Menu Close

සබන් බෝල

මම පාවෙමින් හිටියා..වලාකුළු ඇස් මට්ටමෙන් පාවෙමින් තිබුණා..මම කල්පනා කලා.. මට ඇත්තටම උවමනා වුනේ මොකක්ද කියන එක..උවමනා වුනේ මොකක්ද කියන එක ගැන කල්පනා කරන්න බැරි තරමට මම සැහැල්ලුයි..මම ඇස් පියා ගත්තා..

මම පාවෙමින් හිටියේ සබන් බෝලයක් ඇතුළේ…ඉර එළිය වැටුණාම මතුවෙන දේදුණු පාට වලාකුළු වල ඇතිල්ලෙනවා..කැටි වලාකුළු, කෙඩෑරි වලාකුළු, පූසෙක් හැඩයේ වලාකුළු විතරක් නෙමෙයි විසාල පිටසක්වල ජීවීන්ගේ හැඩේ වලාකුළු..අහසේ ඔනි තරම් ඉඩ තියෙන නිසා වලාකුළු වලට ඉඩකඩ ප්‍රශ්න නැහැ..මම පාවෙලා යනවා..අරමුණ මොකක්ද කියලා හිතන්න බැරි තරම් සංසුන්ව පාවෙනවා..මට මගේ අත්, පා, ඇඟිලි, නිතර ගුරු ගුරු ගාන ආමාශේ වගේ අවයව දැනෙන්නේ නෑ..ඒක නියම පාවීමක්…ලස්සන කඳු වැටි උඩින් පාවෙලා යනකොට ඒ කඳු මුදුන් වල විතරක් පිපෙන මල් වල රේණු  මම ඉන්න සබන් බෝලේ ඇවිත් ඇලවෙනවා..ඒ මල් සුවඳ විසරණය වෙලා ටික වෙලාවකින් මම ඒ මල් සුවඳ වෙනවා..වැරදීමකින් මට මාවම ආඝ්‍රාණය වෙනවා..එතකොට මට හිනා හොදටම…ඒ හිනා වෙන්නේ ඇයි කියන එක ගැන වද වෙන්නේ මොකටද…මම හෙමින් කැහැ කැහැ හිනා වෙනවා…

කූජන් පොළවේ ඉදන් මං දිහා බලන් ඉන්නවා දකිනකන් මට ඔනි වුනේ පාවෙන්න…කූජන් එයාගේ කමිසේ ගලවලා මං දිහාවට වනනවා පේනවා..එයා වටේට රෝස මල් පාත්ති පිරිලා..රෝස මල් අහසේ ඉදන් බලනකොට වලාකුළු වලට වඩා සනීප පාටයි…සමහර රෝස මල් විසාල රෝස පාට බනිස් ගෙඩි වගේ…කූජන්ගේ කැරළි කොන්ඩේ මූණට වැටිලා..ඇස් හීනියි…උරහිසේ මකර පච්චය ඉර එළියට දිලිසෙනවා..මට මගේ අත් , කකුළ් , අක්මාව , ආමාශය ආයිමත් දැනෙන්න පටන් ගන්නවා..සබන් බෝලය වලාකුළු මට්ටමෙන් පහළට හෙමින් පාත් වෙන්න පටන් අරගෙන..

කූජන්ගේ ඇස් දිළිසෙනවා..එයා කමිසේ ගලවලා නිසා ජිම් ගිහින් හදාගත්ත සික්ස් පැක් පේනවා..මට ඔනි වුනේ සික්ස් පැක් අල්ලලා බලන්න…ඒවා ඇල්ලුවාම එබෙනවද බලන්න..සබන් බෝලය පාත් වුනේ සුදු රෝස ගාලක් උඩට..රෝස පෙති කොයිතරම් සිනිඳු වුනත්, කටු!! “පොප්” සද්දයක් එක්ක  සබන් බෝලය පිපිරිලා මාව  රෝස පඳුර උඩට ඇදගෙන වැටුණා..කූජන් එක දිගට හිනා වුනා.. මට ආයිත් අහසට යන්න ඔනි වුනත් මට බැරිවුනා…මම කෑ ගැහුවා..

******************

වේලාව පාන්දර දෙකයි විස්සයි..සංජු දාඩියෙන් පෙඟිච්ච නළල උඩින් අත තියාගෙන සිවිලිමේ ඒ මේ අත පියාඹන කණාමැදිරියෝ ගණින්න හැදුවත්, නිවි නිවි පත්තු වෙන අමණ රැළක් ගණින එක් ලේසි වැඩක් නෙමෙයි..සංජු ඇඳ ගාවම තියලා තියෙන ඩයරියේ එයා දැක්ක හීනය ලියලා තිබ්බ විදිහ තමයි දැන් ටිකකට කලින් කියෙව්වේ..සංජුගේ යටි බඩ කැළතිගෙන ආපු චූ බරත් එක්ක ඇඳට වෙලා ඔහේ මැරිලා වගේ ඉන්න ටිකක් අමාරු වුනා.. නැගිටලා පුළුවන් තරම් ඉක්මනට පිස්පෝච්චිය ගාව හිටගෙන බයොලොජිකල් ටැප් එක ඇරලා බර නිදහස් කරගෙන එහෙම්ම බැල්කෙනියට ගිහින් සිගරට් එකක් පත්තු කරගත්තා…හතර වටෙන් ඇහෙන අමුතු කෘමීන්ගේ කන්දොස්කිරියාව ඉවසගෙන හඳ   වැහි වලාකුළු මඟහරිමින්…තව ටිකකින් වහීවි කියනවා වගේ ගෙම්බෙක්ගේ විසිල් සද්දයක් ඇහෙනවා..සංජුට ඔනි වුනේ නිදා ගන්න..සිගරට් එක බිම දාලා පාගලා ආයිමත් ඇඳට ගිහින් ඇස් දෙක පියා ගත්තේ ඒ නිසා..

හිත දැවිල්ලයි… සංජු ආයිමත් නැගිටිනවා..ෆෝන් එක අරගෙන වෙලාව බලනකොට තමා දැක්කේ කූජන්ගේ මිස් කෝල් තුනයි එකම එක මැසේජ් එකයි..ඒ මැසේජ් එක ගොඩක් දිග වැඩියි..සංජුට මහන්සියි..සංජූ මැසේජ් එක දිගේ උඩ පහළ  ඇස් දුවවලා ආයිමත් ඇස් පියාගන්නවා..

****************************

මගේ අත් සීරිලා.. ලේ බිංදු වෑස්සිලා සුදු රෝස මල් පෙති උඩට වැටිලා ළා රෝස පාටට හැරිලා..මම රෝස පඳුරෙන් ඈත් වෙලා කූජන් දිහා බැලුවා.. කූජන්ට අත්තටු දෙකක් තියෙනවා….සුදු පාට පිහාටු..අත්තටු ගහනකොට එන හුලං පාරට රෝස පඳුරු යට තිබ්බ දූවිලි ඇවිස්සිලා පුංචි වැලි කුණාටුවක් හැදුනා..එයා ඒ වැලි කුණාටුව එක්ක ඈතට පියාඹලා ගියා..මම බැලුවේ මගේ සබන් බෝලය දිහා..ඒක බිඳිලා ගිහින්..සබන් බෝලයක් බිඳෙන්නේ එක් පාරයි..

කූජන් එක්ක පියාඹගෙන යන්න තව රංචුවක් ඉන්නවා දැක්කේ ඒ වෙලාවෙදි..කූජන් ඇයි මට කමිසේ වනල පහළට එන්න කතා කලේ..විහිළුවට වගේ ද..නැත්නම් මගේ සබන් බෝලයේ දේදුණු පාට ලඟට දකින්නද..එයාට කමිසේ අමතක වෙලා බිම දාලා ගිහින් තිබ්බා..
***************
කොෆී බීන් එකේ ඒ සී සැරට ද මන්දා කූජන ඇස් පොඩි කරනවා..
කූජන එයාගේ ඇස් හතරැස් කරලා සංජුගේ ගිලිලා ගිය ඇස් දිහා බලන් හිටියා…

“මම ඒ වෙලාවේ බීලා හිටියේ” කූජනට හේතු තිබ්බා..” මම හිතුවේ නෑ එච්චර දුර යාවි කියලා මේ දේවල්”

සංජු හිනා වුනා..සංජුගේ බෙල්ල ගාව ඉතිරි රතු පාට සැපුම් පැල්ලම තවම මැකිල ගිහින් නැහෑ..

“ඒක ඉවරයි කූජන.. ඔයා මට ආදරේ කිව්වේ වෙරි මතින් ඉන්දැද්දී නම් නෙමෙයි කියලා මම දන්නවා.. ඔයා බැඳපු මිනිහෙක් කියලා දන්නවා නම් මේ ආපු දුරවත් මම ඔයාට එන්න නොදෙන්න තිබ්බා..”

“මට සමාවෙන්න”

” මිනිස්සු සමාවෙන්න කියන්නේ එහෙම කියලා වැඩක් නැති දේවල් වලට..”

සංජු බෑග් එකෙන් කමිසයක් එළියට ගන්නවා..

” මේ කමිසේ ඔයාගේ.. ඔයාට අමතක වෙලා දාලා ගිහින් තිබුණා..”

කූජන ඇස් වහ ගත්තා..සංජු එළියේ යන වාහන දිහා බලාගෙන කතා කලා..

“ඇයි මට බොරු කිව්වේ කූජන..ඔයාට මාව පෙනුනේ කොහොමද..ආදරේ කියන  වචනේ ඒ තරම් ලාභ බාල දෙයක් වෙලා ඉවරද.. ඔයාට ඔනි වුනේ මාව ලැබ්  එහෙක මීයෙක් වගේ පරික්ෂා කරලා බලන්න ද.. අන්තිමට ඒ පරික්ෂනෙන් ඔයාවම් පරික්ෂා වෙන්න පටන් ගත්තා ම බය හිතුන ද”

“මම ආයිත් ඔයාව හම්බෙන්නේ නැ සංජු..මට මගේ ෆැමිලි ලයිෆ් එක වටිනවා..මම දන්නවා මම කලේ වැරදි දෙයක් ඔයාට.. ඔයාට සල්ලි ඔනි නම් කියන්න මම දෙන්නම්”

කූජන රුපියල් පන්දාහේ කොළ මිටියක් මේසේ උඩින් තියලා නෙළුම් පොකුණ පැත්තට ඇවිදගෙන  යන හැටි වීදුරු දොරෙන් සංජු බලගෙන හිටියා…පන්දාහේ කොළ මිටිය සංජු නැගිටලා යනකොටත් මේසේ උඩ එහෙම්ම තිබුණා..

******

මට මහන්සියි… මේ පළවෙනි වතාව නෙමෙයි…සබන් බෝලයක් ආයිමත් හොයා ගන්න එක ලේසි දෙයක් නෙමෙයි…ආයිමත් සබන් බෝලයක් හොයා ගන්නම කල්පයක් විතර යාවි…එච්චර කල් බලන් ඉන්නවට වඩා මේ සුදු රෝස පඳුර ලඟ වාඩි වෙලා අහස දිහ බලාගෙන ඉන්න එක නරක නෑ නේද..තුවාල වේලිලා යාවි..වේදන අමතක වේවි…සබන් බෝලය, පාවීම වගේ දේවල් සුරංගනා කතා වේවි..

පස්සේ කාලෙක සුරංගනා කතා පොත් වල අපි ගැනත් ලියවේවි..

ඇත්තටම අපි ගැන?? නැහැ අපි ගැන ලියවෙච්ච සුරංගනා පොත් ඔයාගේ ළමයි කියවන එක හොද නෑ නේද??

කූජන ඔයාට පුළුවන් නම් එක දෙයක් කරන්න..මට අත්තටු දෙකක් ගෙනත් දෙන්න…පියාඹලා ඔයාව හොයන් ඇවිත් කරදර කරන්න නෙමෙයි.. පියාඹලා ගිහින් මට මාව අයිමත් හොයා ගන්න..

%d bloggers like this: