Menu Close

287. සිත්තමක ලියැවුණු කවිය…04

එරබදු

තව ඩිංගෙන් ගිනි විජ්ජුම්බරයයි වෙන්නේ! අර කොච්චි මිරිස් කරල අල්ලපු වැටේ පදිංචි බවක් නොදකින්ට, මං විජේ අයියායි උන්දැගෙ පවුලයි රෑ කෑම කන අතරෙදි එහෙ නතර වෙන්ට එන්ටය කියාපු එකට උඩිංම කැමති වෙනවා. ඒ දෙන්නා හොඳ මිනිස්සු. මං පන්සලට ආපු මුල්ම දොහේ ඉඳංමනෙ මං ඒ දෙන්නව අඳුනන්නෙ. පෝය දාත් මුණ ගැහිලා කතාබහ කළා. කුසුමෙ අක්කගෙ කෑමත් පංකාදු රහයි. එහෙ ඉන්නවනං තුන් වේලටම බඩ පිරෙන්ඩ කෑ හැකි. ඒත් කවුද දෙයියනේ දන්නේ අර ගිනි බෝම්බෙ කුසුමෙ අක්කගෙ නගා බවක්. ඉන්නෙ අල්ලපු වැටේ බවක්. ඇති මයෙ කෙස් ටික බේරගෙන ආපහු යහතිං පන්සලට එන්ට පුළුවං වුණා ඒ රෑම.

පන්සලේ පුරුදු පැදුරේ ඇලවෙලා ඉන්දැද්දි විජේ අයියලා මට එහෙ නවතින්ට එන්ට කියාපු බව මගෙ මෝඩකමට සේදිරිස් මාමාට කියවුණා. ඉතිං පටංගත්තෙ නැතෑ උන්දැගෙ දේසනාව! හැබෑට ලොකු හාමුදුරුවන්ට හිතෙන්නෙ නැද්ද දන්නෙ නෑ සේදිරිස් මාමාව වෙලාවක ධර්මාසනේ ඉන්දවලා බලන්ට. මං ඉතිං අකමැති වුණේ මොකෝ අහනවා. බඩේ දැවිල්ල අල්ලලා මං කෙඳිරිගානකොට උන්දැ එපැයි අහං ඉන්ට. උන්දැට වුණත් මං කොහොමෙයි කටක් ඇරල්ලා කියන්නෙ මේ හිච්චි කෙල්ලෙකුට බය වෙලයි මං පැනලා ආවෙ කියලා. ඔය ඕන එකක් කියාගන්ට කියලා මං කොට්ටෙන් ඔළුවත් වහගෙන අනිත් පැත්ත හැරිලා නිදාගත්තා.

නිදාගත්තා කිව්වාට ඉතිං නින්දට මයෙ ළඟට එන්ට හිතුණේ සෑහෙන්න පරක්කු වෙලා. එතකල් මට අඩ නින්දෙං හීන බල බල තමයි ඉන්ට වුණේ. නම ගම දැනගන්න තිබ්බ ආසාව අතඇරගෙන බොහොම කල් වුණාට ඔය දැන් ගෙදරටම ගිහිං අහගෙන එන්ට වැඩ සිද්ද වුණේ. මුතූ… නමනං ලස්සනයි. කෙල්ලත් ලස්සනයි තමයි ඉතිං. පෙනුම ලස්සන වෙලා මොකටද අර වගේ නපුරු හිතක් එක්ක. අඩුගානේ එදා කළේ වැරැද්දක්ය කියලා හිතේ අහලකවත් තියෙන පාටක් නෑ. මාත් එක්ක කතා කරන්ටවත් කිසිම ඕන කමක් නෑ. ඒත් මගෙ හිත ඒ පස්සෙම දුවනවා. ගාල කඩං දුවන කුළු හරකෙක් වුණත් කොහොමහරි නවත්තගත හැකි, ඒත් මේ හිත නෙව මක් කරලවත් නවත්තගන්ට බැරි.

ඔහොම ගෙවුණා තව දවස් ගාණක්. පන්සලෙන් එළියට බැහැලා මං කොහෙවත් ගියානං ඉතිං ඔය කඩ මණ්ඩියට ගිහිං ආපු ගමනක් විතරයි. පුළුවං විගහින් වැඩේ ඉවරයක් කරගෙන ආපහු ගමට යන්ට තිබ්බ උවමනාව හන්දා ගමේ ගොඩේ ඇවිදින්ට යන්ටවත් මට ඒ හැටි ඕනකමක් තිබ්බෙ නෑ. ඒත් නිතර දෙවේලේ පන්සලේදි මුණ ගැහෙන හින්දා ගමේ හැමෝම වාගේ මා එක්ක බොහොම හිතවත් වෙලා හිටියෙ ඒ වෙද්දි. එකම එක්කෙනෙක් ඇරෙන්ට. 

එදා මං කඩමණ්ඩියට ගිහිං එන ගමන් හන්දියෙ කඩේට ගොඩ වුණේ කහට උගුරක් බොන්ට හිතාගෙන. එදා කඩේ උන්නෙ මුදලාලිගෙ දෝණියන්දැ. ඒ බව කළිං දැක්කනං මං කඩේට ගොඩ නොවී පිට පාරෙන්ම යනවා. අර සමයමත් එක්ක වගේ කෝන්තරේකට නෙවී, මේ සමයමට එක මිනිත්තුවකට කට පියාගෙන ඉන්ට බෑ. කන් දෙක අගුල් වැටෙනකල් කියවනවා. පන්සලට ආවහමත් එහෙමයි, මං සිත්තර අඳින තැනින් හෙල්ලෙන්නෙ නෑ. බලං හිටියට කාරි නෑ මට කරදර නොකර කට පියං ඉන්නවනං. එහෙමත් නෑනේ. අම්මපා මට ගමේදි තිබ්බෙ නෑනේ කෙල්ලොන්ගෙං මෙහෙව් කරදරයක්. බාගෙ වෙලාවට මයෙ ගුරුන්නාන්සෙ හින්දා වෙන්ඩ ඇති. උන්දැ ඉන්න තැනක මං වුණත් ඉන්නෙ බෝ පැලයක් වගේ, බොහොම විනීත සුවච කීකරු ගෝලයෙක් හැටියට. හරි සැරයි ගුරුන්නාන්සෙ. ඉස්කෝලෙ හාමිනෙත් එහෙමයි. ඉතිං ඒක වෙන්ට ඇති එහෙදි කෙල්ලොංගෙනුත් ඔය බැල්මකට, හිනාවකට වඩා දෙයක්, අඩුගානේ හිතට දැනෙන වචනයක්වත් මට ලැබුණෙ නැත්තෙ. මෙහෙදි මං කුරුල්ලා වාගෙ. ඒකයි මගෙ හිතත් මට ඕන හැටියකට මේ තියාගන්ට බැරුව ගිහිං තියෙන්නේ.

“හානේ! මේ වික්‍රම අයියනේ…!” මං හීන් හිනාවක් දාගෙන වාඩිවුණා ඉතිං හැරිලා යන්ට ඒ වෙද්දි පරක්කු වැඩි හන්දා. “දැක්ක කල්! කොහෙද ඉතිං අයියා පන්සලටම වෙලා ඉන්නවා මිසක අපිව බලන්ට මේ පැත්තෙ එනවා කියලයැ!”

“මේ ආවෙ ඉතිං…” අම්මප මට කට නවත්තගන්ට බැරි හැටියක්.

“යන්ඩ නිකං බොරු නොකියා! ඔය වෙන කොහෙ හරි ගිහිං එන ගමං මෙහෙට ගොඩවුණේ තේකක් බොන්ඩ හිතිලානෙ?”

“ඉතිං එහෙනං තේකක් හදලා නොදී මෙතන කියව කියව ඉන්නෙ?” මෙහෙව් කටකාර කෙල්ලො එක්ක ඉස්සර මං මෙහෙම එල්ලෙන්නෙ නැහැ නෙව. ගුරුන්නාන්සෙ දන්නවනං හෙම…

“දෙන්නං අනේ දෙන්නං… සීනි හැඳි පහක්ම දාලා දෙන්නං…” කෙල්ල ලිපේ පැහෙන උණු වතුර මුට්ටිය ළඟට ගියා. මොකද්ද නමත් කිව්වා මට කළිං දොහක, දැං මතක නෑ. ඔය කිව්වට තේ හදන්ට දන්නවද දන්නෙත් නෑ. “අයියෙ ඕං වැලිතලප තියෙනවා දැන් ටිකකට කළින් හදලා ගෙනැත් දාපු. උණු උණුවෙම හැලපත් තියේ. අරං කන්ඩ මං මේක හදනකල්.”

මං ළඟ තිබ්බ වීදුරු පෙට්ටියෙන් වැලි තලපෙකුයි, හැලපෙකුයි අරගත්තා. ඉස්සරහා ආනමාළු කැනෙන් ගෙඩියකුත් කඩාගත්තා. අර කිව්වා වාගෙම මේකි සීනි බාල්දියක් වක් කරලා දෙයිද දන්නෙ නෑ තේකට. “සීනි දාන්ට ඕන නෑ, හකුරු කැටයක් තිබ්බානං ඇති නගේ…”

නිවී හැනහිල්ලේ කන එකවත් කන්ට හම්බවුණේ මට එක විනාඩියයි. “අයියෙ!” මං ඇහුනෙ නැති ගානට වෙන කල්පනාවක ඉන්නැහෙ හිටියා. එහෙම ඉන්ට හම්බවෙන්නෙ නෑ මේ ඝාණ්ඨාරෙත් එක්ක. “වික්‍රම අයියෙ!”

“ම්?”

“අයිය කොහොමද ඔය හැටියට අපූරුවට සිත්තර අඳින්නෙ?”

“අපූරුවක් මං දන්නෙ නෑ ඉතිං, ඔය ගුරුන්නාන්සේ කියලා දීලා තියෙන හැටියට මං ඔහෙ අඳිනවා…”

“එහෙම කවුරුවත් උගන්නපු පළියට අඳින්ඩ බෑ, උපතිංම පිහිටාපු හැකියාවක් තියෙන්ඩ ඕන…” මෙයා දන්න ජාති බලපල්ලකෝ! “අපෙ අම්මා තමයි එහෙම කිව්වෙ අයියගෙ සිත්තර දැකලා….. අපිට බෑනෙ ඔහොම ලස්සනට අඳින්ඩ…” 

මං ඔහෙ සද්ද නැතුව වැලි තලපෙයි, කෙහෙල් ගෙඩියයි ගිලලා ඉවර වෙලා හැලපෙ අතට අරං දිග ඇරගත්තා. තේකයි, හකුරු බෝතලෙයි අරං ළඟට ඇවිත් බංකුව උඩින් තියපු මුදලාලි හාමිනේ මෙන්න වදේ මගෙ එහා පැත්තෙන් වාඩි ගත්තා! “අයියෙ මේ… බැරිද මයෙ පින්තූරෙකුත් ඇඳලා දෙන්ඩ?”

“මං එහෙම එව්වා අඳින්ට දන්නෙ නෑ…” මං නොදැනෙන්න යාන්තමට ඩිංගක් එහාට වෙන ගමන් කිව්වා.

“ආයෙ ඉතිං බොරු කියනවා! අර පන්සලේ සිත්තරවල රූප බලා හිටියා වාගේ ඇඳලා තියෙන එක, හැබෑවට කාවවත් බලං අඳින්ඩ බැහැයි කියන්නේ කොහොමද?”

“බැරි හින්දා නෙව කියන්නේ…”

“මොකද්ද අනේ!!!” නහයෙනුත් අඬනවා. මොන මළ කරදරයක්ද මන්දා. මං හැලපෙ විගහට කන්ට හිතාගෙන ඉතිරිය එහෙමම දෙකට තුනට නවලා කටේ ඔබාගත්තා. “අයියාට නිවාඩු වෙලාවක අපේ අහ එන්ටකෝ. ඔය සිදාදිවල ඈයොන්ට වගේ-” ඒවෙලාවෙදි දැක්ක දෙයින් මගේ කටේ පුරවං උන්නු හැලපෙ ඉස්මොල්ලෙ ගියා. කැස්ස නවත්තගන්ඩ බැරුව මං හුස්ම අල්ලන අතරෙ මේකි මයෙ පිටට තඩි බබා ඒත් ඉවරයක් නැතුව කියවනවා. ඒත් එතනිං එහාට මට ඒ මොකවත් ඇහුණෙ නෑ. කඩේට ගොඩවෙන උඩම පඩිය උඩ හිටගෙන බලං උන්නෙ… මුතූ! 

මේ ඝාණ්ඨාරෙ තාම එයාව දැකලා නෑ. මයෙ දිහා ඔරවගෙන උන්නු හැටියට මට තව ඩිංගෙන් ඉඳං උන්නු බංකුවෙන් නැගිටෙනවා. ඒත් මොකටද? මං මොකටද එයාට බය වෙන්නෙ? මංයැ, එයානෙ මට වැරදි කළේ! එයයි හරිනං මට බය වෙන්ට ඕනෙ! මං අමාරුවෙන් කැස්ස නවත්තගෙන කහට කෝප්පෙ අතට ගත්තා.

“ගීතා අක්කෙ, සීනි පන්සීයක් ගන්ඩ පුළුවංද???” වැහි නැති ආකාහෙ එක සැරේට හෙණයක් පිපිරුව ගාණයි. 

“ආ නංගි…” ඝාණ්ටාර ගීතා යන්තං නැගිට්ටා. “කොයි වෙලාවෙද ආවෙ?” යන්තං ඇති ආපහු මේසෙ පිටිපස්සට ගියා.

“දැං ආවෙ. සීනි පන්සීයක් ඕනෙ.” මෙයා ගමේ හැමෝම එක්ක ඔහොම කැත්තට පොල්ල වගේ වෙන්ට ඇති කතා කරන්නෙ. 

ගීතා සීනි ගොට්ටක් අරගෙන මේසෙ උඩින් තිබ්බා. ඒ මූණත් ඒ හැටි හොඳ නෑ. අබ අහුරක් දැම්මොත් පිපිරෙන ගානයි. තාමත් අතරින් පතර කැස්ස එන හින්දා මට කහට කෝප්පෙ බොන්ට වුණේ හෙමින්. “තව මොනවද?”

“සන්ලයිට් කැටේකුත් ඕනෙ.”

එයින් එකකුත් රාක්කෙන් අරං මේසෙ උඩට දමලා ගැහුවා. බලං ඉන්ට වටින වැඩේ. මොකක් හරි දෙන්නගෙ පරණ කෝන්තරයක් ඇති. හරියට පොරේකට ඇවිලෙන්ට කුරුමානං අල්ලන බැළලියො දෙන්නෙක් වගේ.

“විස්කෝත්තු පැකට් එකකුත් ඕනේ. අර උඩ තියෙන ජාතිය.” මුතූ මේසෙට පිටිපස්සෙ බිත්තියට අල්ලපු රාක්ක තට්ටුවේ ඩිංගක් උඩට වෙන්න තිබ්බ විස්කෝත්තු ජාතියක් පෙන්නුවා.

ගීතා ඒ දිහා බලලා මෙන්න යකෝ මගෙ දිහා බලපි. “අනේ වික්‍රම අයියෙ, මේක අරං දෙන්ඩකො…” ඔය කරගත්තෙ වැඩක්! කහට කෝප්පෙ බීගන්න බැරිනං එහෙමම තියලා හරි යන්නෙ නැතුව මේ ඇවිලෙන බළල් පොරේ අස්සට පැටලුණානෙ ඉතිං! ඇයි වදේ ඒකිට පොඩ්ඩක් ඇඟිලිවලින් ඉස්සුණානං ඕක ගත හැකි යස අගේට. මටත් වෙච්චි දෙයක්! බැහැයි කියන්නද දැං ඉතිං?

කෝප්පෙ ඉතිරි ටික එක හුස්මට ඉවර කරලා හිස් කෝප්පෙ බංකුව උඩින් තියලා මං නැගිට්ටා. මේසෙ පිටිපස්සට යන්ට මේ සමයම එළියට එන්නෙත් නෑ, මට එයාගෙ ඇඟේ හැප්පීගෙන තමයි විස්කෝත්තු අරං දෙන්ට වෙන්නෙ. එයැයිට හොඳනං මගෙ මොකද! මං ඔන්න ඔහෙ ඒක අරං දීලා ආපහු හැරුණා. මුතූගෙ මූණනෙ බලන්ට ලස්සන! එතකොටනෙ මට වැඩේ තේරුණේ! දෙන්නා මේ ඇවිලෙන්නේ මං හින්දා! මට තනියම හිනාවක් ගියා. ආඩම්බරකාරිට කරන්නං මං හොඳ වැඩක්!

මං ආපහු මේසෙ වටෙන් ගිහින් මුතූ ළඟින්ම හිටගත්තා. “කීයද මුදලාලි හාමිනේ මගෙ ගාණ?” එයාව පේන්නෙවත් නැති ගානට මං ගීතාගෙන් ඇහැව්වා.

“මං මුදලාලි වුණානං අයියගෙන් සල්ලි ගන්නෙ නෑ. ඒත් අප්පච්චි මේ හැලපයි, තලපයි, ඔය කැනේ කෙහෙල් ගෙඩියි ඔක්කොම ගණං කරලා ගියෙ, හරියට මං කයි කියලා වගේ. ඔන්න ඔහෙ එව්වයෙ ගාණ විතරක් ගෙවලා යන්ඩකො. තේකට සල්ලි ඕන නෑ, ඒක මං ගානෙ…” 

සිරික්කියත් දාගෙන කිව්ව ලස්සන විතරක්! හැබැයි වෙලාවෙ හැටියට වටිනම උත්තරේ. වම් පැත්තෙන් මට මහා ගිනි කන්දක රස්නෙ දැනෙනවා. මං දික් කරාපු සල්ලි අතට අරං ගීතා ඉතුරු සල්ලි දෙන්ට ලෑස්තිවුණ වෙලාවේ මං ඉස්සරහා තිබ්බ ලොසිංජර බෝතලේට තට්ටු කළා. “මාරු වෙනුවට මේකෙං දෙන්ට…”

“ඔය හැටි ලොසිංජර කන්ඩ හොඳැයි?” එයා බෝතලේ ඇරලා ලොසිංජර අහුරක් අතට අරං ඉතුරු සල්ලිත් එක්ක මගෙ අතට දෙන ගමං කිව්වා.

“ඔය මට කන්ට නෙවෙයි…” මං උත්තර දුන්නා.

“එහෙනං?”

“මයෙ සිත්තර බලන්ට එන ගෑනු ළමයින්ට බෙදන්ට!”

“කොයි මං මෙච්චර ඇවිදිං තියෙනවා, මට දීලා නැහැනෙ!”

“ආයෙ ආව දවසක මං නොවැරදීම දෙන්නංකෝ…”

“මගෙ ගාණ කියනවද??? මට පරක්කු වෙනවා!!!” ඒ පත්තුවුණේ අලි වෙඩිල්ලක්ද කොහෙද. මහ සද්දයි.

“නගාටත් ඕනැයි ලොසිංජර?” මුතූතෙන් එහෙම අහන්ට කට ඇරගන්න මට සෑහෙන්න පුරුස දහිරියක් එකතු කරගන්ට වුණා. බොරු නෙවෙයි.

හැබැයි මං හිතුව තරං දරුණු ප්‍රතිචාරයක් හම්බවුණේ නෑ. ගිනි කන්ද මේ දැං පුපුරන ගානට බැල්මකින් මගෙ දිහා බලලා “මට එපා!” ගාලා අහක බලාගත්තා විතරයි. 

මෙයාට ඕනෙ මයෙ එක්ක කතාබහ කරන්ට. ඒත් තියෙන ආඩම්බරකමට ඔය ඔහොම ඉන්නෙ. මං ඔය ආඩම්බරකම බස්සනවා. මං ආපහු ගීතා දිහාවට හැරුණා. “නගා, අර සිත්තරේ කවදා විතර වගේද ඇඳලා ඕනෙ?”

ඒ මූණෙ මල් වත්තක්ම පිපුණා. “අනේ අයියා ඇඳලා දෙනවද?”

“බලමුකො වෙලාවක් ලැබුණොත්.”

“එහෙනං මේ සෙනසුරාදා? එනවද අපේ දිහා?”

“ම්ම්ම්…” මං කල්පනා කළා. “බලමු. වෙලාවක් ලැබුණොත් මං එන්නංකො…”

“ඔන්න එහෙනං මං අම්මටයි අප්පච්චිටයිත් කියනවා හොඳද? බත් කටක් කාලා යන්ඩත් එක්කම එන්න ඕනෙ!”

මුතූ සල්ලි ගෙවලා ඉතුරුත් නොගෙනම පඩිපෙළ බැහැගෙන බැහැගෙන යන්ට පටංගත්තා. “නෑ නෑ, බත් කකා ඉන්ට බෑ. උදේ හවහ කොයි වෙලාවේ එන්ට පුළුවං වෙයිද දන්නෙ නැහැනෙ. ඒ හන්දා කරදර වෙන්ට එපා… මං එහෙනං යන්නං නගා…..” මාත් මුතූ පස්සෙන් විගහට ගියා.

එයා යනවා රේස් දුවන වෙළඹක් වාගෙ හැටට හැටේ. මාත් වැඩියම කිට්ටු වෙන්නෙ නැතුව පාරෙ මෙහා පැත්තෙන් තරමක් පිටිපස්සෙන් ඇවිදං ගියා. මයෙ අඩි සද්දෙ ඇහෙනවා ඇති නොවැරදීම, ඒත් නිකමටවත් එක මොහොතකටවත් නෙවෙයි හැරිලා බැලුවෙ. නාපු හැටියෙමද කොහෙද, කොණ්ඩෙ කඩා දාලා හරි හැඩයි. දණිහ ළඟට දිග කහ පාට ගවුම මුතූගෙ පාටට හරි ලස්සනයි. කකුලෙ දාං උන්නෙනං නොසෑහෙන්න ගෙවිලා ගිය කළු පාට පරණ රබර් සෙරෙප්පු දෙකක්. මෙහෙව් ලස්සන කෙල්ලෙක් ඔහොම කබල් සෙරෙප්පු දාන්ට හොඳද මං අහන්නෙ? 

මෙහෙම ගියොත්නං මෙයා ගෙදරට යන පාර ළඟට යනකල්ම ගොළුවො දෙන්නෙක් වගේ තමයි යන්ට වෙන්නෙ. මංවත් මොකවත් කියන්ට ඕනෙ එතකොටවත් කතා කරයිද බලන්ට. මං ඩිංගක් කිට්ටු කරලා පාරෙ මෙහා පැත්තෙ ඉඳගෙනම කතා කළා. “එදා විජේ අයියලාගෙ ගෙදරදි මාව දැකලා බයවෙලා පැනලා දිව්වෙ මොකෝ දන්නෙ නෑ?” ඒ ටික කටිං පිටවෙච්චි හැටියේ මට හිතුණේ ආයෙම කේන්ති ගිහිං මගෙ ඇඟට ගොඩවෙයිදෝ කියලා. 

ඒත් හැරෙන තැපෑලෙන්ම මට උත්තර හම්බවුණා. “මං කාටවත් බයවෙලා දිව්ව එකක් නෑ. අම්මා මං ඇඹරැල්ලා ටික අරං එනකල් බලං උන්නු හින්දයි විගහට ගියේ.” මං හිතුව තරම්ම කේන්තියක් තිබ්බෙ නෑ ඒ කටහඬේනං. “විජේ අයියානං කිව්වේ නතර වෙන්ඩය කිව්වහමත් බැහ් කියලා පැනලා දුවපු අයනං මොනවට හරි බය වෙලා කියලා තමා!”

මදැයි කොළා! “එදා මට බඩේ දැවිල්ලක් ඇල්ලුවා. බෙහෙත් ටික පන්සලේ දාලා ඇවිත් තිබ්බ හන්දයි විගහට ආපහු යන්ට වුණේ. හෙට අනිද්දා දිහාට නතර වෙන්ට එන්ටයි හිතං ඉන්නේ…” මං අතිනුත් දාලා උත්තර බැන්දා.

“දැං සිත්තරත් සෑහෙන දුරට ඇඳලා ඉවරයි කියලා ලොකු හාමුදුරුවො අපෙ අප්පච්චි එක්ක කියලා තිවුණෙ. ඔය ඉතිරි දෙතුන් දවසට කොහෙවත් නතර වෙන්නැතුව පන්සලේම ඉඳං වැඩේ විගහට අහවර කරගන්ඩනෙ තියෙන්නෙ.”

“අපිව ඉක්මනටම ගමෙං එළවගන්ට වගේ කල්පනාව!”

“අනේ අපිට ඔය කාවවත් එළවගන්ඩ ඕනෙ නෑ. මං මේ කිව්වෙ එහෙ මග බලං ඉන්න කට්ටිය ඇති නෙව විගහිං ආපහු එනකල්…”

ඒ මොකද්ද බොලේ ඒ කතාව? “එහෙමය කියලා ආපු වැඩේ පිළිවෙළකට ඉවර නොකර යන්ට පුළුවනෑ?”

“එහෙත් එහෙම ඈයො ඉන්දැද්දි මෙහෙත් ඔය කඩපිල් ගානෙ යන්නෙ මොකෝ දන්නෙ නෑ!”

ඔය පැන්නෙ බළලා මල්ලෙං එළියට. මං අහක බලාගෙන හිනාව හංගගත්තා. මෙයාට ඉරිසියා හිතිලා. “ඔය ඉතිං කවුරුහරි හිනාවෙලා කතාබහ කළාම ඔරවං ඉන්ට පුළුවනෑ අර සමහර උදවිය වගේ!” නොදැනීම අඩුවෙලා තිබ්බ ගමන් වේගෙ ආයෙම වැඩි වුණා මගෙ ඒ උත්තරෙන්. මෙච්චර හරි කතා කළා මදෑ ගිනි අවුලුවගන්නෙ නැතුව. “ඔහොම කොච්චරවත් ඔරවං ඉන්ට එපා, ඔය ඇහි බැමි දෙක හා වේවි. අර ඒ කඩේ ළමයා වාගෙ හිනා වෙලා ඉන්ටකෝ…”

“ඒ හිනාව බල බල ඉන්ඩ වෙන්ඩැති ගෙදරත් එන්නංය කියලා  පොරොන්දු දුන්නේ!”

මට පොඩි මුට්ටියක් දාලා බලන්ට හිතුණා. මං පාර පැනලා මුතූ ළඟට ගියා. “ඇයි මං යන්ට එපාද?” මං ඇහැව්වෙ හඬ අඩු කරලා, කනටත් ඩිංගක් ළං වෙලා.

ඒ කන් දෙක රතු වෙච්චි හැටි! මට හිතුණෙම එපා කියයි කියලා. ඒත් ඉතිං මට හිතෙන හැම එකම හරියන්නෙ නෑ. “අනේ ඔය කවුරු කොහෙ ගියත් මගෙ මොකද!” ඕං ලැබිච්ච උත්තරේ! මටත් ලැජ්ජාවක් කියලා එකක් නෑනෙ, මේ හිච්චි කෙල්ලට කී වෙනි වතාවටද මේ පාච්චල් වුණේ? “ඕන අහක ගිහිං ඕන එකක් කරගන්න එකයි ඇත්තෙ!”

එහෙම කියලා තවත් හයියෙං යන්ට ගත්තෙ නැතෑ. මටත් තියෙනවා ඉවසීමේ සීමාවක් කියලා එකක්. පන්සලේදි අච්චර හරියක් කරලා තවම එක වචනෙකින් මගෙන් සමාව ඉල්ලුවෙ නෑ. එහෙම තියෙද්දි මං මෙච්චර හොඳින් කතා කරලත් බලාපල්ලකො මෙයාගෙ ගණං. ඔහෙ ගියදෙං. මංනං යන්නෙ නෑ තවත් කතාවට. එයාට ඕන නැත්තං මටත් ඕන නෑ! මං ඔහෙ යන්ට ඇරලා පහු වුණා. අර කිව්වා වගේ පුළුවං ඉක්මනට වැඩේ ඉවර කරගෙන මෙහෙං තොලොංචි වෙලා යන එකමයි හොඳ! නැත්තං මගෙත්-

“ආව්, අම්මේ!!!” 

ඒ ලතෝනිය ඇහුණෙ මුතූගෙන්. මං කොහොම එතනට ගියාද මං දන්නෙ නෑ, ඊළඟ මොහොතෙදි මං උන්නෙ බිම වැටිලා කකුල බදාගෙන උන්නු මුතූ ළඟ. අඟල් දෙකහමාරක් විතර දිග කටුවක් සෙරෙප්පු අඩිය පාසාරු කරගෙන ගිහිං වම් කකුලෙ ඇනිලා. කවුදෝ මන්දා කපලා දාපු කටු පිරිච්ච් කඳන් අතු වාගයක් පාර අයිනේ ගොඩ ගහලා, ඉන් එක අත්තක් පාරට වැටිලා. 

“මෙච්චර ලොකු අත්ත පෙනුණෙ නැද්ද මුතූ? පාර බලං යන්ට එපැයි!” මං හෙමින් සැරේ කටුව අයිං කරන්ට හදන ගමං කිව්වා.

“එපා, රිදෙනවා!!!” මුතූ කකුල ගැසුවා.

“මේක අයිං කරන්නෙ නැතුව පුළුවන්ද? ඔහොම ඉන්ට තව පාරවගන්නෙ නැතුව!” මං  කකුල හයියෙන් අල්ලගෙන හෙමින්සැරේ කටුව ඇද්දා.

“අනේ! ඌයි!” 

මට හොඳවැයින් පයින් පාරකුත් වැදුණා. එහෙම හරි යන්තං කටුව අයින් කරගත්තා පරිස්සමට. ඒත් ලේ ගලනවා ඕසෙට. ගිනි මද්දහන් වෙලාවනෙ. “නගා ළඟ තුවාළෙ ඔතන්ට මොකවත් තියෙනවද?” මුතූ නැහැයි කියන්ට ඔළුව වැනුවා. මං මගෙ සාක්කුවෙන් ලේන්සුව අතට ගත්තා. “මේ ලේ ගැලිල්ල නතර කරගන්ට එපැයි…” මං ලේන්සුවෙන් තුවාළෙ එතුවා. “ඔන්න දැං හරි. නැගිටින්ට පුළුවං නේද?” මං නැගිටලා අත දික් කළා. උඩ බලං ගිහින් කටු ඇනගත්තට මොකද, මගෙ ලේන්සුව කකුලෙ ඔතං හිටියට මොකද, ආඩම්බරේනං එක බිංදුවක් අඩු වෙලා නෑ. මං දික් කරාපු අත දැක්කෙ නැති ගාණට බිමට අත ගහගෙන ඔය නැගිටගත්තෙ. ඒ වුණාට ඉතිං එයා මගෙ උදව් නැතුව ඇවිදින හැටි බලමුකො! මං හිටියා ආයෙ පැනලා දෙන්න යන්නෙ නැතුව එයාම උදව් ඉල්ලනකල්. හිල් වෙච්ච සෙරෙප්පු කබලත් ආයෙම දාගෙන අඩියක් දෙකක් නොණ්ඩි ගගහා ගියා. යන්ට බෑ එයාට එහෙම. රිදෙනවා ඇති කකුල හොඳටම. මං ආයෙත් ළඟට ගියා.

“නගේ, එන්ට මාව අල්ලගෙන…” මං බලෙන්ම අත අල්ලගෙන වාරු දෙන්ට හැදුවා. 

“එපා එපා,” විගහට මගෙ අත ගසලා දැම්මෙ නැතෑ. “මට අන්න අර පොල්ල ඇහිඳලා දෙන්නකෝ…” පාර අයිනේ ටිකක් එහායින් වැටිලා තිබ්බ රීප්පයක් පෙන්නලා කිව්වා. ඇති එහෙමවත් උදව්වක් ඉල්ලන්ට දිව නැමුණා. ඒකත් හැරමිටිය වාගෙ ඇන ඇන තව ටික දුරක් ගියා. මෙහෙම යන්ට ගියොත් ගෙදර යද්දි හැන්දැ වෙනවා විතරක් නෙවෙයි මෙයා කකුලත් තව ටිකක් පාරවාගන්නවා. ඒ තුවාළෙට බෙහෙත් බැන්දනං හොඳයි වැඩිය කල් මරන්නෙ නැතිව.

මං ආයෙමත් ළං වුණා. ඊළඟට මං අහපු පුරස්නෙ මං ඇහැව්වේ මුතූ ඒකට කොහෙත්ම කැමති නොවන බව හොඳ හැටි දැනගෙන. ඒත් මොකදෝ මන්දා මට එහෙම අහන්ටම හිතුණා. “මං මුතූව උස්සගෙන යන්ටද ගෙදරට?”

කෙල්ල එහෙමම නතර වුණා. අතේ තිබුණ පොල්ල අත් දෙකෙන්ම අල්ලගෙන ඉස්සුවා මට පතබාන්ට. ඇයි හත්දෙයියනේ මංම ඇහිඳලා දීපු පොල්ල! අකමැති එක කටිං කියන්ට බැරිද පොලු උරුක් කොරගන්නෙ නැතිව? 

“හරි හරි හරි,” මං ඒ පොලු පාර මට වදින්ට කළියෙං අල්ලගෙන බොහොම පරිස්සමට පාත් කරලා ඈතට වුණා. “මට තේරෙනවා නගාට මගෙ උදව් ඕන නැති බව. ඒත් මට නගාගෙ තනියට මෙහෙම ඉබි ගමනෙං එන්ට හැටියක්නං නෑ, මං පරක්කු නොවී පන්සලට ආපහු යන්ට ඕනැ. මං ගියාට කමක් නැහැනෙ?”

ඔහෙ නෑ උත්තරයක්. බිමට ඔරවගෙන යනවා එයාගෙ පාඩුවේ. මගෙ මොකෝ. මං මට කොරන්ට පුළුවං සේරම කළා නොවැ. ඉං එහාට මක්කවත් කරන්ට එයැයි ඉඩක් දෙන්නෙ නැත්තං මං මක් කරන්ටද? “පරිස්සමෙන් යන්ට එහෙමනං…” මම එහෙමත් කිව්වා ඉතිං මනුස්සකමට. ඉං පස්සේ එයැයි උත්තරයක් දෙයිද නොදෙයිද බලන්ටවත් නොඉඳ මං එන්ට ආවා.



– මතු සම්බන්ධයි –


%d bloggers like this: