Menu Close

පත්වීම | An Appointment

වෙලාව දවල් දෙකත් පහුවෙලා. කර්කෂ අව්ව මැද්දෙ චූටි රෝස පාට කුඩෙත් ඉහලගෙන ශානි වැව පාර දිගේ හනි හනිකට ඇවිදගෙන ඇවිත් ⁣සේන මාමාලගෙ කඩුල්ල පැන්නෙ රටක් රාජ්ජයක් දිනුවා වගේ හැගීමකින්. ඉක්මන්ටම කාමරේ දොර ඇරගෙන ඇතුලට ආපු කෙල්ල බෑග් එකත් විසි කරගෙනම ඇදට පැන්නේ හරිම මහන්සියෙන්. ඉස්කෝලෙට චූටි ටීචර් කෙනෙක් උනාට මොකද කෙල්ල තාමත් පොඩි එකෙක් වගේ. දාඩිය, දූවිලි පිරුණු සාරිය ඇදන්ම ඇදට පැන්න ශානිගෙ චූටි කකුල් කකියන්න පටන් ගත්තා හොදටෝම. හැමදාම කිලෝමීටරයක් විතර දුරක්  වාහන යන්නැති පාරේ පයින් යන එන එකත් ලේසි පාසු වැඩක් නෙමෙයි නේද, කෙල්ලට ඒකෙ බරපතලකම දැනුනෙත් වැඩට යන්න එන්න ගත්තම…
මේක ශානිගෙ අලුත්ම රස්සාව. රස්සාව කිව්වට ඒක ඊටත් වැඩි දෙයක්. එයා පොඩි කිලෙ ඉදලම හීන මැව්වා ගුරුවරියක් වෙන්න. චුට්ටිම චුට්ටි කාලෙ අම්මගෙ සාරියක් පටලෝගෙන කෝටු කෑල්ලක් අරන් මෙලෝ දෙයක් තේරෙන්නැති නංගියටයි, කිසිම දෙයක් අහන්නැති දඩබ්බර මල්ලියාටයි මොන මොනවාදෝ උගන්නන්න හදපු හැටි මතක් වෙලා ශානිගෙ මූණට ලැජ්ජාවකුත් ආවා, හීන් හිනාවකුත් එක්ක. ඒත් ඉගෙනගෙන ඉවරවෙලා තමන්ගෙ මුල්ම පත්වීම විදියට හේනානිගල ඉස්කෝලෙට එන දවසෙ දැනුන තරම් සතුටක් එයාගෙ ජීවිතේ කවදාවත් තියෙන්න නැතුව ඇති. ඇයි පත්වීම් ලිපිය ගෙදරට ලැබුන දවස. අම්මයි,තාත්තයි,මල්ලියි, නංගියි එක්ක සතුට සමරන්න පොඩි රයිස් පාටියක් දාන්නත් එයා අමතක කලේ නෑ. එදා දවස පුරාම අම්මගෙ මූණෙ තිබ්බ සතුටු කදුලු, ඒවා මතක් වෙද්දිත් මහන්සිය කොහේ ගියාද නෑ…
ඇදෙන් නැගිටපු ශානි පුටුවෙ වාඩි වෙලා ජනෙල් කූරු අතරින් ඈත වැව දිහා බලාන ඉන්න පටන් ගත්තා. සීතල හුලගට හෙලවෙන කුඹුක් ගහයි වැවයි ඇහැට ගෙනාවේ හිත පුරෝලා යන තරම් ලස්සනක්. ඒ ටිකට හිත ආයෙමත් දුර යන්න පටන් අරන්. මේ මුරණ්ඩු හිතට එක තැනක ඉන්නට බැරි හැටියක්. උදේ පාන්දර සාරිය ඇදලා සුවද ගගහා පොඩිවුන් ලගට යනකොටම චූටි කෙල්ලො ටික ආදරෙන් තමන්ව පිළිගන්න දුවගෙන එන හැටි. සාරි පොටෙන් එල්ලි එල්ලි තමන්ට දවස පුරාම ආදරෙන් වද දෙන හැටි. නාහෙට අහන්නැති දඩබ්බර කොලු ගැටව් තමන් උගන්නද්දි තේරුණා වගේ සද්ද නැතිව පන්තියෙ ඉන්න හැටි. මේවා මතක් කරද්දි කෙල්ලට හොදටෝම හිනා. කොහොමහරි මහන්සිවෙලා ඉගෙනගෙන පොඩි කාලෙ හීනෙ හැබෑකරගන්න ලැබුනා කියලා දැනෙද්දි නම් මොන තරම් දුකක් පාලුවක් දැනුනත් ඊට වඩා ලොකු සතුටකින් ශානිගෙ හිත පිරීලා ගියා…
%d bloggers like this: