Menu Close

විදුලිය ගැන පොඩි කතාවක්


ලංකාවේ විදුලිබල අර්බුදය ගැන මේ ලිපිය ලිවිම සඳහා පසුගිය සතියේ මම වෙනත් ලිපියක් මගින් ප්‍රවේශයක් ලබා ගතිමි. මෙම ලිපියෙහි අඩංගු වන ලංකාව පිලිබඳ සියලුම දත්ත විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නිකුත් කර ඇති නවතම ප්‍රකාශයන්ගෙන් උපුටා ගන්නා ලදී. 

බලශක්තිය ගැන කතාකිරීමේදී විෂය බාර ඇමතිවරයාගේ/ ඇමතිවරියගේ සිට විදුලි පාරිභෝගිකයා දක්වා වරද්දා ගන්නා ඉතා සරල කාරණයක් ඇත. එනම් ක්ෂමතාවය (power) හා ශක්තියයි (energy). මේ සඳහා මට සාමාන්‍ය පෙළ පාඩමක් කෙටියෙන් ඉදිරිපත් කිරීමට  සිදුවෙයි. 

නිමල් ජල කරාමය ඇර බාල්දියක් ඒ යටින් තැබූ විට තත්පරයකදී එයට එක්රැස්වන ජල ප්‍රමාණය ක්ෂමතවයට සමාන වෙයි. නිමල් ඒ ආකාරයෙන් කරාමය පැයක් හෝ දිනක් ආදී වශයෙන් ඇර තැබුවහොත් තැබුවහොත් එකතු කරගත හැකි මුළු ජල ප්‍රමාණය පැයක හෝ දිනක ශක්ති සැපයුමට සමානවෙයි. 

නිමල්ගේ කරාමයෙන් ජලය ගලන්නේ එකම ශිඝ්‍රතාවයෙන් නම් එකතුවන මුළු ජල ප්‍රමාණය පහසුවෙන් ගණනය කල හැක. උදාහරණයක් ලෙස තත්පරයකට ජලය ලීටර 0.1 ක් පිරේ නම් පැයකදී එකතුවල ජල ප්‍රමාණය ලීටර 360 කි (0.1 x 3600).  එහෙත් නිමල්ගේ කරාමයෙන් එන ජල ප්‍රමාණය නිරතුරුවම අඩු වැඩි වෙයි නම් මෙම ගණනය කිරීම ලෙහෙසි නැත. 

විදුලි ක්ෂමතාවය, වොට් (Watt හෝ W) වලින් මනිනු ලැබේ. සාමාන්‍යයෙන් නිවසක හෝ කර්මාන්තශාලාවක ක්ෂමතාවය වොට් දහසේ එකක වලින් නැත්නම් කිලෝ වොට් (kW) වලින් ප්‍රකාශ කිරීම පහසුය. විදුලි බලාගාර ධාරිතාවය වොට් මිලියනයේ – මෙගා වොට් (MW) – ඒකක වලින් හෝ වොට් බිලියනයේ – ගිගා වොට් (GW) – ඒකක වලින් සඳහන් කිරීම පහසුය. සමහර රටවල ගිගා වොට් දහසේ ඒකක (ටෙරා වොට් -TW) වලින්ද කතාකරන කාලය එළඹ ඇත. 

වසරක පමණ කාලයක් සැලකීමේදී විදුලි ජනකයක් එකම ක්ෂමතාවයකින් නිරතුරුවම නිෂ්පාදන ක්‍රියාවලියේ නිරතවෙතැයි බලාපොරොත්තු විය නොහැක. අලුත්වැඩියා හා නඩත්තු කටයුතු, පාරිභෝගික ඉල්ලුම, ශක්ති ප්‍රභව සැපයුම  ආදී කරුණු මත විදුලි ජනනය අඩු වැඩි වීමට හෝ සම්පුර්ණයෙන් නැවතීමට පුළුවන. මේ නිසා වසරකදී නිපදවන ශක්තිය බලාගාරයේ ධාරිතාවය මත පමණක් රඳා නොපවතී. 

සාමාන්‍යයෙන් ශක්තිය මනින ඒකකය ජූලය (J) වුවත් විදුලි ශක්තිය මැනීම සඳහා වොට්-පැය (Wh) යන ඒකකය යොදාගනී. මෙය සාපේක්ෂ වශයෙන් කුඩා ඒකකයක් බැවින් kWh, MWh, GWh ආදී වශයෙන් වොට්-පැය දහසේ, මිලියනයේ සහ බිලියනයේ ඒකක සාමාන්‍යයෙන් භාවිත කෙරේ.

දැන් අපි ලංකාවේ තත්වය දෙස බලමු. මේ වන විට රටේ මුළු විදුලිබල ස්ථාපිත ධාරිතාවය (total installed capacity) ගිගා වොට් 4 කට මදක් ඉහලය (සසඳා බැලීම සඳහා – ඉන්දියාවේ මුළු ස්ථාපිත ධාරිතාවය ගිගා වොට් 335 කි). ලංකාවේ වාර්තාවන උපරිම විදුලිබල ඉල්ලුම ගිගා වොට් 2.5 කට වඩා ස්වල්පයක් වැඩිය. මේ අනුව බැලූ බැල්මට ලංකාවේ විදුලි බල නිෂ්පාදනය ඉහටත් උඩින් සෑහේ. 

එසේ නම් කලින් කලට රට අඳුරේ පවතින්නේ කුමක් නිසාද?

ලංකාවේ විදුලි බල නිෂ්පාදනය පිලිබඳ දැක්වෙන පහත දත්ත මගින් ඔබට මෙය තේරුම් ගත හැක. 
ශක්ති ප්‍රභවය
ස්ථාපිත ධාරිතාවය
ප්‍රතිශතය
ජල විදුලි (මහා පරිමාණ)
1364 MW
33.7%
ගල් අඟුරු
900 MW
22.3%
අනෙකුත් තාප විදුලි 
(ලංවිම සතු)
604 MW
14.9%
අනෙකුත් තාප විදුලි 
(පෞ අ සතු)
611 MW
15.1%
ජල විදුලි (සුළු පරිමාණ)
356 MW
8.8%
සුළං බලශක්ති
128 MW
3.2%
සුර්ය බලශක්ති
51 MW
1.3%
ජීව ස්කන්ධ (biomass)
29 MW
0.7%
ශක්ති ප්‍රභවය
2017 ජනවාරි – අගෝස්තු මාස තුල විදුලිබල ශක්ති නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස
ජල විදුලි (මහා පරිමාණ)
16%
ගල් අඟුරු
40%
අනෙකුත් තාප විදුලි 
(ලංවිම සතු)
18%
අනෙකුත් තාප විදුලි 
(පෞ අ සතු)
19%
ජල විදුලි (සුළු පරිමාණ)
7%
සුළං බලශක්ති
සුර්ය බලශක්ති
ජීව ස්කන්ධ (biomass)
ඉදිකර ඇති විදුලි බලාගාරවල ධාරිතාවය අනුව ජල විදුලිය (මහා පරිමාණ) නිෂ්පාදනයෙන් 34% පමණ වේ. එහෙත් සැබෑ වශයෙන්ම නිපදවා ඇති ශක්තිය බැලූ විට මෙම ප්‍රතිශතය 16% කි. එනම් අඩකටත් වඩා අඩුය. සැබෑවටම ශක්ති නිෂ්පාදනයට උරදී ඇත්තේ ගල් අඟුරු ඇතුළු තාප බලාගාරයි. අනෙකුත් පුනර්ජනනීය බලශක්ති මගින් නිපදවෙන විදුලියද 14% සිට 7% දක්වා, එනම් හරි අඩකින් අඩුවී ඇත.

මීට හේතුව කුමක්ද? 

තාපබලාගාර මෙන්, ජලවිදුලිය සහ අනෙකුත් බොහෝ පුනර්ජනනීය බලශක්ති ආශ්‍රිතව ගොඩ නැගුනු බලාගාර එකම ශීඝ්‍රතාවයකින් ශක්තිය නිපදවන්නේ නැත. ඒවායේ ක්‍රියාකාරිත්වය බොහෝ විට කාලගුණය, දේශගුණය, ස්වභාවික ආන්තික සිදුවීම් ආදී කාරණා මත ප්‍රභල ලෙස රඳා පවතී. මෙහි ප්‍රතිඵලය වන්නේ ඒවායේ ස්ථාපිත ධාරිතාවය සහ සැබෑ ධාරිතාවය අතර විශාල වෙනසක් තිබීමයි. 

මෙම බලාගාරවල නිෂ්පාදනය පහල යාම තාප බලාගාර වලටද වක්‍රාකාරයෙන් බලපායි. විශේෂයෙන්ම ඉඩෝරයත් සමගම දිවයිනේ ඇති ජලාශ සිඳී යාම හේතුවෙන් ජලවිදුලි බලාගාරවල නිෂ්පාදනය විශාල වශයෙන් පහල බසී. මෙහි ප්‍රතිඵලය වන්නේ තාප විදුලි බලාගාර කිසිඳු විවේකයක් නොමැතිව එක දිගටම නිෂ්පාදනයේ යෙදවීමයි. මේ නිසා එම විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාවිරහිතවීමට ඇති ඉඩකඩද වැඩිවෙයි.

කල යුත්තේ කුමක්ද?

මෙහිදී ලොව බොහෝ සංවර්ධිත රටවල් අනුගමනය කරන ක්‍රමෝපායන් දෙකක් ඇත. විදුලිබල ඉල්ලුම අඩු කාල පරාසයන් තුලදී අතිරික්ත වන ශක්තිය ගබඩා කර පසුව භාවිතයට ගැනීම එක් ක්‍රමයකි. 

මේ වනවිට මේ සඳහා අතිරික්ත විදුලි ශක්තිය මගින් හයිඩ්‍රජන් වායුව නිපදවීම යුරෝපයේ බොහෝ රටවල් මෙන්ම ජපානය සහ දකුණු කොරියාවද අරඹා ඇත. මෙම හයිඩ්‍රජන් වායුව ගබඩා කර ඉන්පසු ඉන්ධන කෝෂ (fuel cells) ආශ්‍රයෙන් විදුලි මෝටර් රථ සහ වෙනත් විදුලිබලයෙන් ක්‍රියාත්මක වන උපකරණයක් බලගැන්විය හැක. හයිඩ්‍රජන් කෝෂ වල ක්‍රියාකාරිත්වය සාමාන්‍ය බැටරියකට සමානය. එය හයිඩ්‍රජන් වායුව මගින් නැවත නැවතත් පන ගැන්විය හැක (බැටරියක් චාර්ජ් කරන්නා සේ). 

එසේම මේ වනවිට ඉතා ශීඝ්‍රයෙන් හයිඩ්‍රජන් අන්තර් දහන එන්ජින් නිෂ්පාදනය වෙමින් පවතී. ජර්මනියේ මේ වන විට හයිඩ්‍රජන් එන්ජින් යෙදූ දුම්රිය පවා ධාවනය වන අතර ඉන්දියාවේ ටාටා සමගම හයිඩ්‍රජන් මගින් දිවෙන බස් රථ සාදයි. ලෝකයේ බොහෝ රටවල හයිඩ්‍රජන් දහන එන්ජින් සහිත මෝටර් රථ නිපදවේ. බොහෝ රටවල අනාගතය මේ වන විට හයිඩ්‍රජන් ආර්ථිකයක් මත ගොඩනැගෙමින් පවතී. 

අනෙක් විසඳුම නම් තවත් විදුලි බලාගාර ගොඩනැගීමයි. ලංකාවේ විදුලි බල ඉල්ලුම මේ වන විට වසරකට 6% කින් පමණ ඉහල යමින් පවතී. මේ අනුව විසඳුමක් නොදුන හොත් වසරින් වසර විදුලි බල අර්බුදය උග්‍ර වනවා විනා සමහන් වන්නේ නැත. 

ලෝකයේ අද පුනර්ජනනීය බලශක්ති වර්ධනය කිරීම සඳහා බොහෝ රටවල විශාල කැපවීමක් දක්නට ලැබේ. අපට මේ යතාර්ථයෙන් බැහැර විය නොහැක. මේ නිසා කුමන පරිමාණයකින් වුවත් පුනර්ජනනීය බලශක්ති වර්ධනයට රජය හෝ පෞද්ගලික අංශය කටයුතු කරයි නම් එය විවේචනය කිරීම සාධාරණ නොවන බව මගේ හැඟීමයි. කෙසේ නමුත් මෙම බලශක්ති සංවර්ධන ක්‍රියාවලිය යම් පූර්ව සැලැස්මක් අනුව නොකළහොත් එයින් වැඩකට වඩා අවැඩක් සිදුවීමේ ඉඩකඩ වැඩි බව කිවයුතුය. 

අනෙක් අතට පුනර්ජනනීය බලශක්තින්ගෙන් පමණක් ලංකාවේ විදුලි අර්බුදය විසඳිය හැකි යයි යමෙක් පවසනවා නම් එය ඔහුගේ හෝ ඇයගේ නොදැනුවත් කම බව මට සිතේ. 

දැනට පවතින තාක්‍ෂණය අනුව සුර්ය කෝෂ වලින් විදුලිබලය නිපදවීමේදී සාමාන්‍ය වශයෙන් මෙගා වොට් එකක ධාරිතාවයක් සඳහා ඉඩකඩ හෙක්ටෙයාරයක් (අක්කර 2.5 ක් පමණ) අවශ්‍යවේ. මේ අනුව දැනට පවතින එකම ගල් අඟුරු බලාගාරය හා සමාන විදුලි ජනකයක් ගොඩනැගීම සඳහා හෙක්ටෙයාර 900 ක පමණ ඉඩක් අවශ්‍යවෙයි. එනම් එය පාවෙන සුර්යකෝෂ පද්ධතියක් නම් කළා වැවෙන් හෝ මින්නේරිය වැවෙන් හරි අඩක් වැසෙන සේ සුර්ය කෝෂ ඇතිරිය යුතුය. මීට අමතරව එහි බැටරි පද්ධතිය සහ අනෙකුත් ආම්පන්න සඳහා තවත් විශාල බිම් ප්‍රමාණයක් වැයවේ. ඉන් පසු වුවද එහි ශක්ති ජනනය කාලගුණය මත නිරතුරුවම උච්චාවචනය වන බැවින් නිෂ්පාදනය අවිනිශ්චිත වෙයි. 

වෙනත් බොහෝ පුනර්ජනනීය බලශක්ති සම්බන්ධයෙන්ද යථාර්තය මෙයයි. එබැවින් කල යුත්තේ හැකි සෑම පරිමානයකින්ම පුනර්ජනනීය බලශක්ති සැපයුම වැඩි දියුණු කරන අතරම මහා පරිමාණයෙන් තාප විදුලි බලාගාරයක් නොපමාව ඉදිකිරීමයි.

ඒකකයකට යන වියදම, මුලික ප්‍රාග්ධනය, මෙහෙයුම් පිරිවැය සහ නඩත්තු වියදම්, පාරිසරික බලපෑම් ආදී නොයෙකුත් කාරණා එකින් එක විශ්ලේෂණය කර බලද්දී මට පෙනෙන්නේ ලංකාවට වඩාත්ම ගැලපෙන මහා පරිමාණ බලශක්තිය ගල් අඟුරු බවයි.   

රටට ගැලපෙන බලශක්ති ප්‍රබේද තීරණය කිරීමේදී ඒ පිළිබඳව හසල දැනුමක් සහ අධ්‍යාපන/වෘතිය සුදුසුකම් ඇති විද්වතුන් සහ පරිසරවේදීන් පමණක් අදාළ සාකච්චා මණ්ඩපයට ඇතුළුවේ නම් එය මෙම කටයුත්ත සඳහා මහත්සේ සුබදායක වනු ඇත.





%d bloggers like this: