Menu Close

පරිසරයට හිතකර කුමන විදුලි බලාගාරද?

මා ඉහත පැනයට පිළිතුරු සපයා මගේ කාර්යාලයට පැමිණියා පමණි. මගේ අදහස් ඉදිරිපත් කිරීමෙන් පසුව බොහෝ දෙනා බොහෝ දේ පිළිබඳව වාද විවාද කරගත්හ. ඒ බොහොමයකදී මම නිහඬව සිටියෙමි.

දකුණු අප්‍රිකාවේ විදුලි බල ඒකාධිකාරය ඇත්තේ එස්කොම් (ESKOM) ආයතනයටයි. මෙය ලංකාවේ CEB ආයතනයට සමානය. එම ආයතනය සහ University of the Witwatersrand අනුබද්ධව ක්‍රියාත්මක වන ESKOM Power Plant Engineering Institute (EPPEI) – HVAC ආයතනයේ ප්‍රධානියා මාය. එබැවින් ESKOM ආයතනයට විදුලි බලශක්ති අවශ්‍යතා පිළිබඳව යෝජනා සහ උපදේශන ලබා දීමේ වගකීමෙන් මට ගැලවිය නොහැක.  

රටක බලශක්ති ප්‍රතිපත්තිය (energy policy) වසර ගණනාවක් ඉදිරියට සෑදිය හැකි ලියවිල්ලක් නොවන බව මම විශ්වාස කරමි. මන්ද ගෝලීය තාක්‍ෂණය ඉතා වේගයෙන් නවීකරණය වන හෙයිනි. මීට වසර පහකට පෙර හයිඩ්‍රජන් කියූ විට අපේ මනසට දැනුනේ පුලිඟු කූරක් දැමූ විට පොප් හඬින් දැවෙන සැහැල්ලුම වායුව ලෙසයි. එහෙත් අද එය මූලික බල ශක්තියක් සහ බලශක්ති ප්‍රවාහයක් (energy carrier) ලෙස අපි හඳුනාගෙන ඇත්තෙමු. දැන් අපි හයිඩ්‍රජන් ආර්ථිකයක් ගැන කතා කරමු. 

මේ ආකාරයෙන් ගත් කල බලශක්ති ප්‍රතිපත්තියක් ගොඩනැගීමේදී කෙටිකාලින මෙන්ම දීර්ඝ කාලින සැලසුම්ද තිබිය යුතු අතර දීර්ඝ කාලින සැලසුම් අතිශයින් නම්‍යශීලී විය යුතුය. මෙය මගේ පෞද්ගලික අදහසයි. එසේම ක්‍රියාන්විත උපදෙස් (guidelines) සහ මාර්ග සිතියමක් (roadmap) නොමැති ප්‍රතිපත්තියකින්ද පලක් නැත.

බොහෝ දෙනෙකු බලශක්ති පිළිබඳව විවාද කිරීමේදී මේ ලෝක ස්වභාවයන් අමතක කරයි. එහි ප්‍රතිඵල සමහර විට භයංකාර හෝ ව්‍යාකූල අනාගතයක් විය හැක.  


වසර 2010 වන විට දකුණු අප්‍රිකාවේ පූර්ණ බලශක්තියෙන්  67% ගල් අඟුරු බලාගාර වලින් නිපදවීය. වසර 2016 වන විට එය 86% පමණ වර්ධනය විය. දැන් ඊටත් වඩා වැඩිය. මෙම ගල් අඟුරු බලාගාර වලට එරෙහිව පරිසරවේදීන්  විශාල හඩක් නගයි. එබැවින් මීළඟ බලශක්ති ප්‍රතිපත්ති සමාලෝචනයට පෙර ESKOM ආයතනය තෝරාගත් පිරිසකගෙන් අදහස් විමසීය. මා මීට සම්බන්ධ වන්නේ මේ හරහාය.

කාලය, දේශය මෙන්ම මාතෘකාවද මා නිතර කතා කරන දෙයට වඩා තරමක් නැවුම්ය. එබැවින් මම අවස්ථාව සඳහා අවශ්‍ය ගෙදර වැඩ ටික හොඳින් කලෙමි. මෙතෙක් කල් ලෝකයේ නොයෙකුත් රටවල් උපයෝගී කරගත් බලශක්ති විභව සහ ඒවායේ ගුණ-අගුණ පිළිබඳව මම සති කිහිපයක් අධ්‍යනය කලෙමි.

අවසානයේ මගේ නිගමනය ඉතා සරල විය. 

බලාගාරයක පරිසර හෝ ජන හිතකාමී බව රඳා පවතින්නේ ශක්ති ප්‍රභවයේ නොව බලාගාරය සඳහා සැලසුම් නිර්මාණය කිරීමේදී, එය ගොඩනැගීමේදී හා පවත්වාගෙන යාමේදී අදාළ පුද්ගලයන්/ආයතන ගන්නා ක්‍රියාමාර්ග අනුවයි. 


විශාල අක්‍රමිකතා සහිතව ඉදිකළ සහ පවත්වාගෙන ගිය ජල විදුලි බලාගාරවලින් වැහි වනාන්තර, ජල පෝෂක ප්‍රදේශ මෙන්ම මිනිස් ජිවිත රාශියක් පවා විනාශ වූ අවස්ථා හමුවේ

ඩීසල් විදුලි බලාගාර නිසා අවට වාතය මෙන්ම ජල සම්පත්ද දැවැත්ත දුෂණයකට ලක්ව මිනිස් ජනාවාස සහමුලින්ම ඉවත්කරන්න සිදුවූ අවස්ථා ඇත. 

ගල් අඟුරු බලාගාර ආශ්‍රිතව උත්පාදනය වන පියාසර අළු (fly ash) පරිසරයට මෙන්ම මිනිස් සෞඛ්‍යටද මාරාන්තික වූ අවස්ථා වාර්තාවෙයි. 

න්‍යෂ්ඨික බලාගාර වලින් සිදුවිය හැකි හානිය ගැන කතාකිරීමේදී චර්නොබිල් යන වදන පමණක් සැහේ.

බොහෝ දෙනෙකු සුර්ය බලශක්තිය ඉතා අහිංසක ශක්ති ජනනයක් ලෙස සලකයි. සුර්ය කෝෂ  නිෂ්පාදනයේදී පරිසරයට මුදා හැරෙන සිලිකන් ටෙට්‍රාක්ලෝරයිඩ් ඇතුළු වෙනත් අතිශයින් විෂ සහිත වූ ද්‍රව්‍ය නිසා චීනයේ ති විශාල පිරිසක් පෙනහළු රෝග වලින් මිය යන බව නොරහසකි. එසේම විශාල සුර්ය බලශක්ති උත්පාදනාගාර නිසා ඉඩම් අහිමිවීම තවත් පැනයකි. පාවෙන සුර්ය කෝෂ පද්ධති නිසා ජලජ පද්ධතීන්ට වන හානිය පිළිබඳවද තවම අධ්‍යනය කර නැත. 

සුළං විදුලි බලාගාර නිසා පක්ෂි සමුහයන් විනාශ වුන අයුරු, ඔවුන්ගේ සම්ප්‍රදායික ගමන් මාර්ග ව්‍යාකුල වූ අයුරු මෙන්ම ශබ්දය නිසා මිනිසුන්ට වාසස්ථාන හැර යන්න වූ අයුරුද වාර්තා වේ. 


ඒ  අතරම මෙම සෑම ශක්ති විභවයක් මගින් ක්‍රියාත්මක වන බොහෝ විදුලි බලාගාර පරිසරයට වන හානිය ඉතා අවම කරගනිමින් චිරාත්කාලයක් පවතින බවද පෙනෙයි. 

ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමේදී ශක්‍යතා අධ්‍යනය සහ පාරිසරික බලපෑම් පිළිබඳව අවංක පුළුල් පර්යේෂණ මාලාවක් කිරීම අනිවාර්ය වෙයි. ඉන්පසු බලාගාරය ඉදිකිරිම සුදුසු යයි අනුමත වුවහොත් නිර්මාණය, ගොඩනැගීම සහ පවත්වාගෙන යාම යන අදියර වලදී ඉහලම ප්‍රමිතියකට 100% අනුකූල වීම අත්‍යවශ්‍යය වේ.

ගල් අඟුරු බලාගාරයක ඉහල අහසට නිකුත්වන කාබන් අංශු සහ වෙනත් අහිතකර වායුන් අවම කර ගැනීමේ ක්‍රම සහ විදි රාශියක් අද වන විට ඉතා දියුණු මට්ටමක පවතී. අතුරු ඵලයක් වන පියාසර අළු මේ වන විට කර්මාන්ත රාශියක් සඳහා වටිනා අමුද්‍රව්‍යයක් වෙමින් පවතී.

ඩීසල් බලාගාරයක් ප්‍රමිතිගතව ක්‍රියාත්මක කරන්නේ නම් එය ආසන්නයේම සිටින අයෙකුටවත් අහිතකර වායුවක් හෝ දුර්ගන්ධයක් නොදැනෙන බව මම අත්දැකීමෙන් දනිමි (මැලේසියාවේ දී).

ලෝකයේ මේවන විට න්‍යෂ්ඨික බලාගාර 450 ක් පමණ ක්‍රියාත්මක වෙයි. වාර්තාවන එකම සැලකිය යුතු සිද්ධිය චර්නොබිල් පමණි. අනෙක් අතට ලංකාව දෙස බැලුව හොත් ලංකාවේ න්‍යෂ්ඨික බලාගාර නැත කියා අප කිසිසේත්ම එම අන්තරායයෙන් වැලකී නැත. ඉන්දියාවේ ක්‍රියාත්මක වන හෝ ඉදිකෙරෙමින් පවතින / ඉතා මෑතකදී ඉදිකිරීම් අරඹන න්‍යෂ්ඨික බලාගාර 22 කි. ඉන් 5 ක්ම අසල්වැසි තමිල්නාඩුවේය. 

මනුෂ්‍ය ජනාවාස වලින් සහ පක්ෂි සංචරණයෙන් ඈත වූ භූමි ප්‍රදේශවල පිහිටවූ සුළං විදුලි බලාගාර වලින්ද මුඩු බිම්වල පිහිටවූ සුර්ය බලශක්ති ජනකයන්ගෙන්ද පරිසරයට වන බලපෑම අවම කරගෙන ඇති අවස්ථා අනන්තය. ජර්මනියේ සුර්ය කෝෂ නිෂ්පාදකයන් ක්‍ෂය රෝගීන් හෝ අසාත්මිකයන් බිහිකළේ නැත. එහෙත් 2017 වන විට අවසන් ප්‍රධාන ජර්මන් සුර්ය කෝෂ නිෂ්පදකයාද චීනයට යටත් විය. 

කුමන බලශක්තියක් උපයෝගී කරගෙන විදුලි උත්පාදක පද්ධතියක් තැනුවත් එය නියමාකාරයෙන් සිදු කරන්නේ නම් පරිසරයට වන හානිය අවම වෙයි. නුතන තාක්ෂණය ඊට උපකාරී වෙයි. ජර්මනියේ, ස්වීඩනයේ, කැනඩාවේ මා දැක ඇත්තේ මෙයයි. මුළු යුරෝපයෙත්, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවලත් ආසියාවේම සිංගප්පුරුව සහ දකුණු කොරියාව වැනි රටවලත්  තත්වය පිළිබඳව අප අසන්නේ කියවන්නේ මේ ලෙසයි.

අවසානයේ මට කිව හැක්කේ එක දෙයකි. හොඳ නරක සෙවිය යුත්තේ බලාගාරයක භාවිතා කරන ශක්ති ප්‍රභවයෙහි නොව එම බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන මිනිසුන්ගේය. බොහෝ නොදියුණු රටවල සිදුවන්නේ මේ මිනිසුන් මනුෂ්‍යත්වයට නිගා දෙන ලෙසින් හැසිරීමයි. එම රටවල් නොදියුණු රටවල් වීමේ ප්‍රධාන හේතුවද මෙයයි. 

ඉතා සුළු දෙනෙකුගේ ලාභයක් සඳහා විශාල දෙනෙකුගේ අනාගතය විනාශ කරන්න පසුබට නොවන මිනිසුන්ගේ අතට, සුරලොවින් ශක්ති ප්‍රභවයක් ගෙනැවිත් දුන්නත් සිදුවන්නේ ඛේදවාචකයක් මය. 




%d bloggers like this: