Menu Close

290. සිත්තමක ලියැවුණු කවිය…07



මගේ කකුලෙ වළලුකර ළඟ අස්ථියක් බිඳිලා. වෙද මාමා එහෙමයි කිව්වේ. කටුව ඇනිච්ච කකුල බේරගන්ඩ හිතාගෙන මං මදෑ අනිත් කකුලට බර දීලා පැන්නා. ඒ නැතත්, මොකටද ඇත්තට මං එහෙම පැන්නේ? එහෙම පනින්ඩ කිසිම ඕනකමක් තිබ්බෙ නෑනේ. අර විහිලුවට කියන කතා විහිලු බව දැන දැනම මං මොකටද එච්චර කේන්ති ගත්තේ? එයා ගැන මතක් වෙන මතක් වෙන සැරේට මගෙ පපුව කෝච්චි එන්ජිමක් වගේ දුවන්ඩ ගන්න ලෙඩේ මට දැං නවත්තගන්ඩම බැරි තරමට ඔඩු දුවලා. ලෙඩක්ම තමයි ඒක.

මෙච්චර මේ ගංගොඩේම අනන්තවත් කොල්ලො ඉන්නවා. ඒ කාටවත් කරන්ඩ බැරි වෙච්ච වැඩක් තමයි මෙයා මේ පිට ගමක ඉඳං ඇවිදිං මට කළේ. ඒ කා ළඟවත් නතර නොවිච්ච මගේ හිත එයා ළඟ නතර කරගත්තේ. මං කොච්චර මහන්සි ගත්තද මගේ හිත මෙල්ල කරගන්ඩ. කොහෙද ඒත් ඉතිං එහෙම කරන්නේ – අර වාගෙ පපුවට තුරුළු කරගෙන අර වාගේ එව්වා කනට මුමුණන කොට? අන්තිමට මං මගෙ හිතට පැරදුනා.

එදා මාව ඇඳෙන් තියලා මං හිතුවේ තව මොනවාහරි කියයි කියලා. ඒත් මොකවත් ඇහිච්ච නැති හන්දා මං ඇස් ඇරලා බලද්දි එයා පේන්ඩ හිටියෙ නෑ. අක්කායි විජේ අයියායි විතරයි කාමරේ හිටියේ. එක පාරට මට හිතාගන්ඩ බැරි වුණා ඇත්තටම එයා මාව එක්කං ආවද, නැත්තං ඒ මගෙ කකුලෙ වේදනාව වැඩි කමට සිහි විකල් වෙලා හිතේ මැවිච්ච දෙයක් විතරයිද කියන එක. වෙන එකක් තියා, මං ගහෙන් බිමට පැන්නේ එයත් එක්ක කේන්ති අරගෙනද, නැත්තං අම්මා කියන්නා වාගෙ ගිනි මද්දහනේ තනි පංගලමේ ගස් උඩ නැගගෙන ඉඳලා කළු කුමාරයාගෙ බැල්මටවත් අහුවෙලා බිමට වැටුණද කියලාවත් මට නිච්චියක් නැතුව ගියා. එයා තමයි එදා ගිහිං වෙද මාමාවත් එක්කං ඇවිත් තිබුණේ. අක්කා අම්මා එක්ක එහෙම කියනවා මට ඇහුණා. අම්මා ආවහම මං ආපහු කළිං වතාවටත් වඩා කන පිරෙන්න බැණුං අහගන්ඩ ලෑස්ති වෙලා හිටියේ. ඒත් වෙනදා වාගෙ බණිනවා වෙනුවට අම්මා කළේ මං ළඟ ඇඳ උඩ ඉඳං අඬන එක. එතකොටනං මට සෑහෙන්ඩ දුක හිතුණා. මගේ හිතුවක්කාර වැඩ, හිතන්නෙ බලන්නෙ නැතුව හිතේ කේන්තියට කරගන්න මෝඩ වැඩ දැන්නං නතර කරන්ඩ ඕනෙ. මං හින්දා කී දෙනෙකුටනං කරදර විඳින්න සිද්ධ වුණාද?

මට ආයෙ ඇවිදගන්ඩ පුළුවං වුණේ සති ගාණකට පස්සේ. ඒ වෙද්දි මැදින් පෝයත් පහු වෙලා. පෝයට දවස් තුන හතරකට කළියෙන් පන්සලේ විහාර ගේ වැහැව්වාලු. ඒ දවස් ටිකේ වික්‍රම ඒක ඇතුළටම වෙලා ඉඳගෙන සිත්තර ඔක්කොම ඉවර කළාලු. පෝය දා හැන්දෑවේ තමා ඒක ඇරියේ. පන්සල පිරෙන්ඩ සෙනඟ ඉඳලා. අහළ ගංවලිනුත් සෙනඟ ඇවිදිං සිත්තර බලන්ඩ. සිත්තරනං හැබෑම අපූරුවට තිබ්බාලු. බුද්ධ චරිතයේ පරණ ඇඳලා තිබ්බ සිත්තර අලුත් කරලා, ඒ අතර තව අලුත් ඒවාත් ඇඳලා හරිම ලස්සනට තිබ්බාලු. බුදු පිළිම පවා අලුතෙන් පින්තාරු කරලාලු. මට යන්ඩ වුණේ නෑ ඉතිං. මං හින්දා අම්මාට යන්ඩ වුණෙත් නෑ. ඒ මදිවට තව එකක්, මට පස්සේ සඳා තමයි ආපු වෙලාවක කිව්වේ. එදා අරයා ගමේම කෙල්ලන්ට සිත්තර ඇඳලා දීලා. එදා කඩේදි ගීතා අක්කා ඇඳලා ඉල්ලුවේ, ආන්න ඒ ජාතියේ එව්වා. ගීතා අක්කාම තමයි බලෙංම වැඩේ පටංගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඒ වෙනකල්ම වික්‍රම එයාට සිත්තරයක් ඇඳලා දෙන්ඩ නැතුව ඇති. සඳාත් ඇවිදිං මට විස්තර කිව්වේ හරි ලොකුකමෙං. මොකද එයාත් එකක් අන්දවගෙනනේ. මට පෙන්නන්ඩ අරගෙනත් ඇවිල්ලා. ඒක දැක්කාමනං මට එච්චර වෙලා විස්තරේ අහං ඉන්දැද්දි දැනිච්ච දුක නැතුව ගියා. ඒකේ කටත් ඇදයි. ඇහැකුත් ඇදයි. එයාට ඔය බිත්තිවල ලස්සනට සිත්තර අඳින්ඩ පුළුවං වුණාට මෙහෙම මූණ බලං අඳින එව්වා අඳින්ඩ බැරුව ඇති. හොඳ වැඩේ නැට්ටිච්චියොන්ට බලෙං මූණු ඇඳගන්ඩ ගියාට! 

මගේ කකුල කඩාගත්ත දවසෙන් පස්සේ මං වික්‍රමව දැක්කෙම නෑ. එයා මගේ හිත හොරකං කරගෙන හැංගිලාම ඉන්නවා. මං ආයෙ ඒ ගැන වෙන කවුරුත් එක්කලා කියන්ඩ කියලද? අම්මාට හරි අක්කාට හරි කිව්වොත් මොනවා කියයිද කියලා මට හිතාගන්ඩ බෑ. සමහර විට ගණංගන්නෙ නැතුව ඉන්ඩත් පුළුවං, නැත්තං එක්කො බණින්ඩත් පුළුවං. විජේ අයියා එක්ක කිව්වොත් උන්දැට ඒ ඇති අවුරුද්දක් තිස්සෙ හිනාවෙන්ඩ. 

දිගින් දිගටම මට වෙච්චි අකරතැබ්බ නිසා අම්මා මං ගැන භාරයක් වෙලා තිබ්බා පන්සලේ බෝධීන් වහන්සේට. ඉතිං ඇවිදගන්ඩ පුළුවං වෙච්ච හැටියේ අම්මා මාවත් ඇදගෙන ගියා ඒ භාරේ ඔප්පු කරන්ඩ. මට ඒ වුණාට දුකයි. දැං වික්‍රම නැතුව ඇති පන්සලේ. සිත්තර ඇඳලා ඉවර වෙලා තවත් මොකට ඉන්ඩද? කවුරු හින්දා ඉන්ඩද? එයා එනකල් ඒ ගමේ බලං ඉන්න උදවිය ඉන්දැද්දි එහෙම මෙහෙට වෙලා ඉන්ඩ පුළුවනෑ. 

මං අම්මාගෙ පස්සෙන් ගිහින් චෛත්‍යයට වැඳලා ඊළඟට බෝධීන් වහන්සේට මල් තෙල් ගිලන්පස දැහැත් බෙහෙත් ගෙනිච්ච ඔක්කොම පූජා කරලා අම්මා ළඟින්ම ඉඳගෙන ගාථා කියන්ඩ පටංගත්තා. හිතේ ශ්‍රද්ධාවෙන් දොහොත් මුදුන් දීගෙන වඳින්ඩ පටංගත්තාට මොකද ටිකක් වෙලා යද්දී හැමදාමත් වෙනවා වාගේ ගාථා ගිරවා වාගේ කටපාඩමෙන් කියවෙද්දී මගේ හිත හතර දිග් බාගේ දුවන්ඩ පටංගත්තා. මොනවා හිතුවාද කියලාවත් මට මතක නැහැ. කොහොමහරි, මුළදි නළල මුදුණේ තියාගෙන උන්නු අත් දෙක පහත් වෙලා, වහගෙන උන්නු ඇස් දෙකත් ඇරිලා, පහත් කරගෙන උන්නු ඔළුවත් ඉස්සිලා කියලා මට දැනුණේ එක පාරටම හිතුවෙ නැති කෙනෙක් බෝධිය ළඟට ආවා දැක්කාම. වික්‍රම!!! තාම ගිහිං නෑ!!! මං දැකපු බව දැකලා එයා පොඩි හිනාවක් දැම්මා. මගෙ පපුව ආයෙම ගිඩි ගිඩි ගාලා ගැහෙන්ඩ පටංගත්ත හැටි මට දැනුණා. ගාථා කියවෙන එක කොයි වෙලාවේ නතර වුණාද කියලා මට නිච්චියක් නෑ. ඒ වෙලාවේ එයාගේ හිනාව වැඩි වෙලා මූණ පුරා පැතිරිලා ගියා. අර ගමට පය තියපු මුල් දවසේ හිනාවුණා වාගෙම. මං විගහට ආයෙ දොහොත් මුදුන් දීලා වැඳගෙන අම්මා දිහා බැලුවා. අම්මා තාම ඇස් දෙක පියාගෙන සද්දෙන් ගාථා කියනවා. මං හොරෙන් ආපහු අනිත් පැත්ත බැලුවා. එයා බෝධිය ළඟ පහන් වැටට උඩින් හයි කරලා තියෙන පියස්සෙ කැටයං අඳිනවා. ඒක බාගෙට ඇඳලා තිබිලා තියෙන්නේ. පහන් පත්තු කරද්දිවත් මට එහෙම එකක් පෙනුණෙ නැති හැටි! මං අම්මාත් එක්ක ආපහු ගාථා කියන්ඩ පටං ගත්තා. අරයා මේ පැත්ත බලන්නෙවත් නැතුව එයාගෙ පාඩුවේ වැඩ. 

වැඩි වෙලාවක් යන්ඩ කළින්ම අම්මා ගාථා කියලා ඉවර වුණා. අම්මා වික්‍රමව දැක්කේ එතකොටයි. “ආ, මේ දරුවානේ… මං හිතුවේ දැං ගිහිල්ලත් ඇති කියලා!” අම්මා කිව්වා.

“තව පොඩි වැඩ ටිකක් තියෙනවා නැන්දේ… ඒ ටිකත් ඉවර වෙලාම යනවා කියලා හිතුවා… දැන් නගාගෙ කකුල හොඳයිද?”

එයා ඇහුවෙ මගෙන් වුණාට මට උත්තර දෙන්ඩ හම්බවුණේ නෑ, අම්මාම ඒකටත් උත්තර දුන්නා. “වෙද මහත්තයාට පිං සිද්ධ වෙන්ඩ ඔය යන්තං හොඳ කරගත්තේ… අද මේ ආවේ බාරෙ ඔප්පු කරලා යන්ඩ…”

“බුදු ගේ පැත්තට තවම ගියෙ නෑ නේද?”

“තවම නෑ, මේ ඒ පැත්තට යන්ඩ කියලා ලැහැස්ති වුණේ… අපිට පෝය දවසෙත් එන්ඩ හැටියක් තිබ්බෙ නැහැනෙ…”

“ඒකනෙ නැන්දෙ. මට එදා විජේ අයියලාවනං මුණගැහුණා… කිව්වා ඉතිං නගාට එතකොටත් සනීප මදි කියලා… යමුකො, මාත් එන්නං බුදු ගේ පැත්තට…”

එයත් ඔන්න අම්මයි මායි එක්ක බුදු ගෙට යන්ඩ ආවා. එයා එහා පැත්තෙන්, මං මෙහා පැත්තෙන්, අම්මා මැද්දෙන්. 

“මුතූ නගාලගෙ අප්පච්චි කොළඹලු නේද වැඩ කරන්නෙ?”

“ඔව්, මේ ළඟදි ඇවිදිං ගියෙ. පන්සලට ආපු වෙලාවෙ පුතා දකින්ඩ ඇතිනෙ?”

“එතකොට මං ආපු අලුතනෙ. එහෙමට අඳුනගත්තෙ නෑ ඒ දවස්වල වැඩිය කාවවත්…”

“ඉස්සර ඔය කෑගල්ලෙ කච්චේරියෙනෙ වැඩ කළේ…” අම්මා ඒ විස්තර කියන්ඩ ගත්තා. මං ඉස්සරවෙලා ගිහිං බුදු ගෙට ඇතුල් වුණා. හැබෑම ලස්සනයි! මේ අත් දෙකටනං ඇස්වහක් කටවහක් වදින්ඩ එපා… තෙරුවන් පිහිටම ලැබෙන්ඩ ඕනේ! මං වටේටම ඇවිදලා බලන්ඩ කළියෙං පිළිම වහන්සේ පාමුළ ඉඳං බුදුන් වඳින්ඩ ගත්තා. ඉක්මනට ඉක්මනට ගාතා කියලා ඉවර වෙන්ඩ ළං වෙද්දී අම්මත් ඇවිල්ලා බුදුන් වඳින්ඩ ඉඳගත්තා. මං අම්මාට වඳින්ඩ ඇරලා නැගිටලා ගියා සිත්තර බලන්ඩ.

බෝසතාණන් වහන්සේ පස් මහ බැලුම් හෙලන මොහොතේ ඉඳන් පටංගෙන තියෙන බුද්ධ චරිතයේ සිදුවීම් හරිම ලස්සනට සිත්තරේට නගලා. ඒ හැම සිත්තරයක් යටින්ම ඒ ගැන පුංචි හැඳින්වීමක් ලියලා. මං හෙමින් හෙමින් ඇවිදගෙන ගියා. වික්‍රමත් මට ටිකක් ඈතින් ඇවිදගෙන ආවා.

සරණ මංගල්‍යය… බෝසතාණන් වහන්සේගෙයි යශෝධරා දේවිගෙයි මූණුවල ලස්සන! ඒ නිවිච්ච පෙනුමත් එක්ක මේ පෙම් පාට කොහොම එකම මූණක පින්තාරු කළාද මන්දා. මං නිකමට වික්‍රම ඉන්න පැත්ත බලලා විගහට ආයෙ අහක බලාගත්තා. මූණ උල් කරගෙන හිනාවක් තද කරගෙන ඉන්නවා. මොකද්ද දන්නෙ නෑ එයාට මෙතන හිනාවෙන්ඩ තියෙන කාරණාව! මං ආයෙ අම්මා ඉන්න පැත්ත බැලුවා. අම්මා තාම වඳිනවා, හැබැයි අපි ඉන්න පැත්ත බලාගෙන. මං ඉතිං වරදක් කළේ නෑනේ. මං ඉතිරි සිත්තර බලන්ඩ ඉස්සරහට ගියා. 

සතර පෙරනිමිතිවලට පස්සෙ තිබුණේ මං අර කළින් දවසක ආපු වෙලාවේ බලං ඉඳපු සිත්තරේ. සිදුහත් රජතුමා යශෝධරා දේවියි අලුත උපන් පුංචි රාහුල කුමාරයායි දිහා බලං ඉන්න විදිහ. කළින් දවසේ දැක්කේ නැති අමුත්තක් එවෙලෙ මට පෙනුණා. දොරට පිටුපාලා නිදාගෙන හිටපු යශෝධරා දේවිය හිටියෙ වේදනාවකින් නළල රැළි කරගෙන. පුංචි කුමාරයාව තුරුළු කරගෙන, ඇස් දෙක පියාගෙන හිටියේ කඳුළු හිර කරගන්න වගේ තද කරගෙන. හරියට සිදුහත් රජතුමා යන බව දැනගෙන දුක ඉවසගෙන ඉන්නවා වාගේ. අර කළින් සරණ මංගල්‍යයේ පින්තූරේ තියෙන තරමටම ඒ මූණු දෙකෙන් මහා ගොඩාක් දේවල් කියවෙනවා. ලෝකේ තිබුණ ලස්සනම ආදර කතන්දරේ සිදුහත් – යශෝධරා කතන්දරේ කියන එක ඇත්ත තමයි. මට ඒ කළින් දවසේ වුණා වාගෙම දෑහැට කඳුළු උනාගෙන එන්ඩ පටන් ගත්තා. කඳුළු අස්සෙන් තමයි මට ඒ හුස්ම හිර වෙන තරමේ මහා භයානක දේ පෙනුණේ.

ඒ සිත්තරේට යටින් ලියලා තිබුණේ – “දෙනු මැනැවි අවසර… ඉදිරි මග දුර සොයා යන්නට… සපතමි යළිඳු එන්නට… කැටුව යන්නට එමග ඉම වෙත…”

ඒක නිකම්ම නිකං කවි පද පෙළක් වෙන්ඩ තිබ්බා. අනිත් සමහර සිත්තර යටිනුත් ඔය බොදු බැති ගී පද එහෙම ලියලා තියෙනවා මං දැක්කා. ඒත් මේක දැකලා මගේ හුස්ම හිරවුණේ… මේක මං ලියාපු එකක් හින්දා… මේක මං මගෙ කවි පොතේ බුද්ධ චරිතයේ ඔය සිදුවීම ගැන ලියලා තිබ්බ එකක පොඩි කොටසක්… 

එයා මගේ කවි පොත කියවලා!!!

එකත් එකටම අර මං ගහෙන් බිමට පැනලා අඩව් අල්ලාපු දවසේ වෙන්ඩ ඕනෙ. එදා මං ඒක ගෙනිච්චානෙ අක්කලාගෙ ගෙදර. පස්සෙ රෑ වෙලා අක්කා ඒකයි මගේ අනිත් පොත් ටිකයි ගෙනත් මගෙ මේසෙ උඩින් තියලා තිබ්බා. මගේ කවි පොත වෙන කවුරු කියෙව්වත් මට කමක් නෑ, ඒකේ ලියලා තියෙන්නේ ඔය වගේ වැදගත් වගේ පේන එව්වා විතරයි. වැඩි හරියක් තියෙන්නේ සොබාදහම ගැන ලියපුවා. මං වැඩි හරියක් ලියන්ඩත් කැමති එහෙම එව්වා. ඒත් ඒකේ තියනවා කවියක්… එකම එක කවියක්… ඒකත් වෙන කවුරු දැක්කත් කමක් නෑ, ඒත් වික්‍රම දකින්ඩ හොඳ නෑ… මොකද ඒකේ ලියලා තියෙන දේ තේරුණොත් තේරෙන්නේ එයාට විතරයි…

ආසයි කන්නට
රස බලන්නට
මිහිර විඳින්නට
පැණි රසද
ඇඹුල් රසද
අඩු වැඩිව මුසු වූ
ලොසිංජර!

ඒත් මං බයයි
දත් කැක්කුමට
දියවැඩියාවට
දන්නෙම නැතුව
පිට උගුරේ ගිහිං
හුස්ම හිර වෙනවාට!

ඒ නිසා එපා මට
සීනි තවරපු
පාට උලපු
ඔය විච්චූරණ
ලොසිංජර!

ඒක ලිව්වේ එදා. මං එයාගෙ මූණට එයාගෙම ලොසිංජර දමලා ගහපු දවසේ. කවියට යටින් දිනෙත් දාලා තිබුණෙ මං. ඕක දැක්කානං එහෙම නොවැරදීම දැනගන්නවා ඒ ලිව්වේ මොකක් ගැනද කියලා. ඒ ලියලා තියෙන්නේ ලොසිංජර ගැන නෙවෙයි, ඒවා මට දෙන්න හදපු එක්කෙනා ගැන බව!

වික්‍රම ළඟට එනවා මට ඇස් කොණෙන් පෙනුණා. මං විගහට කම්මුල් දිගේත් බේරිලා ගිහිං තිබ්බ කඳුළු පිහිදගත්තා. මේ වතාවේ එයා දිහා නොබලාම මගෙ පපුව රේස් දුවන්ඩ පටංගෙන. මං එයාගෙ බැල්ම මග ඇරලා ආයෙම අම්මා හිටිය පැත්ත බැලුවා. ඒ හරියට අම්මා ඉන්න තැන පේන්නෙ නෑ, ඇතුල් බිත්තියකට වැහිලා.

“මුතූ…”

මං හරිනං ඔරවලා බලන්ඩ ඕනෙ. මගේ කවි පොත හොරෙන් බැලුවෙ මොකද කියලා අත් දෙක ඉනේ තියාගෙන අහන්ඩ ඕනෙ. මං එහෙමනෙ. ඒත් කෝ මගෙ ඔළුව ඉස්සෙන්නෙවත් නැහැ. මං බිම බලාගෙනම ඊළඟ සිත්තරේ ඉස්සරහට ගිහිං ඔළුව උස්සලා ඒ දිහා බැලුවා. 

“දත් කැක්කුං හදාගන්නෙ නැතුව ලොසිංජර කන හැටි මට කියලා දෙන්ට පුළුවනි…”

ඔය තියෙන්නේ! කියවලා! හයියෝ! දැං මක් කරන්ඩද ඉතිං? මට පොළොව පලාගෙන ගිහිං හැංගෙන්ඩ හිතුණා.

“අවසර නැතුව කවි පොත කියෙව්වාට තරහා වෙන්ට එපා. එදා ඒකත් එක්ක තිබ්බෙ පුස්තකාලෙ පොතක් නිසා මං මේකත් එහෙම එකක් වෙන්ට ඇති කියලයි පෙරළලා බැලුවේ…”

මං ලොකු හුස්මක් අරගෙන හිතේ තිබුණු සේරෝම පණ එකතු කරගෙන කට ඇරියා. “ඉතිං එහෙම එකක් නොවන බව දැක්කාම ආපහු වහලා තියන්නෙ නැතුව කියෙව්වෙ මොකටද?” 

ඒ ගමන හීං හිනාවක් දැම්මා. “අවසර නැතුව මගේ හිතට රිංගගෙන ඉන්න කෙල්ලගේ හිත මොන වගේද කියලා මට දැනගන්ට ඕන වෙච්ච හින්දා…” 

වගේ වගක් නැතුව උත්තර දෙන ලස්සන විතරක්! මට කෙළිං හිටගෙන ඉන්ඩත් පණ නැති ගාණයි. අම්මා කොයි වෙලේ වැඳලා ඉවර වෙලා නැගිටලා එයිද මන්දා. අපි දෙන්නා හිටියේ හොඳ අඩි තුන හතරක දුරක් ඇතුව වුණත් මාව මේ රතු වෙලා ඉන්න හැටියට අම්මා දැක්කොත් එහෙම හොඳ නැහැ. ඊටත් මේ බුදු ගේ ඇතුළ වෙච්චි. මෙයාට මේක ඇතුළෙම ඉඳං ඔහොම කතා කියන්ඩ හිතෙන හැටි! ඒ මදිවට මේ හිනාව! මෙයා එක්කො මේ මාත් එක්ක විහිළු කරනවද මන්දා… අනේ එහෙම හිතුණාමනං මට සෑහෙන්ඩ දුක හිතුණා. ඉතිරි සිත්තර ටික පැත්තක තියෙද්දි මං ආපහු හැරිලා අම්මා ළඟට යන්ඩ හැරුණා. එතකොටම අම්මාත් අපි හිටපු පැත්තට එනවා. එයත් විගහට අම්මා ළඟට ගිහින් එකින් එකට සිත්තර විස්තර කරලා දෙන්ඩ පටන්ගත්තා. මං තනියම ඉතුරු ටික බලාගෙන ගියා. ඒත් එව්වයෙ මොනවා තිබ්බාද කියලාවත් මට මතක නැහැ. මං බුදු ගෙයින් එළියට ඇවිත් ඒ ගොල්ලෝ එනකල් ඝණ්ඨාර කුළුණ ළඟ පඩිය උඩින් වාඩි වෙලා හිටියා. මට හිතන්ඩ දේවල් මහා රාසියක් තිබ්බාට ඒ එකක්වත් හිත ඇතුළේ හරි පිළිවෙලකට පෙළ ගස්සවගන්ඩ බැහැ මට. හැම දේම වළාකුළු වගේ ඔහේ පාවෙනවා. වෙන එකක් තියා මේ මමත් වළාකුළක් වගේ ඔහේ පාවෙනවා වගෙයි මට දැනුණේ.

මං අවසර නැතුව එයාගෙ හිතට රිංගලාලු… ඉතිං ඒ හිතේ එහෙමම ඉන්ඩ අවසර දෙන්ඩ එයා කැමතිද? ඔය කියන එව්වායින් දැනෙන්නේනම් එහෙම තමයි… එතකොට අර කිව්ව ගුරුන්නාන්සෙගෙ දෝණියන්දෑ…? 

“යමු දෝණි…” අම්මා එළියටත් ඇවිල්ලා මට අඬගැහැව්වා. මං නැගිටලා ඒ පැත්තට ගියා.

“මං යන්ට කළියෙං ඇවිත් යන්ට එන්නංකෝ ඒ පැත්තේ…” වික්‍රම එහෙම කිව්වාම මට ඉබේටම එයා දිහා බැලුනා. ඔහෙ නෑ, මං දිහා නෙවෙයි බලං ඉන්නේ, අම්මා දිහා බලාගෙන කතාව. මං ආපහු බිම බලාගත්තා.

“හොඳයි හොඳයි… බත් කටක් කන්ඩත් එක්ක එන්ඩකෝ එහෙමනං… අපේ විජේපාල පුතා එහෙම හොඳ යාළුවා නෙව…”

එයා හිනා වෙලා ඔළුව වනන අතරේ මාත් මගෙ ළඟ ඉතිරි වෙලා තිබ්බ ඉතිරි පණ ටිකත් ආයෙ එකතු කරගත්තා. “අපි එහෙනං යන්නං අයියෙ…” මං කොහොමහරි ඒ වචන ටික උගුරෙන් එළියට පිට කරගත්තා.

ඒ වෙලාවේ ඒ මූණෙ ඇඳිච්ච හිනාවට මට දැනුණේ මහා පුදුමාකාර ලෝබකමක්. ඒ වුණත් ඉතිං…..



– මතු සම්බන්ධයි –


%d bloggers like this: