Menu Close

කොළඹ ගැන පොත් දෙකක්

“කලම්බො” +  “කොළඹයා හා ෂැංහයියා” 

කොළඹ ගැන පොත් දෙකක්

අතීත කොළඹ ගැන ලියවුනු මේ පොත් දෙක කියවූ මගේ හිතට නැගුනේ 1900 හෝ ඊට පෙර සිට බහු වාර්ගික බහු සංස්කෘතික සන්ධිස්ථානයක් ලෙස නාගරීකරණය වූ ඒ කොළඹ, අද එම විවිධත්වයෙන් ඈත්වී යනවාද, පෝට් සිටි ඇති වීමත් සමග නගරය යන්නේ කොයිබටද, යන ප්‍රශ්නාර්ථයන්ය.  හොද පොතකින් අප බලාපොරොත්තු වන්නේ ලස්සන කතන්දරයක් කියවීමෙන් ලැබෙන වින්දනයක් මෙන්ම අලුත් ප්‍රශ්න කෙරේ අපව යොමු කිරීමක්ය.  මේ පොත් දෙකෙන් අඩු වැඩි ලෙස ඒ දේ සිදු කෙරෙන බව මගේ මතයයි.

වසර 2018 පලවූ මොහාන් රාජ් මඩවලගේ “කලම්බො” පොතේ කතා නායිකා එලිසබෙත්ගේ ආච්චි හා සීයා වන ඒබරන් හා අවුරලියා විවාහ වෙන්නේ 1900 මුල් දශකයේ විය හැකි යයි මා අනුමාන කරමි. එයට හේතුව 1917 ඔක්තෝබර් විප්ලවය වන විට “රුසියාවේ අලුත් ආණ්ඩුවක් පිහිටුවලා ලෙනින් කියලා මිනිහෙක්” යන පැහැදිලි කිරීම තේරුම් ගත හැකි වයසේ  පුතෙකු ඒබරන්ට ඒ වන විට සිටීමයි.  ඔවුනගේ  මිනිබිරිය එලිසබෙත් ලෙස නම් කෙරෙන්නේ ඇය එම රැජින උපන් 1926 වසරේ එකම මාසේ එකම දවසෙම උපන් නිසාය.  පොත ඉවර වෙන්නේ නිදහස ලබා ගැනීමෙන් පසු 1956 සිදුවන පරිවර්තනයත් සමගයි.

කතාව ගෙතී ඇත්තේ වැලිකඩ, කොලොම් තොට, හා කොල්ලුපිටිය යන භූමි ත්‍රිකෝණයේ යි.  වැලිකඩ ප්‍රදේශයේ ජීවත් වූ වඩුවකු වූ අබරන් හා බිරිය අවුරලියා දෙපල මඩවල විසින් විස්තර කරන්නේ නගරයේ අද්දර ජීවත් වුනු ගැමි යුවලක් ලෙස ය.  වැලිකඩ සිට කොල්ලුපිටියට හෝ කොලොම් තොටට රාත්‍රියේ ගමන වන ලැහැබ් හරහා යන්නක් විය.  ඔවුන්ගේ පුතුන් තිදෙනා වන ඊබට්, ඔස්ටින් හා සැම්සන්ගේ කොලොම් තොට වැඩ ලෝකය හා ඔවුනගේ විධිමත්/අවිධිමත් පවුල් ජීවිතය තුලින් ඒ කාලයේ පාරු,, ට්‍රෑම් කාර්, හා නැව් ගමනාගමනය හා බැදුණු කොලොම් තොට ආර්ථිකය හා ඒ වටා ගොඩ නැගුනු අව්‍යාජ සංස්කෘතිය ගැන සවිස්තර චිත්‍රයක් මඩවල විසින් මවා පායි.  කොල්ලුපිටියේ ප්‍රභූ නාගරික පන්තිය තුලට අපව රැගෙන යන්නේ මිනිබිරී එලිසබත්ගේ හා කොර්නෙල් හාමු අතර නොසිතු පරිදි සිදුවූ විවාහය හරහා යි.

ඊට අමතරව මේ “කලම්බොකතාන්දරය මඩවල විසින් ගොතන්නේ මායා-යථාර්ථ මෙවලම් යොදා ගනිමින් පහසුවෙන් කියවිය හැකි ගලා යන භාෂාවකිනි.  පූසා හා බළලා සමඟ කතාවේ යෙදෙන අවුරලියාත්, තමාගේ අනියම් සැමියාගේ මරණයෙන් පසු අවුරලියාගේ දෙවැනි පුතා සමග අත ගන්නට පෙර මුල් ප්‍රේමය වෙනුවෙන් දවස් හතක් කාමරේ දොර වසාගෙන කාමරය පිරෙන්න කදුළු හලන ලේලිය එව්ලිනුත් , කුරුල්ලෙක් මෙන් හැසිරෙන හා එසේ භූතාර්ථ වන අංගොඩ මානසික රෝහලේ තෝමස් කොලුවාත් එවැනි මායා-යථාර්ත සිද්ධීන් මවන චරිත සමහරකි.  ඒබරන්ගේ පුතුන් තුන් දෙනාගේ මෙන්ම සහාය කාන්තා චරිත වලින් දිස්වෙන අව්‍යාජ ලිංගිකත්වය හා කොල්ලුපිටියේ කොරනල් හාමුගේ පිළිකුල් උපදවන මල මිනී හා එකතු වීමේ ලිංගික ආසාව වැනි ලුනු ඇඹුල්ද එකතු කරමින් මඩවල විසින් පාඨකයින් අලුත් ලොවකට ගෙන යන බව මම සිතමි.

ඒ අතරතුර මහමාරියා වැළදී මැරෙන ඒබරන්, මීගමුවේ සිට හැමිල්ටන් ඇල දිගේ කොළොම් තොටට දිවෙන පාරු වෙළඳ සංස්කෘතිය හා එක් වන බාල පුතා සැම්සන්, ට්‍රෑම් කාර් පද්ධතියේ ටිකට් කඩන්නෙක් ලෙස උජාරුවට වැඩ කරන දෙවන පුතා ඔස්ටින්, ඉන්දුනීසියානු, පෘතුගීසි, අරාබි හා වෙනත් විදේශික වෙළෙන්දන්ගෙන් හා නාවිකයන්ගෙන් ඉගෙන ගෙන වාජීකරණ ඖෂධ හා වෙනත් අලුත් අලුත් දේ විකුණන මුණුබුරා ලෙනින්, ජපනුන් කොළඹට බෝම්බ දැමීමේදී අංගොඩ රෝහලේ සේවය කරමින් සිටි හා ඒ තුලින්ම කොල්ලුපිටියේ පවුලට සම්බන්ධ වෙන එලිසබෙත්, සුදු ජාතික පෙම්වතකුගෙන් ලැබුණු අප්‍රිකන් වහලා හා වහලියගෙන් සම්බාහන හා වෙනත් සත්කාර ලබා ගන්නා ප්‍රභූ මන්දිරයේ ළමාතැනිය යන අයගේ ජීවිත තුලින් එකල ප්‍රභූ හෝ නිර්ප්‍රභූ ජීවිතය මෙන්ම තත්කාලීන ඉතිහාසය හා සංස්කෘතික වාතාවරණය ගැන මඩවල විසින් කදිම චිත්‍රයක් මවයි,

වසර 2015 පලවූ සුනේත්‍රා රාජකරුණානායකන්ගේ “කොළඹයා හා ෂැංහයියා” පොතේ කතා නායක ශෝන් යනු හතරෙන් තුනක චීන සම්භවය ඇති තරුණයෙකි.  ඔහුගේ සීයා 1900 ශතකයේ මුල භාගයේ චීනයෙන් නැව් නැග ආ කාලයේ සිට, සිංහල බෞද්ධ තරුණියක් හා ශෝන් අතර සිදුවන විවාහය, අනතුරු දික්කසාදය හා 2015 මැතිවරණය දක්වා කාල පරාසයක කතාව ගොතා ඇත.  චීනයේ ෂැංහයි නුවර හා ‘මරදාන-කුරුදුවත්ත-නුගේගොඩ යන කොළඹ භූමි ත්‍රිකෝණය තුල කතාව දිග හැරේ.  පොත් දෙක එක් කර ගත් කල 1900 මුල භාගයේ සිට අද දක්වා කොළඹ නගරේ විකාශනය පිලිබඳ හොද චිත්‍රයක් මවා ගත හැක.

ශෝන්ගේ ආච්චි ලෙටීෂියා යනු උඩරට අටලුගම තම ගමේ යම් කරදරයකට අසුවී ඉන් බේරෙන්න පැන ආ ඉලන්දාරියකු හා කොළඹ නගරයේ දෙමළ-සිංහල-කතෝලික තරුණියක අතර විවාහයක දරුවෙකි.  චීන සීයාගෙන් හා කවලම් ආච්චි යන දෙන්නාගෙන්ම පිළිඹිඹු වන්නේ නගරයක මහ සෙවනැල්ල මුවාවෙන් කෙලින් කර ගත් ජීවිත දෙකක්ය.  ආච්චිට හා සීයාට පුතුන් කීප දෙනෙකි.  එක් දුවකි.  දුව විසින් සියයට සීයක් චීන සම්භවය ඇති දත් බදින්නෙකු හා විවාහ වීමෙන් ලැබෙන දරුවා ශෝන්ය.  වාමාංශිකයින් වූ මාමලා නිසා ගෙදර හා අවට සමාජ පරිසරය තුලින් ලාංකික පන්ති සටන මිස වාර්ගිකත්වය කිසිසේත් පිළිඹිඹු නොවේ.

ශෝන්ගේ පෙම්වතිය කුමුදු දේශපාලනය තුලින් ධනවත් වෙමින් පවතින නව ප්‍රභූ පන්තියක් නිරූපණය කරයි.  කුමුදු හදිසියේ ගැබ් ගැනීම නිසා ඔවුන් දෙදෙනා අතර විවාහය සිදු වෙයි.  කතාව පටන් ගන්නේ තම මාමණ්ඩියගේ උදවුවෙන් ෂැන්හයි වල මාස කිහිපයක චිත්‍රපට කලා වැඩ මුලුවකට සහභාගී වන ශෝන් ගෙනි.  ස්වයංඅභිමානය යන්න වචනෙන් මිස ක්‍රියාකාරීත්වයෙන් සාක්ෂාත් කර ගැනීමට කම්මැලි ශ්‍රී ලාංකික තරුණයෙකුගේ චරිතය ශෝන් තුලින් මනාව පිළිඹිඹු වෙයි.  විශේෂයෙන්ම ෂැන්හයි වලදී ශෝන් ඇසුරු කරන චීන තරුණිය වන සොං වෙයි හා සංසන්දනය කරමින් ශෝන්ගේ චීන කම පෙනුමට පමණක් බවත්, ඔහුගේ ක්‍රියාවන්ගෙන් දිස්වන්නේ වාර්ගිකත්වයෙන් ඔබ්බට යන ලාංකීය දුර්වල කම් බවත් යන්න කතුවරිය පෙන්නා දීමට උත්සාහ කරන්නේ යැයි මට සිතේ.

බොහෝ වත්මන් නවකතා හා නාට්‍ය වල දකින්නට ඇති පරිදි දේශපාලකයාගේ හා දුවගේ චරිත ඒක-මාන නීරස චරිත ලෙස නිර්මානය වී ඇත.  නුගේගොඩ පෙදෙස මේ අලුත් ප්‍රභූන්ගේ බල කේන්ද්‍රයයි.  කොල්ලුපිටිය භූමි ප්‍රදේශය මේ පොතේ නිරූපණය වන්නේ නුගේගොඩ හා සංසන්දනයක් ලෙස මිස ඇත්තටම පොතේ ඇති චරිත තුලින් නොවේ.

සුනේත්‍රා රාජකරුණානායකයන්ගේ කොළඹ හා ෂැංහයි ජන ජීවිතයේ සංසන්දනය තුලින් මා  ඉතා වැදගත් කරුණු කීහිපයක් අවබෝධ කර ගත්තත් ඒ සංසන්දනය තරමක් කියවීමට වෙහෙසකර එකක් විය.  ඇගේ පොතේ වඩාත් මා සිත් ගත්තේ වාමාංශික ව්‍යාපාර හා බැදී ජනවර්ගයක් සේ එකල පැවති කොළඹ ජන සමාජය ලයාන්විත ලෙස  හුවා දැක්වීමයි.

සුනේත්‍රා රාජකරුණානායක මගේ ප්‍රියතම ලේඛිකාවක් වුවත් මේ අවස්ථාවේ මා වඩා කැමති පොත මොහාන් රාජ් මඩවලගේ පොත බව මේ විචාරයෙන්ම බොහෝ විට පැහැදිලි වෙනු ඇත.  නමුත් පොත් දෙකම එකට කියවීම තුලින් පොත් දෙකෙන්ම මට වැඩි වටිනාකමක් ලැබුණු බව මට කිව හැකිය.

%d bloggers like this: