අවුරුදු 30ක් තිස්සේ අපිට ලොකු පාඩමක් ඉගැන්නුවා . අපි ඒක ඉගෙන ගත්තද නැද්ද කියල හිතල බලන්න කාලේ ඇවිල්ල . ආයෙත් අපි කරන්න ඕනේ මුල ඉඳල පාඩම් ඉගෙන ගන්න එකද නැත්නම් ඉගෙන ගත්ත දෙයින් දැන් වත් වැඩක් ගන්න එකද කියල හිතල බලන්න.
මේ ඉන්න හැම දේශපාලකයාගේ හැසිරීම මුල ඉඳල හොදට නිරීක්ෂණය කරලා, ඔලුවේ තියෙන පරම්පරා ගත අදහස් වලින් බැහැර වෙලා හරි තීරණ ගන්න කාලේ ඇවිල්ල. අපි හිතන සර්ව සම්පුර්න සමාජය එක රැයින් හැදෙන්නේ නෑ. හැබැයි හරි හෝ වැරදි ගමන කෙලින් යන්න පුළුවන්, එක මතයක ඉඳල වැඩ කරන මිනිසුන්ව නිවැරදි විදියට තෝර ගන්න ඕනේ. අවුරුදු ගණන් පල් කරන එකම පල හෑලි වලින් මඩ ගගහ හැමදාම කාලෙයි , රටයි කන , සීනි බෝල තර්ක දදා ලිස්සසලා යන (එහෙම නොයන එවුන් නම් එකෙක්වත් නෑ ..) මිනිස්සු නැතිව, ජිවිතේ යම් දෙයක් තමන් වෙනුවෙන් සහ රට වෙනුවෙන් කරලා තියෙන , විවෘත මනසකින් හැම දෙයක් දිහාම බලන්න පුළුවන්, සුභවාදී ආකල්ප තියෙන අයව අපි තෝර ගන්න ඕනේ.
අසරණ මුස්ලිම් මිනිහට, දෙමල මිනිහට බැන බැන අපේ අඩු පාඩු , අපේ ගොං කම් වහ ගන්නේ නැතුව, දියණු සමාජයක් , දියුණු ආකල්ප, තෘප්තිමත් ජිවිතයක් ගෙවන්න අවශ්‍යතාවයක් ඇති කරගෙන වැඩ කරන්න ඕනේ. බහුතර බෞද්ධ අපි බුදු දහමේ එන අල්පේච්ච කම අපේ කම්මැලි කම වහගන්න හොඳ මෙවලමක් විදියට පාවිච්චි කරනවා . හැබැයි අල්පේච්ච කම කියන්නේ ඔබ භෞතිකව අලසව ඉඳල කිසි දෙයක් නොකර සියල්ල අනිත්‍යයි කියල කුම්මැහි කමට ඉන්න එකට නෙමේ . ඔබට කරන්න පුළුවන් දෙය උපරිම වශයෙන් කරලා , ඒ දෙය තමන්ගේ කියල මනසින් අල්ලගන්නේ නැතිව, ඕනේ කෙනෙක් වෙනුවෙන් දීලා අතැරලා දාන්න පුළුවන් කමට. ඔබ භෞතිකව කරන දේ කියන්නේ ඔබේ හැකියාව, ඔබේ දක්ෂකම, එයින් ලැබෙන දේ කුමක් උනත් එකෙන් සතුටු වෙන්න පුළුවන් කම තමා අල්පේච්ච ජීවිතය, ඔබේ හැකියාව, ඔබේ නිදහස් අදහස් අකුලාගෙන ජිවත් වෙන එක නෙමෙයි ආගමික ජීවිතය.. ඔබ කුමන ආගමක් ඇදහුවත් , ඔබේ ජාතිය මොකක් උනත් ජාතිය සහ ආගම ඔලුව උඩ තියාගෙන ඉන්නකම් අපි කාටවත් සැනසීමක් , සහනයක් සහිත යහපත් ජිවිතයක් තියෙන රටක් ලබා ගන්න බෑ …
අපි හැමෝගෙම හැකියාව, දක්ෂතා ඕනේ වෙනවා මේ රට හදන්න නම් … (මම ඉන්නේ පිට රට තමා හැබැයි රට ඉන්න අපිත් බොහෝ දේ කරනවා පුළු පුළුවන් හැටියට )
අපි හැමෝම තුල තාම හෙන ගොබ්බ, නොදියුණු , ගති ලක්ෂණ ඕනේ තරම් තියෙනවා . ඒව ගොඩක් වෙලාවට එලියට එන්නේ ජාතියේ හෝ ආගමේ නාමයෙන්. අන්න ඒ වෙලාවට පොඩ්ඩක් මොලේ ඇතුව කල්පනා කරලා බලන්න මේ ගොබ්බ හැඟීම පස්සෙන් දුවල විනාස වෙනවද නැත්නම් පොඩ්ඩක් වෙනස් විදියට හිතල හැමෝටම සෙතක් වෙන සුබවාදී දෙයක් වෙනුවෙන් වැඩ කරනවද කියල.
මේ මැරිච්ච අසරණ මිනිස්සු වෙනුවෙන් ඔබට මට කරන්න පුළුවන් හොඳම දෙය, හැඟීම් වලට වහල් වෙලා ආයේ මරා ගන්න දඟලන එක නෙමෙයි. පලිගන්න එකත් නෙමෙයි. මොලේ පාවිච්චි කරලා කටයුතු කරන එක. ගොබ්බ රැලකට නැවත රට බාරදෙන එක වලක්වන එක.