Menu Close

ගිනිකඳු සක්‍රීය වීම නිසා හටගත් මනස්කාන්ත නගරයේ චාරිකාවක් … (අංක 2)

 (අංක 2)

ගැම්බියර් කඳුකරයේ භූගත හිරිගල් ලෙන් පද්ධති

ඕස්ට්‍රේලියාවේ දකුණු මුහුදු වෙරළට ආසන්න ගොඩබිම් තීරුව, භූගත හිරිගල් ලෙන් පද්ධති සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. මෙයින් ගැම්බියර් කඳුකරයේ ඇති  වංකගිරියක් බඳු භූගත හිරිගල් ලෙන් පද්ධතියේ, හිරිගල් ලෙන් 800 ක් පමණ තිබෙන බව පරීක්‍ෂණ වලින් තහවුරු වී තිබේ. මෙයින් ආරක්ෂාව සහිත ලෙන් කිහිපයක් පමණක්, මහජනතාවට නැරඹීම සඳහා ක්‍රමාණුකූලව සකස් කර විවෘතව තිබේ. ඒ සඳහා මාර්ගොපදෙශකයෙකුගේ සහාය ලැබේ.

අපගේ චාරිකාවේදී,  මෙයින් ප්‍රධානතම  හිරිගල් ලෙන් දෙකක් නැරඹීමට අවස්ථාව  උදාවිය. මේවා නම් මාග්‍රට් රෝස් කුමරි හිරිගල් ලෙන (Prince Margret Rose cave) සහ එංගල්බ්‍රෙච්ට් (Engalbrecht cave) හිරිගල් ලෙනයි.


මාග්‍රට් රෝස් කුමරි ලෙන පිහිටා ඇත්තේ, වික්ටෝරියා ප්‍රාන්තය සහ  දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය වෙන්වන මායිමෙන්, කිලෝමීටර් දෙකක් ඇතුළත වන අතර, එය වික්ටෝරියා  ප්‍රාන්තයට අයත් වේ. මෙය ඉතාමත් දැකුම්කලු ස්වාභාවික හිරිගල් නිමැවුම් සහිත, භූගත පිහිටීමකි.  මෙම ලෙන  තුළට ඇතුල් වීම සඳහා සකස් කර අති ප්‍රධාන දොරටුවට තරමක් දුරින්  සෑදී ඇති, අගාධයක් වැනි මීටර 20 ක් පමණ ගැඹුරු, ඉපැරණි විශාල විවරයක් තිබේ. ආරක්ෂා සහිතව  රක්ෂණය කර තිබෙන මෙම විවරය වසර දහස් ගණනකට පෙර සිට තිබෙන්නට ඇති එකකැයි විශ්වාසයක් පවතී. 

කාලාන්තරයක් තිස්සේ පැවති, උගුලක් වැනි මෙම අගාධය තුළට වැටී, ගොඩ ඒමට නොහැකි වී, ඒ තුළම මියගිය සතුන්ගේ පාෂානිභුතවූ ඇටසැකිලි මගින් අතීත සත්ත්ව විශේෂ  පිලිබඳ පුරාවෘත රාශියක් සඳහා තොරතුරු මෙතැනින් හමුවී තිබේ. එසේ හමුවූ  යෝධ කැන්ගරු, උදර පැස (pouch) සහිත සිංහයින්, යෝධ එකිඩ්නා සහ තස්මේනියානු කොටි වැනි ක්ෂීරපායි සතුන්ගේ පාෂානිභුතවූ ඇටසැකිලි නිසා අතීතයේ මෙම ප්‍රදේශයේ ජීවත්වූ සතුන් පිලිබඳ සැඟවුණු රහස් රාශියක් හෙළිදරව් කර ගැනීමට හැකිවී තිබේ.

වසර දස දහස් ගණනකට පෙර මෙම භුමියේ ජීවත්ව සිටි මෙම සතුන් දැන් සදහටම ලොවින් තුරන් වී ගොස් ඇත.

මාග්‍රට් රෝස් කුමරි හිරිගල් ලෙන

හිරිගල් ලෙන නැරඹීම සඳහා අපට උපදේශිකාවකගේ සහාය ලැබිණ. මෙහි අභ්‍යන්තර දෝනා වල සමහර ස්ථාන වලට, පොලොව මතුපිට සිට ඇති දුර ප්‍රමාණයමීටර් හත අටකට වඩා නොවැඩි නිසා, මතුපිට ඇති විශාල Red gum  ගස්වල මුල් ලෙන තුළට වැඩී
තිබෙනු දකින්නට ලැබුණි. මේ මුල් ඔස්සේ නිරතුරුවම ජල බින්දු වැගිරෙන බවද පෙනෙන්නට තිබුණි.

මෙම ලෙනට  ‘මාග්‍රට් රෝස් කුමරි’ නම යෙදීමද  ඉතිහාස ගතවී ඇත. 1936 වසරේදී මෙම හිරිගල් ලෙන සොයා ගත් ගවේෂකයාගේ  නව හැවිරිදි දියණිය, එය නම් කිරීම සඳහා, දෙවන එලිසබෙත් මහ රැජිනගේ නැගණිය වන, එවකට නව වන වියේ පසුවූ,  මාග්‍රට් රෝස් කුමරියගේ නම සුදුසු බව යෝජනා කර තිබේ.  මේ පිළිබඳව මහා බ්‍රිතාන්‍යයේ රජවාසලෙන් විමසූ විට ඒ සඳහා රාජ්‍ය අනුමැතිය ලැබී තිබෙන බව දැක්වෙන ලිය කියවිලි කිහිපයක් එහි කාර්යාලයේ ප්‍රදර්ශනය කර තිබේ.
                         

මෙම හිරිගල් ලෙනෙහි සුවිශේෂී ලක්ෂණයක් වනුයේ, ස්වභාවිකව නිර්මාණය වී තිබෙන හිරිගල් ‘ටැම්’, එම ලෙනෙහි පියස්ස දරා සිටින කණු වැනි ස්වරූපයක් මෙන් දකින්නට ලැබීමයි. ලෝකයේ බොහෝ රටවල දකින්නට ලැබෙන භූගත හිරිගල් ලෙන් හටගැනීම, ස්වාභාවධර්මයේ සිදුවන අන්තර්ක්‍රියා රාශියක සංකලනයන්ගේ අවසාන ප්‍රතිඵලය ලෙස දැක්විය හැකිය.   හිරිගල් ලෙන්වල පිහිටීම්, වසර මිලියන 300 සිට 400 දක්වා ඈත අතීතයකට නෑකම් කියන බව විකිරණ දත්ත අනුව නිර්ණය කර තිබේ.

 ඩිවෝනියන් යුගය(Devonian period) වශයෙන් හැඳින්වෙන එම කාලයේදී, මෙම ප්‍රදේශය මුහුදෙන්  යටවී තිබුණු බව සහ මුහුදේ කොරල් පර තිබුණු අතර, ඒවායේ  කවච සහිත සමුද්‍ර ජීවීන් සිටි බව පෙන්වන පාෂාණිභුතවූ සාක්ෂි, එමට තිබේ. කාලයත් සමග, මළ කොරල් පර සහ සමුද්‍ර ජීවී කොටස් සම්පීඩනයට භාජන වී, භූගත හුණුගල් නිධි සෑදී තිබේ. හුණුගල් යනු කැල්සියම් කාබනේට්ය. පසු කාලයේදී මෙම ප්‍රදේශය ගොඩබිමක් වූ විට,  හුණුගල් නිධි භූගත වී ඇත.  කල්යාමේදී විවිධ දේශගුණික විපර්යාස නිසා  හුණුගල් නිධි දියවීමට පටන්ගෙන තිබේ.

එසේ සිදුවන්නට ඇතැයි උපකල්පනය කරනු ලබන එක් ක්‍රියාවලියක් මෙසේය.

වායු ගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව, ඉතා ස්වල්ප වශයෙන්  වර්ෂා ජලයේ දියවී දුබල කාබොනික්    අම්ලය සෑදෙයි. දිය සීරාවත් සමග පස හරහා කාන්දුවන මෙම අම්ලය හුණුගල් නිධි සමග ප්‍රතික්‍රියා කර, ද්‍රාව්‍ය කැල්සියම් බයිකාබනේට සාදයි. වසර මිලියන ගණනක් තිස්සේ හුණුගල් නිධි, මේ අයුරෙන් දියවී යාම නිසා, භු ගර්භය තුළ ගුහා වැනි හිස් අවකාශ හටගෙන ඇත.
    
මෙසේ සෑදී ඇති හිස් අවකාශ ස්වාභාවිකව එකතුවීමෙන් හෝ මෑත කාලයේදී මිනිසා විසින් විවිධ ක්‍රමෝපායයන් භාවිත කර එම ගුහා වැනි අවකාශ එකට යා කිරීමෙන් භූගත ලෙන් නිර්මාණය වී  තිබේ.

භූගත ලෙන් හටගැනීමෙන් පසුව, ඒවා අභ්‍යන්තරයේ හිරි ටැඹ’  සහ හිරි ලඹනිර්මාණය වීමද සරල රසායනික ප්‍රතික්‍රියා කිහිපයක ප්‍රතිඵලය වේ. රූප සටහනේ දැක්වෙන පරිදි හිරි ටැඹ සහ හිරි ලඹ හට ගැනීමද ස්වභාව ධර්මයේ අපූරුතම නිර්මාණ වේ. හිරිගල්  ලෙනක පියස්සේ ඉහල සිට පහලට වැඩෙන, සිහින් කූරු වැනි ව්‍යුහයන් හිරිලඹ’ (stalactite) ලෙස හැඳින්වෙන අතර, බිම් මට්ටමේ සිට ඉහලට වැඩෙන එවැනි ව්‍යුහයන් හිරිටැඹ’ (stalagmite) ලෙසද හැඳින්වේ.

ආදී යුග වලදී, භූගත හුණුගල් නිධි දියවී ගොස් ලෙන් සෑදුණු ක්‍රමවේදයේ, ආපසු හැරීමකට අනුරූප, රසායන විපර්යාස මාලාවක් මගින් හිරිලඹසහ හිරිටැඹනිර්මාණය වීම සිදුවේ. නිරතුරුවම සිදුවන මෙම ක්‍රියාදාමය මෙසේ දැක්විය හැකිය. වායු ගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව, ස්වල්ප වශයෙන් ජලයේ ද්‍රාව්‍ය වේ. වර්ෂාව, පිනි බෑම, හිමපතනය වැනි අවස්ථා වලදී, පතිත වන ජලයේ ස්වල්ප වශයෙන් දිය වන කාබන්ඩයොක්සයිඩ් වායුව නිසා, දුර්වල අම්ලයක් වන කාබොනික් අම්ලය හටගනී. ජලයත් සමග පොළොවේ පස්  අතරින් කාන්දුවී යන කාබොනික් අම්ලය, පසෙහි ඇති කැල්සියම් සමග ප්‍රතික්‍රියා කර, කැල්සියම් බයිකාබනේට් ද්‍රාවණය සෑදෙයි. ජලයත් සමග පසෙහි පහලට කාන්දුවන කැල්සියම් බයිකාබනේට්, ලෙන් පියස්සේ සියුම් ඡීද්‍ර තුලින් වෑස්සී, ජල බිංදුවක් ලෙස ටික වේලාවක් පියස්සේ යටි පැත්තේ රැඳී  සිටී. 

මෙම සුළු කාලය තුලදී ජලය වාෂ්ප වීම නිසා, ජල බිංදුවේ ඇති  කැල්සියම් බයිකාබනේට් ස්වල්පයක් එහි ඉතිරිවී, ජලබින්දුව පහලට වැටේ. පියස්සේ ඉතිරි වන කැල්සියම් බයිකාබනේට් ස්වල්පය, ලෙනෙහි වාතයේ ඇති ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර අද්‍රාව්‍ය කැල්සියම් කාබනේට් බවට පත්වී එතැන තැන්පත්  වේ. එසේම පියස්සේ සිට පහලට වැටෙන ජල බින්දුවේ ඉතිරි කොටසේ තිබිය හැකි  කැල්සියම් බයිකාබනේට් ස්වල්පයද ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර එසේ පතිත වන  ස්ථානයේද කැල්සියම් කාබනේට් ස්වල්පයක් තැන්පත්වේ.

මෙය ඉතාමත් සෙමින් සිදුවන රසායනික ක්‍රියාවලියක් වුවද, වසර සිය දහස් ගණනක් තිස්සේ නොකඩවා සිදුවීම නිසා, අද අපට දකින්නට ලැබෙන විවිධ හැඩතල සහ  රූ රටා නිර්මාණය කර තැබීමට ස්වභාව ධර්මය සමත් වී තිබේ. 
     
එංගල්බ්‍රෙච්ට් (Engalbrecht cave) හිරිගල් ලෙන
ගැම්බියර් නගර මධ්‍යයේම පිහිටා ඇති  ‘එංගල්බ්‍රෙච්ට් හිරිගල් ලෙන’ ඉතාමත් සුවිශේෂී, බෙහෙවින් සංචාරක ආකර්ෂණයට පත්වී ඇති ස්ථානයකි. වසර දහස් ගණනකට ඉහතදී පොලොව කිඳා බැසීම නිසා හටගෙන ඇතැයි විශ්වාස කරනු ලබන මෙහි ඇති, අති විශාල  අගාධය, නගරය ආරම්භ කළ කාලයේ සිට, කසල සහ වෙනත් අපද්‍රව්‍ය බැහැර  කිරීමේ ‘කුණු වළක්’ ලෙස භාවිත කර තිබේ.  1885  වසරේදී මෙම කඳුකරයේ පදිංචිය සඳහා පැමිණි ජර්මන් ජාතික එංගල්බ්‍රෙච්ට් නම් ව්‍යාපාරිකයෙක් විසින් ආරම්භ කරන ලද මත්පැන් නිෂ්පාදනාගාරයක අපද්‍රව්‍ය   සහ බෝතල් කටු වැනි දේ මෙම ‘කුණු වළට’ දමා ඇති බව පෙනේ. 

පසුව 1940 දී පමණ ගැම්බියර් නගර සභාව මගින් ‘කුණු වළ’ පවරාගෙන කොම්පෝස්ට් පොහොර බවට පත්වී තිබුණු කසල කොටස් සහ බෝතල් කටු ආදිය ටොන් ගණනක් ඉවත්කර එම ස්ථානය  මැනවින් සංවර්ධනය කර තිබේ.

කිඳා බැස ඇති අගාධයේ වියලි පතුළ අද මනරම් උයනකි. පතුලෙහි වවා අති විසිතුරු මල් වර්ග සහ අගාධ බිත්තිය ඔස්සේ පහලට එල්ලා වැටෙන, සපුෂ්ක වැල් වර්ග නිසා, එය සිත් ඇද ගන්නා සුලුය. මීටර් 50ක් පමණ පහලින් ඇති මල් උයනට බැසීම සඳහා සර්පිලාකාර පඩි පෙළක්ද  සකස්කර තිබේ.

මල් උයන පතුළ මට්ටමේ  සිට පහලට එක් පසකින්  විහිදී යන හිරිගල් ලෙනක් සහ වෙනත් දිශාවකට විහිදෙන ගලායන මිරිදිය දොළ පහරක් වැනි ජලප්‍රවාහයක්  තිබීම මෙම ලෙන් පද්ධතියේ විශේෂත්වයකි. හිරිගල් ලෙනෙහි අභ්‍යන්තරයේ  ඇති හිරි ටැඹ’  සහ හිරි ලඹවෙනත් ලෙන් වල එවැනි නිර්මාණ මෙන්ය. හිරිගල් ලෙනක් තුළ හිරිළඹනිර්මාණය වීමේ ක්‍රියාවලිය ඉතාමත් සෙමින් සිදුවන්නකි. හිරි ළඹයක්, දිගින් සෙන්ටිමීටර් දහයක් වර්ධනය වීම සඳහා, වසර දහසක් පමණ ගතවන බව ගණනය කර තිබේ. මෙම ලෙනෙහි තිබෙන සමහර

ස්වාභාවික නිමැයුම්, වසර 190,000  පමණ පැරණි   බව, විකිරණශීලී මිනුම් මගින් අනාවරණය කරගෙන ඇත. 

ලෙන අසල, අනික් පසින් ඇති ගලායන ජලප්‍රවාහය ඉතා විරල භුගත නිර්මාණයකි.
මීටර් තුන හතරක් ගැඹුරට ජලය පිරී ඇති මෙම ස්වාභාවික නිර්මාණය  ‘ලෙන් ජලයේ කිමිදීම’ ( cave diving) නම් ජල ක්‍රීඩාව සඳහා ලොව ප්‍රසිද්ධියක්    ලබා තිබේ. 

ගැම්බියර්  නගරයේ එදිනෙදා කටයුතු සාමාන්‍ය තත්වයේ පවතින අතරතුර, එහි රථවාහන ගමන් කරන මහාමාර්ග සහ මහජනතාව හැසිරෙන ගොඩනැගිලි වලට  පහලින් භු ගර්භය තුළ  සංචාරකයෝ  ‘ලෙන් ජලයේ කිමිදීම’  සහ  හිරිගල් උයන්වල සිරි නැරඹීම මහත් ආශ් චර්යයක් ලෙස සැලකිය හැකිය.

ජලය පිරී ඇති  භූගත කිඳා බැසීම් (sink holes)  

ජලය පිරුණු ආගාධ ලෙස දකින්නට ලැබෙන භූගත කිඳා බැසීම් (sink holes), ගැම්බියර් හිරිගල් භුමි භාගයේ  දකින්නට ලැබෙන සුලභ දර්ශනයකි. කලින් විස්තර කළ  එංගල්බ්‍රෙච්ට් කිඳා බැසීම වියලි පතුළක් සහිත එකක් වුවද, යම්කිසි  භුමි කිඳා බැසීමක පතුළ භූගත ජල මට්ටමට වඩා පහතට ගියහොත් එහි පතුළ ජලයෙන් පිරී යයි. 
මෙවැනි   ජලය පිරි කිඳා බැසීම් 50 ක් පමණ, ගැම්බියර් හිරිගල් නිධි සහිත භුමිය තුළ තිබෙන බව ගණනය කර තිබේ. මෙම ස්වාභාවික නිර්මාණයන් හටගන්නේද හිරිගල් නිධි තුළ සිදුවන භෞතික සහ  රසායනික විපර්යාසයන් කිහිපයක  සංකලනයක් නිසාය. භු ගර්භය තුළ තිබෙන හිරිගල් නිධියක යම් කිසි ස්ථානයක, පොලොව මතුපිටට වර්ෂාවෙන් ලැබෙන ජලය කාන්දු වීම, දිගු කාලයක් තිස්සේ පවතින විට, ජලයේ අල්ප වශයෙන් ද්‍රාවණය වී ඇති කාබොනික් අම්ලය නිසා හිරිගල් දියවීමට පටන් ගනී. වසර දහස් ගණනක් තිස්සේ මෙසේ දුර්වල වන හිරිගල් නිධිය කඩා වැටීම, නිසා භූගත කිඳා බැසීම් (sink holes), හටගන්නා බව භු විද්‍යාඥයින්ගේ මතයයි. 

මෙසේ බලන කළ ස්වභාව ධර්මය, ඉතාමත් නිහඬව චමත්කාර ජනක දේ කෙතරම් නිර්මාණය කරන්නේද යන්න අපට සිතා ගත හැකිය. මෙතෙක් මිනිසාට ඇස නොගැසුණු මෙවැනි තවත් බොහෝ අසහාය ස්වභාවික නිර්මාණ, පෘථිවිය මතුපිට, පෘථිවි ගර්භය තුළ සහ මහා සාගරයේ කෙතරම් තිබිය හැකිද?  මෙසේ තිබිය හැකි බොහෝ දේ සදාකාලිකවම මිනිස් ඇසට වසන් වී යන්නටද ඉඩ තිබේ .

දෙවන දිනයේ,   සවස්  වන විට  අපට හිරිගල් නිධි සහිත ගැම්බියර් ප්‍රදේශයේ, ඓතිහාසික, පාරිසරික, අධ්‍යාපනික  සහ විද්‍යාත්මක තොරතුරු වලින් සැලකියයුතු ප්‍රමාණයක් අධ්‍යයනය කර, සැබවින්ම දැකගත හැකිවිය. ගිනිකඳු සක්‍රීය වීම නිසා භු ගර්භය තුළ සිදුවී ඇති, වියහැකි ක්‍ෂණික කැළඹීම් නිසා ඉමහත් විපර්යාසයයන් සිදුවන බව, මෙම චාරිකාවේදී අපට ඇස්පනාපිටම දැකගත හැකිවීම භාග්‍යයකි.

එදින තරමක් වේලාසනින් නවාතැන වෙත පැමිණි අපි, රාත්‍රී ආහාර නවාතැනෙහිදීම  සකස් කර ගතිමු. දෙදිනක වෙහෙසකර චාරිකාවෙන් පසු විඩාවට පත්ව සිටි අපට නවාතැනෙහි මනා සුව පහසුකම් තිබුණු නිසා සුවසේ නිදා ගැනීමට හැකි විය.

පසුවදා උදේ දහයට පමණ ආපසු ඒමට පිටත්වූ අපි, සවස හය පමණ වනවිට නැවත නිවසට පැමිණියෙමු.
   
 බොහෝ විට කෙනෙකුට ඇසින් දකින්නට නොලැබෙන සමහර දේ ත්‍රාසජනක වික්‍රම ලෙස සැලකේ. වසර පන්දහසකට පමණ ඉහතදී ගිනිකඳු මගින් මිහිතලය දෙදරුම් දී, කැළඹීමකට පත්කළ අවස්ථාවේදී  පිටවූ ලෝදිය වැනි ‘ලාවා’ සහ හුණුගල් මිශ්‍රණය සිසිල් වීමෙන්  භූගත ලෙන් සෑදී තිබේ. මේ සමගම ඇතිවූ කිඳා බැසීම් මගින් ජලය පිරි කුඩා අගාධ සහ ගිනිකඳුවල  විශාල අගාධ මගින් මිරිදිය ජලාශද  හටගෙන තිබේ. මේ ආකාරයට සකස් වී ඇති, “ගැම්බියර් කඳුකරය” ආසන්න හිරිගල් වෙරළ තීරය, ලොව පිළිගත් අද්විතීය ස්වාභාවික නිර්මාණයකි.

භු විද්‍යාත්මක තොරතුරු, ස්තුති පූර්වකව. අන්තර් ජාලයෙනි   

%d bloggers like this: