Menu Close

බඩු පෙට්ටියක කොළඹට ගිය ගමනක්

බ්‍රහ්ම මූර්තියෙන් හෙවත් මහා බ්‍රහ්මයා අවදි වෙන වෙලාවෙන් හෙවත් පාන්දර හතරට පමණ මම අවදි උනෙමි. ගෙදර කරුවලය. භූමිතෙල් කඳුලක් ගේ හරියේ නැත.ඉරානයේ සිදුවී ඇති තෙල් අර්බුදයෙන් අහිංසක මට සිදුවී ඇති මේ හිරිහැරය ඇමෙරිකාවටත් නොපෙනෙන්නේ අපේ ගෙදරට ටෙලිවිෂන් සවිකර නොමැති නිසාය. කරුවලේම අවදි වූ මා කරුවලේම මුහුණ කට සෝදාගෙන කරුවලේම ඇද පැළඳ ගත්තේ කන්තෝරු යෑම සඳහා පහයි විස්සේ පුංචි කෝච්චිය ඇල්ලීමටය.

මා නිවසින් පිටත් වන්නට සූදානම් වන විටම අවදි වූ මගේ බිරිඳ කුණු කෙළ පිටින්ම මට තොත්තුවක් දුන්නාය. කවදාවත් නැතුව අද සිදු වූ ඒ අප්‍රසන්න ජනක සිදුවීම මොකක්දෝ මහා අකරතැබ්බයකට මුල පුරන්නක් බව මට ඉවෙන් මෙන් දැනුණි.

ඈත තියාම මා එනු දුටු ස්ටේෂන් මාස්ටර් නලාව පිම්බේය. ගාඩ් කොඩිය වැනුවේය. කිසිම දවසක වෙලාවට පිටත් නොවන පුංචි කෝච්චිය වෙලාවටත් කලින් පිටත් කර ඔවුන් පරණ කෝන්තර පිරිමහන්නට සූදානම් උවත් මම දුවගෙන ගොස් දුම්රිය මැදිරියක එල්ලුනෙමි.

“හා! හා! මේක බඩු පෙට්ටියක්” ස්ටේෂන් මාස්ටර් ඉදිරියට පැන ඊර්ෂ්‍යා සහගතව මා පසෙකට ඇද දැමූ නමුදු නැවතත් දුවගෙන ගිය මා එම මැදිරියට ගොඩ වෙද්දී එක් කාන්තාවක් උපේක්ෂා සහගතව මා දෙස බලා සිටියාය. එය කාන්තා මැදිරියකි.

“දැන් මෙහෙම ඉඳල අනිත් ස්ටේෂන් එකේදී වෙන එකකට යන්නං” අපේ ගෙදර උන්දෑගෙ හැටි දන්නා මම ඇය ඉදිරියේ දෙකට තුනට නැමී අහිංසක බැගෑපත් විලාශයෙන් කිව්වෙමි.

“මෙහාට ඇතුලට වෙන්න කාටවත් පෙනෙයි. දැන් කාන්තා පෙට්ටිවල ගියහම රුපියල් දෙසීයක් දඩ ගහනවලු. අනිත් එක ගෑනුන්ගෙන් ඔයාට බේරෙන්න බැරිවෙයි.”

මගේ හොඳ වෙලාවට එම මැදිරියටම හිටියේ ඇය පමණි. ඊළඟ දුම්රිය පලේදී ගොඩවන ගෑණු අම්මණ්ඩිලාට මා අසු වුවහොත් ඉරානයේ විප්ලවීය ශිෂ්‍යන්ට ‘ෂා’ අසුවූවාටත් වඩා දරුණු තත්ත්වයකට මට මුහුණ දෙන්නට සිදුවනු ඇත.

“දැන් මම මොකද කරන්නේ?”

ඇමරිකාවේ සිටින ‘ෂා’ බය නැති උනත් බඩු පෙට්ටියේ සිටින අහිංසක මට කිසිවෙකුගේ රැකවරණයක් නොමැති නිසා දැනට මගේ එකම ගැලවුම්කාරිය වන ඇගෙන් විමසුවෙමි.

“අනේ මම දන්නේ නෑ…” ජිමී කාටර් මෙන් ඇය සුසුමක් හෙලුවාය.

“මම මේ සීට් එක යට හැංගෙන්නද?”

“එපා. එහෙම හිටියම පේනවා.”

“එහෙනං කක්කුස්සිය ඇතුලට යන්නද?”

“චී. ඒක ඇතුලෙ ගඳේ බෑ…”

“අනේ ඉක්මන් කරල මට බේරෙන්න විදියක් කියන්නකො. අනිත් ස්ටේෂන් එකේ කෝච්චිය නවත්වනව…”  අයවැය ලේඛනය කියන්න ඔන්න මෙන්න කියා තිබියදී ඇතිවූ පපුවේ ගැස්ම නැවතත් ඇතිවිය.

“මම කියන්නම් වැඩක්. ඔයාගේ බෙල් එකයි, කමිසෙයයි මම ඇඳ ගන්නම්. මගේ සාරිය ඔයා ඇඳගන්න.”

“නියම වැඩේ. ඔය වගේ මොලේ තියෙන අයට මම හරි ආසයි. “

“ඔයා බැඳලද…?” ඇය මගෙන් ඇසුවාය.

“නෑ” මම සුපුරුදු බොරුව කීවේ කිසිම පැටලීමක් නැතුවය.

ඇය ආදර බැල්මක් මා වෙත හෙලුවාය. මම ද එයට ප්‍රතිචාර  දැක්වූවේ එහෙම නැතුව හොඳනැති නිසාය.

මම ඉක්මන්කර මගේ ඇඳුම් ගලවා ඇයට දුන්නෙමි. ඇය ඒවා ඇඳගෙන මට සාරිය ඇන්දුවාය. මා කොණ්ඩය දිගට වවා තිබුණු නිසා ඇය කරදරයක් නැතුව අලුත් මාදිලියේ කොණ්ඩා මෝස්තරයක් දැම්මාය. දැන් අපේ අම්මාටවත් මා හඳුනා ගත නොහැකි බව මට විශ්වාසය. “ඔයා සාරියට හරි හැඩයි අනේ.” තොලට තොල තියා ඇගේ දෙතොලේ තිබූ ‘ලිප්ස්ටික්’ මගේ දෙතොලේ තවරන ගමන් ඇය කීවාය.

“ඔයත් බෙල් එකට හරි හැඩයි අනේ.” වෙන කියන්න දෙයක් නැති නිසා මම කිව්වෙමි.

“දැන් ඔයා කෙල්ලෙක් වගේමයි. කාටවත් හොයන්න බෑ.”

“ඒ වුනාට මේව නෑනේ” මම තවත් අඩුවත් පෙන්නුම් කළෙමි.

“අපෝ! ඒවා නැති ගෑණු ළමයි ඕන තරම් ඉන්නේ. ඒක ගණං ගන්න එපා. පපුව ටිකක් ඉස්සරහට දාල ඉන්නකො”

හදිසියේම දුම්රිය නතර විය. ගෑණු රොත්තක්ම අප සිටි මැදිරියට ගොඩවන විට මම ප්‍රාණ ඇපකරුවෙකු මෙන් ගැහෙන්නට උනෙමි.

“හලෝ ඩල්සි අද අළුත් යාළුවෙක් හොයාගෙන වගේ.” කාන්තාවක් මා දෙස බලා සිනාසී මගේ ළඟින්ම වාඩි විය.

“ඔව්. මේ අපේ ගෙවල් කිට්ටුව කෙනෙක්.” ඩල්සි මා ළඟට කර ගත්තාය.

“ඔයා අද නිවුස් ඇහුවද? බෙංගාල බොක්කේ සුළි සුළඟක් කියන්නේ.” කාන්තාවක් කතා පෙට්ටිය ඇරියාය.

“ඔයා ඔහොම කියනව. අපේ එක්කෙනා ඇමෙරිකාවේ ගිහින් ඉන්න දවස්වල එහෙත් තිබුණලු සුළි සුළඟක්. අනූනමයෙන් එයා බේරිලා තියෙන්නෙ. කාටර් අඳුනන හින්ද.” සූවස් ඇලේ සොරොව්වක් ඇරුණේය.

“ඊයෙ පොල් ගෙඩියක් රුපියල් හයයිලුනේ…?”

“ඔව් අනේ. අපේ එක්කෙනා පොල් බෑයක් ගෙනල්ල රෑට උයල තියෙන්නේ.”

“මුන්ට හෙණ ගහන්න ඕනෙ මේ කරන අපරාද වලට.”

දැන් දුම්රියේ සද්දය ඇහෙන්නේ නැත. ගෑණුන්ගේ කටවල් එකකට එකක් නොපරදින ආකාරයෙන් ක්‍රියා කරයි. ඊළඟ දුම්රිය පලේදී දුම්රිය නැවතුනි. තවත් ගෑණු රොත්තක්ම එම මැදිරියට ගොඩවිය. දැන් මගේ බිය ක්‍රමයෙන් තුනි වී ගොස්ය. එහෙත් මා තවම ඔවුන් හා කතාවට ගියේ නැත. සිංහ හම පොරවා ගත් කොටලුවා කෑ ගැසීමෙන් කොටලුවෙකු බව දැනගත් කතාවක් මා අසා තිබේ. කතා කරන්නට ගොස් මා පිරිමියෙකු බව ඔවුන් දැනගත්තොත් මටද ප්‍රාණ ඇපකරුවෙකු වෙන්නට වැඩි වෙලාවක් ගත වන්නේ නැත.

“ඔයා දන්නවාද අනේ වැඩක්? මිස් බුරියානි ඊයෙ රෑ කොල්ලෙක් එක්ක පැනල ගිහිල්ලනේ.”

මිස් ලිප්ස්ටික් හයයි තිහටත් කලින් අලුත්ම ප්‍රවෘත්තිය ප්‍රචාරය කළාය.

“කවුද අනේ බුරියානි කියන්නේ?”

“අර බුරිය පේන්න සාරිය අදින එක්කෙනා ඔයාට මතක නැද්ද? අපේ කෝච්චියේ ගිය කොල්ලෙක් එක්කමයි පැනල ගිහින් තියෙන්නේ”

“ඒ දවස්වල මේකේ පිරිමින්ට යන්න තහනම් කරල තිබුණෙ නෑනෙ.”

“ඒක නේන්නං අනේ. බුරියානිගේ  වාසනාවට ඒකි ඉස්සර උනා.”

“අපිට තාමත් මොකුත් කර ගන්න බැරි උනානේ.”

“බලන්ඩකො අනේ; මේකෙ පිරිමි ගියහම ආණ්ඩුවේ එවුන්ටයි අමාරු.”

“බැඳපු එවුන් තමයි අනේ ඔය නීති ඔක්කොම ගේන්නේ.”

“හෙට ඉඳල පිරිමි යන පෙට්ටියක යං අනේ.”

“නෑ අපි මේ කාන්තාවන්ට පමණයි” කියන එක මකමු.”

“නෑ අනේ හිස්ව තියෙන විට පිරිමින්ටත් යා හැකිය කියල යටින් ලියමු.”

ගෑණුන්ගේ ගම්මැදි හැලි, කන්දොස්කිරියාවල්, දුක් අ‍ඳෝනා, දහසකුත් එකක් ප්‍රාර්ථනා සෝ සුසුම් මැද්දේ පුංචි කෝච්චිය මරදානට ළඟා විය.

මගේ බෙල් කළිසමයි, කමිසයයි ඇඳගත් ඩල්සි මරදානෙන් බැස ‘චෙරියෝ’ කියයාගෙන යන්නට ගියාය. අනිත් ගැහැණුන් සියළු දෙනාම පිටකොටුවෙන් බැස ගියේ මා තුට්ටුවකටවත් ගණන් නොගෙනය.

—————-

උපුටා ගැනීම – සුනන්ද කෝදාගොඩ ගේ ‘විනෝද රසාංග’ නම් පොතෙනි.
මුද්‍රණය ලස්සන මුද්‍රණ ශිල්පියෝ සහ ප්‍රකාශකයෝ,
183 ඒ, අවිස්සාවේල්ල පාර, වැල්ලම්පිටිය,
දුරකථන 572297
ප්‍රථම මුද්‍රණය 1984 දෙසැම්බර්

(කොහොමද ජනක රත්නායකගෙ සෙක්සි කාටුන් එක විතරක්)

%d bloggers like this: