Menu Close

කලා රිටක අපහාසය





කලා ප්‍රකාශනය හා ආගමික අධිකාරිය අතර නැවතත් ඝට්ටනයක් ඇති වෙලා. අදහස් ප්‍රකාශ කිරීම කියන්නේ අතීතයේ පටන්ම මිනිසුන්ව කරදරයෙහි හෙලපු ක්‍රියාවක්. ක්‍රි.පූ හතරවෙනි සියවසේදී සොක්‍රටීස්ට වස බොන්න බල කරලා, ක්‍රි.ව දහ හත්වෙනි සියවස වෙද්දි ජියඩානෝ බෲනෝව පණ පිටින් පුලුස්සා මරා දමන්නෙත් අදහස් ප්‍රකාශ කිරීමේ සීමාව ඉක්මවා යාම ගැන මතුවෙන ප්‍රශ්න නිසා.ඊට අමතරව රටේ ලෝකේ හැම තැනම හැම කාලයකදීම ප්‍රකාශනය කියන එක අභියෝගයට ලක් වෙනවා. ඒ සියලු හැල හැප්පීම්, කෲරකම් මැද ලෝකය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සම්බන්ධයෙන් බොහෝ දිගු ගමනක් ඇවිත් අවසන්. පහුගියදා ශක්තිකට උනු සිද්දියත් එක්ක ගත්තම අපිට නැවතවරක් විමසන්න වෙන මූලික ප්‍රශ්න දෙකක් තියනවා. එකක් කලාකෘතියක් කියන්නේ මොකක්ද ? , අනික අපහාසයක් කියන්නේ මොකක්ද ?.
අජිත් කුමාරසිරිගේ ගීතයක්, සර්පයාගේ අර්ධනාරි වගේ පොතක්, සයිමන්ගේ සංසාරන්න්‍ය වගේ පොත්, විමුක්තිගේ චිත්‍රපටයක් , මට හම්බුනු බොහෝ දෙනෙක් දකින්නේ කලාකෘති ලෙස නොව කාලකන්නි ප්‍රේත වස්තු ලෙස.ඉන් සමහරෙක් මට කටේ තියන්න බැරි, මහ රජ කංසා, සන්ෆ්ලවර්ලාගේ, අජිත් මුතුකුමාරණලාගේ සින්දු වගේ එව්වා දකින්නේ රස කරන්න පුලුවන් වැඩ විදිහට.

අපහාසය ගත්තොත් ඉහත සඳහන් කල මුල් සෙට් එකේ අයගේ ප්‍රකාශන වල බොහොමයක් තැන් සමාජය දකින්නේ කුණුහර්ප හෝ ආගමට ජාතියට කරන අපහාසයන් ලෙස.තවත් සමහරුන් දකින්නේ ගැඹුරු හෝ විකල්ප කියවීමක් ලෙස. එහෙම ගත්තම කලාව සහ අපහාසය පුද්ගලානුබද්ද කාරණා. ඒවාට ඉරි ගහලා අර්ථ දැක්වීම් දීලා පාට කරලා තර්කානුකූල නිර්වචන දෙන්න බෑ. “අපි දකින විදිහ අපි විඳින විදිය තමයි ඩෝ විදිය” කියලා පරසක්වල ගහලා වැඩක් නෑ.

කොටින්ම කලාකරුවාට අසීමිත නිදහස තිබියයුතුයි කියලත් වැඩක් නෑ. මොකද එහෙම කිව්ව ගමන් අනික් පැත්තෙන් අහන්නේ ඇයි උන් අලි පුකෙන් ඇවිල්ලද කියලා. ඇත්තටම කලාකරුවෝ කියන්නේ මොකුන්ද ?. කලාව වෘත්තියක් වශයෙන් කරන අයද ?. නැතිනම් කලා නිර්මාණයක් කරන කෙනාද. මට අනුව නම් යම් ප්‍රකාශනයක් කලාවක් වෙනවාද නැද්ද කියලා තීරණය කරන්නේ ඒක රස විඳින්නන් විසින්. කලාව කියන එක බිහිවුනේම ප්‍රාතමික ජන සමාජ වල මිනිස්සු තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ගත්ත අමුතු උත්සහයන් වෙනත් පිරිසක් විසින් සෞන්දර්යාත්මක ලෙස දකින්න යාම නිසා කියලයි මට හිතෙන්නේ. ඊට පස්සෙන් පහු , ප්‍රභූ අධිකාරීන්, වෙලඳපොල බලවේග, අධ්‍යපන ආයතන පද්ධතීන් විසින් කලාව කියලා වෙනම සංකල්පයක් ගොඩනගලා රාමු ගහලා ආයතනීගත කරන්න ගත්තහම තමයි කලාකරුවො කියලා වෙනම ප්‍රවර්ගයක් බිහි වෙන්නේ. ඒ නිසා කලාකරුවෝ කියලා වෙනම සර්වබලධාරි කොටසක් නෑ. ඉන්නේ මිනිස්සු විතරයි. ඒ හැම මිනිහටම ප්‍රකාශනයේ හැකියාව තියනවා. Receiving end එකේ ඉන්න උදවිය තමයි ඒක කලාවක්ද නැද්ද කියලා අර්ථ දක්වන්නේ.

ඒ විදිහටම මේ ප්‍රකාශනන් අපහාසයන්ද උපහාසයන්ද කියලා තීරනය කිරීමත් ඒ ඒ ග්‍රාහකයන් සතු කාර්‍යයක්. ඒ අයිතිය උසාවියක, පන්සලක, පල්ලියක හෝ වෙනයම් ආයතනයක කිරුම් මිණුම් අර්ත දැක්වීම්වලට යට විය යුතු නෑ. අනික් අතින් අපේ තිබෙන අවුල වෙන්නේ සියලුම දෑ අපහාසයට ලක් වෙන එක අවුලක් නෑ වගේ ඉඳලා ආගම් හා සම්බන්ද කරුණු වලදී පමණක් හොඳම එකෙන් ඌයියා කරගෙන ඌයියා නොවුනු උන්ටත් ඌයියා වුනු බව කියමින් පරසක්වල ගහන එක. මේක පොඩි කාලේ ඉඳන්ම අපේ හිතට කාවද්දන විකාර අදහසක් නිසා වෙන දෙයක්. ඒ අදහස තමයි කාට මොනවා කිව්වා කරා උනත් කෙනෙක්ගේ ආගමට නම් ගරහන්න එපා කියන එක. ඉතින් අපි, ජීවතුන් අතර ඉන්න පුද්ගලයන්ට, ලංකාවේ නම් විශේෂයෙන් කාන්තාවන්ට, විවිදාකාරවූ ඉගැන්වීම් වලට, ආයතන වලට, කොටින්ම රටේ ජනාධිපතිට පවා අපහාස කරමින් පිස්සු කෙලින එක ok කරං ආගමක් හා සම්බන්ධ විකල්ප අදහසක් ලියවුණු ගමන් භූමිතෙල් වැදුනු ගැරඬි වගේ දුවන්න ගන්න එක. ආගමක් කියන්නෙත් අදහස් පද්ධතියක්. ඒක සම්බන්ධ කරන් විවිධාකාරයේ ප්‍රකාශන පලවෙන එක විශේෂයෙන් වැලැක්වීම සාධාරණීකරණය කරන්න බෑ. විය යුත්තේ අපහාස කිරීමෙන් වැලකීම. නමුත් එම වැලැක්වීමේ මඩු වල්ගය රාජ්‍යයේ අතටවත්, පූජකයන් අතටවත් වෙනයම් ආයතනයක් අතටවත් යා නොයා යුතු බවයි මගේ හැඟීම. එහෙම ගියපු ගමන් බිහිවෙන්නේ ඊනියා යහ-ප්‍රකාශනයන්. ඒක කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරගන්න ඉඩ දීමක්. එහෙම දීපුවහම වෙන්නේ ඒ ඒ ආයතන තමන්ට අභියෝගාත්මක වෙන දේවල් මර්ධනය කිරීම සඳහා මඩුවල්ගය අතට ගැනීම. ඒ නිසා ප්‍රකාශනයට සීමා මායිම් තිබිය යුතු නෑ. ප්‍රවෘත්ති වාර්තාකරණයක් හැරුණම අනෙක් අදහස් ප්‍රකාශ කිරීම් සියල්ල යට විය යුත්තේ ස්ව්‍යං විනයකට. අපි කවුරුත් ඔලුවට ගත යුත්තේ කිසිවක් අපහාසයට ලක් කිරීම හොඳ දෙයක් නොවන බව. ඒත් ඒකට නීති රීති ඕන නෑ. බුදුන් කිව්වා වගේ තමන් උපමාවට ගෙන අනික් අය දෙස බලන්න. තමන් අපහාසයක් ලෙස ගනන් ගන්න, තමන්ට රිදෙන , ප්‍රකාශන වලින් අනික් අයට දමා ගහන්න යන්නේ නැතුව ඉන්න. මොකද අනික් උදවියටත් ඒකෙන් රිදෙන්න පුලුවන් වීම. ඒ ස්ව්‍යං සීමාව දිගින් දිගට සිදුවන සංවාදයක් හරහා වඩා හොඳ අවබෝධයක් කරා ගෙන ආ හැකියි. එවැනි අවබෝධයක් තුලින් මේ වගේ ආතතිමය අවස්තා වඩා සංසුන් මනසින් විසඳාගත හැකියි. අදහසක් ඉක්මවා යන්න අදහසක්ම මිස වෙනයම් මර්ධනීය ක්‍රමයක් භාවිතා වෙනවා නම් ඒක ගොබ්බයි.
%d bloggers like this: