Menu Close

විදේශ වෙළඳපල ඉහලින්ම ජයගත් ‘ශ්‍රී ලංකා තේ’ (CEYLON TEA)

    හොඳම තේ නිෂ්පාදනය කරනු ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව කීර්ති නාමයක්ද සහිතව ලෝකයේ ප්‍රසිද්ධියට පත්වී තිබේ. නිෂ්පාදනය සඳහා  ශ්‍රී ලංකාවේ තේ වගාකිරීම ආරම්භකර තිබෙන්නේ දැනට වසර 150 කට පමණ පෙර, ජේම්ස් ටේලර් නමැති බ්‍රිතාන්‍ය ජාතික වැවිලිකරුවෙකු විසිනි. රටෙහි  කඳුකරයේ, මහනුවර සහ නුවරඑළිය  අවට ප්‍රදේශයේ ආරම්භ කරන ලද තේ වගාවන්, මධ්‍යම කඳු කරයේ වෙනත් ප්‍රදේශවලට සහ සබරගමුව පලාතටත් ඉක්මණින්ම ප්‍රචලිත විය. 

අද ලෝකයේ තේ නිෂ්පාදනයේ හතරවන ස්ථානය ලබාගැනීමට  ශ්‍රී ලංකාව සමත්වී තිබේ. අපට ඉදිරියෙන් සිටිනුයේ ඉන්දියාව, චීනය සහ කෙන්යාවයි. ඒ අතරම 2013 වසරේදී ලෝකයේ වැඩියෙන්ම තේ අපනයනය කළ රට ලෙසද ශ්‍රී ලංකාව ගෞරවයට පාත්‍ර විය. එම වර්ෂයේදී,විවිධ රසයෙන් යුක්ත තේ කිලෝග්‍රෑම් මිලියන 340 ක් අපනයනය කිරීමෙන්, ශ්‍රී ලංකාවට වාර්තාගත ආදායමක් ලැබී ඇති බවද  දැක්විය හැකිය. 

මෙම රුප සටහනේ  දැක්වෙන, ‘ගුණාත්මක භාවයේ සංකේතය’ (Symbol of Quality) වන, සිංහ ලාංචනය සහිත CEYLON TEA, (‘ලංකා තේ’) අපනයනය කරනුයේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින්ය. ලෝකයේ විවිධ රටවල සිටින තේ පානය කරන්නෝ, හොඳම තේ තෝරා ගැනීම පිණිස මෙම ලාංචනය හඳුනාගෙන තිබෙන බව පෙනේ. දැනට මෙම ලාංචනය, ලෝකයේ රටවල් සියයක පමණ, ලියාපදිංචි කර ඇති  බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ තේ ප්‍රචාරක පොත් පිංචක සඳහන්ය.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන තේ, ලොව පුරා ජනප්‍රිය වීමට හේතුවූ සාධක රාශියක් තිබෙන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය තම අධ්‍යයන මගින් හෙළිකරගෙන තිබේ. මෙම අධ්‍යයන වලට අනුව, ලෝකයේ විවිධ ජනකොට්ඨාශ විසින් ප්‍රිය කරනු ලබන ‘විවිධ රස, පැහැය  සහ සගන්ධ ප්‍රභේද’ (a variety of taste, colour  and aroma) හඳුනාගෙන ඇත. මිනිසා ප්‍රියකරන එම තෘප්තිය ලබාදිය හැකි විවිධ මාදිලිවල තේ නිෂ්පාදනය කළ හැකි වීම, CEYLON TEA ජනප්‍රිය වීමේ රහසයි.

ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ, සබරගමු ප්‍රදේශයේ සහ රුහුණේ  භු විෂමතා, වර්ෂාපතන රටා, උෂ්ණත්වය සහ වායුගෝලයේ ආර්ද්‍රතාව වැනි භෞතික සාධක රාශියක බලපෑම් නිසා ඇතිවන, දේශගුණික ලක්ෂණ වලට අනුකූලව, කෘෂි-දේශගුණික කලාප (Agro-climatic zones) හතක් හඳුනාගෙන තිබේ. මෙසේ හඳුනාගෙන ඇති  කලාප නුවරඑළිය, උඩපුස්සැල්ලාව, දිඹුල, කැන්ඩි (මහනුවර), ඌව, සබරගමුව සහ රුහුණ යනුවෙන් නම්කර තිබේ. 

මේ අනුව රසයෙන් ගුණයෙන් හෙබි සුවිශේෂී, කෘෂි-දේශගුණික කලාපීය තේ (Agro-climatic tea) ප්‍රභේද හතක් නිෂ්පදනය කර ගත හැකි විය. මෙම තේ ප්‍රභේද සියල්ල අදාල ප්‍රදේශ වලට සම්බන්ධ  සමාජයී ය, සංස්කෘතික හෝ වෙනත්   විශේෂිත ලක්ෂණයක් විදහා දක්වන සංකේත සහිත ලේබලයකින් හඳුන්වා දීමද වැදගත් කමක් ගනී. 

මේ අනුව, නුවර එළිය සංකේතයේ, කඳු සහ දියඇලි, මහනුවර සංකේතයේ, දළදා මාලිගාව සහ රත්නපුර සංකේතයේ, මැණික් ආදී වශයෙන් සංකේත අර්ථ ගැන්වී ඇත. මෙසේ හැඳින්වෙන කුමන තේ ප්‍රභේදයකින් වුවද,  ක්‍රමානුකූලව සකස් කර ගනු ලබන තේ කෝප්පයක, තේ වල පැහැය, සුවඳ සහ රස එකිනෙකට බෙහෙවින් වෙනස් වේ.  ලෝකයේ වෙනත් කිසිම රටකට,  මෙවැනි විවිධ කෘෂි-දේශගුණික කලාප සියල්ලක්ම නොමැති බැවින් අපට මෙන් විවිධ ගුණාත්මක භාවයන්ගෙන් යුක්ත තේ ප්‍රභේද  නිෂ්පාදනය කළ හැකි නොවේ.

මෙම සුවිශේෂී තේ ප්‍රභේද  ගැන මඳක් විමසා බළමු.


NUWARA-ELIYA   (නුවර එළිය)

නුවරඑළිය දිස්ත්‍රික්කය, දිවයිනේ වැඩිපුරම කඳු සහිත ප්‍රදේශයයි. ඉස්තරම්ම තේ වගාව සඳහා හොඳම දේශගුණික තත්ත්ව ඇත්තේ මෙහි බව මුල් වගාකරුවෝ තේරුම් ගත්හ. මුහුදු මට්ටමේ සිට අඩි 6,200 කට වඩා  වැඩි මෙම කඳුකරයේ, ශීතල දේශ ගුණික තත්ත්ව යටතේ වැඩෙන තේ දල්ලෙන්  ලැබෙන, තේ වල ඉමිහිරි සුවඳක් තිබෙන අතර තේ වල පැහැයද රන්වන්ය. කහට රසයද මඳ තරමින්ය. ඉතා ඉහල ඉල්ලුමක් ඇති, තරමක් විශාල කැබලි සහිත ඔරේන්ජ් පැකෝ  (Orange Pekoe – OP) සහ කුඩා කැබලි සහිත (Broken Orange Pakoe – BOP) යන තේ වර්ග සඳහා නුවරඑළිය ප්‍රසිද්ධියක් උසුලයි.

UDA-PUSSALLAWA  (උඩපුස්සැල්ලාව)  

නුවරඑළිය ප්‍රදේශයට ආසන්නයේ පිහිටි උඩ පුස්සැල්ලාවේ තේ, නුවරඑළියේ තේ වලට සමකල හැකි වුවත්, විශාල කඳුවැටියක් සහිත එම ප්‍රදේශයේ  පවතින එකිනෙකට වෙනස්, වාර්ෂික  දේශගුණික කාල සීමා දෙකක් නිසා නිෂ්පාදිත තේ වල වෙනස් කම් පවතී. වර්ෂයේ මුල් මාස කිහිපය තුලදී ප්‍රදේශයේ පවතින වියලි බවෙන් යුත් ශීතල දේශගුණය නිසා, නිපදවනු ලබන තේ වලින් ලැබෙනුයේ රෝස පැහැයට හුරු අග්‍රගණයේ තේ පානයකි. ඉතිරි කාලයේදී ලැබෙනුයේ උස් කඳුකරයට පොදු නිෂ්පාදන වේ.

DIMBULA (දිඹුල)


උස් කඳු සහිත නුවරඑළිය ප්‍රදේශයට සහ තැනිතලා හෝර්ටන් තැන්න පිහිටි භූමියට මැද පිහිටි, මුහුදු මට්ටමෙන් අඩි 3500 සිට 5500 පමණ වන   දිඹුල ප්‍රදේශයේ තේ, ‘උස් බිම් තේ’ (High-grown Tea)  ලෙස හැඳින්වේ. මෙහි භුමි පිහිටීම් සහ පවතින මෝසම් සුළං අනුව, සංකීර්ණ ක්ෂුද්‍ර  දේශගුණික කලාප කිහිපයක්ම ඇත. මේ නිසා, ප්‍රදේශයේ නිෂ්පාදිත තේ විවිධ ගුණාංග වලින් පරිපූර්ණවේ. මෙහි නිෂ්පාදනය කරනු ලබන තේ වලින් සාකස් කරගන්නා පානය සිත්ගන්නා සුළු රන්වන් මිශ්‍ර දුඹුරු පැහැයක් ගනී.

UVA (ඌව)

මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුමේ  පිහිටි ඌව පළාතට,  නිරිතදිග සහ ඊසාන දිග මෝසම් දෙකේදීම මඳ වශයෙන් වැසි ලැබේ. මෙම ප්‍රදේශය මුහුදු මට්ටමෙන් උස අඩි 3000 සිට 4500 දක්වා යුක්ත නිසා, ඌව තේ වල, විවිධ රස පද්ධතියක්ම තිබේ.  මේ නිසා එම  තේ, විවිධ මිශ්‍රීත තේ සකස් කිරීමේ පාදකය ලෙසද  භාවිත වේ. කෙසේ වෙතත්, එයටම ආවේණික රසවලට ප්‍රිය කරන්නවුන් සඳහා ඌව තේ හොඳම නිෂ්පාදනයකි. ඇමෙරිකාවට මුලින්ම හඳුන්වා දී ඇත්තේ, ඌව තේ බවද කියැවේ.

KANDY (කැන්ඩි)


1867 වර්ෂයේදී,  ශ්‍රී ලංකාවේ පළමු තේ වගාව ආරම්භකර තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේය. මුහුදු මට්ටමේ සිට අඩි 2000 සිට 4000 දක්වා උසකින් යුක්ත මෙම ප්‍රදේශයෙන් ලැබෙන තේ ‘මධ්‍ය කඳුකර තේ’ (Mid-grown tea) ලෙස හැඳින්වේ. සාමාන්‍ය වර්ෂා පතනයක් සහ සෞම්‍ය දේශගුණයක් පැවතීම නිසා ‘කැන්ඩි තේ’ ඉතාමත් ආකර්ශනීය සහ දිව පිනවන කහට රසයන්ගෙන් යුක්ත බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. මෙයින් සකස් කෙරෙන තේ තද දුඹුරු වර්ණයකින් යුක්තය.
                          
SABARAGAMUWA (සබරගමුව)

සබරගමුව ශ්‍රී ලංකාවේ විශාලතම දිස්ත්‍රික්කයයි. සබරගමු තේ වවනු ලබන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 600 සිට  2500 දක්වා උස්වූ ප්‍රදේශවලය. උතුරෙන් ශ්‍රීපාද අඩවියටත් දකුණෙන් සිංහරාජ වනාන්තරයටත් මැදින් පිහිටි තේ වගා ප්‍රදේශයේ ප්‍රශස්ත දේශගුණික තත්ත්ව නිසා කඩිනමින් වැඩෙන තේ පඳුරුවල සිහින් දිගටි දල්ලක් හට ගනී. මෙයින් සකස් කර ගනු ලබන තේ, තද දුඹුරු පැහැයෙන් යුක්තය.  මෙම තේ ප්‍රභේදයට විශේෂිතවූ සුවඳ සහ රස ඉතාමත් ප්‍රියජනකය.
 RUHUNA (රුහුණ)

දකුණු පළාතේ තේ වගා ප්‍රදේශ මුහුදු මට්ටමේ සිට අඩි 600 ට වඩා උසින් පිහිටා තිබේ. ‘අඩු උස් බිම් තේ’ (Low-grown tea) යන නමින් හඳුන්වන මෙම තේ ආවේණික  තද දුඹුරු හෝ කළු පැහැයක් ගනී. මෙම ප්‍රදේශයේ පාංශු ලක්ෂණ, දේශගුණික සහ ඉහල ආර්ද්‍රතාවය නිසා, දළු ඉක්මණින් වර්ධනය වේ. මේ නිසා තේ දල්ලේ අග්‍රස්ත හැකුළුණු කොටස වෙන්කර, ඒවායින්   විවිධ රස සහිත ප්‍රභේද සකස් කිරීම විශේෂත්වයකි. බොහෝ වටිනා ‘tips’ නම් විරල තේ ප්‍රභේද නිපදවීම සඳහා තේ දල්ලේ මෙම අග්‍රස්ථ භාවිත කෙරේ. රුහුණු තේ මැදපෙරදිග රටවල ඉතාමත් ජනප්‍රිය වී ඇති බැවින් හොඳ ඉල්ලුමක් තිබේ.

මේ අතින් බලන කළ, අපගේ දේශයේ භු විෂමතා සහ ඒ සමග ඇති සුවිශේෂී දේශගුණික රටා නිසා ලොව වෙනත් කිසිම රටකට නොමැති පරිසර විවිධත්වයක් අපට උරුමවී තිබේ. මෙය හේතු කොට ගෙන, රටෙහි සීමිත බිම් ප්‍රදේශයක තේ වගාකරන ශ්‍රී ලංකාවට ලෝකයේ හොඳම තේ ප්‍රභේද රාශියක් නිපදවීමට හැකිවී ඇත.

එකිනෙකට හාත්පසින්ම වෙනස් ‘නුවරඑළිය තේ’ සහ ‘රුහුණු  තේ’ වලින් සකස්වූ තේ කෝප්ප දෙකක භෞතික වෙනස් කම් මෙසේ දැක්විය හැකිය.
                                      

                             
නුවරඑළිය  තේ රන්වන් පැහැයක් ගන්නා අතර රුහුණු තේ තද දුඹුරු පැහැයට හුරු කලු පැහැයක් ගනී. රස, ගුණ, සුවඳ සහ කහට ගතිය අතින්ද එකක් අනිකට වඩා හාත්පසින්ම වෙනස් වේ. මේ සියල්ල මෙසේ සිදුවනුයේ තේ වවනු ලබන ප්‍රදේශවල භු විශමතා සහ දේශගුණික විවිධත්වය වැනි භෞතික සංසිද්ධි නිසාමය.

අනභිභවනීය වෙළඳ නාමයක් මෙන්ම  ‘ගුණාත්මක භාවයේ සංකේතය’ (Symbol of Quality)වන,  සිංහ ලාංචනය සහිත ‘CEYLON TEA’, එදත්, අදත් මෙන්ම අනාගතයේදීත් ලොව හොඳම තේ ලෙස කිරුළු පළඳිනු ඇත. 

(තොරතුරු ස්තුති පූර්වකව  ‘CEYLON TEA’ ශ්‍රී ලංකා තේ ප්‍රචාරක පොත් පිංචකිනි)

%d bloggers like this: