Menu Close

288. සිත්තමක ලියැවුණු කවිය…05

අඹ

මං හිතුවෙ නෑ එයා මාව මෙහෙම දාලා යන්ඩ යයි කියලා. ඇයි මං දන්නෙ නෑ මං ඒ මනුස්සයාට මේ හැටි නපුරුකං කරන්නෙ. ඔය ඉඳහිට මට අල්ලන්නෙ නැති වැඩ කළාට සෑහෙන කරුණාවන්ත හිතක් තියෙන කෙනෙක්. කොහොමදෝ මන්දා මට එහෙම දැනෙනවා. එහෙව් කෙනාටනේ මං අර දෑත බදලා පොල්ලෙං ගහන්ඩ හැදුවෙ. ඒත් ඉතිං කොයි හැටි කරුණාවන්ත කෙනෙක් වුණත් මක් කරන්නද, අර ගමේ ඉන්න ගුරුන්නාන්සෙගෙද කාගෙද දෝණියන්දෑ පැත්තක ඉන්දැද්දි මෙහෙත් කඩ පිල් අස්සෙ රිංගගෙන මඟුල් නටද්දි? එක්කො මේ ගමෙං ගුටි කාලා යන විදිහේ වැඩක් කරගන්නවා, එක්කො ඒ ගමට ආයෙ පය තියන්ඩ බැරි විදිහේ වැඩක් කරගන්නවා. එයාගෙ සිත්තර බලන්ඩ එන කෙල්ලන්ට ලොසිංජර බෙදන එකනෙ එයාගෙ රාජකාරිය! මට විතරක් නෙවෙයි බලං ගියහම, ගමටම බෙදලා වාගෙයි ලොසිංජර! 

එයා ඉස්සරහා වංගුවෙන් හැරිලා අතුරුදහන් වෙනවත් එක්කම එච්චර වෙලා උගුරෙ හිර කරං උන්නු කඳුලු කැට හෝ ගාලා මගෙ දෑහෙන් වැක්කෙරෙන්ඩ ගත්තා. ඉවසගන්ඩ බැරි කකුලෙ වේදනාවයි, හිතට දැනෙන ඉවසගන්ඩ බැරි මහ මොකද්දෝ හැඟීමයි හන්දා මට තවත් ඒ කඳුළු හිර කරං ඉන්ඩ බැරි වුණා. විජේ අයියා උන්දැගෙ බයිසිකලේ නැගිලා ගෙවල් පැත්තෙ ඉඳං ආවෙ මං එහෙම පාර දිගේ අඬ අඬ යන අතරෙදි.

“මොකද බං නගේ උඹ මේ කරගත්තය කියන්නේ?” විජේ අයියා බයිසිකලේ නවත්තගෙන ඇහුවා. “මොන කටුවක්ද ඇනගත්තේ?”

මෙයා කොහෙන්ද දැනගෙන තියෙන්නේ? මං කඳුළු පිහිදගත්තා. “මං හිතන්නෙ යක් එරබදු කටුවක්ද කොහෙද. අයියා කොහොමද දැනගත්තෙ?”

“අර වික්‍රම මලයා ඇවිදිං කියාගෙන ගියේ. ඒකා කඩමණ්ඩියට ගෙහුං එන ගමනෙදි කඩේ ළඟදි උඹ මුලිච්චි වුණාය, එන අතරෙදි මෙහෙව් ඇබැද්දියක් වුණාය කිව්වෙ. ඇයි බං, උඹ උඩ බලාගෙනද ඇවිද්දෙ?”

මං අච්චර දෙයක් කරලත් මට උදව් කරන්ඩ පණිවිඩෙත් ගිහිං කියලනේ!  හැබැයි ඉතිං ඇත්තම කියලා! මං ගහන්ඩ පැන්න වගත් කිව්වද දන්නෙ නෑ! “මං උඩ බලං ගිය එකක් නෑ, කවුදෝ මන්දා ඔය කටු අතු වාගයක් කපලා පාර අයිනෙ ගොඩගහලා තිබ්බා. ඉං පාරට වැටිලා තිබ්බ හරියක් තමයි ඔය ඇනෙන්ඩ ඇත්තෙ. අනේ රිදෙනවා අයියෙ!”

“හ්ම් හ්ම්, යමං, අක්කා කිව්වා වෙද ගෙදරට ගෙහුං බෙහෙත් කරගෙනම එන්ඩය කියලා.” විජේ අයියා මට බයිසිකලේට නගින්ඩ ඉඩ දෙන ගමං කිව්වා. “වික්‍රම කීව හැටියට සෑහෙන ඇතුළට ඇනිලාලු කටුව. හැබෑද?” මං ඔව් කියන්ඩ ඔළුව වැනුවා. “අම්මාට කිව්වෙත් නෑ තවම. අනේ මං දන්නෙ නෑ, උඹ කරගන්න මේ වැඩ හන්දා ඒ මනුස්සයා පපුවෙ අමාරුවක් හදාගන්නවා කොයි වෙලාවෙ හරි!”

වෙද ගෙදරට ගිහිං තුවාළෙට බෙහෙත් කරං ආවා. වෙද මාමා අනුමාන කළ හැටියටම මට රෑ වෙද්දි උණත් ගත්තා. දවස් දෙකකට පස්සෙ තමයි ඒ උණ බැහැලා ගියේ. මට කොහෙවත් අඩිය තියලා ඇවිදින්ඩ හැටියක් නෑ. කකුලෙ කැක්කුම ඉවසන්ඩ අමාරුයි වෙලාවකට. එහෙම වෙලාවට මට සෑහෙන බයක් දැනෙනවා කකුල කපන්ඩ වෙයිද කියලා. ඒත් මං ඔව්වා කා එක්කවත් කියන්ඩ ගියෙ නෑ. දැනටම මං කං දෙක පිරෙන්න අහගෙන ඉන්නේ අම්මගෙනුයි අක්කාගෙනුයි. විජේ අයියාටනං විහිළු. බැණුං අහලා අහලා ඉන්න අස්සෙ ඒ විහිළු ඇහෙද්දි මට තවත් හිතට අමාරුයි. අප්පච්චිවත් ගෙදර උන්නනං මයෙ හිත හදන්ඩ. මෙහෙව් තනියක් දැනෙන වෙලාවට මට අප්පච්චි ළඟ නැති සාංකාව වැඩියෙන් දැනෙනවා. අම්මා කොච්චරවත් මට බණින වෙලාවට අප්පච්චිවත් අල්ලගෙනම තමයි බණින්නෙ, අප්පච්චිගෙ හුරතලේ හින්දයි මං මෙහෙම හැදිලා ඉන්නෙ කියලා.

දවසින් දවස ගෙවිලා සෙනසුරාදාත් ආවා. දැන්නං මට බිම අඩිය ගහලා ඇවිදගන්ඩ පුළුවන්. ඒත් ඉඳ හිට දැනෙන රිදිල්ලනං එහෙමමයි. ඇවිදගන්ඩ පුළුවං වුණාට මොකද අද මට ඇඳෙන් නැගිටගන්ඩවත් හිතක් නෑ. අද අරයා මුදලාලිලාගෙ ගෙදර යන්ඩ ඇති. අර සක්කරවට්ටමට සිත්තර ඇඳලා දෙන්ඩ. 

මං කුස්සියට යද්දි අම්මා පේන්න හිටියෙ නෑ. අක්කා තමයි ලිපේ තිබ්බ මුට්ටියක් හැඳි ගගා හිටියේ. “කෝ අම්මා?” මං ඇහැව්වා.

“ම්… යසයි ගෑනු ළමයා නැගිටින වෙලාව! අම්මා ගියා අර යසෝහාමි නැන්දලාගෙ දිහෑ අත්තමට. දැං මොකෝ කකුල?”

“කකුලනං ඔය තියෙන්නෙ… ඔය මොනවද හදන්නෙ?” මං මුට්ටියට එබුණා.

“කොළ කැඳ. මූණ කට හෝදං මෙයිං ටිකක් බීලා එන්ඩ යන්ඩ පල්ලෙහාට.”

“අර මොකටද මං එන්නෙ එහෙ?”

“නැතුව මං දවසම අම්මා එනකල් මෙහෙට වෙලා ඉන්ඩද? මට ගෙදර වැඩ නැතුවද කරගන්ඩ?”

“ඉතිං අක්කා යන්ඩකො. මං ඉන්නං මෙහෙට වෙලා.”

“මේ… අම්මා කියලා ගියේ අම්මා එනකල් ඔයා එක්ක ඉන්ඩ කියලා. ගෙදරට යන්ඩ ඕනෙනං ඔයාවත් එක්කං යන්ඩ කියලා. අම්මා අද එමිං ගමන් ඔන්න යන්තරේකුත් අරං එනවා කිව්වා දාන්ඩ. ඔයාගෙ හඳහන ඒ හැටි හොඳ නෑලු මේ දවස්වල-” ඒකනං මටත් පේනවා. “-ඉතිං එනවා යන්ඩ කිව්වම අහලා, මෙතන මටත් අම්මගෙන් බැණුං අස්සවන්නෙ නැතුව.”

මං ඉතිං ඔහෙ ලෑස්ති වෙලා කැඳත් බීලා – හපොයි ඒකෙ තිත්ත! ඒත් එක බිංදුවක්වත් අහක දාන්ඩ වුණේ නෑ, මං ඔක්කොම බීලා ඉවරවෙනකල් අක්කා හැඳි මිටත් උරුක් කරං ළඟටම වෙලා හිටියා. ඒක වෙද මමා දීපු වට්ටෝරුවක්ලු. බිව්වෙ නැත්තං කකුල කපන්ඩම වෙයිලු! – අක්කා ඉතිරි කැඳ ටික ජොග්ගුවකට දාගන්නකල් ගිහිං මගෙ පොත් මිටියක් උස්සං ආවා. පුස්තකාලෙන් ගෙනාපු පොත් දෙකයි, මගේ කවි පොතයි.

වෙනදට මේ වත්තෙ ඉඳං එහා වත්තට එක පිම්මට පනින පැනිලි බෑ අද. අක්කගෙ අතත් අල්ලගෙන හරි අමාරුවෙං තමයි පල්ලං බහින්ඩ වුණේ. අක්කගෙ පස්සෙං ඉස්තොප්පුවට ගොඩවෙලා මං හොරෙං බැලුවා ඉස්තෝප්පු කාමරේ දිහා. ඒක වහලා දාලා. ඔහෙ නෑ ඒකෙ කවුරුවත් ඉන්න පාටක්. අර කිව්වට ළඟදිම මෙහෙ නවතින්ඩ එනවා කියලා එන්ඩ නැතුව ඇති. මහ බොරුකාරයෙක්. නැත්තං ඉතිං අර වාගෙ දකින දකින කෙල්ල එක්ක මුකුළු කරාවියැ. විජේ අයියත් පේන්ඩ නෑ. “කොයි අයියා?” මං ඇහැව්වා.

“ඔය උදේ පාන්දරම ගියෙ කෑගලු ගිහිං එන්ඩය කියලා.”

කෑගලු? මෙහෙ ඉඳං බස් තුනක විතර ගමනක්. “අර මොකෝ හදිසියෙ?”

“අර වික්‍රම මලයා පාන්දරම ඇවිදිං අඬගහං ගියේ සිත්තර ප්‍රදර්සනයක්ද මොකද්ද තියෙනවා කියලා බලන්ඩ ඕනෙ කියලා…” ඈ? ඒ කියන්නෙ එතකොට-? මගේ මූණෙ පිපිච්ච හිනාව දිහා අක්කා අමුතු විදිහට බැලුව හන්දා විගහට ආපහු මකාගන්ඩ වුණා. ඒ කියන්නේ එතකොට එයා අහරෙ ගිහිං නෑ! “මොකෝ ඒක අහලා හිනා ගියෙ?”

අක්ක දැකලනේ ඉතිං. “විජේ අයියා දන්න සිත්තර! ඔන්න කවි මඩුවකටවත් ගියා කිව්වනං තව කමක් නෑ.”

“එයා ඉතිං ගියෙ එයාගෙ ඕනකමටයැ. අර අනිත් එක්කෙනානෙ ඇවිදිං ඇදගෙන ගියෙ, තනියෙං කෑගලු යන්ඩ දන්නෙ නෑ කියලා…”

“අපොයි පොඩි බබානෙ!” මගෙ හිතට දැනෙන සන්තෝසෙ මූණෙං පිටවෙන්ඩ නොදී හිටියෙ මං හරි අමාරුවෙන්.

“ඒ ළමයට ඉතිං මේ ගම් පළාත් පුරුදු එකක්යැ. ඔය කඩ මණ්ඩියට ගිය වෙලාවකදි දැකලා දැන්වීම් ගහලා තියෙනවා සිත්තර ප්‍රදර්සනේ ගැන. අයියටත් නිවාඩු දවස හින්දා ඉතිං ඔහෙ ලෑස්තිවෙලා ගියා.”

“රෑ වෙයි එහෙනං එද්දි…” මං හොඳ සැපට ඉස්තෝප්පුවෙ තිබ්බ විජේ අයියගෙ හාන්සි පුටුවෙ ඉඳගත්තා. පොත් කියවන්ඩ කියාපු ආසනේ.

“නෑ, ඔය දවල් වෙද්දි එනවා කිව්වෙ…” එහෙනං දවල්ට ඇවිදිං අර සක්කරවට්ටම හොයාගෙන යයිද දන්නෙ නෑ. මං ආයෙම කල්පනාවට වැටුණා. “මේ, මට රෙදි ටික හෝදගන්ඩ තියෙනවා. බත් කනවනං අන්න කුස්සියෙ ඇති, බෙදාගෙන කන එකයි. මං ළිඳ ළඟට යනවා…” අක්කා එහෙම කියාගෙන ගෙයි ඇතුළට ගියා. මං ඔය එක එක විකාර කල්පනාවලට ඔළුවට එන්ඩ ඉඩ නොදී ගෙනාපු පොතක් අරං කියවන්ඩ ගත්තා.

පැයක් දෙකක් විතර එක හුස්මට පොත කියෙව්වාට පස්සේ මට බඩගින්නක් දැනෙන්ඩ ගත්තා. මං පොතත් අරගෙනම කුස්සියට ගියා. අක්කා රෙදි හෝදලා ඉවරවෙලා වනනවා. මං බත් බෙදාගෙන කුස්සියේ බංකුව උඩින් වාඩි වෙලා පොතත් අතේ තියාගෙනම කන්ඩ ගත්තා.

“ඒයි, ආං එගොඩහ අඹ පැහිලා!” අක්කා ගෙට එබෙද්දි මං කාලා ඉවරවෙලා ඉඳුල් අත පිටිංම පොතට එබීගෙන හිටියේ.

“මට බෑ අනේ ඔව්වයෙ නගින්ඩ මේ කකුලත් එක්ක.”

“ඉතිං කෙක්කෙං කඩමු!” 

මාත් ඉතිං පොත පැත්තකින් තියලා අතයි පිඟානයි හෝදලා අක්කත් එක්ක පිළිකන්නෙං මිදුලට බැස්සා. අක්කලායෙ වත්ත කෙළවරින් ගලං යන ඇළ පාරට එගොඩහින් තිබ්බ දෙණිය එහෙම පිටින්ම පළතුරු වත්තක්. අඹ ගස් තමා වැඩියෙන්ම තිබ්බෙ. රක්ෂිත ඉඩමක් හැටියට වෙං කරලා තිබ්බ දෙණියට කවුරුවත් අයිතිවාසිකං කියන්ඩ ආපු නැති හින්දා ගමේ කොයි කවුරුත් නිදහසේ ඕකේ වැවෙන දෙයක් කාලා හිටියා.

ඇළට උඩිං වැටිච්ච ඒදණ්ඩෙනුත් මං එගොඩ වුණේ සෑහෙන පරිස්සමෙං. අක්කානං අඩි දෙකට එහා පැත්තේ. ඒත් ඉතිං කෙක්කෙං කඩන්ඩ පුළුවං පහතක ඉදිච්ච මොකවත් ඉතුරුවෙලා තිබ්බෙ නෑ එක ගහකවත්. “මං කිව්වෙ අනේ. වැඩක් නෑ, ඉදිච්ච එක අඹයක්වත් නෑ. උදෙං එන්ඩ තිබ්බෙ අපිට,” මං කිව්වා.

“ඉදිච්චා නැතුවට කමක් නෑ, ඔය පැහිච්ච එව්වායෙන් කඩලා ගමු, ලුණු දාගෙන කන්ඩ බැරියැ…” අක්කා ගස් වටේ කැරකෙන්ඩ ගත්තා. 

අපොයි මටනං බෑ අමු අඹ කන්ඩ. මං හෙමින් සැරේ සෙරෙප්පු දෙක ගලවලා ළඟම තිබ්බ ගහේ පහත දෙබලට නැගගත්තා. මෙතන ඉඳං කෙක්ක දික් කළහම එහා ගහේ උඩහ අත්තෙ අඹ ටික කඩා ගත්ත හැකි. මං අක්කාට අඬගහගෙන අඹ ගෙඩි කඩන්න ගත්තා දෙබලෙ ඉඳං. බිම වැටෙන වැටෙන ගෙඩි අක්කා ඇහිඳලා බාල්දියට එකතු කරගත්තා.

“ඉතිං ඇති! දැං යං!” මට ඊට වඩා කඩන්න බැරි වෙයි කියලා හිතලාදෝ ටික වෙලාවකට පස්සේ අක්කා කිව්වා. ඒවුණාට මට දැම්ම වැඩේ නවත්තන්ඩ හිතක් නෑ. අක්කා විජේ අයියා එක්ක ගියත් හරි අපි දෙන්නාට එක්කාසු වෙලා මෙහෙම වැඩක් කරන්ඩ වුණේම නෑ.

“ඉන්ඩකො,” මං ඊළඟ දෙබල උඩටත් නැගගත්තා. “අර උඩහ ටිකත් කැඩුව හැකි!”

“ඔය කකුලත් එක්ක ගස් නගින්ඩ බෑ කිව්වෙ දැං?”

“දැං හොඳයි…” මං තව අඹ ගෙඩි හත අටක් කැඩුවා.

“කුසුමේ!!!” 

මළා! විජේ අයියා ඇවිල්ලා! “ආන්න වේලපහම ඇවිල්ලා!” අක්කා ගෙට දුවන්ඩ ලෑස්ති වුණා.

“අනේ ඉන්ඩකො මං බහිනකල්!”

“ඉතිං බහින්ඩ විගහට!” මෙයාට තියෙන හදිසිය!

“කුසුමේ!!!” ආයෙමත් ඇහුණා සද්දෙ.

“මේ එනෝ!” අක්කා ගෙට ඇහෙන්ඩ කෑගැහුවා. ඊළඟට මයෙ දිහා ආයෙ බැලුවා. “බහිනවකො ඉතිං!”

“මං මේ බැහැගන්ඩ තමයි හදන්නේ!” මීට කළිං සිය වතාවක් විතර නැගලා බැහැලා තියෙන දෙබලක් වුණාට මට අද ඒකෙන් බැහැගන්ඩ බෑ. පහළට කකුල තිව්ව හැටියේ ඇදුම්කන්ඩ ගන්නවා තුවාලේ. “අනේ අක්කෙ බෑනේ!”

“මොනවා කරනවද මන්දා! මං කිව්වද ඔය හැටි උඩ නගින්ඩ කියලා???”

එයාටමයි අඹ ඕන වුණේ! එව්වා කඩලා දෙන්ඩ ගිහිං බැණුං අහගන්ඩත් ඕනෙ මං! ඒ අස්සෙ විජේ අයියත් පිළිකන්නෙං මිදුලට බැස්සා. “කොහෙද බාං මේ ඇවිදින්නෙ අහරෙ ජනෙල් දොරවල් හායි ගාලා-” උන්දැ මාව දැකලා නළලෙ අතත් ගහගත්තා. “ඔහෙ පළයං! මේ අර සහළෝලා උණත් අරගෙන කකුලත් කරේ තියං උන්නු එකී නේද අර ගහ උඩ නැගගෙන ඉන්නෙ???”

මට නැග්ගා ඉතිං අඹ ගහේ මුදුන් රිකිල්ලටත් ඉහළට. “ඉතිං ඔතන උඩ බලං ඉන්නෙ නැතුව මට බහින්ඩ ඉණිමග ගේන්ඩකො!”

“ආය මොකටද ඉණිමං? නැග්ග හැටියටම බැහැගන්න එක නෙව ඇත්තෙ!” උන්දැ හිනාවෙනවා.

“බහින්ඩ පුළුවන්නං මං මේක උඩට වෙලා ඉන්නවයැ?”

“අනේ මේ, ඉණිමග ගෙනත් දෙමුකො?” අක්කත් විජේ අයියාට කිව්වා.

“අක්කා නගාලා මොනවා කොරගන්නවද මං දන්නෙ නෑ! මොකටද මේ ගිනි මද්දහනෙ අඹ කඩන්ඩ ගියෙ?”

“වෙනදත් ඉතිං අපි අඹ කන්ඩ හිතුණහම වෙලාවක් බල බල ඉන්නවයැ, මෙතනට ඇවිදිං කඩාගන්නවා මිසක?”

“ඉතිං මං එනකල් හරි ඉන්ඩ තිබුණනේ මේකිව ගස් නග්ගන්නෙ නැතුව?”

“මං එයාට ගස් නගින්ඩ කිව්වෙ නෑ, මං කිව්වෙ කෙක්කෙන් කඩමු කියලා. එයානෙ ඔය නැගගත්තේ!”

හුහ්! “කෙක්කෙන් කඩන්න පුළුවං එව්වා තිබ්බෙ නැති හන්දානේ මං කඩලා දෙන්ඩ නැග්ගෙ!”

“හරි හරි හරි, බොලා දෙන්නා කෙහෙවළු පටලවගන්නෙ නැතුව හිටහල්ලකො. බලමු මඩුවෙ ඉණිමග තියෙනවද කියලා. හැබැයි මට මතක හැටියට කළිං දොහක ජිනපාල මාමා ඒක ඉල්ලං ගෙහුං තවම ගෙනැත් දුන්නෙ නෑ. එහෙම වුණොත් හෙම ඒක ආයෙ ඉල්ලාන එනකල් උඹ ඕක උඩට වෙලා හිටපං නගේ, ඈ?” විජේ අයියා එහෙම කියාගෙන මඩුව පැත්තට යන්ඩ හැරුණා. “කුසුමේ, හොඳවැයින් කහට දෙකක් වත්කරලා ගන්ඩකො. ඇවිදලා ඇවිදලා හොඳටෝම තෙහෙට්ටුයි!”

කහට දෙකක්! දෙයියෝ සාක්කි, අරයත් ඇවිල්ලද එතකොට? 

“පරිස්සමෙං ඉන්ඩ ඔතනිං වැටෙන්නෙ නැතුව! මං විගහට මේ කහට එක වත් කරලා එන්නං,” අක්කා එහෙම කියලා ඇළෙන් එගොඩ වෙලා ගෙට ගියා. විජේ අයියා මඩුව පැත්තට ගියා. එතකොටම ගේ වටෙන්, අනිත් පැත්තෙන් මතු වුණේ නැතෑ අනිත් එක්කෙනා!

එයා මාව දැක්කෙ නෑ. මොනවදෝ හොය හොය ආවෙ. මොකෝ එයාගෙ පින්සලවත් මෙහෙ ඇළේ වැටුණද දන්නෙ නෑ! හුහ්!



– මතු සම්බන්ධයි –


%d bloggers like this: