Menu Close

කදම්භ නදියේ ජලය මානාමතු වැවට හැරවූ දාසෙන්කැලි රජුගේ “තේක්කම අමුණ”

“ක්‍රමයෙන් ඝන වනාන්තරය මිටි පඳුරු සහිත වනයක් බවට පත්වෙන පෙදෙසක් ඔස්සේ මැදවච්චියෙන් (Medawatchy) බටහිර දෙසට අප ගමන් කලෙමු. මන්නාරම් තලාවේ අතිවිශේෂ වාරිමාර්ග පද්ධතියේ ආරම්භය වූ ආර්ලන්කුලම් (Arlan Colom) දෙසට වූ මාර්ගය කම්කරුවන්ගේ කුඩා වාඩි පෙලක් සහ (ඔවුන්) ආහාර පිසීම උදෙසා තැනූ ගිනි ගොඩවල් නිසා, අලින් සහ වෙනත් වන සතුන්ගෙන් විරහිත, දෙපස කැලෑවෙන් බඳනා ලද තාප්ප දෙකක් මෙන් දිස්විය. අතරින් පතර මිනිසුන්ට පහර දෙන කොටියෙක් තවමත් මෙහි සිටී. ඌ මිනිසුන්ට එතරම් බියක් නොදක්වන අතර, අපගේ බැටළුවෙකුට තුවාල සිදු කර රැගෙන යාමට උත්සාහ කිරීමේදී, අමාරුවෙන් එලවා දමුවේ කිසිවෙකු ලඟ එවෙලේ වෙඩි බෙහෙත් දැමූ තුවක්කුවක් නොතිබූ හෙයිනි.”

තෙක්කම අසලදී මල්වතු ඔය හෙවත් අරුවි ආරුව

“අරිප්පු ගඟේ (Arippo River) ජලය ස්වභාවික ගමන් මගින් හරවා චිත් ආර් (Chit Aar) එනම් “කුඩා ගඟ” ලෙසින් හැඳින්වෙන ඇල මාර්ගයකට යොමු කිරීම උදෙසා ඉදි කල බැම්ම හෙවත් තේක්කමට (Takum) ආසන්නම ස්ථානය වූවේ ආර්ලන්කුලමයි (Arlon Kolam)තේක්කම විශ්මය දනවන නිර්මාණයකි. බැම්මේ පහල කොටස නිර්මාණය කල අතිවිශාල ගල් කුට්ටි කපා මෙම ස්ථානයට ගෙන ඒම යෝධයන් විසින් සිදු කල බවට වූ ජනප්‍රිය පරම්පරානුගත කතාව පිළිගැනීමට තරම් එය වටනේය. එය මුලදී බඳින අවස්ථාවේ තිබුනාක් මෙන් මේ මොහොතේද පරිපූර්ණ ලෙසම පවතී. කාලයට සහ ජල ප්‍රවාහයට ඔවුන්ගේ බලය එය කෙරෙහි බලපවත්වන්නට නුපුළුවන් වූවා මෙනි. අනික් අතට ජලය ගලා යාමේදී ක්‍රමයෙන් තේක්කම සහ ගං ජලය අතර බැස්මක් සහිත දිගු වැලි බැම්මක් සෑදීමෙන් ගල් බැම්ම තද වී, එය චිරාත් කාලයකට පවතින ලෙසට තවදුරටත් ශක්තිමත් කර තිබේ. “

තේක්කම

ලන්ඩන් හෝ පැරිස් නගර තරමටම ජනාකීර්ණව තිබූ, දැනට පාළුවට ගොස් ඇති මෙම ස්ථානයේ පෙර තිබූ, කලකට පෙර අතුරුදහන් වූ අධිරාජ්‍යය හා සම්බන්ධ ශිෂ්ටාචාරය, එහි තාක්ෂණය, වෙළදාම ආදිය පිළිබඳව ජනප්‍රවාදයක් හෝ මෙය හැර වෙනත් කිසිදු ස්මාරකයක් නොමැති තත්වයක් යටතේ, එම ශිෂ්ටාචාරයේ පැවැත්ම හෝ එහි පරිහානිය වාර්තා කර තැබීමට මෙම බැම්මට වඩා චිත්තාකර්ෂණිය වන අන් කිසිවක් ගැන සිතීමට වුවද අසීරුය.”

බ්‍රිතාන්‍ය පාලන යුගයේ මෙරට ආණ්ඩුකාරවරයෙකුව සිටි හෙන්රි වෝඩ් (Henry Ward) 1859 වසරේ අරුවි ආරුවේ නොහොත් එවකට එය හැඳින්වූ ලෙසට අරිප්පු ගඟේ තේක්කම නම් වූ ස්ථානයකට සිදු කල සංචාරයකින් අනතුරුව තැබූ සටහන් අතර ඉහත තොරතුරු හමුවේ.

ඇල මාර්ගයට ජලය හරවා යැවීමෙන් අනතුරුව තේක්කමින් පහලදී මල්වතු ඔය දිස්වන ආකාරය

පැරණි බ්‍රිතාන්‍ය වාර්තා වල අරිප්පු ගඟ (Arippo River) සහ ඇතැම් විට මූසලි ආරු (Musali Aru) ලෙසින්ද හැඳිවෙන එහි පහල කොටසේදී අවට වෙසෙන ද්‍රවිඩ ජනයා විසින් අරුවි ආරු ලෙසින් දැනට හඳුන්වන මල්වතු ඔය වනාහී මෙරට ශිෂ්ටාචාරයේ ආරම්භක යුගයේ වැදගත්ම නගර වූ උපතිස්සගාම සහ අනුරාධගාම (පසුව අනුරාධනගර සහ දැනට අනුරාධපුර) වලට පදනම් වූ ගංගා නිම්නයයි.  පැරණි මූලාශ්‍ර වල කදම්භ නදී, කලම්භ සහ කොළොම් හොය ආදී නම් වලින් එය හඳුන්වා ඇත. තේක්කම ලෙසින් ඉහත විස්තර වන අමුණ එම මල්වතු ඔය හරහා ඉදි කර ඇති අතර එම බැම්මේ සිට අඩි 200 පමණ ගඟ ඉහලින් එහි දකුණු ඉවුරෙන් පටන් ගන්නා, බ්‍රෝහියර්ට අනුව අවට ජනයා විසින් ආලවක්ක ලෙසින් (එනම් ඇල මාර්ගය හෙවත් දිය පහර යන අර්ථය) හඳුන්වන ඇල මාර්ගයක් ඔස්සේ එහි මුල් සැතපුම් 4 මල්වතු ඔයට සමාන්තර මාර්ගයක් ඔස්සේද ඉන්පසු එයින් ඈත් වෙමින්ද සැතපුම් 17 ක දුරක් වංගු සහිත මගක ගමන් කර දැනට යෝධ වැව ලෙසින් හැඳින්වෙන මන්නාරම් තලාවේ විශාලම වැවට ජලය රැගෙන යයි.

තේක්කම අමුණේ සිට යෝධ වැව දක්වා ජලය ගෙන යන ඇල මාර්ගය තේක්කම අසලදී 

හෙන්රි වෝඩ් ආණ්ඩුකාරතුමා Chit Aar එනම් “කුඩා ගඟ”  ලෙසින් හඳුන්වන්නේද මෙම ඇල මාර්ගයයි.  තේක්කම සිට යෝධ වැව දක්වා කෙලින් දුර සැතපුම් 9 පමණ වේ. එහෙත් R.L. බ්‍රෝහියර් නිවැරදිව පවසන පරිදි සැතපුම් 17 ක දුරක් වංගු ගසමින් යන දිගු මාර්ගයක ඕනෑකමින්ම ඇල තැනීමට එක් හේතුවක් වනුයේ එහි බෑවුම අඩු කර ගැනීමයි. එමගින් අධික රොන්මඩ ගසා ගෙන විත් ප්‍රධාන ජලාශයේ එනම් යෝධ වැවේ තැන්පත්වීම වලකින අතර, එම දිගු මාර්ගය ඔස්සේ වූ කෙත් වලට ජලය සපයා ඒවා පෝෂණය කිරීම මෙන්ම ප්‍රදේශයේ භූගත ජල ධාරිතාව වැඩි කිරීමෙන් සාපේක්ෂව වියලි පෙදෙසක් වූ මෙම තැනිතලා භූමිය වසර පුරා තෙත් ගතිය පවතින සරුසාර ප්‍රදේශයක් බවට පත්කිරීමද අරමුණු කරගත් බව සිතිය හැක.

යෝධ වැව

මහාවංශයට අනුව මහා පරාක්‍රමබාහු රජු මහානාමමත්ථක වැව ප්‍රතිශංස්කරණය කරවීය. දඹදෙණි  යුගයේදී දෙවෙනි පරාක්‍රමබාහු රජු කල මාඝින්ද සහ ජයබාහු යන දමිළ රජුන් දෙදෙනාගේ කඳුවුරු පිහිටි ස්ථාන අතර මානාමත්ත නම් වු ප්‍රදේශයක් පිළිබඳවද එහිම විස්තර වේ (නිකාය සංග්‍රහයෙහි මෙම කඳවුර මානාමතු ලෙසින් හැඳින්වේ). මානාමත්තයට අනතුරුව මන්නාරපට්ටනය (වර්තමාන මන්නාරම) යන ස්ථානයද ඔවුන්ගේ කඳවුරු තිබූ ස්ථානයක් ලෙස සඳහන් වේ.  දාසෙන්කැලි හෙවත් ධාතුසේන රජු මානා වැව කරවූ බව පූජාවලියේ සඳහන් වේ. මේ අනුව අනුමාණ වශයෙන් ඉහත සියළු නම් ව්‍යවහාර වන්නට ඇත්තේ  දැනට යෝධ වැව පිහිටි මන්නාරමෙන් නැගෙනහිර දෙසට රට තුලට වූ ප්‍රදේශය ලෙසින් හඳුනාගෙන, යෝධ වැව ලෙසින් දැනට හැඳින්වෙන වැව ධාතුසේන රජු කරවූ මානා වැව ලෙසට අනුමාණ කරයි. යෝධ වැවට ජලය සැපයූ ඇල මාර්ගය සහ ඒ සඳහා ජලය ලබාගැනීමට මල්වතු ඔය හරස් කර ඉදි කල අමුණද බොහෝ විට ධාතුසේන රජුගේම ව්‍යාපෘති වන්නට ඇති බව ඒ අනුව සිතිය හැක.

යෝධ වැවේ ජලයෙන් පෝෂණය වන කෙත් බිම්

වොර්ඩ් ආණ්ඩුකාරවරයාගේ අවධියේදී ආලන්කුලම් ලෙසින් හැඳින්වූ ප්‍රදේශය වර්තමානයේ හඳුනාගත නොහැක. ඉහත තෙක්කම පිහිටි ප්‍රදේශයට ආසන්නම ප්‍රදේශය දැනට හැඳින්වෙන්නේ පරයානම්කුලම් ලෙසිනි (පැරණි අඟලේ සිතියම් වල පරයියානලන්කුලම්). මල්වතු ඔයේ පිහිටි ස්වභාවික ගල් තලාවක් මත කළුගලින් කවාකාරව ඉදිකර ඇති මෙම අමුණ දිගින් මීටර 150-200 පමණ්ද පළලින් මීටර 4.8 ද වන අතර එහි උස මීටර 4.3 පමණ වේ. අමුණේ එක් කොනක විශාල දොරටු තුනක් දැකිය හැකි අතර ඒවා අතිරික්ත ජලය පිටකිරීමට ලී දොරටු යොදා එකල භාවිතා කල පිට වානවල් ලෙස අනුමාණ කල හැක. දැනට ඒවා ස්ථිරව වසා දමා ඇති බව පෙනේ (බොහෝවිට බ්‍රිතාන්‍ය යුගයේ සිදු කල ප්‍රතිසංස්කරණ වලදී එලෙස සිදු වූවා විය හැක.)

තෙක්කම අමුණ පහල සිට පෙනෙන ආකාරය . රූපයේ වම් පස ඉහත විස්තර වන පිටවානවල් තුන දැකිය හැක.

මූලාශ්‍ර

  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • පුරාණ ශ්‍රි ලංකාවේ වාරි කර්මාන්තය, ආචාර්ය චන්දන රෝහණ විතානාච්චි, 2017
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • නිකාය සංග්‍රහය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය , 1997
  • මන්නාරම දිස්ත්‍රික්කය, M.V.G. කල්ප අසංග, I.G. S. නිශාන්ත, 2018 
  • Ancient Irrigation Works in Ceylon, Part Two, R.L. Brohier, 1935
  • ලක්දිව පුරාතන වාරිමාර්ග, ආර්. එල්. බ්‍රෝහියර්, පරිවර්තනය එල්. පියසේන, 2001
%d bloggers like this: