Menu Close

අප්‍රියෙල් මස 22දා ට යෙදෙන මිහිකත දිනයේදී පරිසරය ගැන සිතා බලමු.

  අප්‍රියෙල් මස  විසි දෙවන දින  ජගත් මිහිකත දිනයයි. ලෝක ප්‍රජාවේ නියෝජිතන්ගේ සමුළුවකදී  ‘මිහිකත දින සම්මුතිය’ ප්‍රකාශ කිරීමෙන්  පසු, මෙවර එළඹෙනුයේ හතලිස් නවවන මිහිකත දිනයයි. පසුගිය දශක පහක් තිස්සේ  මිහිකත රැක ගැනීම වෙනුවෙන් ජගත් ප්‍රජාව දක්වන ලද සහයෝගය ඉමහත්ය. ඔව්හු මේ කාලය තුලදී  ‘පරිසර සෝදාපාළුව’ මැඩ පැවැත්වීම උදෙසා විශාල ප්‍රයත්නයක් දරන ලදී. ලෝකයේ විවිධ රටවල මිනිස් ජාතීන් දෙසියයක් පමණ එකාවන්ව එකතුවී, පරිසරය සුරැකීම සම්බන්ධ විවිධ ක්‍රියාකාරකම් දියත් කර තිබේ. එසේ වුවත්, මේ වන තුරු පරිසරය රැක ගැනීමේ සටන සම්පූර්ණයෙන් ජය ගැනීමට නොහැකි වී ඇත.
මෙවර ජගත් පරිසර දින තේමාව ‘අපගේ ජෛව විශේෂ සුරකිමු’යන ආදර්ශ පාඨයයි.
සොබා දහම විසින් මිහිකත වෙත ලබා දී  ඇති  මහඟු දායාදය වනුයේ, මිලියන ගණනක් වන ගස් වැල්, සතා සීපාවා ඇතුළු ජෛව විශේෂ සමුහයයි. වරක් ජෛව විශේෂ වල ප්‍රබලම සාමාජිකයින්ව සිටි, ඩයිනොසෝරයන්, වසර මිලියන හැටකට පමණ ඉහතදී සදහටම මෙලොවින් තුරන්වී ගොස් තිබේ. අවාසනාවකට මෙන්, එවැනිම මහා ජීවී වඳවී යාමක් දැනට මේ යුගයේදීද  සිදුවෙමින් පවතී.
මෙම මහා ව්‍යසනයට හේතු වී තිබෙන්නේ වනාන්තර  විනාශය, ජීවීන්ගේ වාසස්ථාන ආක්‍රමණය, තිරසාර නොවන කෘෂිකර්මය, දේශගුණ විපර්යාස, නීති විරෝධී දඩයම් කිරීම හෝ වන සතුන් ඇල්ලීම, පරිසර දුෂණය  සහ පළිබෝධ නාශක භාවිතය වැනි විෂම ක්‍රියාකාරකම් වේ.
මෙම වසරේ මිහිකත දින තේමා පාඨය  වශයෙන් ‘අපගේ ජෛව විශේෂ සුරකිමු’  (Protect our species) යන්න තෝරාගෙන තිබෙන්නේ ජීවීන් වඳවී යාමේ තර්ජනය පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණ සහිතවය. මේ සම්බන්ධයෙන්  ‘Earth Day Network’ නම් ජගත් සංවිධානය විසින් හෙළිකර තිබෙන දත්ත අනුව මහා ව්‍යසනයක් අත ළඟම තිබෙන බව පෙනේ. මෙම ව්‍යසනයට මූලික විය හැකියයි හඳුනාගත් සිද්ධි කිහිපයක් පිළිබඳව මඳක් සිත් යොමු කර බලමු.
                              I.        වාර්තාගත වී ඇති අයුරු,  අතීතයේදී  සාමාන්‍යයෙන් වසරකට ජීවී විශේෂ පහකට අඩු සංඛ්‍යාවක්  වඳ වී යාම ස්වභාවික සංසිද්ධියක් ලෙස සලකා තිබේ. එහෙත්, විද්‍යාඥයින් විසින් ගණනය කර තිබෙන ආකාරයට, දැනට   එමෙන් දහස් ගුණයක් හෝ ජීවීන් දස දහස් ගණනක්  වාර්ෂිකව වඳවී යනු වාර්තා වෙමින් පවතී.
                           II.        මෑතදී කරනලද අධ්‍යයනයකට අනුව, පසුගිය වසර 28 ඇතුලතදී, ජර්මනියේ කෘමි විශේෂ  75% කින් පමණ අඩුවී ඇත. සාමාන්‍යයෙන් වනාන්තර වල ඇති ශාක වලින් 80% පමණ පුෂ්ප පරාගණය කරනු ලබන්නේ කෘමීන් විසිනි. එසේම පක්ෂීන්ගෙන් 60 % පමණ යැපෙනුයේද  කෘමීන් ආහාරයට ගැනීමෙනි.
                          III.        ලෝකයේ සිටින වන සතුන්ගෙන් අඩක් පමණ, වාසස්ථාන විනාශය, දඩයම් කිරීම සහ දේශගුණික විපර්යාස නිසා වඳවෙමින් පවතී.
                         IV.        පරිණාමයේදී මිනිසාට ඉතාමත් කිට්ටු සම්බන්ධතාවක් ඇති, ලෝකයේ සිටින ප්‍රයිමේටයින් (වානර) විශේෂ 504 න්  60% පමණ උග්‍ර වඳවී යාමේ තර්ජන වලට මුහුණ පා සිටින අතරම ඔවුන්ගේ ගහණයන්ද ශීඝ්‍රයෙන් තුනී වෙමින් පවතී.
                          V.        ධීවර ආම්පන්න වල ගැටීමෙන් හෝ දැල්වල පටලැවීම නිසා වසරකට සමුද්‍ර ක්ෂීරපායින් 650,000  පමණ විනාශ වෙති
                         VI.        ලෝකයේ සිටින පක්ෂී විශේෂ වලින් 40% ක පමණ වඳවී යාමේ ලක්ෂණ පහළවී තිබේ.
              VII.       බිළාල කුලයට අයත් කොටි, ව්‍යාඝ්‍රයින්  වැනි සත්ව විශේෂ වල   සාමාජිකයින්ගෙන් සෑහෙන ප්‍රතිශතයක් ඉදිරි දශකය තුළදී, දගයම් කිරීම නිසාම,  මිහි මතින් තුරන් වනු ඇත. මෙම සතුන් දඩයම් කරනුයේ බොහෝවිට ඔවුන්ගේ ශරීර කොටස් සහ සම සඳහා ඉහල මිලක් සහිත හොඳ වෙළඳපලක් තිබෙන නිසා 
                     VIII.        උරගයෝ දේශගුණ විපර්යාස වලට බෙහෙවින් සංවේදී සත්ත්වයෝ වෙති. අද පවතින  දේශගුණ විපර්යාස, පාලනය නොකළහොත් ඉදිරි දශක තුන හතර තුලදී, ලොව සිටින උරගයින්ගෙන් 40% පමණ වඳ වියහැකි බව ගණන් බලා  තිබේ. 
                         IX.        නුතන සංවර්ධන විප්ලවයට පෙර, මෙක්සිකෝවේ සිට ඇලස්කාව දක්වා නිදැල්ලේ හැසිරුණු මිලියන ගණනක්වූ ඇමෙරිකන් බයිසන් ගවයින්ගේ වාසස්ථාන, මේ වනවිට, තිබුණු ප්‍රමාණයෙන් 1% දක්වා අඩුවී ගොස් ඇත. දැනට සීමිත ප්‍රදේශයකට කොටුවී සිටින බයිසන් ගවයෝ, ගාල් කර සිටින රැලක ගවයින් මෙන් මහත් පීඩාවක්  විඳිති. 
                          X.        පසුගිය දශක දෙක තුලදී තල්මසුන්, මුහුදු සිංහයින්, ඩොල්ෆින් වැනි සමුද්‍ර ජීවී විශේෂ වලින්  65% පමණ අකල්  මරණයට ගොදුරුවී තිබේ.    
මේ සියල්ල අනාගතයට බෙහෙවින් බලපාන, අති දැවැන්ත ව්‍යසන බව බැලූ බැල්මටම පෙනේ. මේවාට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර සාමුහිකත්වය යටතේ පියවර ගත යුතුය. මේ සඳහා ජාත්‍යන්තරය දැනටමත් පියවර ගනිමින් සිටීම භාග්‍යයකි. එසේ වුවත් මිහිකත සුරැකීමේ මහත් අභියෝගය සඳහා ඉතාමත් සුළුවෙන් හෝ දායකත්වය ලබාදීම,  අප සෑම කෙනෙකුගේම යුතුකමකි.
බොහෝවිට අප නොදැනුවත්වම වාගේ අපගේ සමහර ක්‍රියාකාරකම් නිසා, පරිසරයට හානි සිදුවන අවස්ථා තිබේ. සෑම කෙනෙකුටම  එවැනි දේ ගැන දැනුවත් වීමක් තිබේනම්, පරිසරයට අහිතකරයයි පිළිගත්  ක්‍රියාවලින් වැළකී සිටිය හැකිය. මේ සඳහා දැනුවත් වීම පිණිස, මිනිසාගේ බලපෑම නිසා පරිසරයට පීඩාකාරී වන පහත දැක්වෙන තොරතුරු ගැන විමසිලිමත් වෙමු. මෙහි දැක්වෙන බොහෝ ක්‍රියාවලියන් ජීවීන් වඳවී යාම සඳහා තුඩු දෙන බව පරිසර විද්‍යාඥයින් විසින් තහවුරු කර තිබේ.
1.   මිනිසා විසින් ජීවී විශේෂ ‘සූරා කෑම’ (exploitation) –
ඕනෑම දෙයක්, ප්‍රමාණය ඉක්මවා භාවිත කිරීම හෝ ප්‍රයෝජනයට ගැනීම ‘සූරා කෑම’ ලෙස හැඳින්විය හැකිය. ගහකොළ, සතුන්, වනාන්තර, වැනි ඕනෑම ප්‍රභවයකට තම ඵලදායිතා ධාරිතාව තුලින්, බාහිර අවශ්‍යතාවයන් සඳහා සැපයිය හැකි උපරිම සීමාවක් තිබේ. අද මෙම ප්‍රභවයන්ගේ ස්වාභාවික සීමාව ඉක්මවා  ඵල ප්‍රයෝජන ගැනීමට මිනිසා පෙළඹී සිටින බව දකින්නට ලැබේ.  මිනිසාගේ ආහාර හෝ පරිහරණ කටයුතු, අතුරු නිෂ්පාදන සකස්කිරීම සහ විනෝද කටයුතු සඳහා  විවිධ ජීවීන් සූරා කෑමට භාජන කිරීම  මහත් පරිසර හානියක් බවට පත්වී තිබේ.  
2.   සත්ත්ව හෝ ශාක වාසස්ථාන අහිමි වීම (habitat loss) –
මිනිසා විසින්  බොහෝ ජීවී වාසස්ථාන බලෙන්ම විනාශ කරනු ලබයි.  
i.             පරිසර විනාශය  (destruction)
බුල්ඩෝසරයක් භාවිත කර බිම් කොටසක ගස් වැල් උදුරා දමමින්, පස  සමතලා කිරීම අද බෙහෙවින් දකින්නට ලැබේ. එසේම  වගුරු බිම් සහ පහත් බිම් ගොඩ කිරීම, ගංගා ඇළ දොළ වල ඉවුරු හෑරීම (මැණික් ගැරීමෙදී) වනාන්තර විනාශ කිරීම වැනි පීඩාකාරී කටයුතුද  සිදු වේ.
ii.            ජීවී වාසස්ථාන කැබලි කිරීම  (fragmentation) –
නුතන සංවර්ධන කටයුතු සහ අලුතින් මහාමාර්ග සකස් කිරීම නිසා බොහෝ භෞමික වනජීවී වාසස්ථාන  කැබලි වලට වෙන් වෙමින් පවතී. එසේම, විවිධ අවශ්‍යතාවන් සඳහා ගංගා හරහා වේලි බැඳීම සහ නව වාරි මාර්ග සකස් කිරීම නිසා ජලජ ජීවී පද්ධති කැබලි වී ගොස් තිබේ. ‘සංවර්ධනය’ යන නමින් හැඳින්වෙන  මෙම ක්‍රියාවන් නිසා කැබලි බවට පත්වන ජීවී වාසස්ථාන බෙහෙවින් කුඩාය. මේවායේ එකිනෙකට සම්බන්ධය බිඳී ගොස් තිබෙන නිසා, සතුන්ට තම ආහාර හෝ සහකරුවන් සොයාගැනීම සඳහා විශාල සැරුම් ප්‍රදේශයක් (territory) තුළ ගමන් කිරීමට අවශ්‍ය වීම නිසා, මහත් අසාධාරණයක් සිදුවේ. මේ හේතුකොට ගෙන වාර්ෂිකව පර්යටනය වන සතුන්ට, අතරමග ආහාර සොයාගන්නා සහ ලැගුම් ගන්නා  ස්ථාන අහිමි වීම නිසා අතරමං වන අවස්ථාද බොහෝය.
iii.           පරිසර හායනය නොහොත් ගුණාත්මක භාවය අඩුවීම – (degradation)          
යම්කිසි පරිසරයකට ආගන්තුක සතුන් හෝ ශාක එකතු කිරීම, වායු  සහ රසායනද්‍රව්‍ය මගින් සිදුවන පරිසර දුෂණය වැනි කරුණු නිසා හෝ ලැව් ගිනි හෝ ගිනි තැබීම් නිසා සිදුවන ක්‍ෂණික හානිය හේතුවෙන්   යම්කිසි පරිසරයක ගුණාත්මක භාවය  හීනවී යාම නිසා ජීවීන්ගේ පැවැත්මට  මහත් තර්ජන ඇති වේ. 
3.   කාලගුණ විපර්යාස (climate change)
·        කාලගුණ විෂමතා නිසා වටපිටාවේ උෂ්ණත්වය වැඩි  වන විට, අදාල ප්‍රදේශයේ  දේශගුණික  රටා  විකෘති වන්නට පටන්ගනී. මෙම වෙනස්වීම් ශාක වලට සහ සතුන්ට එකලෙස බලපායි. උෂ්ණත්වය වැඩිවීම මගින්, ජෛව විවිධත්වය ලෙස හැඳින්වෙන ජීවීන්ගේ සංකීර්ණ පැතිරීමේ රටා  සහ පැවැත්ම, කෙරෙහි මහත් බලපෑමක් ඇති කරනු ලබන නිසා, සංඛ්‍යාත්මකව ඔවුන්ගේ ශීඝ්‍ර   අඩුවීමක් සිදුවන බව පෙනේ.
·       වනාන්තර විනාශය මගින් සිදුවන හානිය මෙන්ම, බල ශක්තිය ලබාගැනීම පිණිස ඛනිජ තෙල් සහ ගල් අඟුරු වැනි පාශාණිභුත ඉන්ධන දැවීම නිසා, කාබන්ඩයොක්සයිඩ් වායුව අධිකතර ලෙස වායු ගෝලයට එකතුවීමද අහිතකර වේ.  එසේම ගොවිපල වල, පශු සම්පත් සඳහා ඇතිකරන සතුන්ගෙන්, ආහාර දිරවීමෙදී, ඔවුන්ගේ ගුද මාර්ගය හරහා, මීතේන් වැනි අහිතකර වායුද  මුක්ත වේ. මෙම වායු හරිතාගාර වායු ලෙස හැඳින්වේ. මිනිසාගේ බලපෑම නිසා  වායු ගෝලයට එකතුවන හරිතාගාර වායු වලින් සියයට දහඅටක් පමණ සතුන් ඇතිකිරීම සහිත කෘෂිකාර්මික කටයුතු නිසා සිදුවන බව හෙළිවී තිබේ.
·        ගොවිපල සතුන්ගේ අපද්‍රව්‍ය වලින් සහ ඔවුන්ගේ ආහාර ජීර්ණයේ දී ද    මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් වැනි  හරිතාගාර වායු මෝචනය වේ. මිනිසා ගේ ජීවන තත්ත්වය යහපත් වීමත් සමග ඔහු වැඩි වැඩියෙන් මස් වර්ග සහ කිරි වැනි වෙනත් සත්ත්ව නිෂ්පාදන බහුලව පරිභෝජනය කරයි. ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් රාශියේම ජනතාව පරිභෝජනයට ගන්නා මස් සහ කිරි ප්‍රමාණයට වඩා බෙහෙවින්  වැඩි ප්‍රමාණයක් සංවර්ධනය වී ඇති රටවල් කිහිපයේ ජනතාව පරිභෝජනය කරන බව හෙළිවී තිබේ. මේ නිසා පසුගිය දශක තුන ඇතුලතදී ලෝකයේ මස් නිෂ්පාදනය තුන් ගුණයකින් වැඩිවී ඇත. මෙම දත්ත සහ පරිසර දුෂණය සසඳා බැලූ පරිසර  විද්‍යාඥයින් විසින්  පරිසර සංරක්ෂණය සඳහා පශු සම්පත් පරිභෝජනයේද යම්කිසි ප්‍රතිශතයක් කපා හැරීමටද සිදුවන බවටද අනතුරු හැඟවීමක් කර තිබේ.            
4.   කෘමි නාශක සහ පලිබෝධ නාශක භාවිතය  (The use of insecticides and pesticides)
මිනිසා සහ අනිකුත් සියලුම ජීවීන් ආහාර නිසා ජීවත් වෙති. ජීවත්වීම සඳහා  අවශ්‍ය ශක්තිය ආහාරවලින් ලැබේ. ආහාර නිෂ්පාදනයට මූලික වනුයේ හරිත ශාකයි. ශාක පත්‍ර වල ඇති හරිතප්‍රද වලට සුර්යාලෝකයෙන් ලැබෙන ශක්තිය ලබා ගෙන කාබෝහයිඩ්රේට නිපදවිය හැකිය. මේ නිසා සියලුම ජීවීන් තම ආහාර සඳහා කෙලින්ම හෝ අණියමින් හරිත ශාක මත යැපේ.  මේ ස්වාභාවික ක්‍රියාවලිය අනාදිමත් කාලයක සිට ක්‍රියාත්මක වෙමින් පරිසර සමතුලිතතාවයකින් යුක්තව පැවතියේය.
මානව ශිෂ්ටාචාරයත් සමග, දඩයම් යුගය සහ කෘෂිකාර්මික යුගය පසුකර මිනිසා දැනට කාර්මික සහ තාක්ෂණික යුගයට අවතීර්ණවී සිටී. පසුගිය ශතවර්ෂ කිහිපය තුළදී සිදුවී ඇති කාර්මික විප්ලවය නිසා මිනිසා තම ආහාර ලබාගැනීම, නිවාස සෑදීම, ප්‍රවාහනය, සන්නිවේදනය ආදී සෑම ක්‍රියාවලියක් සඳහාම විවිධ ‘නවීන යයි කිවහැකි’ උපක්‍රම ආදේශ කර ගනිමින් දැනට ඒ සියල්ලේම පාහේ, උච්චම ස්ථානයකට පැමිණ සිටී. මෙම ගමන් මගෙහිදී, ඔහු විසින් සොබා දහම විසින් සපයා තිබුණු බොහෝ ආශ්චර්යමත් සංසිද්ධි නොසලකා හැර තිබේ. ඔහු වැඩි වැඩියෙන් ආහාර නිපදවා ගැනීම සඳහා වනාන්තර හෙළි පෙහෙළි කර ධාන්‍ය සහ වෙනත් භෝග වැවීමත්, කිරි සහ මස් වැනි ආහාර සඳහා සතුන් ඇතිකිරීමටත් පටන් ගත්තේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස වනාන්තර අඩුවී තණබිම් ඇතිවිය. වගාවන් වල  පළිබෝධ සහ කෘමි  උවදුරු බැහැර කිරීමට පළිබෝධ  නාශක හෝ  කෘමි නාශක සහ  පස සරු කර ගැනීම සඳහා කෘතීම රසායනික පොහොර භාවිතයත්  ආරම්භ කළේය.
දශක හත අටක් තිස්සේ සිදුවූ, වනාන්තර විනාශය,  වෙනත් සම්පත් සූරාකෑම, කෘතීම රසායනික පොහොර භාවිතය වැනි විපර්යාසයන්ගේ අනිසි ප්‍රතිඵල දැන් දැන් අපට දකින්නට ලැබේ. මිහිකත උණුසුම්වීම, කාලගුණ විපර්යාස, සාගර ජල මට්ටම ඉහළ යාම, කලින් නොතිබුණු අන්දමේ විවිධ ලෙඩ රෝග පැතිරීයාම වැනි උවදුරු වලට පාදක වී ඇත්තේ, මිනිසාගේ අත්තනෝමතික ක්‍රියා නිසා බව, ඔහුට දැන් අවබෝධවී තිබේ. 
මේ ව්‍යසනවලින් මුළු ලොවටම බලපාන එක් සංසිද්ධියක් පමණක් මෙහිලා සලකා බලමු. මෙය මෙතෙක් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී නොමැති මී මැස්සන් පිලිබඳ ඛේදවාචකයකි.
අපගේ ආහාර වලින් වැඩි කොටසක් ලැබෙනුයේ ශාක වලිනි. ශාක වල ඵල හටගැනීම සඳහා ඒවායේ මල් පරාගණය සිදුවිය යුතුය. පරාගණයේ විශාල වැඩ කොටසක් සිදු කරනුයේ කෘමීන්ය. මෙහිදී මී මැස්සන් විසින් කරනු ලබන මෙහෙය සුවිශේෂීය. මී මැස්සෝ විශේෂ විසි දහසක් පමණ ලොව පුරා විසිරී සිටිති. පසුගිය වසර දහය ඇතුලතදී අමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ කරන ලද සමීක්ෂණයකට අනුව, එම රටවල තිබුණු මීමැසි ගණාවාස වලින් 30% පමණ අතුරුදහන්වී තිබෙන බව අනාවරණය වී ඇත.  මෙම තත්ත්වය ලෝකයේ අනිකුත් රටවලද තිබිය හැකි බව සමීක්ෂණය කළ විද්‍යාඥයින්ගේ මතයයි. මෙය ජගත් ආහාර නිෂ්පාදනය සඳහා එල්ලවන බලවත් පහරකි. අධ්‍යයනය කළ සමහර ප්‍රදේශවල මී මැසි ගහණය 85% කින් පමණ අඩුවේ ඇති බවද වාර්තාවේ.
ලෝක ආහාර නිෂ්පාදනයෙන් 35 % පමණ ලැබෙනුයේ මීමැස්සන් විසින් පරාගණය කරනු ලබන, පලතුරු ශාක ඇතුළු වෙනත් භෝග වලින්ය. මේ මගින් ලැබෙන වාර්ෂික ප්‍රතිලාභය ඩොලර් බිලියන 577 ක් පමණ වන බව ගණන් බලා තිබේ. මේ අනුව, සාමාන්‍යයෙන් මිනිසා විසින් පරිභෝජනය කරනු ලබන ආහාර වලින්, තුනෙන් එකක් පමණ නිෂ්පාදනය කිරීම සඳහා සහාය වනුයේ මී මැස්සන්ය. අප බොහෝ විට මේ ගැන කල්පනා නොකළත් දැන් අපට ඒ ගැන සිතන්නට සිදුවී තිබේ.
අද බොහෝ අය මැස්සෙකු, මදුරුවෙකු හෝ කැරපොත්තෙකු දුටු පමණින්ම, කෘමි නාශකයක් ඉසීමෙන් එම සතුන් විනාශ කිරීමට පෙළඹී සිටිති. මෙම සතුන් අහිතකර වුවත්  ඔවුන් මර්දනය සඳහා, වෙනත්  පරිසර හිතකාමී ක්‍රම බෙහෙවින් තිබේ. පරිසරයට යොමු කරන ඕනෑම කෘමි නාශකයක් මී මැස්සන්ට ද අහිතකරය. සමහරවිට එක ස්ථානයක භාවිත කරන කෘමි නාශකයක් නිසා, වාතයේ රැඳී පවතින රසායන ද්‍රව්‍ය අංශු මගින්, මීමැසි ගණාවාස  කිහිපයක් විනාශ විය හැකිය. මල් පරාගණය  කරනු ලබන සමනලයින් ඇතුළු වෙනත් කෘමීන්ටද එම ඉරණමම  අත්විය හැකිය.
දැනට දශක කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශවල රාත්‍රී කාලයේදී, කණමැදිරියන් (fire-flies) බහුලව දකින්නට සිටියහ. එකළ කණමැදිරියන් රාත්‍රී කාලයේ චමත්කාරය වැඩි කළ කෘමීන් විය. කණමැදිරියන් ඳ වනුයේ ඔවුනට කෘමි නාශක ඉසීම නිසා නොවේ. වෙනත් කෘමීන් සඳහා යොදන ලද කෘමි නාශක නිසාය. ගම්බද ගෙවතුවල සිටි කූඩැල්ලන්ටද අත්වෙමින් පවතිණුයේ මෙම ඉරණමමය. කණමැදිරියන් සහ කූඩැල්ලන් එකිනෙකට වෙනස් සත්ත්ව කොට්ඨාශ දෙකක් වුවද ඔවුනට කෘමි නාශක එකලෙස බලපාන බව පෙනේ.
පොදුවේ කල්පනා කර බලන විට, මීමැස්සන්, සමනලයින් ඇතුළු අනිකුත් කෘමීන්ට මෙන්ම, හඬක් නැගිය නොහැකි අනිකුත් සියලුම ජීවීන්ට  මේ ඉරණම අත්වී තිබෙන්නේ මිනිසාගේ ආත්මාර්ථකාමී, අත්තනෝමතික ක්‍රියාවලියන් නිසාමය.  කලින්ද සඳහන් කළ පරිදි මෙම ඛේදවාචකයට හේතු වී තිබෙන්නේද  වන විනාශය, ජීවීන්ගේ වාසස්ථාන ආක්‍රමණය, තිරසාර නොවන කෘෂි කර්මය, දේශගුණ විපර්යාස, පරිසර දුෂණය  සහ පලිබෝධ නාශක භාවිතය වැනි විෂම ක්‍රියාකාරකම් නිසා බව පැහැදිලිය.
මේ ව්‍යසන අඩුකිරීම සඳහා අපගේ දායකත්වය ලබාදිය හැක්කේ කෙසේද?
පරිසරය උණුසුම් වීම හෝ වැඩිවන සාගර ජල මට්ටම  අඩුකිරීම වැනි දේ අපට තනි තනිව කළ නොහැකිය. එහෙත් සමස්ත ලෝක වාසීන්ම, එකාවන්ව තම යුතුකම ඉටු කළහොත් නිසැකවම ජය අත්පත් කර ගත හැකිය. ඉඩකඩ ඇති සෑම ස්ථානයක ප්‍රයෝජනවත් ගසක් සිටුවීම, පොලිතීන් හෝ ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය අඩු කිරීම, ඝන අපද්‍රව්‍ය කොම්පෝස්ට් බවට පරිවර්තනය කිරීම වැනි සරල ක්‍රියාකාරකම් මගින් අප කාටත් පරිසරය සුරැකීමේ මහා සංග්‍රාමයට දායක විය හැකිය.
‘ඔබ පරිසරය සුරැකීමට දායක වන්නේ නම් පරිසරය ඔබ රකී.’       
(සමහර  තොරතුරු සහ ඡායාරූපය ස්තුති පූර්වකව, මිහිකත දින ලිපි ලේඛන වලිනි.)   
          
   

%d bloggers like this: