Menu Close

යක්කු බැදගෙන වැඩ ගැනීම සහ යක්කුන්ට කුක්කු පෙවීම.

ලංකාවේ වැඩිහිටි බාල මහළු තරුණ කාන්තා පිරිමි බහුතරයක් දෙනා වාහන වලට බොහෝ ලැදී කමක් දක්වති. එයිනුත් ප්‍රාඩෝ , මොන්ටෙරෝ , ඩිෆෙන්ඩර් සහ නිසාන් පැටරෝල් වලට හිමි වන්නේ මුල් තැනක් .  ඔබට සුපර් කාර් එකක් තිබුනත් බහුතර මිනිස්සුන් ගේ ඇහැ නිතැතින්ම යොමු වන්නේ ඉහත කී suv වලට ය.

ප්‍රාඩෝ , මොන්ටෙරෝ , නවීන ඩිෆෙන්ඩර් සහ නිසාන් පැටරෝල් රථයක් ඔබ ඔබගේ හැකියාව මත ලංකාවේ දී මිලට ගත හොත් ඉන්තේරුවෙන්ම ඔබ යකෙක්  බැදගත්තා වැනි ය. සිංහල ජන වහරේ දී බැදගත් යකා ඔබට නොකරන උදව්වක් නැති ය. ඕනේ නම් සතියක් වල් කොටන හෙන එක රැයකින් එලිකරන්නට යකාට පුළුවන් ය. වැවක් තනන්නට, ගල් පඩි බදින්නට වැනි එකී මෙකී නොකී වැඩ කරන්නට යකෙන් බැදගතහොත් පුළුවන් ය.  එහෙත් මේ ඉහත කී වාසි වලට අමතරව යකා ශේප් එකේ තියා ගන්නට යකා බැදගෙන සිටින ඔබට බිලි පුජා පවත්වන්නට සිදුවනවාය. සමහර විට යකා මල කරුමයක් වන අවස්ථාද නැතුවාම නොවේ ය.

සමාජයේ බොහෝ දෙනෙක් ප්‍රාඩෝ එකක් තියෙන එකෙක් දිහා බලන්නේ වපර ඇසින් බව මම හොදාකාරවම දනිමි. ඇත්තටම එහි වරදක් නැතුවාම නොවේ.  අපේ රටේ මොකක් හරි දරුණු ගණයේ අපරාධයක කොනක ප්‍රාඩෝ එකක් තිබෙනවාම ය. නැත්තම් ඩිෆෙන්ඩරයක් ය. ඒ ලංකාවේ හැටිය. ඉස්සර ප්‍රාඩෝ නවත්වන්නට පොලිසිය අදිමදි කරද දැන් තත්වය ටිකෙන් ටික වෙනස් ය. පොලිසියද තම හීනමානය මදකට අමතක කර විය යුතුය. එකී පොලිස් නිලදරුවන්ට  ආටියා බෙහෙවින් රෙස්පෙක්ට් ය. මම ද වරක් එවන් වූ අත්දැකීමකට මුහුණ දුන් නිසා මම ඒ බව දන්නවාය. එව්වා මෙතන ලියා මෙය පල්හෑල්ලක් කරන්නට ආටියා නොයන්නේය. නොකියපු අයට කියවන්නට කියා එය මෙතන හයිපලින්ක් කරමි.

ඉතිං මේ බැදගෙන සිටින යකුන් ගෙන් හරියට වැඩක් ගන්නටවත්  සිරිලංකා කාරයා බය ය.  යුරෝපයේ , සහ අරාබියේ නම් එහෙම මල විකාර නැති ය. ඔවුන් යක්කුන් ගෙන් නියමෙට වැඩ ගන්නවාය. අපේ උන් ගංවතුර දවස් වල යක්කු එලියටවත් ගන්නේ නැතිය. අපේ පවුල් වලද එමමය එසේම ය. වරෙක නෑයෙක් ගෙන් අපේ වාහනයත් එයාලාගේ වහනයත් (නිසාන් පටරෝල්) කබිලිතේයමු ද කියා අසුවිට ආටියාගේ නෑයා දුන්නේ පට්ට උත්තරයකි. “කතරගමින් ඩබල් කැබ් එකක්  ගමු” කියාය. ආටියාට පශ්චාත්භායෙනුත් හිනාය. තවත් දවසක ආටියා මොන්ටෙරෝවක් තියෙන නෑයෙක්ගෙන් ඇසුවේ devil’s staircase එකේ යමුද කියාය. ඔහුගේ ද පිළිතුර ඉහත එකම ය. මොවුන් සැම යක්කු බැදගෙන වැඩ ගන්නවා වෙනුවට කරන්නේ යක්කුන්ට කුක්කු පෙවීම ය.ආටියාද යකෙක් බැදගෙන මාස දෙකක් යන්නටද මත්තෙන් බිරිද සමග ඇය ගේ කන්කරච්චලය මැද ගිය ගමන තවමත් මතක් වෙද්දී මයිල් කෙලින්වෙනවා ය. එයද මම මේ බ්ලොගයේ ලියා ඇති නිසා නැවත නොලියා හයිපලින්ක් කරමි. පසුව ආටියා පිටකන්ද මුදුන සොයා ගිය ගමනට ද යකා කැදවාගත්තේ වෙලාවට ය.

අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ මේ බැදගත් යක්කු සමග කරන්නට පුළුවන් සියලු දහදුරාවැඩ නොකර නියම මිනිසෙකු සේ සිටිය යුතු ය කියාය. මේ යකුන් ව කරලියේ ඉහලටම ගන්නේ සිරිලංකාවේ බදු ක්‍රමය මිස වෙන මුකුත් නොවේ ය. යක්කුන්ට අමුතු වටිනා කමක් සමාජය විසින් අරන් දුන්නා මිස ලැබිය යුත්තක් ද නොවේ ය.


ස්තූතී ‘නෙළුම් යාය’ සමාජ කතිකාවතට  ❤️

%d bloggers like this: