Menu Close

289. සිත්තමක ලියැවුණු කවිය…06

විජේ අයියා කුසුමෙ අක්කා හොයාගෙන ගෙයි ඇතුළට යන අතරේ මං එහෙමම ඉස්තෝප්පුවේ තිවුණ පුටුවකට බර දුන්නා. මෙහෙ ඉඳං කෑගලු යනවා කියන එකත් ලේසි පාසු වැඩක් හෙම නෙවෙයි. හොඳටම තෙහෙට්ටුයි. මං හන්දියෙ කඩෙන් මොකවත් බීලා එමුය කීවට විජේ අයියා ගෙදර ඇවිදිල්ලාම බොමුය කියලා මාවත් ඇදං ආවා ගෙදරටම. මට නොදැනීම උඩහ ගේ පැත්ත බැලුනා. මුතූට කොහොමද දන්නෙ නෑ. විජේ අයියා කිව්වෙ උණත් ගත්තා කියලා. පව් අප්පා. ගෙදර ඉන්නවද දන්නෙ නෑ. ලෙඩ්ඩු බලන්ට කියලා ඩිංගක් ගොඩ වුණොත් කමක් නැත්ද දන්නෙ නෑ. අයියාගෙං අහලා බලන්ට ඕනෙ.

මං නිකමට ආයෙ මිදුලට බැහැලා ඒ පැත්තට ගියා. ඔහෙ නෑ ගෙදර කවුරුවත් ඉන්න පාටක්. ඒත් ඉතිං හිටියය කියලා වෙනදා වාගෙ එහෙ මෙහෙ දුව පැනලා ඇවිදින්ට බැරුව ඇතිනෙ. මොකවත් ගෙනැල්ලා ඕනෙද කියලා අහන්ටවත් විදිහක් ඇත්නං! අප්පච්චිත් ගෙදර නැති එකේ අම්මා බොහොම සැරට ඇති. මටත් එක්ක බණීවිද දන්නෙ නෑ ඔව්වා අහන්ට ගිහිං. මුතූත් ඔය එක විදිහක් වෙලා ඉන්නේ පෙළක් විට එයාට ගෙදර නීති තද ඇති. ඉතිං නිස්කාරණේ බැණුං අහගන්ට වෙන වැඩ කරන්ට අකමැති ඇති. මං වැට අයිනේ නතර වෙලා ඩිංගක් කන් දුන්නා. අර මොකෝ අර විජේ අයියා හයියෙන් හයියෙන් කතා කරනවා ඇහෙන්නේ ගෙයි පිටිපස්සෙ? මක් වෙලාද?

මං ඒ පැත්තෙන්ම ගෙයි පිටිපස්සට ගියා. ඔහෙ නෑ පේන්ට කවුරුවත්. කොහෙ ගියාද මේ කතා කරනවා ඇහිච්ච මනුස්සයා? ආහ්, මේං ඒදණ්ඩක්! මං ඒදණ්ඩ ළඟට ගියා. මේ ඇළ පාර ගොහිං අර මහ වැවට එක්කාසු වෙනවා ඇති. ඇළෙං එගොඩහ පළතුරු යායක්! බඩගින්නකුත් දැනි දැනි තිබ්බ හන්දා මං අඹ ගෙඩියක්වත් කඩාගන්න හිතාගෙන එගොඩහට ගියා. මේං ගහක් මුළ කඩාපු අඹ කූඩයක්! කුසුමෙ අක්කා අඹ කඩ කඩ ඉන්ට ඇත්තෙ. මං කූඩෙන් හොඳ ඉදිච්ච අඹයක් තෝරගෙන කටින් ලෙලි අරින්ට පටන්ගත්තා.

“හරි අමාරු ඇති කවුරුවත් මහන්සියෙන් කඩලා එකතු කරපු අඹ කූඩෙන් අරං කන එක!”

ඈ??? ඒ ඇහුණේ මං ඒ වෙලාවෙදි කොහොමටවත් අහන්ට බලාපොරොත්තු වෙච්චි කටහඬක් නෙවෙයි. මට ඉබේම උඩ බැලුනා. මේං හත්වලාමේ!!! “ඔය මොකද ඔය ගහ උඩ කරන්නේ???”

“මං මේ තණකොළ කපන්ඩ ආවා!” මේ කට තමයි කට!

“හැබෑට? ඉතිං තණකොළ හම්බවුණාය?”

“අපොයි ඔව්. මං මේ පටවගන්ඩ ලොරිය එනකල් ඉන්නෙ!”

හිනා නොවී කොහොමද මෙහෙව් උත්තරවලට! “දැං සනීපද?”

“අසනීපයක් නෑ!”

“ගහට නැගලා බැහැගන්ට බැරුව හෙම නෙවෙයි නේද ඔය ඉන්නේ?”

“එහෙම වෙන්ඩ මං කොටි දෙනක් කියලා හිතුවද?” ඕන්න නැග්ගා! මට තව ඩිංගක් අවුස්සගන්ටම හිතුණා.

“අපි අහලා තියෙන්නෙනං ගස් නැග්ගට බහින්ඩ දන්නෙ නැත්තෙ කොටි කියලා තමා!” කොහොමත් වෙනසක් නෑ, ගස් නැග්ගත් නැතත් මේකනං කොටි දෙනක්ම තමා!

“ඉන්ඩ එහෙනං මං බැහැලා පෙන්නන්ඩ!” මුතූ ඉඳං උන්නු අත්තෙන් ඉස්සරහට නැමුණා.

හපොයි මෙයා පනින්ටද හදන්නෙ??? “මුතූ! ඔය මොකද කරන්ට හදන්නෙ?”

“බැහැලා පෙන්නන්ඩ හදන්නේ!”

“බහින්ටයැ, ඔය පනින්න්ටනෙ හදන්නෙ. ඔහොම ඉන්ට, පනින්ටනං එපා දෙයියනේ, කකුල-” මං ඒ කියන පරක්කුවට මේ යෝදි බිමට පැන්නෙ නැතෑ. කටු ඇනගත්ත කකුලත් අඩමානෙට තියාගෙන පැන්න හැටියට මොනවා හරි කරගන්ටම ඇති නොවැරදීම. කියන දෙයක් අහන්ටම බැරි හැටි මේ ළමයට! මූණත් හොඳ නැහැ. “මුතූ?” මං ළං වුණා. “ඒ ගමන මොකද කරගත්තෙ?” ආ, මොකවත් කරගෙන නෑ, ඔය නැගිට්ටෙ යස අගේට ගහත් අල්ලගෙන. තොල් දෙක විකාගෙන ඉන්නෙ කොහෙ හරි ඇනෙන්ට ඇති රිදෙන්ටම. හොඳ වැඩේ!

“යකඩෝ!” අපි දෙන්නාම ගේ පැත්ත බැලුවා. විජේ අයියා ඉණිමගකුත් උස්සාගෙන ඇවිත් ඇළ එගොඩහ බලං ඉන්නවා. “මං මේ මඩුව පෙරළලා ඉණිමග හොයං ආවා ගහෙං බහින්ඩ බෑ කියාපු ඈයො බස්සගන්ඩ. ඒ ඩිංගට උඹ මේකිව වඩාගෙන බැස්සුවද මලේ?” නෑනාගෙ කටට හපං නෙව මුන්දැගෙ කට. මං විගහට මුතූ දිහා බැලුවේ මොනවා කියයිද බලන්ට. ඒත් මං බලාපොරොත්තු වෙච්ච රතු පාට නෑ ඒ මූණේ. හොල්මනක් දැකලා වාගේ සුදුමැලි වෙලා. මට ඇල්ලුවෙ නෑ ඒ මූණෙ පෙනුම. “මුතූ?”

කෙල්ල මගෙ දිහා එක සැරයක් බැලුවා. ඊළඟට කෙහෙල් කඳක් කපලා දැම්මා වාගේ ඇදගෙන වැටුණා.

මං විගහට පැනලා බිමට වැටෙන්ට නොදී වත්තං කරගත්තා. අනේ මොකද මේ කෙල්ලට වුණේ? “මුතූ???” විජේ අයියත් ඉණිමග අතඇරලා දුවගෙන ආවා. “නගේ???”

ඔහෙ නෑ සද්දයක්. සිහි නැති වෙලාද කොහෙද. මොකද දෙයියනේ මේ වුණේ? “අයියෙ, විගහට ගෙට එක්ක යමුද?” මං ඇහැව්වා.

“මේ ඒදණ්ඩ උඩිං ඔහොම උස්සාගෙන යන්ඩ බැහැ නෙව. ඔහොම වත්තං කරගෙන ඉඳිංකෝ, අපි සිහිය අරං ඉමු…” විජේ අයියා ඇළ ළඟට යන අතරේ “කුසුමේ!!!” කියලා අක්කාටත් අඬ ගැහැව්වා. මං මුතූව වත්තං කරගෙනම අඹ ගහට පිට දීලා බිම වාඩි වුණා. “මුතු!” මං හෙමිහිට මූණ අතගාන අතරේ කතා කළා. කිසිම හැලහොල්මනක් නැහැ. විජේ අයියා නෙළුං කොළේකින් හදාපු ගොටුවකට වතුර අරං එන අතරේ කුසුමේ අක්කාත් දුවගෙන ආවා.

“මේ මොකද දෙයියනේ වුණේ??? මගෙ නංගියේ!!!” අක්කා මුතූව මගේ තුරුළෙන් ඈත් කරගෙන එයාට තුරුළු කරගන්ට හදද්දි මං මහා ලෝබකමකිං එයාව බදාගෙනම හිටියා. මට තේරුණා, අක්කාට ඇල්ලුවේ නෑ මුතූ මගේ තුරුළේ ඉන්න එක. ඒත් අත ඇරියෙම නෑ මං එයාව.

“හා හා, මෙතන විලාප ගහන්ට කාරි නෑ,” විජේ අයියා අක්කාව නවත්තගත්තා. “නගාට සිහි නැති වෙලා ඩිංගක්. අපි සිහිය අරං ඉමුකෝ… මේන්න මේ වතුර ඩිංගක් ගාන්ඩ මූණේ…” එයා වතුර ගොටුව දික් කළා.

කුසුමෙ අක්කා වතුර ඩිංගක් අතට අරගෙන මුතූගේ මූණ හෙමීට අතගෑවා. “නගේ… මගෙ නංගියේ…”

තාමත් නැහැනෙ කිසි වෙනසක්. මගෙ පපු කැවුත්ත ඒ වෙද්දි උගුර ළඟටම ඇවිත් තිබුණේ. “මං එපා කියද්දි ගහෙන් බිමට පැන්නා අක්කෙ… ඒ පැනලා යසට කෙළිං හිටගත්තාත් එක්ක. මේ විජේ අයියා මෙතනට එද්දිත් හොඳට හිටියා…..”

“ඒක නෙව…..” විජේ අයියාත් වතුර අරං මූණට ඉස්සා. “මුතූ… නැගිටහං බං… ඔය මදෑ නිදං හිටියා….. නගේ – ඇස් ඇරපං ඉතිං…..”

මූණට ඉහිච්ච වතුර බිංදු මං හෙමිහිට ඒ පියවිලා තියෙන ඇස්වල ඇතිල්ලුවා. “මුතූ… ඇස් අරින්ටකෝ දැං…”

යාන්තමට ඇහි පිය හෙලවුණා. හීන් කෙඳිරියකුත් ඇහුණා. “ම්ම්ම්ම්හ්…”

මට දැනිච්ච සන්තෝසෙ තරමට මං එක සැරේට ඔළුව පහත් කරලා ඒ ඉස්මුදුණ ඉම්බා. විජේ අයියායි කුසුමෙ අක්කායි දෙන්නාම ඇස් ගෙඩිත් ලොකු කරාන මයෙ දිහා බලන හැටි මට දැනුණා. මං දැක්කෙ නැති ගාණට අහක බලාගෙනම හිටියා.

“නංගී… ඔළුවවත් කොහෙ හරි හැපුණද…?” කුසුම් අක්කා මුතූගෙ අතින් අල්ලගෙන ඇහැව්වා.

“නෑ…” මුතූ ඇස් වහගෙනම උත්තර දුන්නා. ඒ මූණ හොඳටම ඇකිළිලා. තද වේදනාවක ඉන්නවා වාගේ. “කකුල…”

මගෙ හිතට හොඳටම අමාරුයි. මං කේන්ති ගස්සපු හන්දානේ මේ ළමයා මෙහෙම වැඩක් කරගත්තේ. “මං කිව්වනේ පනින්ට එපා කියලා…!”

මුතූගෙ ඇස් දෙක එක සැරේටම ඇරුණා. මගෙ දිහා බය වෙලා වාගෙ බලං ඉඳලා කිසි අමාරුවක් නැති ගානට කෙළිං වුණා. ඊළඟට බිමට අතගහගෙන නැගිටින්න හැදුවා. ඒක කරගන්ට බැරුවද කොහෙද ඊළඟට මෙන්න ඉකි ගගහා අඬන්ට පටංගත්තා පොඩි එකියක් වගේ. මගෙ පපුව හෝස් ගාලා ගියා.

“මොකෝ බං? නැගිටින්ඩ බැරිද?” විජේ අයියා ඇහැව්වා.

“බෑනේ… මගෙ කකුල කැඩිලද කොහෙද…..” කෙල්ල ඉකි ගහනවා.

“බලන්ඩ ඉතිං, අම්මත් ගෙදර නැති වෙලාවේ කරගන්න වැඩ…” ගහෙං වැටිච්ච කෙල්ලට අක්කත් බණින්ට ගත්තා. “කොයි කකුලද? කටුව ඇනිච්ච එකමද?”

“නෑ, අනිත් එක…” කුසුමෙ අක්කා කකුල අල්ලලා බලද්දි මුතූ හූ තිබ්බා. “අනේ අල්ලන්ඩ එපා…!!! ඔයාටනෙ අඹ ඕන වුණේ… දැං මෙතන මට බණින්නෙ?”

“මං කිව්වද ගහට නගින්ඩ කියලා??? මං කිව්වද ගහෙන් බිමට පනින්ඩ කියලා???” ඔය තියෙන්නේ නගාගේ සැර එහෙමපිටින්ම අක්කණ්ඩිටත්! ආරෙට ආපු එකක් තමයි ඔය කොච්චි සැර.

“ආයෙත් පටංගත්තද?” විජේ අයියා සැර වුණා. “ඇවිලෙන්නෙ නැතුව හිටහල්ලකො බං කොච්චරවත් කටු අතු දෙකක් වගේ. නගේ,” විජේ අයියා ඒ ගමන මුතූගෙ පැත්තට හැරුණා. “උඹට ගෙට යනකල් එන්ඩ පුළුවනිද ඇවිදගෙන?”

මුතූ නැගිටින්න හැදුවා. අක්කයි අයියයි දෙන්නාම දෙපැත්තෙන් ඉඳගෙන උදව් කළා. මට පැත්තකට වෙලා බලං ඉන්ට වුණා. අමාරුවෙන් කෙළින් හිටගෙන මුතූ අඩියක් තියන්ට කකුල ඉස්සුවා. ඒ එක්කම “අනේ බෑ අක්කේ…” කියාගෙන කුසුමෙ අක්කාගෙ බෙල්ලෙ එල්ලුන හැටියට ආයෙ දෙන්නාම තව ඩිංගෙන් බිම ඇදං වැටෙනවා.

“හ්ම් හ්ම්, කෝ වරෙං යන්ඩ…” විජේ අයියා ඇවිත් මුතූව උස්සගත්තා. මට ඉබේම අහක බැලුනා. එතන තියෙන්නේ සහෝදරකම බව හැබෑව. ඒ වුණාට… මට එහෙමට අයිතිවාසිකං කියන්ට තරං අවසරයක් ලැබිලා නැති එක හරි… එහෙමයි කියලා….. ඉරිසියාව… මං දන්නවා මේ තමයි ඉරිසියාව… මං කැමති නෑ මුතූ – මගේ මුතූ….. මගේ…? මං දන්නෙ නෑ මගේ හිත මේ කොහෙ දුවනවද කියලා…..

“මේ ඒදණ්ඩ උඩිං කොහොමෙයි යන්නේ?” කුසුමේ අක්කා අහනවා ඇහුණායෙන් මං හිත ආපහු පිළිවෙලක් කරගත්තා.

“වතුරට බැහැලා එන්නං. කුසුමේ ගිහින් නගාව තියන්ඩ තැනක් ලැහැස්ති කරන්ඩකෝ….” විජේ අයියා මුතූවත් උස්සාගෙන සීරුවට අඩිය තියලා ඇළට බහින ගමන් කිව්වා. “මලේ, උඹ හිටපං මාත් එක්ක. අඩිය ලිස්සන්ඩ ගියොත් අල්ලගනිං ඈ…..”

මාත් කලිසම් කකුල් නවාගෙන ඒ එක්කම වතුරට බැස්සා. විජේ අයියාට ඉස්සරහිං මං අඩිය තියන්ට පරිස්සං තැන් හොය හොය ගියා. හොඳ වෙලාවට දණිහෙන් ඩිංගක් උඩහට විතරයි වතුර තිබුණේ. ඒත් ඇළ පතුලෙ මඩ. පරිස්සමට අඩිය තිබ්බෙ නැත්තං ලිස්සන්ට පුළුවනි. කුසුමේ අක්කා ආපහු විගහට වත්ත අයිනට ආවා. අපිත් වැඩි ආන්තරාවක් නැතුව එහා ඉවුරට ළං වුණා. “මලේ, නැගහං උඩට. නැගලා මේ පූජා වට්ටිය අරගනිං…”

මං මූණෙ ඇඳෙන්ට ගිය හිනාව අමාරුවෙන් නවත්තගෙන හිටියා. “එපා එපා…. බෑ……” මුතූ බෙරිහන් දෙන්ට ගත්තා.

“ඇයි මළ හත්තිලව්වේ, උඹවත් උස්සාගෙන මං කොහොමද උඩට නගින්නෙ? කකුල් කඩාගෙන දැංවත් කියන දේ අහලා ඉන්ඩ බැරිනං එහෙම මෙහෙමම මේ ඇළට අත ඇරලා මං යනවා යන්ඩ ගෙට! ගමනක් ගිහිං ඇවිල්ලා ඩිංගක් මහන්සි නිවාගන්ඩවත් නෑ උඹේ විගඩං හන්දා!” ඉස්කෝලෙ මහත්තයාටත් දැන්නං තද වෙලාද කොහෙද.

“මං කිව්වයැ ඉතිං මාව උස්සං යන්ඩ කියලා!” මෙච්චර හරියක් වෙලා මේ කට තාම මට්ටු වෙලා නැති හැටියක්. “මට ඕන නෑ ඔය කවුරුවත්! මං ඉන්නං මෙතනට වෙලා! ඔය කවුරු කවුරුත් ගිහිං මහන්සි නිවාගන්න එකයි ඇත්තේ! මට කාගෙවත් උදව් ඕන නෑ!”

“කුසුමේ! ඕන්න මං මේකිව අත අරිනවා ඇළට!” විජේ අයියා කෑ ගැහැව්වා.

“මටයි බණින්නේ කටු අත්ත වාගේ පටලැවෙනවා කියලා,” කුසුමේ අක්කාත් උත්තර දුන්නා. “ඔය පේනවනේ තියෙන ආඩම්බරකම! කවදාහරි ඔය ආඩම්බරකං බස්සන කෙනෙක් හම්බවෙච්චි දාක තමයි මෙයා මට්ටු වෙන්නේ!”

“මගෙ ඇති ආඩම්බරකමක් නෑ! මට එහෙම එව්වා බස්සගන්න කෙනෙක් ඕනෙත් නෑ! මට පාඩුවේ ගෙදරට වෙලා ඉන්ඩ දුන්නානං ඉවරයිනේ! මෙතන මං-“

“වහගන්ඩයි කිව්වේ කට!” විජේ අයියා සැර වුණා. එහෙමම සද්දෙ නතර වුණා. “ආයෙ එක වචනයක් හරි කියෙව්වොත් බලාගෙනයි! වික්‍රම මලේ, ඔන්න අල්ලගනිං!”

ඒ වෙද්දි ඇළ කණ්ඩියට ගොඩ වෙලා හිටපු මං, පරිස්සමට මුතූව මගෙ අත් දෙකට ගත්තා. කුරුළු පැටියෙක් වගේ – පොඩ්ඩක්වත් බර නෑ. මං ගේ දිහාවට යන අතරේ මුතූ අත් දෙකෙන්ම මූණ වහගෙන – අඬනවද කොහෙද. “මුතූ?” මං හෙමීට කතා කළා. “අක්කයි අයියයි එක්ක රණ්ඩු ඇල්ලුවාට මං දන්නවා ඔය ආඩම්බරකම් පෙන්නන්නේ මටයි කියලා… ඒ වුණාට මං බණින්නේ නැහැනේ… මං තරහත් නැහැ… ඉතිං අඬන්නෙ නැතුව ඉන්න…..” මූණ වහගෙන හිටපු අත් දෙක අස්සෙන් දිග හූල්ලන සද්දයක් ඇහුණා. ඊළඟට ඉකි ගැහිල්ල තවත් වැඩි වුණා. “ඔයා අඬනවා බලන්න මං කැමැති නැහැ… ඒ වුණාට ඔයාට අඬන්නම ඕනෙ කියලා හිතෙන ඕනෙම වෙලාවක මගේ කරේ ඔළුව තියාගන්න දෙන්න මම ලෑස්තියි…..” ඒ වෙලාවේ එහෙම දෙයක් මට කියන්ට හිතුණේ මොකද කියලා මං දන්නෙ නෑ. ඒත් මං ඒ කියාපු හැම වචනයක්ම කිව්වේ හිත පතුළෙන්මයි. ඒ හන්දා ඒ ගැන ආයෙ නොහිතා එන විදිහකට මූණ දෙන්න මං හිතාගත්තා.

එක සැරේට කිසිම සද්දයක් ඇහෙන්නෙ නැතුව ගියා. ඉකි ගැහිල්ලත් නතර වුණා. ඒත් මූණනම් වහගත්ත ගමන්මයි. ආයෙමත් සිහි නැති වුණාද මන්දා. අක්කයි අයියයි එන්නෙ පිටිපස්සෙන්. මං හෙමීට නිකටෙන් මුතූගේ ඔළුව මගේ පපුවට තද කරගත්තා. ටිකක් එහෙමම තද කරගෙන ඉඳලා මං මගේ ඔළුව ආයෙමත් ඉස්සුවා. ඒත් ඒ ඔළුව මගේ පපුවට හේත්තු වෙලා එහෙමම තිබුණා. ඒ වෙලාවේ මට එච්චර වෙලා ඇහුණෙ නැති අමුතු සද්දයක් ඇහෙන්න ගත්තා. ඇහුණා නෙවෙයි ඇත්තටම ඒක දැනුණා කිව්වොත් තමයි හරි. මුතූගෙ පපුව ගැහෙන තාලෙ. මට ඕන වුණේ එතනම එහෙමම නතර වෙලා ඇස් දෙක පියාගෙන ඒ තාලෙට ඇහුම්කන් දෙන්න. ඒත් එහෙම කරන්නෙ කොහොමද අර දෙන්නා පිටිපස්සෙන් එද්දි. වැඩි වෙලා ඒ තාලෙට මගේ පපුව හුරු කරගන්ට ඉඩක් ලැබුණෙ නෑ කොහොමත්, කුසුමෙ අක්කා ඉස්සර වෙලා ඇවිත් මට ගෙට ඇතුල් වෙලා කාමරේට යන්ට පාර පෙන්නුවා.

කාමරේ ඇඳ උඩින් මුතූව බොහොම පරිස්සමෙන් තිබ්බ හැටියේ, එයා ආපහු ඇස් අරින්ට කළියෙන් මං විගහට එළියට ආවා.

කොහේ යනවාද කියලා හිතාගන්ට බැරුව, හැම තැනම දුව දුව හිටපු මගේ හිත අන්තිමේදී එක තැනක නතර වෙච්ච බව එදා මං දැනගත්තා.

– මතු සම්බන්දයි –

%d bloggers like this: