Menu Close

ජනපති ප්‍රේමදාස සමගින් ආයෙමත් තාත්තා.

මේකථාව වරෙක මම තට්ටයාගේ කොලම ලියන තට්ට මහතයාට පහුගිය අගෝස්තුවේ පැවසුවක් වන අතර නැවත මෙය ලියන්නට මතක් වූයේ වර්තමාන ශ්‍රීලංකාවේ එක්තරා ඉහල පෙලේ දේශපාලන චරිතයක් තාත්තා මුණගැහෙන්නට ලගදී දවසක පැමිණීමත් සමග ය.

එක්දහස් නවසිය අනූදෙක වසරේ දිනක් උදෑසන හයට ට පමණ නිල ඇදුමෙන් සැරසුන පොලිස් නිලධාරීයෙක් නිවසේ විදුලි සීනුව නාදකර හැටි අදටත් මට මතක ය .මම දොර විවර කර මොහොතේ ඔහු ,

පුතා , තාත්තා ඉන්නවද ? යැයි විමසුවා .

මම ඔව් , ආන් …. ඉන්නවා කන්තෝරු කාමරේ යැයි පවසා සිටි අතර අම්මා ද ඒ මොහොතේ කවුදෝ පැමිණියේ කියා බලන්නට පැමිණ මම අසලින් සිටගත්තා ය .

මේ ….ආටිගල මහත්තයාගේ නෝනා වෙන්න ඕනේ . ඔහු පැවසුවා .

ඔව් , මම තමයි .

මැඩම් , ජනාධිපතිතුමා ඇවිල්ල ඉන්නවා ආටිගල මහත්තයා හම්බවෙන්න .

කුඩා මම පුදුමයෙනුත් පුදුමයට පත් වීමි. ඒමෙන් ම තැති ගැන්මට ද පත් වුනෙමි. ඒ මක් නිසා ද යත් ප්‍රේමදාස ජනාධිපතිතුමා නැමති චරිතය මගේ කුඩා සිතේ සිත්තම් වී තිබුනේ භයානක කෙනෙකු ලෙස ය.

ඒ වන විටත් උප්පති එජාප පාර්ෂව කරුවකු වූ මගේ තාත්තා ඒ වසරේ ම ඉහල පාලනයට නොනැමී රජයේ සේවය අකුරට ඉටුකරපු වරදට එජාපයේ ම ඇතැම් පාලක බලවේගයන් වල උදහසට ලක්ව කලකිරීමෙන් නිවසට වී සිට දුර්භාග්‍ය මත් කාලයක් විය .

ප්‍රේමදාස ජනාධිපතිතුමා නිවසට පැමිණිවග දැනගත් තාත්තා විමතියට පත් වූ බව මට වැටහී ගියේ ඔහුගේ මුහුණ බැලු විට ය . ජනාධිපතිතුමා ගේ පෙනුම අතිශය ගම්බීර විය. නිවසට පැමිණෙන ඔහුට තාත්තා ආචාර කර විට ඔහු ඔහුගේ අත් දෙකෙන් තාත්තා ගේ ආයුබෝවන් කියූ අත් දෙක අල්ලා ගෙන සිනාමුසු මුහුණින් මෙසේ කීය

“ආටිගල ……… තමුසේ එහෙනම් උන්ට තොවිලේ නටන්න කියල ආව නේද ? “

තාත්තා තව වචනයකුත් කියන්නට පෙරම නැවතත් එතුමා ,

උබල වගේ දහයක් හිටියනම් මට ඇති මේ රට මට ගෙනියන්න . ඒත් උබ මොකද කරේ ?

ජනාධිපතිතුමා තාත්තා ගේ ඇස් දෙස බලමින් කථා කළෝය . ඒ හැම වචනයක් ම නිවාස පුරා ගිගුම් දෙන්නට විය . මමත් අම්මාත් ඔහු දෙස බලා සිටි අතර නිවසේ මෙහෙකාරිය අම්මා ලගට විත් යමක් මිමිනුවාය .

ඔය අතර ජනාධිපතිතුමා අම්මා දෙස බලා සිනාසෙමින් කීවේ “නෝනා මහත්තයා අපිත් උදේට කාල නැහැ තවම” ලෙස ය.

අම්මා පෙරලා පිළිතුරු දුන්නේ “සර් උදේ කෑමට අපිත් එක්ක ඉන්නවනම් කොච්චර් හොදයි ද කියා ය “

ඔය අතර තාත්තා කථාව මැදට පැමිණ ,

සර් …. මම ….. කියද්දීම ,

එතුමා ,

“මම දන්නවා මනුස්සයෝ හැම දෙයක් ම . ඊයේ රෑ තමයි මම විස්තරේ හරියටම දැනගත්තේ .

ඒක තමයි මම මහ පාන්දර ගෙදරටම ආවේ” .

තාත්තා කිසිත් නොකියා බිම බලාගත අතර ,

නැවත වරක් තාත්තා දෙසට හැරුන ඒතුමා ,

“තමුන් හෙට ඉදං වැඩට එන්න ඕනේ .

කරන මිනිහට කරන්න දෙන්නැති උන් පන්නන්න තොවිලේ මම නටන්නම් . “

අනික ඔය ඇමරිකා යන්න හදන වැඩේ අල්ලලා දානවා ටික කාලෙකට .

තේරුනා නෙ… ? කීය .

තාත්තා ද පෙරලා ” ඔව් සර් ” .කීවේය .

පසුව මද වෙලාවක් අල්ලාප සල්ලාපයේ යෙදුනු එතුමා උදේ ආහාරයත් නිවසින් ම ලබාගෙන පිටව ගියේ ආයෙත් ආපු වෙලාවක එන්නම් යැයි කියමින් ය .
එහෙත් නැවත කිසිදා ප්‍රේමදාස ජනාධිපතිතුමාහට අප නිවසට පැමිණෙන්නට නොහැකි වූ අතර ඉතා අවාසනාවන්ත ලෙස තම දිවියෙන් සමු ගත්තේ රටම  මොහොතකට අරාජික කරමින් ය .

ස්තූතී ‘නෙළුම් යාය’ සමාජ කතිකාවතට  ❤️
%d bloggers like this: