Menu Close

බතලගොඩ වැව අසල “පරණ නුවර”, කල්‍යාණවතී රැජිනගේ බදලගොඩ පුවරු ලිපිය සහ බදලත්ථල ගාමය

බදලත්ථල ගාමය/බදලගොඩ නුවර පිළිබඳව වංශ කතා තොරතුරු

  • චෝළ බලසෙන් මැඩ සිරිලක එක්සේසත් කිරීම උදෙසා රුහුණේ සිට සටන් වැදුනු විජයබාහු රජු සටන් පෙරමුණු දෙකකින් රජරට යටත් කරගැනීම උදෙසා බලසෙන් මෙහෙයවීය. ඉන් එක් සේනාවක් ඇමැතිවරු දෙදෙනෙකුගේ නායකත්වයෙන් නැගෙනහිර වෙරළ මාර්ගයේ යැවූ අතර දක්ඛිණපස්සයට යැවූ තවත් ඇමැතිවරු දෙදෙනෙකුගේ මෙහෙයවීම යටතේ වූ බල සෙන් මුහුන්නරුගම දුර්ගය (හෙට්ටිපොල අසල නුවරකැලේ), බදලත්ථල, වාපිනගර (කුරුණෑගල අසල වේනරු), බුද්ධගාම (මැණික්දෙන), තිලගුල්ල (තලගල්ලේ ඇල), මහාගල්ල (මාගල්ල/නිකවැරටිය), මණ්ඩගල්ල (පොල්පිතිගම අසල මහාමඩගල ) හා අනුරාධපුර බලකොටු අල්ලාගෙන ක්‍රමයෙන් මහාතිත්ථයට පැමිණියහ. දකුණු ඉන්දියාවෙන් පොළොන්නරුව දෙසට සහායක බල ඇණි පැමිණීම වලක්වාලීම මේ ආකාරයෙන් මහාතිත්ථයේ (වර්තමාන මන්නාරම අසල මාන්තායි ලෙසින් හැඳින්වෙන පැරණි වරාය පිහිටි ස්ථානය)  බලය තහවුරු කර ගැනීමේ අරමුණ වූ බව පෙනේ. [විවිධ විද්වතුන් විසින් ඉහත ස්ථාන හඳුනාගැනිම පිළිබඳව දක්වා ඇති අදහස් අනුව සැකසූ පහත සිතියම බලන්න.]

බතලගොඩ පුවරු ලිපිය – පරණවිතාන මහතා දකින විට වැව් සොරොව්වට ඔබ්බෙන් බෝක්කුවක තාප්පයට සවිකර තිබූ පුවරු ලිපිය මේ වන විට වැව් කණ්ඩිය මත ආරක්ෂිත වැටක්ද සහිතව වහලයක් සහිත කුඩා කුටියක තැන්පත් කර ඇත.

  • කිත්සිරිමේඝ රජු දක්ඛිණ දේශය පාලනය කරන අවධියේ දක්ඛිණ දේශය සහ රජරට පාලනය කල 2 ගජබාහු රජුගේ සීමාවේ පිහිටි බදලත්ථිලි නම් ගමට තරුණ පරාක්‍රමබාහු කුමරා පැමිණි බව මහාවංශයේ සඳහන් වේ. එවකට එම සීමා ගමෙහි ආරක්ෂාව කිත්සිරිමේඝ රජු විසින් සංඛ නම් සෙන්පතියා හට පවරා ඔහුව එහි නවතා ඇත. (මහා විජයබාහුගෙන් පසු ලංකාද්වීපයේ ප්‍රදේශ රජ කුමරුවන් අතර බෙදී ගිය ආකාරය පිළිබඳව වැඩි විස්තර සහිත පෙර ලිපිය කියවීමට  Link>> ) පරාක්‍රමබාහු කුමරාගේ උපනයනය කිරීමේ උත්සවයද පවත්වන ලද්දේ බදලත්ථිලි ගාමයේදීය 
  • දක්ඛිණ දේශය පාලනය කල කිත්සිරිමේඝ රජුගේ අගනුවර වූවේ සංඛනායකත්ථලි නමින් හැඳින්වූ ගමයි. මෙය වර්තමාන කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි දැදිගමට සැතපුම් 5 පමණ ඊසාන දෙසින් වූ හත්නාගොඩ (හත්නාගොඩ යන්නෙහි පාලි සංඛනායකත්ථලි යන අර්ථය ඇතඅසල පේරාදෙණි නුවර ලෙසින් හැඳින්වෙන පෙදෙස ලෙසින් පරණවිතාන මහතා හඳුනාගෙන ඇත. පරාක්‍රමබාහු කුමරු සංඛනාථත්ථලි (සංඛනායකත්ථලි යන්නෙහිම වෙනත් ස්වරූපයක්) සිට පස් ගව්වක් (සැතපුම් 15) පමණ මග ගෙවා තවත් වරක බදලත්ථලි නම් පෙදෙසට නොදුරු පිලිංවත්ථු  ගමට පැමිණි බව මහාවංශයේ තවත් ගාථාවක සඳහන් වේ. එහිම එන විස්තරයකට අනුව සංඛනාථත්ථලි සහ බදලත්ථලි අතර පදවාරසුඤ්ඤඤ්ඩ නම් වූ ස්ථානයක්ද තිබී ඇත (මෙම ස්ථාන දෙකම දැනට හඳුනාගත නොහැක). මෙම ගමනේදී පරාක්‍රමබාහු කුමරු විසින් සංඛ සෙන්පතියාව ඔහුගේ බලකොටුවේදීම මරා දමයි.

බතලගොඩ පුවරු ලිපිය 
  • පූජාවලියේ දැක්වෙන ලෙසට දඹදෙනියේ සිට රාජ්‍යය විචාල දෙවන පරාක්‍රමබාහු රජ සමයේ රජුගේ වඩිමහල් පුත්‍රයා වූ විජයබාහු කුමරා කුරුණෑගල නගරයේ ආරක්ෂිත පවුරු වාසල් ආදිය බඳවා, විහාර පිරිවෙන් ආදියද කරවා එම නුවර ආරක්ෂාවට බදලගොඩ නුවර බද මනුෂ්‍යයන් යෙදවීය.
  • ගම්පොල සිට රාජ්‍යය විචාල සිව්වන බුවනෙකබාහු යුගයේ පිහිටවූ ලංකාතිලක සෙල් ලිපියේ සඳහන් වන ලෙසට අලුත් බදලගොඩින් සහ පරණ බදලගොඩින් එම විහාරයට කුඹුරු පිරිනමා ඇත.
බතලගොඩ වැව සහ පරණ නුවර
මෙරට සෙල්ලිපි ගවේෂණයේ පුරෝගාමියෙකු වූ මුලර් (Edward Muller) මහතා සිය ග්‍රන්ථයේ Batalagodaluwa ලෙසින් කුරුණෑගල සිට දඹුල්ල පාරේ සැතපුම් 8 ක දුරුන් පිහිටි දෙහෙල්ගමුව (Dehelgomuwa) නම් ගමක සිට සැතපුමක් පමණ නැගෙනහිර දෙසට වන්නට පිහිටි පැරණි වැවක් සහ එහි යාමට හරි හමන් අඩි පාරක්වත් නොමැති ඝන කැලෑවට යටවූ ස්ථානයක පිහිටි ගල් කණු සහ සෙල්ලිපියක් සහිත ගලක කොටසක් පිළිබඳව සඳහන් කරයි. සෙල්ලිපියේ අකුරු 15 වන සියවසට අයත් බව ඔහු පවසයි (එය නිවැරදි නොවේ)
ලිපියේ සඳහන් වන දැනට හඳුනාගෙන ඇති සමහර පැරණි ස්ථාන
කුරුණෑගල – දඹුල්ල පාරේ බතලගොඩ නමින් හැඳින්වෙන වැවක් හෙන්රි පාකර් මහතාගේ අධීක්ෂණය යටතේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී පිලිසකර කර ඇත. වර්ෂ 1890 දී එහි පිලිසකර කිරීමේ කටයුතු ආරම්භ කල බව පාර්කර් සඳහන් කරයි. එම වැවට සැතපුමක පමණ දුරින් දැදුරු ඔය අසබඩ “පරණ නුවර” ලෙසින් හැඳින්වූ නටබුන් සහිත පෙදෙසක් තිබී ඇති අතර පාර්කර් පවසන පරිදි බලකොටුවක ලක්ෂණ විද්‍යාමාන කරමින් එම ස්ථානය තුන් පැත්තකින් උස් පස් බැමි වලින් වටවී තිබී ඇති අතර පුලුල් දිය අගල්ද ඒ වන විටත් ඔහුට දැකගැනීමට හැකිවී ඇත. දැදුරු ඔයේ බෑවුම් සහිත ඉවුර එහි අනෙක් සීමාව ලෙස ස්වභාවිකවම ආරක්ෂාව සපයා ඇති බැවින් බටහිර දෙසින් එක් බැම්මක් පමණක් තිබී ඇත. බලකොටුවට දකුණු දෙසින් ඔය ඉවුරේ තිබූ කුඩා විහාරයක් සහ දාගැබක් පිළිබඳවද ඔහු පවසයි.  
මෙම ස්ථානයේ වූ එක් ටැම් ලිපියක් සහ ඉහත මුලර් ද සඳහන් කරන පුවරු ලිපිය ගැනද පාර්කර් කරුණු ඉදිරිපත් කරයි. එම ටැම් ලිපිය 10 වන ශතවර්ෂයට අයත් බෙහෙවින්ම ගෙවී ගිය අක්ෂර වලින් ලියා තිබූ බව හෙතෙම සඳහන් කරයි. එහෙත් නැවත වර්ෂ 1931 දී එම ස්ථානයට ගිය පරණවිතාන මහතාට මෙම ලිපිය හමුවී නැති අතර ඔහුට කිසිවෙකු පවසා තිබුනේ එය වැව පත්ලේ ඇති බවත්, වැවේ වතුර අඩු වන කාලයට පමණක් එය දැකගැනීමට හැකි බවත්ය .
දනට බතලගොඩ වැවෙන් වගා කෙරෙන කුඹුරු ඉඩම්
පුවරු ලිපියේ අන්තර්ගතය සම්බන්ධව පාර්කර් පවසන ඇතැම් කරුණු නිවැරදි නොවන බව එය මුල් වරට කියවා ප්‍රකාශයට පත් කල H.C.P. බෙල් මහතා සහ සෙනරත් පරණවිතාන මහතාගේ ලිපි වලින් තහවුරු වේ. පරනවිතාන මහතාගේ සහ මෑතකදි නැවත වරක් එය ප්‍රකාශයට පත් කල සිරිමල් රනවැල්ල මහතාගේ කියැවීම් වලට අනුව අභා සලමෙවන් කල්‍යාණවතී ලෙසින් හැඳින්වෙන නිශ්ශංකමල්ල රජතුමාගේ බිසවක වූ පසුව ක්‍රි.ව. 1202 දී පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත් කල්‍යාණවති රැජිනගේ පස්වන රාජ්‍ය වර්ෂයේදී චූඩාමණී නමැති අධිකාරිවරයා විසින් ඔහුගේ බල ප්‍රදේශය වූ මායා රාජ්‍යයේ මධ්‍ය දේශයට අයත් බදලගොඩ හෙවත් මංගල පුර වැව පිලිසකර කරවීම සහ ඒ අසල වූ ලක්විජය සං සිඟු සෙනෙවි විසින් කරවා ඒ වන විට අබලන් වී අතහැර දමා තිබූ සෙනෙවිරත් පිරිවෙනෙහි පිළිමගෙය කරවා, දාගැබද බඳවා සංඝාරාමයද පිලිසකර කර එහි වැසිකිලි සහ පැන්පැල් ද කරවා නැවත මහා සංඝයාට පවරා දීම පිළිබඳව විස්තර සටහන් කර එම ලිපිය කරවා ඇත. තවද එම විහාරයේ කටයුතු උදෙසා සොතෙමුණින් (දැනට හඳුනාගත නොහැක.) අමුණු සතරක ඉඩම්ද පිරිනමා ඇත.
කැබැලි කිහිපයකට කැඩී තිබූ මෙම ලිපියේ ඇතැම් කොටස් සොයා ගත නොහැක. සොයාගත හැකි වූ කැබැලි සිමෙන්ති දමා එකතු කර ඇත[පරණවිතාන මහතා සිතන ලෙසට හෙන්රි පාර්කර් විසින්] . එපමණක් නොව එම ලිපියේ අඩු අකුරු [බොහෝවිට පාර්කර් විසින්ම] සම්පූර්ණ කිරීමටද උත්සහා දරා ඇත. පරණවිතාන මහතා එම ක්‍රියාව එතරම් හොඳ දෙයක් ලෙස නොසලකයි. ඔහුගේ කියවීමේදි එම එකතු කල අකුරු නොසලකා හැර ඇත.

ඒ අනුව වර්තමාන බතලගොඩ වැව පිහිටි ප්‍රදේශය පොළොන්නරු යුගය වන විටද බදලගොඩ ලෙසින් හඳුන්වා ඇති බව පෙනේ. මහාවංශයේ බදලත්ථල, බදලත්ථිලි ආදි පාලි ස්වරූප වලින් කිහිප වරක්ම සඳහන් කරන ස්ථානයද මෙම බතලගොඩ වැව අසල ප්‍රදේශයම බව මෙම ලිපියේ මුලින් සඳහන් කල එම විස්තර සමග ඉදිරිපත් කරන අනෙකුත් ස්ථාන වල පිහිටීමට සාපේක්ෂව කරුණු විමසා බැලීමේදී පැහැදිලි වේ. දඹදෙනි යුගය වනවිටද බදලගොඩ නුවර ලෙසින්ම පැවති එම නුවර ගම්පොල යුගය වන විට අලුත් බදලගොඩ සහ පරණ බදලගොඩ ලෙසින් ප්‍රදේශ දෙකක් බවට පත්වී තිබෙන බව නොහොත් අලුත් බදලගොඩක්ද ඇතිවී ඇති බව ඉහත පූජාවලි සහ ලංකාතිලක සෙල්ලිපි වල එන සඳහන් වලින් පැහැදිලි වේ.

 පාර්කර් සඳහන් කරන බලකොටුව පිහිටි ස්ථානය පරණවිතාන මහතා එම ස්ථානයට යන විටද පෞද්ගලික හිමිකරුවෙකුට අයත් පොල් වගාවක් බවට පත්වී ඇති අතර, පැරණි අඟලේ සිතියම් වලට අනුව පරණගම්පිටිය ලෙසින් එම පෙදෙස හඳුන්වා ඇත. දිය අගල් සහ එහි සීමාව දක්වන පස් බැමි ලෙස හඳුනාගත හැකි තැන් දැනටද එම ස්ථානයේ Google Map පරික්ෂා කල විට දැක ගත හැකි අතර දිය අගලේ සලකුණුද ස්ථානයේ තවමත් හමුවේ. පාර්කර් සඳහන් කරන අවශේෂ නෂ්ඨාවශේෂ වල මේ වන විට තත්වය පැහැදිලි නැත. එය දැනටද පෞද්ගලික අයිතිය ඇති පොල් වගාවක් වන බැවිනි (එම හේතුව නිසාම එම ස්ථානය මේ ලිපියේ සිතියම් වල සලකුණු කිරීමේන් වැලකී සිටිමි.)

මූලාශ්‍ර

  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Ancient Inscriptions in Ceylon, Edward Muller, 1883
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • Notes on Ceylon Topography in the Twelfth Century, H.W. Codrington,  Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXIX, No 75, 1922
  • Notes on Ceylon Topography in the Twelfth Century II, H.W. Codrington,  Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXX, No 78, 1925\
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume VI Sirimal. Ranawella, 2007
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume VII Sirimal. Ranawella, 2014
  • Ancient Ceylon, H. Parker, 1909
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume IV (1934 – 1941), 1943
%d bloggers like this: