Menu Close

291. සිත්තමක ලියැවුණු කවිය…08

(මාරෙ අයියාගෙ) දෙල් මාළුව
http://ctkumara.blogspot.com/2018/07/blog-post.html

ආපහු ගමේ යන එක මං කල් දදා උන්නේ කොහොමහරි මුතූ පන්සලට ඇවිදිං ඒ සිත්තරේ බලන හැටි මගෙ දෑහින්ම බලාගන්ට මට ඕන වෙච්ච හන්දා. ඒ තමයි මං එයා වෙනුවෙන් වෙච්ච බාරේ. බෝ මළුවේ වැඩත් හෙමීට කරලා, ඊට පස්සේ පන්සලේ ඔය ඉතිරි වෙලා තිබ්බ පොඩි පොඩි කැටයං එහෙමත් කර කර මං කාලෙ ගෙවාගත්තා. හිතුවා වගේම මුතූ ඉක්මනට සනීප වෙලා පන්සලට ආවා. මං හිතුවෙවත් නැති විදිහට මට ඒ වෙලාවේ එයා ළඟින්ම ඉන්ට පුළුවං වුණා. තනියම. කොහොම හරි හිතේ තිබ්බ දේත් වහෙං ඔරෝ හරි කියාගත්තා. හොරෙන් කවි පොත කියෙව්වේ ඇයි කියලා ඇහැව්වා මිසක් මං හිතං උන්නා වාගෙ ඇඟට ගොඩ වුණේ නැහැ. මුතූ තමුන්ගෙ හිතත් එක්කම මහා ලොකු යුද්දෙක ඉඳලා තියෙන්නේ. එයා මට කැමතියි. ඒත් මගෙත් එක්ක හාද වෙන්ට බයයි. ලොසිංජර කන්ට ආසයි, ඒත් බයයි. මගේ ආදරේ දත් කැක්කුමක් වාගේ එයාට දැනුණේ මොකද කියලා තමයි මට හිතාගන්ට බැරි. එයාගෙ අම්මා අප්පච්චි මට අකමැති වෙයි කියලා එයාට හිතෙනවාද දන්නෙ නෑ. මුතූගෙ අකමැත්තක් නැති බවනං මට හොඳාකාරවම දැනෙනවා. අම්මා එක්ක කතා කරද්දිත් එහෙමට සැර පාටක් පේන්ට තිබ්බෙත් නැහැ. එයාට ඔය ඉඳහිට සැර දානවා ඇති, ආංබාං කරගන්ට ලේසි එකියක්යැ.

දැන්නං විජේ අයියා එක්ක මේක කෙළින්ම කතා කරගන්ට වෙනවා. මෙච්චර දවස් අයියා මුණගැහුනාම ඔය වෙන කතාබහ අතරේ මුතූ නගාගෙ කකුල කොහොමද කියලා ඇහැව්වා මිසක කෙළින්ම මොකවත් ඇහැව්වෙ නෑ. එයත් එක්ක කතා කරලාම මුතූගෙ අම්මා එක්ක කතා කරන්ට යන එක හොඳයි මට හිතෙන්නේ.

මුතූ පන්සලට ඇවිදින් ගියාට පස්සෙ සතියේ මං ආපහු ගමේ යන්ට ලෑස්ති වුණා. යන්ට කළිං දවසේ හවස් වරුවේ මං විජේ අයියලාගේ ගෙවල් පැත්තෙ ගියා. මං යද්දි විජේ අයියා උන්නේ ඉස්තෝප්පුවේ, ඉස්කෝලෙ පොත් වගයක් බල බල.

“ආ! වරෙං වරෙං මලේ! මෙහෙං වාඩිගනිං ඇවිදිං…” විජේ අයියා වැඩෙත් නවත්තලා පොත් ටික වහලා දැම්මා. “ඉතිං?” මං අරං ආපු විස්කෝත්තු පැකට් එකකුයි කෙහෙල් ඇවරියයි මේසේ උඩිං තියලා ඉස්සරහා පුටුවකට බර දුන්නා. “මොකෝ බං මේ? බොට පිස්සුද මෙහෙම උස්සං එන්ඩ?”

“ආයෙ ඉතිං කාලෙකට එන්ට වෙන්නෙ නැහැ නෙව. මං හෙට යනවා කියලා යන්ට ආවෙ අයියෙ…”

“හ්ම්ම් හ්ම්ම්, මං හිතුවා…..” 

අපේ කතාව ඇහිලාද කොහෙද කුසුමේ අක්කාත් ඉස්සරහට ආවා. “වික්‍රම මල්ලිනෙ මේ… ඉතිං මේ යන්ඩ හදන එකේ බත් කටක් කාලා යන්ඩත් එක්ක උදේ වරුවේ එන්ඩ එපායැ… අම්මත් කිව්වා පන්සලේදි හම්බවෙච්ච වෙලාවේ එන්ඩ කිව්වය කියලා…”

“එහෙම කරදර කරන්ට හොඳයැ අක්කේ… මං කළිං දවසකත් ඇවිදිං බත් කාලා ගියේ?”

එවෙලෙ විජේ අයියා ආපහු කතා කළා. “ඒකෙං කාරි නෑ… දැං හිටහං රෑටවත් මොකවත් කාලා යන්ඩ…”

“ඒක තමයි… ඉන්ඩකො මං විගහට තේ මේසෙත් ලෑස්ති කරන්නං…” අක්කා ගෙට දිව්වා.

විජේ අයියාට කියන්ට දාහක් දේවල් කල්පනා කරගෙන ආවාට කොහෙං පටංගන්ටද කියලා මට හිතාගන්ට බැහැ. මං මේසේ උඩ තිබ්බ විජේ අයියා බල බල හිටපු පොතක් කරගෙන උඩිං පල්ලෙන් පෙරලන්න ගත්තා.

“ඉතිං? දැං ගමේ ගොහිං ආයෙ ගුරුන්නාන්සෙ ළඟ වැඩ කරන්ඩ ගන්නද මලයා හිතාගෙන ඉන්නේ?”

“ඔව්, ඔය මෙහෙ වගේ දුර බැහැර ගිහිං කරන්ට වෙන වැඩ එහෙම ගුරුන්නාන්සේ දැං වැඩි හරියක් මට තමයි බාර දෙන්නේ. ගුරුන්නාන්සෙට දැං වැඩිය එහෙ මෙහෙ යන්ට අමාරුයිනෙ…”

“හ්ම්ම්…” විජේ අයියා ඔළුව වැනුවා. “උඹ අපේ පන්සලනං බොහොම ලස්සන කළා මලේ… ගමේ කවුරුත් කතා වෙනවා ඒ ගැන… පරම්පරා ගාණකට ඇති උඹ ඒ කරගත්තු පින…”

මට හීන් හිනාවක් ගියා. මං ඒ පරම්පරාව හදන්ට හිතං ඉන්නේ කා එක්කද කියලා දන්නවනං හෙම විජේ අයියා මොනවා කියයිද…? “මං පළවෙනි වතාවට තමයි මේ පන්සලක සිත්තර ඇන්දේ… ලොකු හාමුදුරුවන්ගෙයි ගමේ අයගෙයි හිත සතුටු වෙන තරමට ඒ වැඩේ කරගන්ට පුළුවං වෙච්චි එක ගැන මටත් සතුටුයි…”

“ආයෙත් අහලා… මේ ගමේ මිනිස්සු පුළුවන්නං උඹව මෙහෙ තියාගන්ඩ වුණත් ලෑස්තියි…” අන්න ඒ වෙලාවෙදි හරිනං මට මගේ හිතේ තිබ්බ දේවල් එක සැරේම කියලා දාන්ට තිබ්බා. ඒත් ඒ වෙනුවට වුණේ මගේ කටේ කෙළ හිඳිලා ගිහිං දිව ගොලු වෙච්ච එක. විජේ අයියා ගේ ඇතුළ දිහාව බලලා ඊළඟට මට කිට්ටු වෙලා සද්දෙ බාල කරලා කතා කළා. “මොකෝ, උඹට මේ ගමේ බින්න බහින්ඩ තරං හිතක් පහළ වුණේ නැද්ද?”

මේකට කොහොමද උත්තර දෙන්නේ? මුතූව මගේ කරගන්ට ඕනකම තිබ්බාට මට මෙහෙ නතරවෙන්ඩ හිතිලා තිබ්බෙම නෑ. ඒක අලුතෙන් හිතලා බලන්ට වටින කාරණයක් තමයි. ඒත් මගෙ කැමැත්ත මුළ හිටන්ම තිබ්බේ මුතූවත් කැන්දාගෙන මගේ ගමට යන්ට. එහෙ ගුරුන්නාන්සේ ඇරෙන්ට මගේය කියලා කියන්ට වෙන කවුරුවත් දැං නැතුවාට ඒ මං උපන්න, මං හැදිච්ච ගම. ඒ ගැන වැඩි දුර හිතන්ට ඉඩක් ලැබුණේ නැහැ මට, විජේ අයියා මහ හයියෙන් හිනා වෙන්ට ගත්තා. 

“මට පේන්නේ උඹ කෙසේ වෙතත් උඹේ හිතනං දැනටමත් මෙහෙ බින්න බැහැගෙන වගෙයි…”

මං ඉතිං උත්තරයක් දීගන්න කට ඇරගන්ට බැරි වෙච්ච හන්දා යන්තමට හිනා වෙලා නිකං හිටියා.

“කවුද කියාපං බලන්ඩ අපටත් දැනගන්න එක්කලා… අර පෝය දොහේ උඹේ සිත්තර දන්සල පටංගත්තු එකීද?”

ඒක ඇහෙද්දි මං ඔළුවෙ අතත් ගහගත්තා. “බුදු අම්මෝ, කවුද අර ගීතාද? ඊට හොඳයි කන් දෙකේ ඝාණ්ඨාර දෙකක් එල්ලගෙන ඉන්නවා!” 

එදා අර කඩේදි මං එයැයිගෙ පින්තූරෙ අඳින්නංය කිව්වේ නිකමටනෙ. අර මුතූව අවුස්සගන්ට ඕනකමටනෙ. එව්වා කොහෙද මේ අම්මණ්ඩිත් එක්ක. පෝය දවසෙ අර දෙනෝදාහක් මැද්දෙ පන්සලේදිම මට අඳින්ට වුණානේ ඒ මූණත්තහඩුව. ඉං පස්සෙ ඒ උන්දිගෙ පින්තූරෙ විතරක් ඇඳලා දීලා නවතින්ඩ කියලද? මට සිත්තර දන්සලක් දාන්ඩ වුණා එදා හෙම්බත් වෙනකල්ම. මේ ගමේ විතරක් නෙවෙයි, අහල ගංවලිනුත් සිත්තර බලන්ට ඇවිදිං හිටිය කෙල්ලො ආවෙ නැතෑ පෝලිමේ සිත්තර අන්දවගන්ට. හැබැයි ඒ එකක්වත් මං ඒ හැටියටමනං ඇන්දෙ නෑ. කොහේ හරි මොකක් හරි ඇද කරලා තමයි ඇන්දේ. කංකෙඳිරි ගාගෙන ආවත් මං ඔව්වා ඔයිට වඩා අඳින්ට දන්නෙ නෑ කියලා මං නිකා හිටියා.

විජේ අයියා ආයෙම හිනාවෙනවා. “අම්මපා, උඹට ගමේ කොල්ලොංගෙං අම්බානක ගුටි කන්ඩ වෙයිද කියලත් මට හිතුණා එදා. එච්චරට බලන්ඩ එපෑ කෙල්ලංගෙං උඹට තිබ්බ ඉල්ලුම!”

“අයියා මේ මොනවා කියවනවද මන්දා, මට එදාම ගමේ යන්ට හිතිලයි තිබ්බේ…”

“ඉතිං නොගියෙ?”

දැංවත් කියාපංකො! මං මගෙ කටෙන් ඉල්ලුවා. මොන! මගෙ දිව නැමෙන්නෙවත් නෑ. “එහෙම ඉතිං වැඩක් හරි හැටි අහවර නොකර යන්ට පුළුවනෑ?”

“ඒක හැබෑව, ඒක හැබෑව…” විජේ අයියා ඔළුව වැනුවා. උන්දැගෙ හිනාව තමයි මට ඇල්ලුවෙ නැත්තෙ. “ඉතිං මලේ, දැං පන්සලේ කරුමාන්තෙත් අහවර එකේ උඹට ඔය වෙන පොඩි කරුමාන්ත කරන්ඩ හෙම තහංචියක් නැතුව ඇතිනෙ… තෙලිජ්ජ ඩිංගක් තිබුණා ගෙයි, මොකෝ කියන්නේ?”

“බෑ අයියේ, ඔව්වා කටේ ගාගත්තොත් මට අද රෑ පන්සලට යන්ට වෙන්නෙ නෑ. හෙට උදේම යන්ටත් එපැයි…”

“ඉතිං අද රෑ මෙහෙ හිටහං… උදේම පන්සලට ගිහිං බඩු මුට්ටු ටිකත් ඇන්න යන එක නෙව තියෙන්නේ… අර පන්සල පල්ලෙහා සිරිදාසට මං කියන්නං උඹව මොටෝ බයිසිකලෙන් උදේම ටවුමට ඇරලවන්ඩ කියලා…?”

ඒත් බෑනේ… ඕවා පටංගෙන ඊට පස්සෙ කොහොමද මං ආපු වැඩේ කරගන්නේ… “බෑ විජේ අයියේ… උඩහටත් පොඩ්ඩක් ගොඩ වෙලා එන්ට ඕනේ…”

“උඩහට කිව්වෙ, මේ කුසුමෙලයෙ අම්මලායෙ ගෙදරට?” මං ඔව් කියන්න ඔළුව වැනුවා. “ආ ඉතිං ගොහිං එමු…” විජේ අයියා පුටුවෙනුත් නැගිට්ටා. “කුසුමේ… අපි මේ-“

“නෑ නෑ, අයියා පොඩ්ඩක් වාඩි වෙන්ටකෝ…” මං විගහට උන්දැව ආපහු වාඩි කරවගත්තා. 

“මොකෝ?” කුසුමේ අක්කා ඉස්සරහට ආවා. “මං මේ ලැවරියා වගයක් තම්බන්ඩ ගත්තා…”

“ආ, ඒක හොඳා! මලයට මේ උඩහටත් ගොඩ වෙලා එන්ඩ ඕනෙලු. අපි ගිහිං එහෙනං නගාලාවත් එක්කං එන්නං…”

“ඔව් ඔව්, එයාව එවන්ඩ විගහට මෙහෙ වැඩ ගොඩක් තියෙනවා කියලා. එහෙං තේ බොන්ඩ එපා, අම්මාවත් එක්කං මෙහෙ එන්ඩ, හොඳද?” අක්කා එහෙම කියාගෙන ආයෙමත් ගෙට ගියා.

“අක්කාට ඔය හැටි වද වෙන්ට එපා කියන්ට අයියෙ…” මට හැබෑවටම හිතට අමාරුයි මං හන්දා මිනිස්සු නිස්කාරනේ කරදර වෙන කොට.

“මොන වදයක්ද බං! දැං කියපං මොකෝ මාව ආයෙ ඉන්දවගත්තෙ කියලා?”

දැං ඉතිං කියන්ටම වෙනවා. “මං මේ…” ඒත් කොහෙන් පටං ගන්නද? අක්කා, අම්මා, අප්පච්චි සේරටෝම කළිං විජේ අයියා මට නෑනණ්ඩිව දෙන්ට අකමැති වෙයිද? මං උදව් ඉල්ලාගෙන ආපු එක්කෙනාත් මට අකමැති වුණොත් මොකද මං කරන්නේ? විජේ අයියාට මුතූ තමුන්ගෙම බාල සහෝදරියක් ගානයි. එහෙව් එකේ මගේ පොඩි ඇද පලුද්දක් තිබුණොත් ඇති උන්දැ මේකට අකමැති වෙන්ට… “මෙහෙ මේ හැටි පෑව්වට මොකද මං ගමෙං එද්දි එහෙටනං සෑහෙන්ට වැස්ස…” ඕං මගෙ කටිං පිටවෙච්ච එක!

“හැබෑට?” විජේ අයියා කම්මුලේ අතකුත් තියාගත්තා.

“ඔව්… දැන්නං කොහොමද කියන්ට දන්නෙ නෑ… හැබැයි කොහොමත් අවුරුද්දෙ වැඩි කාලයක් වැස්සයි හීතලයි තමා…”

“හුළි හුළං හෙම නැතුව ඇති මයෙ හිතේ?” කටෙං බාගෙකුත් අතෙං වැහෙන්ට තියාගෙන විජේ අයියා ඇහැව්වා.

එක පාරට එහෙම ඇහව්වෙ මොකද කියලා මට හිතාගන්ට බැරුව ගියා. “ආ… නෑ… එහෙම එව්වානං නෑ ඒ හැටි…”

“මෙහෙනං මේ දවස්වල එහෙම එව්වා තියෙනවලු…”

“මෙහෙ?” කොයි, මං මේ හිටිය මාස ගාණට එහෙව් එකක් ආවෙ නෑනේ. “කන්දෙවත්තෙ?”

“ඔව්, ඔය අපේ මුතූ නගා කිව්වෙ…”

මුතූ ගැන කියාගන්ට කට ඇරගන්න බැරුව ඉන්න අව් අස්සේ විජේ අයියාම ඒ නම මතක් කළාම මගේ මූණට ලේ පුරාගෙන ආපු හැටි මට දැනුණා. 

විජේ අයියා බක බක ගගා හිනාවේගෙන නැගිට්ටා. මං පුටුවටම ඇලිලා හිටියා. “වරෙං යන්ඩ ඉතිං උඩහට…” වෙන කරන්න දෙයක් හිතාගන්ට බැරි වෙච්චි හන්දා මං අමාරුවෙන් කෙළින් වෙලා, එහෙට ගෙනියන්න ගෙනාපු බඩු මල්ලත් අරගෙන නැගිට්ටා. ඉස්තෝප්පුවෙන් එළියට බහිද්දි විජේ අයියා මගේ කරට අත දාගත්තා. “උඹ මේ වෙද්දි අමාරුම වැඩේ කරලා ඉවරයි මස්සිනේ… අම්මා අප්පච්චිගෙ අවසරේ ගන්න එක අපෙ නගාගෙ හිත ගත්තා තරං අමාරු නෑ…” 

මදැයි කොළා! මං හිතන්නෙ එවෙලෙ මගෙ හුස්ම නතර වුණා. ආයෙ හුස්ම වැටෙන බව දැනෙන්ට පටං ගනිද්දි මං හිටියෙ මුතූලගෙ ගෙදර ඉස්තෝප්පුව ඉස්සරහා. විජේ අයියා ඉස්තෝප්පුවට ගොඩ වෙලා මහ හයියෙන් උගුර පෑදුවා. වැඩි වෙලා නොගිහිංම දොරෙන් එළියට එබුණෙ… මුතූ… 

“මේං වැඩක්! මෙයා බලන්-” මුතූ පල්ලෙහා උන්නු මාව දැක්කෙ එතකොටයි. පපුව ඇතුලෙ මෝල් ගස් හතරකිං විතර පිටි කොටන ගතියක් දැනුණැයිං මට හිනාවෙන්ඩවත් මතක් වුණේ නෑ. හිටි හැටියේ කියාගෙන ආපු කතාව නතර කරපු කෙල්ල හොල්මනක් දැක්කා වාගේ මයෙ දිහා බය වෙලා බලං ඉඳලා ආපහු හැරිලා ගෙට දිව්වා.

“මේ, ගිහිං දොර මුල්ලේ හැංගෙන්ඩ කළියෙං අම්මාට කියාපං අපි ඇවිදිංය කියලා…!” විජේ අයියා ඇතුළට ඇහෙන්න කෑ ගැහැව්වා.

ටිකකින් මුතූලගෙ අම්මා එළියට ආවා. “මං ඒත් බැලුවා ‘අන්න කවුද ඇවිල්ලා’ කිව්වහම…” අම්මා හිනාවෙලා අපිට ඉඳගන්න කිව්වා. අපි ඉතිං ඔය ආගිය තොරතුරු හෙම කතා කර කර හිටියා. ඒ අතරෙදි මුතූ ආයෙම ඇවිල්ලා අම්මා ඉඳං හිටිය පුටුව පිටිපස්සෙන් දොර උළුවස්සට හේත්තු වුණා. “දෝණියෙ, වතුර කේතලයක් ලිපේ තියන්ඩකො…” මුතූට එහෙම කියපු අම්මා ආයෙම අපේ පැත්තට හැරුණා. “තේ ඩිංගක් බීලා ඉමු දරුවෝ. හවස හදාපු අග්ගලාත් තියෙනවා…”

“හා, එහෙනං එව්වත් අරං යං පල්ලෙහාට…” විජේ අයියා කිව්වා. “කුසුමේ එහෙ තේ මේසෙ ලෑස්ති කරනවා… ආං උඹට අක්කා විගහට එන්ඩ කිව්වා එහෙට…” අයියා ඒ අන්තිම ටික කිව්වේ මුතූට.

මුතූ උළුවස්ස ළඟින් ඈත් වුණේ පල්ලෙහා ගෙදරට යන්ට වෙන්න ඇති සමහරවිට, මං ඒ නිසා විගහට කතා කළා. “මං ගමට මුළින්ම ආපු දවසේ පන්සලට යන්ට මට පාර පෙන්නුවේ මේ නගානේ. ඒකට ස්තූති කරන්ට මං නගාට පුංචි තෑග්ගක් ගෙනාවා…” ඔය ටික මං කොහොම කියාගත්තද මන්දා, ඒත් කොහොමහරි කියවුණා.

“තෑග්ගක්?” මුතූ ආයෙම උළුවස්සට හේත්තු වුණා. ඒ ඇස් දෙක ලොකු වෙච්ච හැටි!

“පාර පෙන්නුවා?” අම්මාත් ඇස් ලොකු කරගෙන මං දිහා බලලා මුතූ දිහාත් හැරිලා බැලුවා. “ඒ කවදද? උඹ මට ඔහොම විත්තියක් කිව්වෙ නෑනේ?”

“අර දහම් පාසල් උත්සවේ තිබ්බ දවසෙ අම්මේ…” මුතූගෙ කටහඬ ඇහෙන නෑහෙන ගානයි. “එදා දවල් එහෙ ඉඳං මං එද්දි මේ අයියා වැව ඉහත්තාවෙදි හම්බවෙලා පන්සලට යන පාර ඇහැව්වා. ඉතිං මං කිව්වා. ඕකෙ ඉතිං ආයෙ අමුතුවෙන් මොකවත් කියන්ඩ දෙයක් තියෙනවයැ?”

“ඒක හරි…” විජේ අයියාත් අලගු තිබ්බා. “අනික ඉතිං කොහොමත් මේකා මේ ගමේ විතරක් නෙවෙයි, අහල ගංවල ළමිස්සියන්ට හිට තෑගි බෙදලා යන්ඩ හිතාගෙන තමයි ඔය ඇවිත් ඉන්නේ. අම්මලාට එන්ඩ බැරි වුණානේ එදා පෝය දවසෙ, හෙහ්, බලන්ඩ එපායැ කෙල්ලො පෝලිමේ ආවේ මේකාගෙං තෑගි අරං යන්ඩ…”

හපොයි මට වෙච්චි දෙයක්! ආයෙම සැරයක් මුතූව මයෙ එක්ක තරහ කරවන්ටයි මේ මස්සිනා ලෑස්ති වෙන්නේ. මං විගහට රෝල් කරගෙන ආපු සිත්තරේ අතට ගත්තා. “මෙන්න මුතූ…” මං එයාට දික් කළා.

මුතූ එකපාරටම අතට ගත්තෙ නෑ. මුළිං ඒක දිහා බලං ඉඳලා, මයෙ දිහා බලලා, බයෙං හැකෙන් වගේ අම්මා දිහාත් බලලා, විජේ අයියා දිහාත් බලලා, ආයෙත් මගෙ දිහා බලලා තමයි ඒක ගත්තේ. “මොකද්ද මේ?” එයා හැදුවේ ඒකෙ කඩදහි කවරෙ ගලවලා දිග ඇරලා බලන්ට.

“දැම්ම අරින්ට එපා… පස්සෙ බලන්ට…”

ඒ ගමන එයා ඒක පහතට දාගත්තා. ඊළඟට අම්මාට පිටිපස්සේ ඉඳගෙන මට හීන් හිනාවක් දැම්මා. ඒ මූණෙ ඔහොම ඉඳහිට ඇඳෙන හීන් හිනාවල් මට බොහොම වටිනවා. “මං එහෙනං අක්කලාගෙ දිහාට යන්ඩද අම්මෙ?” මුතූ ඇහැව්වා.

“හ්ම්, හා හොඳයි… ඔය අග්ගලා ටිකත් අරගෙනම යන්ඩකො එහෙමනං…..” අම්මා උත්තර දුන්නා. මුතූ එහෙමම අතුරුදහන් වුණා.

දැං ඕක බලයි ගේ ඇතුළට අරං ගිහින්… ඒ ගැන හිතද්දි මට කියාගන්ට බැරි මහ අමුත්තක් දැනුණා… එයා ඒක බලලා මොනවා කරයිද? එතන සිත්තර දෙකක් තියෙනවා. ඒක දකිද්දි එයාගෙ මූණ බලාගන්ට මට කොච්චර ඕනකම තිබ්බත්, ඒ සිත්තර දෙකම අම්මලා දකින එක හොඳද නැද්ද කියලා දන්නෙ නැති නිසයි මං ඒක දැම්ම බලන්ට එපා කිව්වෙ. ඒක එයා තීරණය කරාවි. එහෙම හොඳ නැත්තං එයා පිටින් තිබුණ සිත්තරේ විතරක් මගෙන් ලැබුණු තෑග්ග හැටියට අම්මලාට පේන්ට තියලා අනිත් එක හංගගනීවි. 

“මං ඒත් වික්‍රම මලයට කිව්වෙ අම්මේ හැන්දෑ වෙලා ආපු එකේ රෑට බත් කටක් කාලාම යන්ඩ ඉන්ඩ කියලා. හෙට පාන්දර යනවලුනේ මේකා…”

“ඒක නේන්නං… ලොකු දෝණි එහෙ උයනවැයි?”

“ඔව් ඔව්.” ඊළඟට විජේ අයියා සද්දෙ වැඩි කළා. “මේ මුතූ! ඔහෙට වෙලා හොරෙං අපේ කතා අහං ඉන්නෙ නැතුව පලයං අර අක්කාට උදව් වෙන්ඩ! උඹ නොගියොත් හෙම අන්තිමට මට තමයි ආඩපාලි අහන්ඩ වෙන්නෙ, උඹට එන්ඩ කියලා පණිවිඩේ දුන්නෙ නැතිය කියලා!!!”

මං හිතුවේ ගේ ඇතුළෙන් රතිඤ්ඤාවක් පත්තු වෙන සද්දෙ ඇහෙයි කියලා. ඒත් ඔහෙ නෑ සද්දයක්. අම්මත් ගේ ඇතුළට කර පොවලා බැලුවා. “ආ, අර යන්නේ!” විජේ අයියාම ආපහු කිව්වා. මං විගහට ඒ පැත්ත බැලුවා. හෙමින් හෙමින් අඩිය තියන්නෙ මං හිතන්නේ තාම කකුල හොඳට සනීප නැතුව ඇති. මං මුතූ හෙමිහිට පල්ලෙහා වත්තට පල්ලම් බහිනවා බලං ඉන්දැද්දිම විජේ අයියා කතාවට මුළ පිරුවා.
අම්මා සද්ද නැතුව අහගෙන හිටියා. මං ඒ වෙනකොටත් විජේ අයියාට කියලා තිබ්බ මගෙ පවුලෙ විස්තර, ගමේ විස්තර සේරෝම මුතූලයෙ අම්මාට අකුරක් නෑර කිව්වා. ගුරුන්නාන්සෙයි ගුරුන්නාන්සෙගෙ පවුල ගැනයි විස්තරත් කිව්වා. අම්මාගෙන් එහෙමටම කෙළින්ම උත්තරයක් ලැබුණේ නැහැ. ඒත් අකමැතියි කිව්වෙත් නැහැ. මුතූලගෙ අප්පච්චි එක්ක කතා කරන්ට ඕනෙ කියලා තමයි කිව්වේ. ඒකත් මදෑ. පහුවදාට ගමේ ගියහම හඳහන් කොපියකුත් තැපැල් කරලා එවන්ඩ කිව්වා. ඔය කතා බහ ඉවර වෙලා ටික වෙලාවකින් අපි තුන් දෙනාත් පල්ලෙහා ගෙදරට ගියා. 

අපි කෑවා. තේ බිව්වා. විජේ අයියා තබ්ලාවකුත් උස්සං ඇවිල්ලා සිංදු කියන්ට පටංගත්තා. මාත් එක්කාසු වුණා. කුසුමේ අක්කා විටිංවිට ඇවිල්ලා අත්වැල් ඇල්ලුවා. ඒ වෙලාවට මුතූත් ඇවිල්ලා ළඟට වෙලා බලං හිටියා මිසක කිව්වෙ නෑනෙ එක සින්දුවක එක පදයක් කනට ඇහෙන්ට. අල්ලගන්නංකො මං වෙලාවක. අක්කාට මෙහෙම සින්දු කියන්ට පුළුවං කියන්නේ නගාටත් පුළුවං ඇති නොවැරදීම.

තෙලිජ්ජ කටගාගත්තෙ නැතත් මං එදා රෑ එහෙ නතර වුණා. විජේ අයියා ඉඳලා පහුවදා පාන්දරම යන්ටය කියාපු පළවෙනි වතාවෙන්ම මං ඒකට කැමති වුණේ එදා හැන්දෑව ගැන හිතට දැනිච්ච මහා ලෝබ කම නිසා. ඒ මුතූ ගැන විතරක් දැනිච්ච ලෝබකමක් කියන්ටම බැහැ. පවුලක උණුහුම හිනාව මේ හැටියෙන් මට ගුරුන්නාන්සේලාගෙ ගෙදරදි දැනිලා නෑ. ඒ ඇත්තො මට අප්පයි අම්මයි වගේ උන්නාට ගුරු ගෞරවෙත් එක්ක දැනිච්ච බයපක්ෂපාතකමත් හින්දා මට ඒ හැටියට ඒ පවුලත් එක්ක බැඳෙන්ට ලේසි වුණේ නෑ. ගුරුන්නාන්සේගේ දෝණියන්දෑ පවා මට සැලකුවේ සහෝදරයෙකුට වඩා අනාථයෙක් හැටියට. පුංචි කාලෙ ඉඳං එයාගෙං මට වැඩියෙංම දැනුණේ අනුකම්පාවක්. ඒත් මේ ගෙදරදි මට දැනුණ දේ ඊට වෙනස්. කොටින්ම මගේ උපන් ගමේදි මට ලැබිච්ච අම්මා අප්පා නැති දරුවා කියන අනුකම්පාවට වඩා මේ ගමේදි දැනිච්ච ආදරෙයි පිළිගැනීමෙයි මට ලොකු වටිනකමක් දැනුණා. විජේ අයියා කිව්වත් වගේ මෙහෙ නතර වුණොත් මොකද? ඉක්මන් වෙන්ට හොඳ නෑ. ඒක සෑහෙන්න හිතලා ගන්ට ඕන තීරණයක්.

රෑ කෑම කන අතරෙදි විජේ අයියා ආපහු සැරයක් මගෙ කෙල්ලව විහිළුවට අල්ලගත්තා. “මේ, උඹත් ඔය ගස් උඩ නැග නැග ඉන්නෙ නැතුව ඔය අක්කා වාගේ හොද්දක් බතක් උයාගන්ඩ ඉගෙනගනිං දැංවත්. නැත්තං උඹ දීග යන දාක දෑවැද්දට කෝකියෙකුත් හොයලා දෙන්ඩ වෙයි අප්පච්චිට!”

කෙල්ල රතු වුණා කොච්චි මිරිස් කරලක් වාගේ. ලැජ්ජාවටද කේන්තියටද මන්දා. සමහරවිට ඒ දෙකටම වෙන්ට ඇති. හැන්දෑවෙ ඉඳං වැහිලා තිබ්බ කට ඔය ඇරුණේ යස අපූරුවට. “එතකොට කවුද දන්නෙ නෑ ඔය දෙල් මාළුවයි කොච්චි සම්බෝලෙයි හැදුවේ! පිඟානෙ කොත ගහගෙන කන්ඩ විතරයි පුළුවං මෙතන! බලාගෙන, ඔය මං උයපුවා කන්ඩ එහෙම එපා අයියා වැරදිලාවත්, හෙට බඩ යන්ඩ ගනීවි!”

“කෙල්ලෙ!” අම්මා සැර වුණා.

“ඉතිං මමයැ, විජේ අයියාමනෙ පටං ගත්තෙ!” ඒකනෙ. මොකටද ඒ ළමයාට බණින්නෙ.

“අම්මපා! උඹද මෙව්වා ඉව්වේ???” විජේ අයියාත් නැවත්තුවෙ නෑ. “හැබෑට මං හිතං උන්නෙ උඹ දන්නෙ ගස් නගින්ඩයි, වැලි සෙල්ලම් බත් උයන්ඩයි විතරයි කියලනේ!”

“ඔව් මං දන්නෙ එච්චරයි තමා! ඉතිං? දැං සතුටුද?”

“හිටහංකො බලන්ඩ.” විජේ අයියා එහෙම කියලා දෙල් මාළුවෙන් අලි හැන්දක් පුරෝලා ගත්තා. අරං මගේ පිඟානට දැම්මා! “මලේ, ඕං ඕක කාලා බලාපං. මටනං ඔව්වා කාලා බඩේ අමාරු හදාගන්ඩ බෑ, හෙට ඉස්කෝලෙ ලොකු උත්සවයක් තියෙනවා. නොවැරදීම යන්ඩ ඕන. උඹටනං ඔය ගමේ යන එක තව දෙතුන් දොහක් කල් ගියාට මොකද!”

මං හෙමිහිට දෙල් කෑල්ලක් අරං හපලා බැලුවා. ලුණුනං ඩිංගක් විතර මදියි වගේ. ඒකට මක් වෙනවද. “රසයිනෙ මේක!” මං කිව්වා. මුතූගෙ මූණ එළිය වැටුණා පන්සලේ පහන් වැට වාගෙ. මං සම්බෝල දීසියත් ළං කරගෙන බෙදාගත්තා. බත් එක්ක අනාගන්නෙ නැතුවම මං එයින් ඩිංගක් අරං කෑවා. හප්පේ, මං හිතුවෙ නෑ මේක මේ හැටි සැර වෙයි කියලා. කන් දෙකෙන් දුං විසි වෙන අස්සේ මං හිනාවක් දැම්මා. ඊළඟට නිකං බත් ගුලියක්ම ගිල්ලා. “මේ විජේ අයියාගෙ බොරු! නගාගෙ කෑම රසයි!”

“ඒකත් එහෙමද! එහෙමනං කමක් නෑ ඉතිං, අප්පච්චිට කෝකියෝ හොයන්ඩ වෙන්නෙ නෑ…” විජේ අයියා පැරදුම බාරගත්තා.

ඔහොම හිනාවෙන් ඒ හැන්දෑ වරුව ගෙවුණා. මායි විජේ අයියායි අම්මා එක්ක ඉස්තෝප්පුවට වෙලා කතා කර කර ඉන්න අතරෙදි මුතූයි කුසුමේ අක්කායි කුස්සිය අස්පස් කරනවා ඇහුණා. ඒ ඉවරවෙලා ඒ දෙන්නාත් ඉස්තෝප්පුවට ආවා. ඉන් පස්සේ වැඩි වෙලාවක් යන්ට කළිං අම්මා මුතූට ගෙදර යන්ට කතා කළා. සිත්තරේ බැලුවද කියලා එයාගෙන් අහන්ටවත් මට ඉඩක් හම්බවුණේ නැහැ. හෙට උදේටවත් කතා කරගන්ට ඉඩක් ලැබේවිද?



– මතු සම්බන්ධයි –


%d bloggers like this: