Menu Close

මරණය සහ දුක

      කාලෙකට පස්සේ හිත කම්පනය වෙලා ගිය කවියක් ෆේස්බුක් එකේ දැක්ක. ඒ එක්කම පහු ගිය ටිකේ දන්න කියන කිහිප දෙනෙක් ගේ මව් පියන්ගේ මරණ ගැන අහන්න ලැබුණා.  පෙබරවාරි 7 වෙනිදට තාත්ත නැති වෙලා අවුරුදු 17ක් පිරුනා. ඒකත්  එක්ක ඉතින් මේ වෙනකොට මරණය සහ දුක මට දැනෙන්නේ කොහොමද කියල කලපනා කරලා බැලුවා.

කවිය කියවල ඉන්න

පුරුදු පාරේම අදත් යනවා
ඒත් වෙන ගමනක් පුතේ
ගොඩක් අය මගෙ පස්සේ එනවා
තනිව මං ආ ගිය මගේ
කවමදාවත් මගේ බර උඹේ
කරේ තිබ්බේ නෑ පුතේ
හුඟක් බර නම් බිමින් තියපන්
රිදෙනවා ඇති අත උඹේ

කන්ද පා මුල සොහොන හුරු නෑ
දන්නවා මං  මයේ පුතේ
මගේ තනියට තවත් අය ඇති
අඳුර ගන්නම් හෙට උදේ
සොබාදහමට අවනතයි මං
ඉතින් යන්නම් ගොම්මනේ
යන ගමං මේ බේත් තුණ්ඩුව
අරං පලයන් අම්මගේ

                    ඉරේෂා හේමමාලි

ෆේස්බුක් එකේ ෂෙයාර් වෙච්ච මේ පින්තුරේ සහ කවිය  ඉරේෂා හේමමාලි  කියල කෙනෙක් ලියපු එකක්. ෆොටෝ හිටපු ගමන් නොපෙනන හින්ද කවිය ලියලම දැම්ම 

පොඩි කාලේදී තාත්තා අසනීප වෙනකොට මට හරියට බය හිතුනා. අපේ තාත්තට හතිය සහ සෙම ප්‍රශ්න තිබුනා. සමහර වෙලාවට බීලා වැඩිවෙලා  වැටිලා ඉන්නකොටත් මට හිතුනේ සනීප නෑ කියල… එතකොට මම ගොඩක් පොඩියි. 
තාත්තා නැති වෙනකම්ම මමයි තාත්තයි නිදා ගත්තේ එකට. පොඩි කාලේ තාත්ත අසනීප වෙලා ඇඳේ නිදාගෙන ඉන්න කොට මම තාත්තව බදාගෙන ඉන්නවා. තාත්තා මැරෙයි කියල බයට. මීට අවුරුදු 30කට විතර කලින් අපි හැමෝගෙම වගේ ජිවිත ගෙවුනේ එතරම් වත් පොහොසත් කම් මැද නෙවෙයි නේ… අපිට කියලත් වෙනසක් නෑ… සෑහෙන ගැටළු ගොඩක් මැද්දෙන් කොහොම හරි අම්මයි තාත්තයි එකතු වෙලා ජිවිතේ ගොඩ නැගුවා. සමහර දේවල් කලේ කොහොමද කියල අදටත් හිතා ගන්න බෑ… අම්ම ආණ්ඩුවේ රස්සාවෙන් පැන්ෂන් ගන්නකම්ම ණය ගෙව්වා. මම හිතන්නේ අපි හැමෝගෙම කතාව ඔය වගේ වෙන්න ඇති. 
පොඩි කාලේ මම හිතපු එක දෙයක් මට හොඳට මතකයි. කවද හරි අම්ම හරි තාත්ත හරි මැරෙනවනම් අඩුම තරමේ මට වයස 30-35ක් වත් වුනාට පස්සේ මැරෙන එක කමක් නෑ කියල. මොකද ඊට කලින් මැරුනොත් මට ඒ දුක දරා ගන්න බැරි වෙයි කියන බය මට හැමදාම තිබුනා. 
අපිට ඕනේ විදියට දේවල් ඒ වෙන්නේ නෑ කියන එක ජිවිත කාලෙටම මතක හිටින විදියට උගන්නල හීනෙන් වත් බලාපොරොත්තු නොවෙච්ච විදියට තාත්ත නැති වුනා.
මට තාත්ත නැති වෙච්ච දවසේ දැනිච්ච දුක දැන් දැනෙන්නේ නෑ… මම තාත්ත මැරුණු දවසේ උදේ පාන්දර කොළඹ මහ ඉස්පිරිතාලේ ගේට්ටුව ගාව මහා හයියෙන් කෑ ගහල අඬපු එක නතර වුනේ තාත්තගේ මිනිය උස්සන වෙලාවේදී. මල ගෙදර වැඩ වලට අදාලව කිසි දෙයක් මම කලේ නෑ… අපේ අම්මගේ සහ තාත්තගේ පැත්තේ නෑයෝ හැමෝම එකා වගේ තාත්තට පණ ඇරලා ආදරේ කළා. ඒ තාත්තා ඒ හැමෝගෙම හැම ප්‍රශ්නෙදීම ඕනේ දේකට සපෝර්ට් එකට හිටපු  බල කණුවක් වෙච්ච නිසා. තාත්ත තරුණ කාලේ තදටම දේශපාලනේ කරල බොහෝ අයව ආශ්‍රය කරපු චරිතයක්. බොහෝ දේවල් කරන්න හැකියාව සහ සම්බන්දතා තිබුන. හැබැයි තාත්තා සංවේදී කෙනෙක්, ටක් ගාල ඇස්වලට කඳුළු එන, බඩේ තියෙන දෙයක් හරි අරන් අනුන්ට දෙන ජාතියේ කෙනෙක්. ඒ වගේම ඕනෙම තැනක ඕනේ ලොක්කෙක් ගාව කිසි බයක් නැතිව හිතට එන දේ කෙලින් කියන කෙනක්.  නෑයෝ වගේම ගමේ අයත් එයාට ආදරේ කලේ ඒ නිසා. තාත්තගේ මරණේ  හැමෝටම දැනිච්ච දෙයක් වුනේ ඒකයි. මම අපේ නෑදෑ පරපුරට හැමදාම ආදරේ ඒ හැමෝම එදා වගේම අදත් එක විදියටම අපිත් එක්ක ඉන්න නිසා. තාත්තා ඉන්න කාලේ සහ නෑ කියල ඒ කවුරුවත් වෙනස් වුනේ නෑ. මලගෙදර  වැඩ කොහොම වුනාද කියල මම අදටත් දන්නේ නෑ… ඒ දේවල් හැමදේම කලේ නෑදෑයො සහ ගමේ අය.
පෙට්ටිය උස්සගෙන කනත්තට යද්දී මට දුකක් දැනුනේ නෑ… කනත්තට යන කම් එක විදියට මම පෙට්ටිය අරන් ගියා. භුමිදානේ කරලා ආවට පස්සේ අද වෙනකම් අපි කවුරුවත් ආයේ කනත්තට ගියේ නෑ…
මල ගෙදර වැඩ වලින් පස්සේ තාත්තගේ ඇඳුම්, පාවිච්චි කරපු බඩු හැමදේම එක්කෝ අපි ඔය පරණ ඇඳුම් එකතු කරන අයට දුන්න නැත්නම් විසි කරලා දැම්මා. අම්මයි මමයි ඔය බඩු අස්කරද්දී මම අම්මට කිව්වා අපි මේවා තියා ගමු කියල. අපේ අම්මා ඇහුවේ තාත්ත නැතුව මේවා තියාගෙන මොනවා කරන්නද කියල… ඒ අපේ අම්මගේ හැටි… මම තාත්තගේ ෆොටෝ එකක් මගේ පර්ස් එකේ දාගෙන හිටියා. තරුණ කාලේ ගත්තු කළු සුදු එකක්… කාලයක් යද්දී ඒක පර්ස් එකට ඇලිලා දිය වෙලා මැකිලා යන්න ගත්තා… මම ඒ ෆොටෝ එක ටිකෙන් ටික දියවෙලා මැකිලා යන හැටි බලං හිටියා මිසක් ඒක ආරක්ෂා කරන්න බැලුවේ නෑ… ඒ සමහරවිට අම්මගෙන් මට ලැබිල තියෙන දේ නිසා වෙන්න ඇති…
අපි අවුරුදු පතා තාත්තා වෙනුවෙන් දාන දුන්නා, පන්සලට මල් ආසනයක් හදල පුජා කළා, ඔය වගේ නොයෙක් වැඩ අවුරුදු 12ක් විතර නොකඩවා කළා. පස්සේ එක එක හේතු නිසා අවුරුදු 2-3ක් දානේ නොදුන්නත් පුළුවන් හැමවෙලේම තාත්ත වෙනුවෙන් පිං කම් කළා.
හැමෝගෙම මරණය සහ පිං කම් වැඩ ඔය විදියට වෙනවා ඉතීන්… 
හැබැයි අපිට දැනෙන දුක නැති වෙන්නේ කොහොමද?
කාලය ගත වෙද්දී දුක තුනී වෙනවා. ඒක ඇත්ත. හැබැයි ඇත්තටම දුක නැති වෙන්න පටන් ගන්නේ අපි ඒ මරණය පිළිගත්ත ගමන්. මරණය පිළිගන්න එක ජිවිතේ පරිණත වෙද්දී කරන්න ලේසියි. මම තාත්තගේ මරණය පිළිගත්තේ පෙට්ටිය උස්සගෙන කනත්තට යන අතර මගදී. එකෙන් කියන්නේ නෑ තාත්තා නැති පාළුව, දුක එදායින් පස්සේ නැති  වුනා කියන එක, නමුත් ඒක ප්‍රත්‍යක්ෂයෙන් ම පිලිගත්තට පස්සේ පීඩනය අඩු වෙනවා. ඊට පස්සේ අපිට දුක දැනෙන්නේ තනිකරම අපේ ආත්මාර්ථකාමී ආසාවල් හින්ද.
පන්සල, බණ, පිංකම් දුක යටපත් කරන්න, මග අරින්න, හිත හදා ගන්න උදව් වෙනවා. හැබැයි දුකට හේතුව තේරුම් ගන්න කම් දුක නැති වෙන්නේ නෑ…
මම ඊට පස්සේ ඔය දුක නැති කරන්න හිතාගෙන කරපු දේවල් මේකේ ලිව්වා

තාත්තා නැති වෙලා කාලේ ගෙවෙද්දී ඇත්තටම තිබුනේ දුකට වඩා හිටියනම් හොඳයි නේද   කියන හැඟීම.  කොහොමත් මරණයක්  වෙලා  අවුරුදු 2-3ක් යනකොට දුක තුනී වෙනවා. ඒක  කාටත් පොදු දෙයක්.  මම තාත්තගේ මරණෙත් එක්ක මේ ගැන පොත පත ගොඩක් කියෙව්ව. බණ අහල බැලුවා  හැබැයි  ඒ හැම එකක්ම  තනිකරම ඉස්කෝලේ පොතක තියෙන පාඩමක් වගේ දෙයක් මිසක්  අපිට ඒ වෙලාවේ ප්‍රයෝජනෙට  ගන්න පුළුවන්  දෙයක් විදියට තිබුනේ නෑ. බොහෝ පොත පත ලියපු අයත්, බන දේශනා කරපු හාමුදුරුගොල්ලොත් කරලා තිබුනේ  තමුන් කොහෙන් හරි අහපු දැකපු දෙයක් ලියල තැබීමක්, අනුන්ට දේශනා  කිරීමක් මිසක් ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් ලියපුව නෙමෙයි.   ඒ නිසා ඒවායේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු නියම ධර්මය තියෙනවද කියන සැකය මට හැමදාම තිබුන.

ඔය ඉහත ලිපි දෙකේ මම ලිව්වේ ඒ සැකය පස්සේ හොයාගෙන ගිය හැටි …

දැන් ඔය දේවල් වෙලත් අවුරුදු 10-15ක් ගෙවිලා ගිහින්. දැන් මට තාත්තා ගැන දුකක් හෝ තාත්තා නෑ  කියල පාළුවක් දැනෙන්නේ නෑ … එහෙම වෙන්න හේතුව මම බොරුවට බිසී වෙලා තාත්තා ගැන හිතන්න වෙලා නැති නිසාද නැත්නම් ඇත්තටම තාත්තා ගැන තියෙන  හැඟීම්  අඩු වෙලා ගිහින් නිසාද? නැත්නම් ඇත්තටම මම මගේ තාත්තා කියල අල්ලාගෙන හිටපු කෙනාව මේ සම්පුර්ණයෙන්ම අතැරලා දාපු නිසාද කියල මම කල්පනා කළා.

සමහරවිට මම තාත්තාගේ මරණේ නිසා සම්පුර්ණයෙන්ම මානසිකව ඇද  වැටිලා  මගේ ජිවිතේ ඔහේ නාස්ති වෙන්න ඇරිය  නම් මම අදටත් එදා වගේම තාත්ත ගැන හිත හිත දුක් වෙන්න ඉඩ තිබ්බා. කාලයත් එක්ක උනත් දෙයක් වෙනස් වෙන්නේ අපි මානසිකව ඒක  අතාරින්න සුදානම් නම් විතරයි. එහෙම නැතුව  කාලය ගෙවුනා කියල  ඉබේ කිසි දෙයක් වෙන්නේ නෑනේ. මට ඒක මානසිකව අතාරින්න වැඩියෙන්ම හේතු වුනේ  මොකක් ද  කියල හිතල බැලුවම මට හිතෙන්නේ වැඩිපුරම බලපෑවේ අම්මාගේ හැසිරීම කියල. අම්මා තාත්තාගේ බඩු  බාහිරාදිය පරිස්සමට  රැකගෙන  චිත්‍රපටි වල වගේ මැරෙන කම්  ඒ  ඔස්සේම යන කෙනෙක් වුනා නම් අපිටත් ඒ හැඟීම් වලින් ගැලවෙන්න බැරි වෙන්න ඉඩ තිබුන. හැබැයි අම්මා තනිවම ජිවිතේට මුහුණ දුන්නා. එයා වැටුනේ නෑ.  මගේ ළඟ තාත්තාගේ අර තරුණ කාලේ ෆොටෝ එක නැති එක ගැන සමහරවිට මට අප්සට් හැබැයි ඒ ෆොටෝ එක තාත්තාගේ මතකය දිය කරලා දාල එකෙන් ගැලවෙන්න මට උදව් කළා. එතකොට අහපු බන, කියවපු පොත් පත්, මට කාටවත් මෙන්න මේ පොත කියවන්න කියල රෙකමදාරු කරන්න පුළුවන් විදියේ එක පොතක් වත් හම්බ වුනේ නෑ … නමුත්  කෙනෙකුට අපේ හිත සහ අපි  විඳවන හැටි ගැන ගැඹුරු අවබෝධයක් ලබා ගන්න නම් මම ක්‍රිෂ්නමුර්ති  තුමාගේ දේශනා අහන්න කියන්න කැමතියි. ඒවායේ තියෙන්නේ ආගමකින් ස්වායක්ත වෙච්ච පිරිසිදු ධර්මයක්. බුදු හාමුදුරුවෝ කියපු ධර්මයට ඒ කියන දේ සමානයි කියල මට හිතෙනවා. මොකද ඔබ ඒවා අහන අහන මොහොතක් ගානේ ඔබ තුල වෙනස් වීමක් වෙනව. එහෙම වෙන්නේ ඒ කියන කරුණු වල තියෙන ගැඹුරු බව සහ ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධකරගත්ත කෙනෙක් තුලින් ඉබේ එන දෙයක් මිසක් කට පාඩම් දහමක් නොවන නිසා. ඊට අමතරව මට හමුවූ ගුරු තුමා වෙච්ච බාලසූරිය  මහතා ගැන මට ඕනේ කෙනෙකුට බය නැතුව කියන්න පුළුවන්. ඒවත් ඒ වගේම තමයි.

හරි ඔය හැමදේම කරලා අවසානයේ මට තේරුම් ගිය දේ මෙන්න මේක. මම සහ මගේ තාත්තා කියල මම හදාගෙන තියෙන හැම දේම තනිකරම මායාවක් කියන එක. ඒක මහා බොරුවක් කියන එක. තාත්තා නැති වුනා කියල මම නැති  වුනේ නෑ … තාත්තා හිටිය නම් දැන් ඉන්න මම වෙනුවට මම ගැන මම හිතන සහ ඔබට කියන දේ මිට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්න ඉඩ තිබුනා. ඊට අමතරව කිසි දෙයක් වෙන්නේ නෑ … තාත්තා අපි වෙනුවෙන් සහ නෑදෑයෝ, යාලුවෝ වෙනුවෙන් තව බොහෝ දේ කරන්න ඉඩ තිබුනා.  එයාට අවසාන කාලේ චන්දෙ  ඉල්ලන්න ආසාවකුත් තිබුනා. දේශපාලනෙන් බොහොම පරිණත  වෙලා හිටපු කෙනෙක් නිසා සමහරවිට මේ හැමදේම භෞතික වශයෙන් වෙනස් වෙන්න ඉඩ තිබුන. ඒ ඇර  කිසි වෙනසක් වෙන්නේ නෑ … ප්‍රයෝගික දේවල් මොන විදියට සිද්ධ උනත් අපි හැමෝම අපේ ජිවන ගමන යනවා. ඒ  යන්නේ තනිවම. ඉතින් ඇත්තටම තාත්තා නැතිවීම සහ තාත්තා සිටීම ගැන මම හිතින්  හදා ගන්න සිතිවිලි සියල්ල බිඳ වැටෙන්න ඉඩ ඇරලා  මේ ලෝක සත්‍යයක් වෙච්ච ඇතිවීම , නැතිවීම කියන දේ ගැන හිතල බැලුවොත්  වෙලා තියෙන්නේ මම හිතින් හදාගත්ත සිතිවිලි ගොඩක් මම ම හිතින් හදා ගත්ත ප්ලෑන්  එකට අනුව වැඩ නොකිරීම විතරයි . නමුත් අපි කවුරුවත් බලාපොරොත්තු නොවන ප්ලෑන්  එකකට  ජිවිතේ ගලාගෙන යනවා. තාත්තගේ පැත්තෙන් හිතල බැලුවොත් තාත්තගේ අවසාන මොහොතේත් එයා අපි ගැන හිතල දුක් වෙන්න ඇති. මොකද අක්කවත්, මමවත්, නංගිවත්  භෞතිකව  කිසිම ස්ථාවර තැනක ඒ වෙද්දී හිටිය නැති නිසා. තාත්තට ඔය  උඩින් කිව්වා කවිය වගේ හැඟීම්  එන්න ඇති .. සමහර විට තාත්තා අපි නොහිතන විදියට අපිව අතැරලා දාල මරණයට මුහුණ දෙන්න ඇති. ඕවා හිත හිත   මට තව සිතුවිලි ගොඩක පැටලී පැටලී ඒ දුක රස කර කර ඉන්න පුළුවන්. නමුත් මම ඒ  කරන හැමදේම හුදෙක් මගේ වින්දනය උදෙසා  කරනවා මිසක්  එහෙම කිරීමෙන් කිසි ඵලයක් තියෙනවා කියල මට හිතෙන්නේ නෑ …

සරලව හිතුවොත් මගේ හිතට  දැන් තාත්තා කියන චරිතය පරණ මතකයක් බවට පත්වෙලා. මේ ලෝකේ මේ මොහොතේ මැරෙන දහස් ගානක් වෙච්ච පිට මිනිස්සු මැරෙනකොට මට කිසි ගානක් නැතිව ඉන්න පුළුවන් වගේම තාත්තා මැරුණා කියන දේ එක්කත් මට කිසි ගානක් නැතුව ඉන්න පුළුවන්. නමුත් තාත්තා අපි වෙනුවෙන් කරපු හැමදේම ගැනම ස්තුතියක්, ආදරණිය හැඟීමක් හැමදාම තියෙනවා. එතන තියෙන්නේ විඳවීමක් නෙමෙයි අතීතය ගැන සුන්දර මතකයක්.  මට තාත්තා වෙනුවෙන් භෞතිකව  කිසි දෙයක් කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ .. නමුත් ඉතින් මම අමතර වදයක් නොදී තාත්ත එක්ක සන්තෝසෙන් හිටය කියන දේ විතරක් හිතේ තියෙනවා.

දැන් මම මේ දුක ගැන මෙහෙම හිතනකොට ඊලඟට හිතෙන දේ තමයි කවද හරි මුහුණ දෙන්න සිද්ධ වෙන අම්මගේ මරණය, සමහර විට අපි බලාපොරොත්තු නොවන වෙනත් සමීප කෙනෙකුගේ මරණයක් ඊට කලින් වෙන්න පුළුවන්. තාත්තගේ මරණෙන් පස්සේ පවුලේ සිද්ද වෙච්ච මරණ කිහිපයකදීම මට ඒ හැටි දුකක් දැනුනේ නෑ… නමුත් අම්මාගේ මරණයට එච්චර ලේසියෙන් මුහුණ දෙන්න පුළුවන් ද කියල මට සමහර විට හිතෙනව.  කොහොමත් තාත්තා නැති උන දවසේ තරම් දුකක් නොදැනෙයි. එතරම් දුකක් නොවිඳ ඉන්න පුළුවන් වෙයි. මොකද මේ මරණය සහ වෙන්වීම කියන දේ තුල  තියෙන  මායාකාරී බැඳීම දකින්න පුළුවන් කමක් තියෙන නිසා. නමුත් දුක දැනෙන එක, අම්මා නැති අඩුව දැනෙන එක බොහෝ  කාලයක් යනකම් තියේවි.

මේ ඔක්කොම හිතනකොට අපේ හිතට දැනෙන ඊළඟ  බොළඳ  හැඟීම තමා මම අනිත් ඔක්කොටොම කලින් මැරුනොත් අනිත් අයට මොකද වෙන්නේ කියන එක. මේ වෙද්දී මට තේරිලා තියෙන දේ නම් අනිත් හැමෝගෙම ජිවිත ගලාගෙන යන විදිය අපි හිටිය, නැති වුනා කියල මහ  ලොකු වෙනසක් වෙන්නේ නෑ  කියන එක.  ආර්ථික ප්‍රශ්න ඔක්කොම විසඳලා අපිට මැරෙන්න බෑනේ.. ඊට පස්සේ ළමයි ඉන්නවනම් උන් ඔක්කොම ලෝකු වෙලා ඔක්කොම සෙට්ල් වෙනකම් ඉඳලත් අපිට මැරෙන්න බෑනේ … ඉතින් ඇත්තටම කරන්න පුළුවන් දේ  ඉන්න කම්  හැමෝම එක්ක පුළුවන් තරම් හොඳින් ඉන්න එක. මැරෙන මොහොතේදී  කරපු දේවල් හෝ  කරන්න බැරි වෙච්ච දේවල් ගැන නොහිතා ඉන්න හිත පුරුදු කර ගන්න එක. බැඳීම් කියන්නේ තනිකර මායාවක්. ඔබ සිටීම නොසිටීම නිසා අනිත් අයගේ ජිවිත වලට වෙන බලපෑම අඩු වෙන විදියට ඒ අයට  මේක පැහැදිලි කරල, එයාලව ස්වාධින චරිත බවට පත්කරන එක තමා අපිට කරන්න පුළුවන් දේ .. ඒ වගේම ඉතින් අපි හැමෝම හිතන්න ඕනේ මේ ලඟින් ඉන්න මනුස්සය කොයි වෙලේ නැති වුනත් තමන් ජිවිතේට මුහුණ දෙන්න ඕනේ  කියන එක. බොළඳ ප්‍රාර්ථනාවන් කර කර එක එක දෙවිවරු පස්සේ දුවනවට වඩා කරන්න ඕනේ තමන්ගේ හිත ශක්තිමත් කරන එක. බන අහ අහ පන්සල් ගානේ දුවනවට වඩා කරන්න ඕනේ අහල තියෙන එක බන පදයක හරි තියෙන දෙයක් තේරුම් අරගෙන ඒ අනුව එදිනෙදා ජිවත් වෙන එක.

ඔබට ඔබේ මනස පුරුදු කර ගන්න බැරි නම් වෙන කිසිම දේකින්  සහනයක් ලබා ගන්න බෑ… ඔබ මොන ආගම, මොන පොත පත, මොන ගුරුවරයා පසු පස ගියත් සිදු වෙන හැම දෙයකදීම ඔබේ සිතේ හැසිරීම දකින්න, ඒක  පාලනය කරන්න බැරි නම් ඔබට සහනයක් ලැබෙන එකක් නෑ. අපි කවුරුත් නරක මිනිස්සු නෙමෙයි. හැබැයි අපිට  නොදැනෙන තරමට සියුම් විදියට අපි නරකයි. ඒ ගැන ඔබට දැන  ගන්න පුළුවන් වෙන්නේ ඔබ ඔබේ සිත ස්කෑන්  කරලා බලනකොට විතරයි.  වෙන කාටවත් ඔබට උපකාරයක් කරන්න බෑ. ඉතින් මරණය, වෙන්වීම, තනිවීම  ඔය හැමදේදීම  අපේ හිත හැසිරෙන විදිය කන්ට්‍රෝල් කරගන්න පුරුදු වෙන එක වැදගත්.   ඉතින් ඕක පුරුදු කරන්න පුළුවන් වෙන්නේ මේ සියල්ලෙන්ම ඈත්  වෙලා පැන්ෂන් ගත්තම හරි වන ගත වෙලා හරි නෙමෙයි. මේ දැන් ඔබ කරන වැඩේ දී, නැත්නම් ඔබ කතා බහ කරන මනුස්සය එක්ක, ඔබට පෙන්නන්න බැරි බොසා එක්ක තමා ඕක පුරුදු කරන්න ඕනේ. ඔබේ ප්‍රොමෝෂන්  එක නැති වෙන්න අරින්න, ලොක්කාගෙන් කුණු වෙන්න බැනුම් අහල බලන්න, හිත රිදෙනකොට තේරුම් ගන්න පුළුවන් නොතිබ්බ ප්‍රොමෝෂන් එක, කොහෙවත් නැති මනුස්සයෙක් කියන වචන ටිකකුයි අපිට කොච්චර රිදවනවද කියල. අපේ ඇතුලේ තියෙන කුණු  ඔක්කොම එලියට ගන්න පුළුවන්. හැමදේම ඉවර වෙලා වෙනම ඕවා කරන්න කාලයක් ඔබට ලැබෙන්නේ නෑ…

මේ විදියට හැමදේකදිම  සිත ගැන හොයල බලන එක උපාසක කමක් නෙමෙයි. ඔබට වඩා පරිපුර්ණ, සාර්ථක, තෘප්තිමත් මනුස්සයෙක් වෙන්න තියෙන ලේසිම ක්‍රමයක්. ඔබට එදිනෙදා ජිවිතයේ තමන් කැමති ඕනේ දෙයක් කරන්න, ලබා ගන්න ඕන නම් සහ  කැමති නම්  ඔය ආගමේ දාල තියෙන නීති කඩල බලන්න උනත් පුළුවන්. කිසි අවුලක් වෙන්නේ නෑ. ඔබේ සිතේ කන්ට්‍රෝල් එක ඔබට තියෙන තාක් ආගම් වලට බය වෙන්න අවශ්‍යය නෑ… මොකද අපේ හිතේ තියෙන දුක හෝ බය නැති කරන්න ආගමට බෑ  වගේම, දුකක්, බයක් නැති සිතක් තියෙන කෙනෙකුගේ ඉරණම තීරණය කරන්නත් ආගමට බෑ. නමුත් සත්‍යයය සහ සොබාව ධර්මය (බුද්ධ/කතෝලික/ඉස්ලාම්/අප්‍රිකානු/ඇන්ටාටිකානු  ආදී වශයෙන් නැතිව )   කියන දේ ඔබගේ  දුකෙන් ගැලවීම හෝ තව දුරටත් දුකෙහිම එල්ලී එල්ලී සිටීම යන දේ තීරණය කරාවි.

මේ විදියට හිතල බැලුවම මේ ලෝකේ ඔබට මට සිද්ද වෙන හැමදෙයකදීම  අපිට  කම්පා වෙන්න හෝ සතුටු වෙන්න පුළුවන්. ඒක  තනිකරම ඔබගේ තීරණයක්.  මරණයකදී  සතුටු වෙන්නත් අපිට පුළුවන් (කිරිබත් කාපු මිනිස්සු වශයෙන් )

%d bloggers like this: