මස්වලින් තැනූ අහර නොගන්නා ක්‍රිස්තු ලබ්ධිකයෝ පාස්කු දින පල්ලි ගොස් පැමිණීමෙන් පසු නැවත ජීවනය සංඛේතවත් කරමින් බිත්තර හා බිත්තර හැඩයට තැනූ චොකලට් අනුභවය බොහෝ රටවල ප්‍රචලිතය. ජේසුන්ගේ සිරුර රඳවා තිබු ගුහාවේ ගල් සංඛේතවත් කිරිමට බිත්තර යොදාගන්න බවටද මතයක් ඇත. බෑවුමක ඉහල සිට පහලට බිත්තර රෝල් කිරීම මෙම සමයේ ක්‍රීඩාවකි. දෙපස එකිනෙකට මුහුණ ලා සිටගෙන ප්‍රතිවාදියා විසින් එවන බිත්තරය බිත්තරයක් යැවීමෙන් කඩා දැමීමද විනෝද ක්‍රීඩාවක් ලෙස කරති.

හාවන් ඊස්ටර්  දෙවඟනගේ තවත් සංඛේතයකි. සීතලට ගුල් තුලට වී සිටි හාවන් මේ සමයට කුඩා පැටවුන් සමග පිටතට පැමිණේ. පුනර්ජීවනය දැක්වීමට එය කදිම අදහසකි.  1722 ජර්මන් ජාතික මහාචාර්යවරයෙක් ලියු පොතක හාවන් විසින් දරුවන්ට සොයාගන්නට ගෙවතුවල පාට කරන ලද බිත්තර සැඟවීම පිලිබඳ ජනප්‍රවාද ගැන සඳහන් වේ. ඒවාට අනුව ඊස්ටර් හාවන් (Easter bunny) පාස්කු දිනට පෙර දින කූඩයක වර්ණ බිත්තර හා සෙල්ලම් බඩු රැගෙන නිවෙස් අසල සඟවයි. පසුදින උදැසන අවදිවන දරුවෝ බිත්තර සොයාගැනීමේ තරගයක යෙදෙති. බයිබලයට සම්බන්ධ නොමැති මෙවැනි කතා ක්‍රීඩාවන් ලෙසින් දැන් පාස්කුවට ඉබේම ඇතුලත් වී ඇත.
19වන සියවසේ සිටම හාවන් හා බිත්තර පාස්කුව වානිජකරණයට යොදාගෙන ඇතිබව මහාචාර්ය කුසැක් පෙන්වාදෙයි. අලංකාර බිත්තර හා සුරතල් හාවන්ගේ පින්තුර සහිත කාඩ්පත් කරලියට පැමිණ ඇත. කෑමට හැකි ආකාරයේ සීනි හාවන් 19වන සියවසේ ජර්මනියේ නිපදවී ඇත. එංගලන්තයේ චොකලට් සමාගම් චොකලට් හාවන් සහ චොකලට්වලින් තැනූ බිත්තර ආකෘති නිපදවීම ඇරඹුහ.
පාස්කු දිනට පසුදින Easter Monday ලෙස නිවාඩු දිනයක් වන බොහෝ රටවල එම දිනය ක්‍රීඩා හා තරග පැවැත්වෙන මිනිසුන් එකතු වන ප්‍රීතිමත් දිනයක් බවට පත්ව ඇත. වසන්තය වෙනුවට සරත් සමය ලබන දකුණු අර්ධගෝලයේ රටවල් පවා වසන්ත සංඛේත සහිත පාස්කු සමරනු පෙනේ.  14 වන සියවසේ සිට 17 වන සියවස දක්වා ජනප්‍රිය වුනු පාස්කු කැරොල් ගායනා හා නැටුම් ක්‍රමයෙන් වියැකී ගියත් වානිජ්‍ය ලෙස යොදාගත හැකි දේ   බිත්තර ගස් දක්වාම පැතිරීමක් දක්නට ඇත.

බොහෝ රටවල් පසුගිය සතියේ පාස්කු සැමරුම් සිදුකළත් ඔතොඩොක්ස් ක්‍රිස්තියානි ලබ්ධිකයන් එය සිහිපත් කරන්නේ මෙම සතියේයි. දෙවියන් වහන්සේ මුලින්ම ශුභාරංචිය ගෙනෙන ලද්දේ තමන්ට බව විශ්වාස කරන ග්‍රීක, මැද පෙරදිග හා රුසියන් සම්භවයක් ඇති මොවුහු දුක් ප්‍රාප්තිය, උත්ථානය මෙන්ම හාවන් හා බිත්තරද ඇතුළු අනෙක් සියලුම අංගයන් හා එකඟ වුවද, දිනය සතියකින් වෙනස්ව සමරති.

උදව්:
Julian Fox, Festivals- Easter
Jean Cooke, Projects for Easter
www.theguardian.com/commentisfree/
sydney.edu.au/news-opinion/news/2017/04/13/origins-of-easter
redoubtnews.com/2017/03/easter-eggs-bunnies-resurrection

%d bloggers like this: