Menu Close

බීබීසි නිසා ඇයි මම මෙහෙම?

බීබීසි මාධ්‍ය භාවිතය පිළිබඳ මගේ සත දෙක නිසා බොහෝ දෙනා මම කිසියම් දේශපාලන න්‍යාය පත්‍රයක ඉත්තෙක් විදියට දකින්න පටන් අරගෙන. අනේ ඇත්තමයි ගොඩක් දෙනෙක්ට ලැබෙනවා වගේ මං ලියන දේවලටත් කීයක් හරි ලැබෙනවා නම් කොච්චර දෙයක් ද? ඒත් ඇත්තට ම නෑ. මොකක් හරි කාලකණ්ණිකමකට මට තියෙන්නේ තුවාල වෙච්ච හදවතක්, දරාගන්න බැරි කේන්තියක් සහ දුකක් විතරයි. මට එහෙම වුණේ ඇයි කියලා ලියා තියන්න ඕනි වුණේ මම නොවන දේකට මාව පටලවන්න කීප දෙනෙක් උත්සාහ කරන විදිය දැකලයි. නොපැතූ විදියේ ත්‍රස්ත ප්‍රහාරයක් හිටපු ගමන් ඇති වුණා. කජු ඇට කොස් ඇට ද? බල්ලෝ බළල්ලු ද? මිනිස්සු 300ත් පන්නලා මැරිලා ඉවරයි. ඒ මැරුණේ අපේ ම මිනිස්සු. ඒ අල්ලපනල්ලේ බීබීසි ආයතනය සාකච්ඡාවක් තියෙනවා. ගෙන්නන්නේ එල් ටී ටී ඊ ත්‍රස්ත කණ්ඩායමට සහයෝගය දක්වන කෙනෙක්. අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක් කරපු දෙයක් වුණාට මුළු ලෝකයකට ඇහෙන්න කියනවා මේ ප්‍රහාරය කරේ අපි කියලා. මුළු ඇඟ පුරා ම දුක සහ බය දුවන වෙලාවක ඒ වගේ අසත්‍ය චෝදනාවක් එල්ල වුණාම මාර විදියට අසරණ වෙනවා. කර කියාගන්න දෙයක් නැති වෙනවා. මිනිස්සුන්ගේ මළ කඳන් උඩින් පෞද්ගලික සහ දේශපාලනික න්‍යාය පත්‍ර අරගෙන යන්න වගකියන මාධ්‍යයක් ඉදිරිපත් වුණේ කොහොමද කියන එක ඉතින් මම ප්‍රශ්න කරා. ඒක ප්‍රශ්න කරන්න මම දැනන් හිටියේ ඊයේ වෙනකන් මම ගෞරව කරපු බීබීසි සිංහල සේවයේ මාධ්‍යවේදියා. මම නම සඳහන් නොකරන්නේ එහෙම කරන්නවත් විශ්වාසයක් දැන් ඔහු වෙනුවෙන් මට නැති නිසා. මම අහපු විදියෙන් කිසිම විදියකින් ඇඟවෙන්නේ නෑ අහවලා ව ගෙන්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා කිරීමක්. මට ඕනි වුණේ ඒ වගේ දරුණු අසත්‍ය චෝදනාවක් ඉදිරිපත් කිරීම ඔහුගේ සේවා ස්ථානය සිදු කිරීම සම්බන්ධයෙන් මුළු මහත් ජාතියකින් අඩුම තරමේ සමාව ගැනීමක් වගේ දෙයක් විතරයි. නමුත් වචනෙකින්වත් හිත සැනසෙන්න එහෙම දෙයක් වුණේ නෑ. දැන් මගේ හිතේ ඔහු කෙරේ කිසිම විශ්වාසයක් නැහැ. මම දැකපු මම ගෞරව කරන මාධ්‍යවේදියා ඔහු තුළ නෑ. ඒ නිසා ඒ මොහොතේ ඉඳන් ඔහු ඈඳාගෙන මම කිසිදු කතාවක් කිව්වෙත් නෑ. කියන්නෙත් නෑ. නමුත් බීබීසී සේවයට මේ ගැන අපිට තවමත් කියන්න පුළුවන්. අපි කියන දේ අහන්නේ නෑ තමයි. හැබැයි මෙහෙම දෙයක් ගැන වචනයක් දෙකක්වත් කියන එක වැදගත් වෙන්නේ මෙන්න මේ නිසයි. ලෝකේ වටේ ම නළු බට්ටොයි පොලිටික්කොයි සාමාන්‍ය මිනිස්සුයි ඔක්කොම අපි වෙනුවෙන් දුක් වෙනවා. ඒ අස්සේ ඒ මිනිස්සුන්ට අදහසක් ගියොත් මේ ප්‍රහාරය කරේ අහිංසක අපි ය කියලා, එතකොට මොකෝ වෙන්නේ? ඒකයි මේ සාවද්‍ය ප්‍රකාශවලට එරෙහි ව කතා කරන එක වැදගත් වෙන්නේ. සුදු හුණු ගාන්න පෝලිමේ නොයා රටක් විදියට එකතු විය යුත්තේ අන්න ඒ නිසයි. මේ වෙලාවේ මට ඇඟිල්ල දික් කරන කට්ටිය වගේ ම වැඩක් බලන් පැත්තකට වෙලා ඉන්නේ නැතුව එක දිගට කියෙව්වේ හිතට ආපු දුකටයි ආවේගයටයි. අපි තමයි මේ ත්‍රස්ත ප්‍රහාරයේ ගොදුරු. මැරුණෙත් අපේ මිනිස්සු. හෙට මැරෙයි කියලා බයෙන් ඉන්නෙත් අපේ මිනිස්සු. ඉතින් මුළු ලෝකයක් ඉස්සරහ මේක කරේ අපි ය කියලා ඇඟිල්ල දික් කරා ම නවගුණවැල අතේ තියන් ඉන්න බෑනේ. බෑ. මේ වචන එයාලා ළඟටවත් යන්නේ නැත්තේ මේ වගේ වෙලාවකවත් අපිට එකට ඉන්න බැරි නිසා. ඉතින් කැඩිච්ච ටැප් එකක් වගේ ඊයේ ඉඳන් මම කියෙව්වේ මේ වේදනාව හිත අස්සේ තියාගන්න බැරි නිසයි. ඒක දේශපාලන අතකොලුවකගේ හැසිරීමක් විදියට දැකලා කවුරු හරි හිත රිදවාගත්තා නම් මම සමාව ඉල්ලනවා (මං දන්නෑ මම නොකරපු වරදකට මම සමාව ඉල්ලන්නේ ඇයි ද කියලවත්) නැතුව දේශපාලන වරදානයක් ලැබෙනවට නෙවෙයි. එහෙම ලැබෙනවා නම් ඉතින් මොනවා ලියන්න බැරි ද!

%d bloggers like this: