Menu Close

කළු වෙළඹ | Black Beauty

තවත් වැහිබර හැන්දෑවක්! කාලෙකට පස්සෙ වැටෙන ධාරාණිපාත වැහි බිංදු වලින් පරිසරය කුල්මත් කරද්දි වහලෙට කඩාන වැටෙන වැස්සෙ සද්දෙන්  ඔෆිස් කාමරේ පිරිලා යද්දි මාත් සිව්මහල් ගොඩනැගිල්ලෙ ඉහලම මාලයෙ තිබුන මගේ ඔෆිස් එකෙන් එළියට ගිහින් කොරිඩෝවට වෙලා ඈත වැස්ස කඩාපාත් වෙන හැටි බලාන හිටියා. මං වැස්සට ආදරේ කරන්න අටෝරාසියක් හේතු තියෙනව. ඒත් ඒ අතරින් සමහරක් හරිම ප්‍රබලයි. නිස්කාන්සුවෙ වැස්සකට අහු උනාම මගේ මතකය ඉඩක් හම්බෙන හැම වෙලාවකම දුවන එක තැනක් තියෙනවා. ඒ සියඹලා ගහ. ඔව්, අර කීපදෙනෙක්ටවත් බදන්න බැරි ඒ සියඹලා ගහ. එතැන වෙච්ච සිදුවීම් පෙල සිනමා පටයක් වගේ මට මැවි මැවී පේනවා. ඔයාගෙ මතකයන්ගෙන් මං ආසම කරන මතකයන් දෙකෙන් එකක් තමයි ඒක. ඒ හීනි අතැගිලි හරි හරියට අල්ලගෙන ලෝකයක් දිනුවා වගේ සතුටු වෙච්ච වෙලාව. අනිත් එක? අවුරුදු ගානකට පස්සෙ හම්බුනාම, ඔයාගෙ පන්තිකාමරේදි දුවගෙන ඇවිත් මාව බදාගත්ත වෙලාව. හැමදේම අමතක කරලා හිත පුරෝගන්න ඒ හේතු දෙක හොදටෝම ඇති මට. ඔව්, මං වැස්සට ඒ තරම් කැමති ඒ වැහි පොද ඔයාව ආයෙ ආයෙමත් මං ලගට ගේන එකට. වැඩ රාජකාරි එක්ක වෙහෙසිලා ගෙවෙන හෙම්බත් ජීවිතේට “ටොකොස් ටොකොස් ගාලා පැනගෙන කළු වෙළඹක් එනව වගේ” මොහොතකට හිනාවක් දෙන එකට…
එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියනවා
නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා
මෙච්චර කාලයක් ගතවුනත් මට අපිට කරන්න බැරිවුන එකම එක දෙයක් ගැන මං තාම හිතනවා. ඒ වෙච්ච දේවල් ගැන ආයෙමත් සැරයක් කතා කරන්න. එහෙම වෙන්න හේතුවුන මානසික තත්වය ගැන කතාබහ කරන්න, ආවේගය ගැන කතා කරන්න. ඒක බලපාපු සීමාව ගැන හොයන්න. ඊටපස්සෙ ගිය පාරවල් ගැන කතාකරන්න. සම්මතය අසම්මතය ගැන පාපෝච්චාරණය කරන්න. සාර්ථකත්වය ගැන කතා කරන්න. ඔව්, උඹ දන්නවද? කොච්චරක් නම් දේවල් තියෙනවද අපිට කතා කරන්න. ඒක අපිට හිනාවක් ගෙන දෙන එකක් නෑ කියලා කාටද කියන්න පුලුවන්?  ම්.. අතීතකාමය අවුස්සන අතරේ ටේස්ට් එකට මං ගානෙ කඩල ගොට්ටක් දෙන්නද ?
දුක පිරුණු මගේ හිත නුඹ හොදට දන්නවා
හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා
නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි සිතෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා
හැමදෙයක්ම වෙන්නෙ හොදටලු. මං දන්නෙ නෑ ඇයි ඒක එහෙම කියන්නෙ කියලා. ඒත් මං එක දෙයක් දන්නවා. මේ  වෙනකං වෙච්ච හැම දේකින්ම තවත් අලුත් පැත්තක් මට පේන්න ගත්තා. එක දොරක් වැහෙද්දි තව දොරක් ඇරෙන්න ගත්තා. ඒත් අන්තිමට ඒ හැමදේම ලබාගෙන යද්දි ආයෙ ආයෙමත් මාව පරණ පාරටම වැටිලාද? හැබැයි ඉස්සරට වඩා ගොඩක් අත්දැකීම් එක්ක, තුවාල කැලැල් එක්ක. පරිණත ගතියකුත් එක්ක. මම දන්නෙ නෑ මේක මොන මොන විදියට ඉස්සරහට  යයිද කියලා. ඇත්තටම මට බයකුත් නැත්තෙ නෑ. ඒත්… එකම එක දෙයක් මං දන්නවා. ගතවෙච්ච හැම තත්පරයකම මං ඒ අමාවක සද වෙනුවෙන් බලාන හිටියා කියන එක. ඒක කවදාහරි පුරහදක් වෙලා ආයෙමත් පායාවි කියලා. 
අනාගත වාලුකා කතර මැද තනිවෙලා
කෙසේ පා ඔසවමිද සා පවස විද දරා
පුර පසෙක නොවී නුඹ අව පසෙක සඳ වුනා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා…
%d bloggers like this: