Menu Close

සතියකදී බොහෝ දේ වෙනස් විය


“ඔවුහු අහිංසක මිනිසුන් 300 කට ආසන්න පිරිසක් සමග සමස්ත ලාංකික මුස්ලිම් සමාජයම මරා දැමූහ”

ලක් ඉතිහාසයේ ආගම මුල් කරගෙන සිදුවූ ම්ලේච්ඡතම ප්‍රහාරයකින් සතියකට පසු මා දකින අසන ලාංකික සමාජය මට ඉහත වැකියෙන් සාරාංශ කල හැක. ලාංකිකයන්  බොහෝ දෙනෙකු මෙන්ම මාද මේ සතිය තුල වෙනස් වී ඇතැයි මට හැඟේ. සමාජ ජාලා හරහා මා දකින, දුරස්ථ සන්නිවේදන ක්‍රමවේදයන්ගෙන් මා අමතන හිතමිතුරන්ගේ පෝස්ට්, කොමෙන්ටු මෙන්ම හඬද ගෙන එන්නේ පේලි අතරින් කියවෙන පණිවිඩයකි. ඒ අප සිතාගෙන සිටි බොහෝ දේ වැරදි බවයි.

හැමදාමත් ලොවේ කොතැනක හෝ ඉස්ලාම් ජිහාඩ් සංවිධානයේ ප්‍රහාරයක් දියත් වූ විට “ඒ නරක ඉස්ලාම් – අපි හොඳ ඉස්ලාම්” යයි කියා අත සෝදාගැනීමට පුරුදු වී සිටි අපේ හිතවත් මුස්ලිම් සහෝදරත්වයට තවදුරටත් එය කිරීමට නොහැකි වී ඇත. නැවතත් හා කිරීමට අපහසු තරමට මුස්ලිම් ජනතාව කෙරේ රටේ අනෙකුත් සමාජ පද්ධතීන් තුල වූ විශ්වාසය පළුදු වී තිබේ. සමාජයට අවශ්‍ය, කවුද හරි කවුද වැරදි යයි සෙවීම සඳහා නොනවතින තර්කයක යෙදීම නොවේ. සිදුවන ව්‍යසන වලකා ගැනීමයි.

මේ මානසික විකෘතිය තනන්නේ යමක්ද එම මූලය උදුරා දැමීම අත්‍යවශ්‍ය වෙයි. සමාජය ඒ වෙනුවෙන් දේශපාලනයෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් වියුක්ත වූ විශාල කතිකාවතක් ගොඩනගමින් සිටින බව පෙනෙයි. මේ සඳහා ඉස්ලාම් සමාජයේ කැමැත්ත හා සහයෝගය අත්‍යවශ්‍ය වේ.

මේ සතිය දේශපාලන ඛේදවාචකයකි. රජය මෙන්ම මුළු විපක්ෂයම දැඩි සේ අසමත්විය. ඕනෑම රජයකින් අඩු පාඩු කම් සිදුවේ. එහෙත් ඒ අවස්ථාවලදී එකට සිටගෙන වරද නිවැරදි කරගන්නවා වෙනුවට ඔවුන් එකාට එකා ඉතා අඳබාල මට්ටමින් චෝදනා එල්ල කරගන්න විය. පක්ෂ බේදයකින් තොරව, මහජනතාව මේ දෙස බලා සිටියේ විශාල පිලිකුලකිනි. 

විපක්ෂයේ තිබුනේද මහා වියවුල් තත්වයකි. ඔවුන්ට අවශ්‍ය වුයේ මෙම අවස්ථාව රජයට පහර දීම සඳහා උපයෝගී කරගැනීමටයි. එහෙත් ඒ සඳහා ඔවුන් තුල සුදානමක් නොවීය. විපක්ෂය රජයේ දුර්වලතා පිළිබඳව කෑමොර දුන් බොහෝ අවස්ථාවල් කෙලවර වුයේ සියළු දෝෂ වල දැවැත්ත මූලයක් තම මුවෙහි රුවාගෙනය. 

පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම තුරන් කල හැකි ත්‍රස්තවාදියෙකු නොසිටීම පිළිබඳව දුක පලකරන හාස්‍යජනක කාටුනයන් සමාජමාධ්‍ය පුරා පැතිරෙන්න විය. මෙය ජනතාව අතරින් දේශපාලකයා වෙත එල්ලවන පිළිකුල මනාව පිළිබිඹු කළේය. ලංකාවේ ප්‍රධාන සමාජ ජාලාව වන FB පවා තහනම් කර ඇති අවස්ථාවක මෙතරම් දරුණු අප්‍රසාදයක් දේශපාලකයන් කෙරේ ප්‍රදර්ශනය වීම වැදගත් කාරණයකි. 

මෙම සමස්ත ක්‍රියාවලිය තුලම ඉහල ප්‍රතිරූපයක් ස්ථාපිත කරගත් එකම පුද්ගලයා වුයේ කාදිනල් රන්ජිත් මැල්කම් හිමිපාණන් පමණකි. එතුමා තම පෞරුෂත්වයෙන්, වචන භාවිතයෙන් මෙන්ම අංග චලනය සහ මුහුණේ ස්වරුපය හැසිරවීම තුලින්ද ඉතා ව්‍යක්ත සහ සම්භාවනීය ස්වරුපයක් පෙන්නුම් කළේය. අවාසනාවකට අපගේ සංඝ සමාජය තුල මේ ආසන්නයටවත් ලං විය හැකි චරිතයක් නොවීය.

අපගේ සුරක්ෂිත බාවය තහවුරු කල හැකි එකම ගැලවුම්කරු හමුදාව පමණක් බවට දැඩි අදහසක් මහජනතාව අතර මුල් බැස ගනිමින් තිබේ. දේශපාලකයා මෙන්ම ආගමික නායකත්වයද අභිබවා මේ පණිවිඩය සමාජය තුල පැතිරී යයි. 

මෙහි හොඳ නරක අපි අනාගතයේදී දකිමු.


%d bloggers like this: