Menu Close

මිනිසා කොයිබටද

                                                    

         
                                  අඳුරු ඉරිදාවෙන් පස්සේ වේදනාකාරී මූසල දවස් කීපයක් ගෙවිලා ගියා. නිදාගන්න ගියත් කන්න බොන්න ගියත් වෙච්ච විනාශය මතක් වෙලා හිත කීරි ගැහෙනවා. සිද්ද උනේ ආයේ කවමදාවත් සිදු නොවෙයි කියලා හිතපු දෙයක්. අවුරුදු දහයක් නිදහසේ සැහැල්ලුවෙන් ජීවත් උන අපට මේ අත්දැකීම නුහුරුයි වගේ. බස් එකේ කෝච්චියේ යනකොට සෙවිල්ලෙන් ඉන්න එක මග තොටේදී දකින දකින කෙනා දිහා සැකෙන් බලන්න වෙන එක මොනතරම් අසීරුද. හිතට හරිම වේදනාවක්. අපිට ආයෙමත් වැරදුනේ කොතනද කියලා හිතෙනවා.
                                      අපි හැමවෙලේම අනිත් මිනිස්සුන්ට සාමය සංහිඳියාවේ දෑත දිගු කරනකොට ඔවුන්ගෙන් කොටසක් අපිට  බෝම්බ දික් කරයි කියලා හීනෙන්වත් හිතුවෙ නෑ. ත්‍රස්තවාදය, අන්තවාදය, ආගමට මුවා වෙලා කරන විනාශය බරපතලයි. මේ අන්තවාදය නිසා සමහර රටවල් අන්ත අසරණ වෙලා. මිනිස්සු මරලා මිනිස්සු අසරණ කරලා ලබාගන්න තියන විමුක්තිය මොකක්ද කියලා මටනම් තේරෙන්නෙ නෑ.
                                  මනුෂ්‍ය ආත්මයක් ලබපු අපි මේ ලෝකෙට දෙන්න ඕන හොඳ විතරයි. මිනිස්සුන්ට, පරිසරයට, සොබාදහමට යහපත කරලා හොඳ මනුස්සයෙක් විදිහට ජීවත් වෙලා මැරිලා යන එක තමයි අපේ යුතුකම වියයුත්තේ කියලා මිනිස්සු කවදා තේරුම් ගනීද?
                                  ආගමක් නිසා මිනිස්සු හික්මීම ලබනවා. කිසිම ආගමක සඳහන් වෙලා නෑ ඔවුන්ගේ ආගම හැර අනිත් ආගම් අදහන්න එපා කියලා. එහෙනම් ඇයි මේ ආගමික අන්තවාදයක්. තමුන්ගේ ජාතිය තමුන්ගේ ආගම විතරක් මෙලොව රැඳෙන්න ඕනා කියන හැඟීමක්. මේවාට ඔවුන් ළඟ පිළිතුරු නෑ. මනුෂ්‍ය ශරීරයක් ලැබුවාට හිතන්න මොළයක් වත් හොඳ හදවතක්වත් දීලා නෑ. 

%d bloggers like this: