Menu Close

Dances with Wolves


ශිෂ්ටාචාරය අරගෙන යුරෝපීයයන් ඇමරිකාවට ගොඩ බසිද්දී ඇමරිකාව තුළ මායා, චෙරෝකි, යුකැටෙක්, සූක්ස්, ඇක්ස්ටෙක් ඇතුළු ස්වදේශීක ගෝත්‍ර සිය ගණනක් ජීවත් වූ බව අපි දන්නවා. ඒ වගේම අදාල ගෝත්‍ර විසින් භාවිත කළ ස්වදේශික භාෂා සිය ගණනක් පැවති බවට සාධක තියෙනවා. ලෝකයේ බොහෝ ශිෂ්ටාචාරයන්හි මෙන්ම, මේ ඇමරිකානු ස්වදේශීය ගෝත්‍රයන්ගේත් සාමය බිඳවැටෙන්නේ ස්වදේශික ඇමරිකානුවන්  ‘රතු ඉංදියානුවන්’ හැටියට නාමකරණය කරමින් ඔවුන්ට ශිෂ්ටත්වය දෙන්න ආපු යට කී යුරෝපීයයන් අතින්. මේ විතරක් නෙමෙයි ඇමරිකානු උපමහද්වීපය තුළ ම මෙක්සිකෝව කේන්ද්‍ර කරගනිමින් බිහිවුණ ඇස්ටෙක් ශිෂ්ටාචාරය, දකුණු ඇමරිකානු පීරු ප්‍රදේශය පදනම් කරගනිමින් ගොඩනැගුණු ඉන්කා ශිෂ්ටාචාරය කියන මහා ශිෂ්ටාචාරයන් පොළවට යට වූයෙත් මේ කරුණ ම පාදක කරගනිමින් බව අපිට මතකයි. කෙසේ වෙතත්, මේ යුරෝපීය බලපෑම ඇමරිකාව තුළ ව්‍යාප්ත වීමට පෙර ඇමරිකාවේ මිලියන දහයත් මිලියන එකසිය දොලහත් අතර ජනගහණයක් ඉන්නට ඇතැයි ඉතිහාසඥයින් ගණන් බලලා තියෙනවා.

මේ සමය තුළ ඇමරිකානු භුමියේ සාමකාමීව වාසය කළ ස්වදේශිකයින් බොහෝමයක් මේ කියන ශිෂ්ට යටත්විජිතවාදීන් විසින්, ‘මිත්‍යාදෘෂ්ටිකයින්’ යන නාම කරණය යටතේ මරා දමනු ලැබුවා.  මේ අය මේ ගෝත්‍රිකයින්ට ගෙනාවේ මේ වහල් බව තැවරුණ ශිෂ්ටත්වය විතරකන් නෙමෙයි. වසූරිය, සරම්ප, කහඋණ වගේ දායාදයනුත් ඔවුන් මේ ස්වදේශිකයින්ට දායාද කළා. ඊට අමතරව ස්වදේශිකයින්ගේ ගව මහීෂාදීන් මරා දමා විනෝද වීමේ ශිෂ්ටාචාරමය ක්‍රීඩාව නිසා උග්‍ර සාගතයන් ඇති කරමින් ස්වදේශික මිනිස් සංයුතිය තවදුරටත් හීන කරන්නට බලපෑවා.

Dances with Wolves සිනමා පටය  දිගහැරෙන්නේ මේ පසුබිම කේන්ද්‍රකරගනිමින්. ඇමරිකානු ලේඛක Michael Blake විසින් රචිත Dances with Wolves නවකතාව මේ සිනමා කෘතියට පාදක වෙලා තියෙනවා. Dances with Wolves අධ්‍යක්ෂණය කරන්නේ එහි ප්‍රධාන චරිතය (ලුතිනන් ජෝන් ඩම්බර් ) රඟපාන සහ කෘතියෙහි නිෂ්පාදන කාර්යයද ඉටුකරන  Kevin Costner. අන්තර්ජාතික IMDB දර්ශකයේ 8.0ක ජනප්‍රියක් ලබාගෙන ඇති මේ අපූර්ව සිනමා පටය දිග හැරෙන්නට පටන් ගන්නා කාලය 1863 වර්ෂය. ඒ තමයි සුවදේශික ශිෂ්ටාචාර විනාශ වීමේ අවසන් වකවානුව.

එංගලන්ත, ප්‍රංශ, ස්පාඥය ආදී යුරෝපීය යටත්විජිතවාදීන් මුල් යුගයේ ස්වදේශිකයින් සමග ඇති කරගත් ගැටුම මේ වන විට තමන්ම කොටස්වලට බෙදී  ඇති කරගමිනුයි තිබුණේ. ඒ ඇමරිකානු සිවිල් යුද්ධය (1849-1865) හරයා. සිනමා පටය දිගහැරෙන යට දැක්වූ 1863 සළකුණු වන දෙවන පසුබිම ඒක.

ලුතිනන් ජෝන් ඩම්බර්  (ප්‍රධාන චරිතය) තම අසුන් පැදවීමේ දක්ෂතාව පදනම් කර ගනිමින් සතුරන් මුළා කරමින් ඔවුන් පරාජය කර තම ඛණ්ඩය  ආරක්ෂා කිරීමට ජීවිතය පරදුවට තබා උදවු කරනවා. මේ මොහොත වන විට ඔහු අයත් හමුදා කණ්ඩය ඉන්නේ සතුරා අතින් පරාජය වී ඝාතනය වීමට නියමිත අවස්ථාවක. මේ කාර්යය නිසා හමුදාවේ වීරයකු හැටියට සැලකෙන ජෝන් ඩම්බර්ට ප්‍රසංශා මෙන්ම තමං කැමති තැනකට මාරු වීමට අවස්ථාව ලබා දෙනවා. නමුත් ඩම්බර් තෝරගන්නේ එවකට හමුදාව සතුව තිබූ දුෂ්කරම සහ ප්‍රත්‍යන්ත ම කඳවුරක් වන සේජ්වික්. මොහු දින ගණනාවක් ගත කරමින් ඒ කඳවුරට යද්දී ඒ කඳවුරේ සිටි සියලු අය කඳවුර හැර ගිහින්. ඒකට හේතුව අදාල කඳවුරට කාලයක් තිස්සේ සැපයුම් නොලැබීම.

කෙසේ වුණත් ලුතිනන් ජෝන් ඩම්බර් ඒ කඳවුරේ තනිවම හිඳිමින් දුෂ්කරතා මධ්‍යවේ තමන්ගේ රාජකාරිය කරන්න තීන්දු කරගන්නවා. සිනමාපටයේ මුල් අඩ ගෙවෙන්නේ අදාල කඳවුරට නුදුරින් පිහිටි ස්වදේශිකයින්ට සහ මොහු අතර සම්බන්ධතාවක් ගොඩනැගෙන ආකාරය ගැන.
අනෙකාගේ භාෂාවේ කිසිදු වචනයක් නොදන්න මොවුන් තුළ එකිනෙකා ගැන ඇතිවන්නේ සැකක් සහ බියක්. මේ බිය තුරන් වීමට කාලාන්තරයක් යනවා. කතාව අහවර වන්නේ ගෝත්‍රිකයින් විසින් හදාගත්තු සුදු ජාතික කාන්තාව ලුතිනන් ජෝන් ඩම්බර් විවාහ කරගැනීම දක්වා දුර ගිහින්.

මේ කාලය වන විට ඇමරිකාව තුළ ඉතිරිව සිටින ඉතාමත් සුළු ප්‍රමාණයක් වූ ස්වදේශික ජනතාව විඳින්නා වූ ගැහැටත් ඔවුන්ගේ මානසික පීඩාවත් කතාවේ යටි පෙළේ ඉතා පැහැදිලිව නිරූපණය වනවා. සුදු ජාතිකයින් විසින් මේ අය සැලකෙන්නේ වහලුන් සහ සොරුන් හැටියට. සුදුජාතිකයින් ඔවුන්ගේ නිජබිම්වලට පැමිණ ඔවුන් විනාශ කරන අතර ඔවුන්ගේ ගවයින් විනෝදය පිණිස ඝාතනය කරනවා. මේ අය නිරන්තරයෙන් සිටින්නේ තමං වෙත සුදු ජාතිකයින් කොයි වේලේ හෝ පැමිණේවිය කියන බියෙන්.

තවත් පැත්තකින් ඇතැම් ගෝත්‍රික කණ්ඩායම් ආක්‍රමණික සුදුජාතිකයින් හා එකතු වී තමංගේ ජන කණ්ඩායම්  පාවා දෙනවා. ඒ විවිධ වරදාන බලාපොරොත්තුවෙන්. බොහෝ කාලයක් ස්වදේශිකයින් හා වාසය කරමින් ස්වදේශිකයෙක් හැටියටම රූපාන්තරණය වූ සුදු ජාතික ලුතිනන් වරයෙක් ම වන ජෝන් ඩම්බර්ටද පසුකාලයේ සුදු ජාතිකයින් මේ යෝජනාව ගේනවා. ඒ තමං හෙඳින්ම දන්න ගෝත්‍රිකයින්ට විරුද්ධව ඔත්තු සපයන්න. නමුත් ජෝන් ඩම්බර් එයට විරුද්ධ වෙනවා. මේ නිසා සුදු ජාතිකයින්ගේ වෛරය ඔහුට එරෙහිව ද ක්‍රියාත්මක වෙනවා. සිනමා පටය අවසන් වන්නේ ඔහු හා ගෝත්‍රිකයින් අතරින් ඔහු විවාහ කරගත් සුදු ස්ත්‍රිය (ක්‍රිස්ටීන්) ඒ අයගෙන් බේරීම සඳහා ගෝත්‍රිකයින්ගෙන් සමුගෙන පලා යෑම තුළ. මේ අයගේ හිංසාවට හසු නොවී පලා යෑමේ යම් සුඛාත්මක අවසානයක් සිනමා පටය තුළ තිබුණද, ඔවුන් නික්ම ගිය ගිය පසු සුදු ජාතිකයින් අතින් ස්වදේශික ගෝත්‍රය විනාශය කරා යන ආකාරය එහි යටි පෙළ තුළ ඉගි කෙරෙනවා.

සිනමා කෘතිය තුළ යටත් විජිත වාදියා සෑම විටම පැතලි කළු චරිතයක් හැටියට නිරූපණය වෙලා නෑ. සුදු ජාතිකයින් අතර විතරක් නෙමෙයි ගෝත්‍රිකයින් අතරත් විවිධ කාරණා නිසා සටන් හටගන්නවා. ඇතැම් කාරණා ආත්මාර්ථකාමී ඒවා. ඒ වගේම ඇතැම් ගෝත්‍රිකයින් නිකරුණේ මිනිසුන් මරනවා ක්‍රිස්ටීන් කුඩා කාලයේදී ඇගේ දෙමව්පියන් වනාන්තරයක් තුළදී ඝානතය කරන්නෙත් එවැනි ගෝත්‍රිකයින් පිරිසක්. ක්‍රිස්ටීන් පණ බේරාගෙන දුවගෙන එද්දී ඇයව බේරාගෙන හදා ගන්නේත් වෙන්ත් ගෝත්‍රිකයින් කණ්ඩායමක්.

Dances with Wolves සිනමා පටය පුරා අපට සිහිවන්නේ සර්ජියෝ ලියොන් ඇතුළු සිනමා කරුවන් විසින් සංවර්ධනය කළ කවුබෝයි සිනමා (western)  උපශානරික ලක්ෂණ. කෘතිය තුළ ස්වදේශික භාෂාව, ස්වදේශික චරිත සහ පසුතල නිරූපණය ඉතාමත් තාත්විකව ගලාගෙන යනවා. තේමාව අතිශ්‍ය සංකීර්ණ යටි අර්ථයන් දනවන එකක්. ඇත්තටම, පසු කාලීනව නිෂ්පාදනය වූ Avatar වැනි සුප්‍රකට සිනමා පට සඳහා Dances with Wolvesහි තේමාත්මක ආභාෂය ලැබී තිබීම පුදුමයක් නෙමෙයි.

  • – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

රාවය – 2019 අප්‍රේල් 14


%d bloggers like this: