Menu Close

ගාසා හි පළමු සටන​

පලස්තීනය වෙතට 1917 සහ 1918 වසරවලදී එල්ල කරන ලද ප්‍රහාර මාලාව, මැද පෙරදිග ප්‍රදේශයෙහි ඔටෝමන් ප්‍රදේශ ඉලක්ක කරගෙන බ්‍රිතාන්‍යයන් විසින් එල්ල කළ තුන්වන යුධ ව්‍යාපාරය ලෙස සැළකිය හැක​. පළමු යුධ ව්‍යාපාරයන් වන්නේ මෙසපොතේමියාවෙහි සහ සිනායි අර්ධද්වීපයෙහි මෙහෙයුම් ය​.

ඊජිප්තුව දෙසට එල්ල වන තුර්කි තර්ජනයන්ට මුහුණ දීම සඳහා, 1916 මාර්තු මාසයේදී, ජෙනරාල් ආර්චිබෝල්ඩ් මරේගේ නායකත්වයෙන් ඊජිප්තු කාර්ය සාධන බලකාය (Egyptian Expeditionary Force) පිහිටුවන ලද්දේ ය​. 1916 අගෝස්තුවේදී රොමානි නගරයට එල්ල වූ ප්‍රහාරය පරාජය කිරීමෙන් පසු සූවස් ඇළ ප්‍රදේශයට එල්ල වන තුර්කි ප්‍රහාර අවසන් විය​. මරේගේ සේනාව කෙමෙන් සිනායි අර්ධද්වීපයේ පාලනය තහවුරු කරගැනීමට පටන් ගති. 1916 දෙසැම්බරයේදී ඊජිප්තු කාර්ය සාධන බලකායෙහි කාන්තාර බලකාය විසින් එල් අරීෂ් වරාය අල්ලාගන්නා ලද්දේ ය​. 1917 ජනවාරියේදී රෆා සටනින් පසු සිනායි අර්ධද්වීපයේ බ්‍රිතාන්‍ය බලය තහවුරු වූයේ ය​. එයින් පසු බ්‍රිතාන්‍යයන් පලස්තීනය ඉලක්ක කරගෙන යුධ මෙහෙයුම් අරඹන ලදී.

පලස්තීන යුධ මෙහෙයුම්වල ආකර්ශණීයම ඉලක්කය වූයේ ජෙරුසලම බව නොරහසකි. නමුත් මුල් අවස්ථාවේ සිට ම ජෙරුසලම ඉලක්ක කරගෙන ප්‍රහාරයන් එල්ල වූයේ යයි කිව නොහැක​. ලන්ඩනයේ බලධාරීන් නිවැරදිව අවබෝධ කර නොගත් ගැටළුවකට මරේගේ සේනාව මුහුණ දී සිටියේ ය​. එනම් ජල ප්‍රශ්නය යි. පලස්තීන යුධ මෙහෙයුම් බොහෝ ලෙසින්ම කාන්තාර ප්‍රදේශයන් හි සිදු කිරීමට වූ හෙයින් ඒ සඳහා සුදුසු සහ ප්‍රමාණවත් හමුදා සූදානම් කළ යුතු වූයේ ය​. එමෙන්ම අතිශයින්ම වැදගත් වූ ජල සැපයුම ස්ථාවර කරගැනීම අත්‍යාවශ්‍ය වූයේ ය​. 1917 වසර ආරම්භයේදී ද මරේගේ සේනාව සිය සැපයුම් සඳහා රඳා පැවතුණේ සිනායි අර්ධද්වීපය හරහා ඉදි කෙරුණ දුම්රිය මාර්ගය සහ ජල නල මාර්ගය මත ය​.

ගාසා හි පළමු සටන​

පලස්තීනයට කඩා වැදීමට නම් මුලින්ම ජය ගතයුතු ප්‍රබල ඔටෝමන් බලකොටුවක් වූයේ ය​. ඒ ගාසා නගරය යි. ගසා නගරය ඔටෝමන් පාලනයෙහි පැවති වැදගත් බලකොටුවක් වූයේ ය​. එහි ආරක්ෂක සංවිධාන සවිමත් වූ අතර නගරය අල්ලා ගැනීම සැලකිය යුතු අභියෝගයක් විය​​.

මේ වනවිට ඊජිප්තු කාර්ය සාධන බලකාය සතුව පාබල ඩිවිෂන හතරක් ද ඇන්සැක් අශ්වාරෝහක ඩිවිෂනය සහ අධිරාජ්‍යයීය ඌස්ත්‍රාරෝහක (ඔටුවන් පිට නැගී යන හමුදා) ඩිවිෂනය ද අයත් වූයේ ය​. මෙම අශ්වාරෝහක ඩිවිෂන තුර්කි ස්ථානයන්ට “ගසා දුවන​” ආකාරයේ ප්‍රහාර නිරන්තරයෙන් එල්ල කළේ ය​. නමුත් මාර්තු 26 වනදා මෙම හමුදා කණ්ඩායම් ඊට වඩා විශාල ප්‍රහාරයකට යොමු වූහ​. එය ගාසා නගරයට පහර දීම ය​. මෙහිදී සටන් බිමෙහි හමුදා මෙහෙයවීම ජෙනරාල් චාර්ල්ස් ඩෝබෙල් විසින් සිදු කෙරුණි.

මරේ මෙහිදී සිදු කළ ප්‍රධානම වරද නම් ප්‍රමාණවත් තරම් සේනාංක නොමැතිව ප්‍රහාරය ඇරඹීම ය​. ඔහු සහ බ්‍රිතාන්‍ය හමුදා නායකත්වය බලාපොරොත්තු වූයේ ඉක්මන් ප්‍රහාරයකින් තුර්කීන් පරාජය කිරීමයි. මෙය සාර්ථක වන්නට ඉඩ තිබුණු නමුත් අවසානයේදී පරාජයෙන් කෙළවර වූයේ ය​.

බ්‍රිතාන්‍යයන් බලාපොරොත්තු වූයේ වේගවත් ප්‍රහාරයකින් ගාසා නගරය වටලා පහර දී එය අල්ලා ගැනීම යි. අතිරේක ඔටෝමන් සේනා පැමිණීමට පෙර බ්‍රිතාන්‍ය හමුදා විසින් නගරය අල්ලා ගතයුතු වූයේ ය​. නගරය වටලෑම​ සඳහා, ඔවුනගේ වේගවත්ම අශ්වාරෝහක සහ ඌස්ත්‍රාරෝහක​ සේනාංක ගාසා නගරයට දකුණු දෙස හරහා නගරයට ඊසාන දිශාව කරා යවන ලද්දේ ය​. ඔවුන් නගරය එදෙසින් වටලා අතිරේක සේනා පැමිණීම වැළැක්විය යුතු විය​. මේ අතර පාබල සේනාංක නගරයට දකුණු දෙසින් පැමිණ ප්‍රධාන ප්‍රහාරය එල්ල කළ යුතු වූයේ ය​. ඔවුනට කාලතුවක්කුවල ආධාර ද ලැබිණ​.

බ්‍රිතාන්‍ය හමුදාවට ආහාර සහ විශේෂයෙන්ම ජලය තිබුණේ පැය 24 ක කාලයක් සඳහා පමණි. එහෙයින් දිගු සටනක් කිරීමට නම් ඔවුන් ගාසා හි ළිං අල්ලා ගතයුතු වූයේ ය​. එසේ නොවුණහොත් හමුදාව විඩාවට සහ පිපාසයට පත්ව පරාජය වීමේ අවදානම බරපතල විය​. ඔටෝමන් අතිරේක සේනාංක ද වැඩි දුරක නොවූ හෙයින් ඉක්මන් සටනකින් ගාසා අල්ලා ගැනීම අතිශයින්ම වැදගත් වූ බව නොරහසකි.

1917 මාර්තු 26 වනදා හිරු එළිය වැටීමට පෙර බ්‍රිතාන්‍ය අශ්වාරෝහක සහ ඌස්ත්‍රාරෝහක සේනා ගාසා වටලෑමට පිටව ගිය හ​. ඔව්හු නගරයෙන් උතුරු දෙසට දිවෙන වෙරළබඩ මාර්ගය මෙන්ම නගරයෙන් ගිණිකොණදිගට බීර්ශෙබා දෙස දිවෙන මාර්ගය ද අවහිර කළ හ​. මෙහිදී ඔවුනට මුහුණ දීමට සිදු වූයේ සුළු සටන්වලට පමණි.

නමුත් ගාසා වෙත එල්ල කළ ප්‍රධාන ප්‍රහාරය සැලසුම් කළ පරිදි සිදු නොවී ය​. උදෑසන වූ දැඩි මීදුම හේතුවෙන් අලි මුන්ටාර් උස්බිම් ප්‍රදේශයට එල්ල කිරීමට සැලසුම් කළ ප්‍රහාරය පැය කිහිපයකින් ප්‍රමාද වූයේ ය​. ගාසා නගරය අල්ලා ගැනීමට මෙය ඉතා වැදගත් ස්ථානයක් විය​. අලි මුන්ටාර් ප්‍රහාරය උදෑසන 8 ට එල්ල කිරීමට නියමිත වුවද එය සිදු කෙරෙන විට මධ්‍යාහ්නය වී තිබුණි. එහිදී ද බ්‍රිතාන්‍ය කාලතුවක්කු බලාපොරොත්තු වූ තරම් සාර්ථක නොවූ අතර බ්‍රිතාන්‍ය පාබල සේනා ප්‍රබල තුර්කි ප්‍රහාරයකට ලක් වූයේ ය​. තුර්කි ප්‍රහාරයන්ගෙන් ආවරණය වීමට ක්‍රමයක් ද භූමිය විසින් ඔවුනට සැපයුනේ නැත​.

මේ අතර ජෙනරාල් චෙට්වෝඩ් විසින් ඇන්සැක් අශ්වාරෝහයකන් වෙත අණ කළේ සවස 4 ට උතුරු සහ ඊසාන දෙසින් ගාසා වෙත පහර දෙන ලෙස ය​. බ්‍රිතාන්‍ය 53 වන පාබල ඩිවිෂනය තමන්ට සිදු වූ හානි ද නොතකමින් අලී මුන්ටාර් වෙත දිගටම පහර දුන්නෝ ය​. අශ්වාරෝහක ප්‍රහාරය ද සාර්ථක ලෙස සිදු කෙරිණ​. සවස 6.30 වනවිට පාබල සහ අසරු සේනා ගාසා හි වීදි කරා එළඹුණෝ ය​. තුර්කීහු සිය අවසන් සටනට සූදානම් වූහ​.

මෙසේ ජයග්‍රහණය පෙනි පෙනී තිබියදී ඔවුන් මවිත කරන නියෝගයක් බ්‍රිතාන්‍ය සේනාංක වෙත ලැබුණි. ඒ ඩෝබෙල් සහ චෙට්වෝඩ් යන ජෙනරාල්වරුන් වෙතිනි. ඔවුන් විසින් බ්‍රිතාන්‍ය සේනාංකයන්ට ගාසා නගරයෙන් පසුබසින ලෙස අණ කෙරිණ​. ඔවුන් ගාසා හි අවසන් ජයග්‍රහණය සඳහා සටන් වදිද්දී ඔටෝමන් අතිරේක සේනාංක​ ප්‍රදේශයට කඩා වදිනු ඇතැයි වන බිය මෙම ජෙනරාල්වරුන්ට වූයේ ය​. හිරු බැසගෙන එද්දී ඔටෝමන් අතිරේක සේනා සහ බ්‍රිතාන්‍ය අශ්වාරෝහකයන් අතර ගැටුම් වාර්තා වීම මෙම සැකය තීව්‍ර කළේ ය​. මේ අතර ජලය සහ වෙඩි උණ්ඩ ද හිඟ වෙමින් පැවතීම බ්‍රිතාන්‍යයන් අධෛර්යයට පත් කළ අනෙක් කරුණ විය​.

ඩෝබෙල් සහ චෙට්වෝඩ් ගත් මෙම තීරණය හේතුවෙන් බ්‍රිතාන්‍ය සේනාවලට විශිෂ්ට ජයග්‍රහණයක් මග හැරුණි ද​, නැතහොත් ඔවුන් මහා ව්‍යසනයකින් ගැලවුණි ද යන්න විවාදාත්මක කරුණකි. නමුත් ඇති පමණ ජල සැපයුමක් සහ ඔටෝමන් අමතර සේනාවලට මුහුණ දීමට ප්‍රමාණවත් සේනාංකයක් සිටියේ නම් ගාසා හි පළමු සටන ජයග්‍රහණය කළ හැකිව තිබුණි.

%d bloggers like this: