Menu Close

අපගේ විද්‍යා අධ්‍යාපනය පසුබෑමකට ලක්වී තිබේද ?

   ශ්‍රී ලංකාවේ විද්‍යා අධ්‍යාපන උන්නතිය සඳහා, දශක කිහිපයක් තිස්සේ හැකි සෑම අයුරකින්ම දායක වූ මා විදේශ ගත වී, වසර පහකට පමණ පසුව, නිවාඩුවක් සඳහා ආපසු මව් බිමට ගියවිට දකින්නට ලැබුණු විද්‍යා අධ්‍යාපන ‘සෝදාපාළුව’ ගැන මහත් විමතයට පත්වීමි. විද්‍යා අධ්‍යාපනයට අදාලව දියත් කර තිබුණු සුවිශේෂී වැඩ සටහන් සියල්ල අහෝසි වී ගොස් ඇති බවක් දකින්නට ලැබුණි. එවකට තිබුණු ‘විද්‍යා ප්‍රබෝධය’ අතුරුදහන්වී ගොස් මෙනි.
පරිසරයට අදාළ ක්‍රියාකාරකම්, ක්‍ෂේත්‍ර අධ්‍යයන වැඩ සටහන්, සිසු ව්‍යාපෘති, සොබා මං පෙත් ඔස්සේ අධ්‍යයන ආදිය අධ්‍යාපනයෙන් තුරන් වී තිබේ. මේ සියල්ලටම හේතුව ‘ටියුෂන් උන්මාදය’ බව පෙනේ.
මෙම අධ්‍යාපන සෝදාපාළුව මඟ හරවා ගැනීම පිණිස බලධාරීන්ගේ අවධානය යොමු කරවීම සඳහා , මා විසින් කලකට පෙර පළකරන ලද  Blog  සටහනක් සංශෝධනය කර නැවත මෙසේ පළ කරමි. මෙසේ නැවත මේ ගැන ලිවීමට සිත් වුයේ විශේෂ සිද්ධියක් නිසාය.
මා මෙහි සඳහන් කරණු ලබන සුවිශේෂී විද්‍යා අධ්‍යාපන වැඩ සටහන සඳහා  පුරෝගාමියෙකු වූ, හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල් ඩී.ඒ. පෙරේරා මහතාගේ නිවසෙහි, 2019 ජනවාරි මාසයේදී පවත්වනු ලැබූ දිවා භෝජන සංග්‍රහ අවස්ථා වේදී  අධ්‍යාපන පසුබෑමට මුලික වී ඇති බොහෝ දේ  පිලිබඳව සකච්ඡා විය.  එහිදී හෙළිවූ සමහර කරුණු වලට අදාලව, මෙම වැදගත් වැඩ සටහන නැවත දියත් කිරීම සඳහා විද්‍යා අධ්‍යාපන බළධාරීන් උනන්දු කරවීම මාගේ අභිප්‍රායයි.  
පසුගිය ’70 – ’80 දශක වලදී, ශ්‍රී ලංකාවේ විද්‍යා අධ්‍යාපනය කෙරෙහි, විශාල උනන්දුවක් ඇති විය. රජයද, ‘සැමටම විද්‍යාවයන නව සංකල්පය යටතේ බොහෝ වැඩ සටහන් දියත් කරන ලදී. මෙම රැල්ලත් සමගම එවකට සිටි, විද්‍යා අධ්‍යාපනඥයන් අතලොස්සකගේ මෙහෙයවීමෙන්, 1984 දී, ශ්‍රී ලංකා විද්‍යා සහ ගණිත අධ්‍යාපන සංගමය – ශ්‍රී ලං වි ග අ ස  (Sri Lanka Association for Science and Mathematics Education –SLASME)  පිහිටුවා  ගන්නා ලදී.  මෙම සංගමයේ ආරම්භක සභාපති වුයේ, පේරාදෙණිය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයයේ, වෛද්‍ය විද්‍යා මහාචාර්ය වැලන්ටයින් බස්නායක මැතිතුමාය. 
අධ්‍යාපන අමාත්‍යංශයේ  විද්‍යා අධ්‍යාපන අධ්‍යක්ෂක ධුරය ඉසිලු, ජිනපාල අලස් මැතිතුමා,  එහි උප සභාපති විය. ඒ කාලයේ විද්‍යා අධ්‍යාපනයට සම්බන්ධ තවත් නිලධාරින් කිහිප දෙනෙක්ද, විද්‍යා සහ ගණිත ගුරුවරු රාශියක්ද, විවිධ ක්ෂේත්‍ර වල නියැලී විද්‍යා අධ්‍යාපනයට  ලැදි තවත් අයද, සියයක් පමණ සංගමයේ සාමාජිකයෝ වූහ. සංගමයේ ආරම්භක සාමාජිකයින් වී එය විසුරුවා හරින තෙක්ම, එහි සභාපති ධුරය සහ වෙනත් නිලතල, වරින් වර දරා, රටෙහි සිසු පරපුර වෙනුවෙන් අගනා මෙහෙයක්‌ කරන ලද විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල්, ඩි.ඒ. පෙරේරා මැතිතුමා සහ විශ්‍රාමික විභාග කොමසාරිස් ජනරාල්, ස්ටර්ලින් පෙරේරා මැතිතුමාද මෙහිලා බැති සිතින් සඳහන් කරමි.
මහා බ්‍රිතාන්‍යයේ සුප්‍රකට විද්‍යා අධ්‍යාපන සංගමයක්  වන, පොදු රාජ්‍ය මණ්ඩලීය විද්‍යා ගණිත අධ්‍යාපන සංගමයේ (Commonwealth Association for Science and Mathematics Education- CASME) ආකෘතිය අනුව, සකස් වූ මෙම සංගමයට, ටික කලකදීම එම ජාත්‍යන්තර සංගමයේ සාමාජිකත්වයද ලබාගත හැකි විය.
විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනයේ, ඉහල ප්‍රාථමික, කනිෂ්ඨ සහ ද්විතීය මට්ටම් වල, ඉගෙනුම ලබන දරු දැරියන්ගේ, විද්‍යාත්මක දැනුම සහ අවබෝධය වැඩි දියුණු කිරීම, සංගමයේ මුලික පරමාර්ථය වූ අතර, ඔවුනට විද්‍යාත්මක ක්‍රමය ආශ්‍රීතව, සරල ගවේෂණ  කිරීම සහ ඒවායේ තොරතුරු ඉදිරිපත් කිරීමට වේදිකාවක්  සකස් කිරීමද සංගමයේ අභිප්‍රාය විය. සංගමයේ ලාංඡනයද මෙයට ගැලපෙන ආකාරයටම සකස් විය. එහි ඇති ළමා හිස, අත සහ හදවත යන නිරූපණ වලින් සංකේතවත් වනුයේ, කුඩා කළ සිටම, දැනුම හෝ අවබෝධය, හසුරු කුසලතා සහ ආකල්ප සංවර්ධනය කළ යුතු  බවයි.  මෙයින් හිස (මොළය) දැනුම සඳහාත්, අත කුසලතා සඳහාත්, හදවත ආකල්ප සඳහාත් මුලික වන බව පෙන්නුම් කෙරේ.  

ආරම්භයේදී, එවකට සිටි විද්‍යා සහ ගණිත අධ්‍යාපන නිලධාරීන්ගේ සහ විද්‍යා ගුරුවරුන්ගේද සහාය ඇතිව, සංගමයේ කටයුතු පහසුවෙන්  කරගෙන යාමට හැකිවිය. මෙම සංගමය මගින්,  පාසැල්  සිසුන්ට  සරල කෙටි කාලීන විද්‍යා ව්‍යාපෘති වල නියැලීමටත්, ඒවා අනුසාරයෙන් ගැටළු හඳුනා ගැනීමටත්, ඒවා නිරාකරණයට අදාළ උපකල්පන සකස් කර ගැනීමටත්, ඒ ඔස්සේ අවශ්‍ය ක්‍රියාකාරකම් මගින් දත්ත ලබාගැනීම සහ නිගමන වලට එළඹීමටත් අවස්ථාව සලස්වා දෙන ලදී. මේ ආකාරයෙන් සිසුන්ට නිරායාසයෙන්ම   ‘විද්‍යාත්මක ක්‍රමය’ (Scientific method) පිළිබඳව මනා පරිචයක් ලබාගැනීමට අවස්ථාව ලැබුණි.
සංගමය මගින්, 1984වර්ෂයේ සිට, නොකඩවා, මාසික රැස්වීම් සහ වාර්ෂික මහා සභාවක් බැගින් පවත්වා, විද්‍යා අධ්‍යාපනය වඩාත් ප්‍රායෝගික සහ වඩාත් වැඩදායි එකක් කිරීමට කළ හැකි විවිධ දේ සාකච්ඡා කරන ලදි. සෑම වර්ෂයකදීම  සංගමය මගින් සිසු ව්‍යාපෘති සියයකට අධික සංඛ්‍යාවක් සඳහා උපදෙස් ලබාදී  ප්‍රාථමික, කනිෂ්ඨ සහ ද්විතීය  යන මට්ටම් වලින් තෝරා ගනු ලබන ව්‍යාපෘති, තිහකට අධික සංඛ්‍යාවක සවිස්තර වාර්තා සහිතව, විද්වත් මඬුල්ලක් හමුවේ ඉදිරිපත් කිරීමට ශිෂ්‍යයින්ට අවස්ථාව ලබාදෙන ලදී. වයස් මට්ටම් අනුව බලන විට, සමහර සිසුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ව්‍යාපෘති විශිෂ්ට ගණයේ ඒවා විය. එක් වර්ෂයකදී ඉදිරිපත්වූ ව්‍යාපෘති මාතෘකා කිහිපයක් පහත දැක්වේ.    
  හය වන ශ්‍රේණියේ  සිසුවියකගේ මගේ යාලු කඩි ගුල ’                                                               පස්වන ශ්‍රේණියේ සිසුවෙකුගේ මකුළුවෙක් දැළ විවීම ’                                                          නවවන ශ්‍රේණියේ සිසුවියකගේ හොර ගසක බීජ/ඵල  ව්‍යාප්තිය ’                                              දහවන  ශ්‍රේණියේ සිසුවියකගේ සලබයෙකුගේ ජීවන චක්‍රයේ රහස ’                                                                                                                       
මේවා, එම වර්ෂයේ දී තෝරාගත් සරල ව්‍යාපෘති අතරින් කිහිපයකි. මේ සියල්ලම ඉතා සරල අදහස් වුවත්, ඒවා සැලසුම් කිරීම, දත්ත ලබාගැනීම, දත්ත විශ්ලේෂණය, නිගමනය ආදිය ඉතා හොඳින් සිදූකර තිබුණි.
කඩි ගුල පිලිබඳ අධ්‍යයනය කළ සිසුවිය, ගුලෙන් පිටතට පැමිණෙන කඩි, දස දෙනෙකු සලකුණු කර, දින කිහිපයක් ඔවුන් නිරීක්ෂණය කර තිබේ. ඇය, තමන්  විසින් ලකුණු කරනලද කඩි,  ඔවුන්ගේගුලෙහිසිට කොපමණ දුරකට ආහාර සොයා ගමන්  කරන්නේද යන්න මැනවින් අධ්‍යයනය කර, රූප සටහන්, වගු, ප්‍රස්තාර ආදිය ආශ්‍රීතව ඉතාමත් දක්ෂ අන්දමින් ඉදිරිපත් කරන ලදී.
දහවන  ශ්‍රේණියේ සිසුවියගේසලබයෙකුගේ ජීවන චක්‍රයේ රහසනම් ව්‍යාපෘතියේදී ඇය විසින් තම ගෙදර වත්තේ, රසකිඳ වැලක එල්ලෙන මුල් කා දමන සලබ දලඹුවෙකු,  අධ්‍යයනය  කර ඇති අතර, දින කිහිපයකට පසු එම දලඹුවා අදෘශ්‍යමාන වන බව නිරීක්ෂණය කර තිබේ. ඇය මේ සම්බන්ධව  අපගෙන් වැඩිදුර තොරතුරු විමසන ලදී. මේ  පිළිබඳව අපට තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, ගැටලුව කෘමි විද්‍යාඥවරියකට යොමු කරන ලදි.
එම විද්‍යාඥවරියට අනුව, ඉහතකී  සලබයා ඉතාමත් විරල එකෙක් බවත්, එම ප්‍රදේශයේ රසකිඳ වැල් වල පමණක් සිටින බවත් දැනගන්නට ලැබිණ. රසකිඳ වැලෙහි එල්ලෙමින් පවතින  මුල අග්‍රයේ සලබයා දමන බිත්තර වලින් එළියට පැමිණෙන කීට දළඹුවා , මුල කා දමමින් ඉහලට ගොස් ටික දිනකින්  එතනින් බිමට වැටී  ජීවන චක්‍රයේ ඊළඟ අවස්ථාව පොලොව යට කෝෂයක් සාදාගෙන  ගතකරන බව අපද දැන ගත්තේ ඊට පසුවය.
මෙම සලබයාගේ ජීවන චක්‍රයේ අදෘශ්‍යමාන අවස්ථාව ගැන සොයා බැලීමට, එම ශිෂ්‍යාව කර ඇති ගවේෂණය ඉතාමත් වැදගත් එකකි. ඇය ඒ මගින්විද්‍යාත්මක ක්‍රමයමැනවින් අවබෝධ කර ගෙන තිබුණි.
සෑම වර්ෂයකම සිසුන් විසින් ඉදිරිපත් කරනලද ව්‍යාපෘති යෝජනා වලින් බහුතරයක්. පරිසරයට අදාළ ක්‍රියාකාරකම් වීම, මෙහි තවත් විශේෂ ලක්ෂණයකි.
තමා විසින් ස්වාධීනව සකස් කරන ලද ව්‍යාපෘති වාර්තාව, ඉතාමත් දක්ෂ ලෙස සබකෝලයකින් තොරව, පිරිසක් ඉදිරියේ  ක්‍රමානුකූලව ඉදිරිපත් කිරීමට,  සිසුන් තුළ ඇති කුසලතාව හඳුනා ගැනීමට මෙම වැඩ සටහන් බෙහෙවින් ප්‍රයෝජනවත් වී තිබේ. මෙම වැඩ සටහන සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ විද්‍යා අංශයේද, ප්‍රාදේශීය විද්‍යා අධ්‍යාපන නිලධාරීන්ගේද සහයෝගය නොඅඩුව ලැබුණි.
එහෙත්,  2012  වර්ෂයෙන් පසුව, ආර්ථික ප්‍රශ්න, කාර්යාලය පවත්වාගෙන යාම සඳහා ස්ථානයක් නොමැති වීම, ගුරු සිසු උනන්දුව අඩුවීම, නිලධාරි සහයෝගය නොලැබී යාම වැනි කරුණු නිසා  එම විද්‍යා වැඩ සටහන, අක්‍රීය තත්ත්වයට පත්විය. මේ නිසා මෙම ඉතා වැදගත් අධ්‍යාපනික පිවිසුම, අතහැර දමන්නට සිදුවිය. අවසානයේදී එවකට සිටි විධායක මණ්ඩලය රැස්වී, සංගමයේ සියලුම අරමුදල් සහ වගකීම්, විද්‍යා ව්‍යාපෘති සඳහා උනන්දුවක් දක්වන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයට (SLAAS) ව්‍යවස්ථානුකූලව හාර දෙන ලදී. වසර විසිපහක් තිස්සේ අඛණ්ඩව කරගෙන යනු ලැබූ, මහඟු අධ්‍යාපන ක්‍රියාවලියක ඉරණම මෙසේ වීම කණගාටුදායකය. (මා වසර දෙකක් මෙම  සංගමයේ සභාපති ලෙස කටයුතු කර තිබේ.)   
මෙයට සමගාමීව, ගුරු ව්‍යාපෘති සඳහා, එක්සත් රාජධානියේ, පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යා සහ ගණිත අධ්‍යාපන සංගමය (CASME) මගින් පවත්වන ලද තරඟ වලට, අපගේ විද්‍යා සහ ගණිත අධ්‍යාපන සංගමය (SLASME) මගින් ඉදිරිපත්කරන ලද, ගුරු ව්‍යාපෘති කිහිපයකටම විශේෂ ත්‍යාගද ලැබුණු අතර, ත්‍යාග ලාභීන්  එක්සත් රාජධානියට ගොස් එම ත්‍යාග සහ සහතික පත්  ලබාගත් අවස්ථාද  කිහිපයක් තිබේ.
පාසැල් සිසුන්, ගුරුවරුන්  සහ අධ්‍යාපනඥන්  අතර ඉතා ජනප්‍රිය වූ මෙම වැඩ සටහනවත්  නැවත ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගන්නේ නම් එය සිසු දරුවන් වෙනුවෙන් ගන්නා වැදගත් තීරණයක් වනු ඇත. 
අද දකින්නට ලැබෙන ‘විද්‍යා අධ්‍යාපන හිඩැස’ මග හරවා ගැනීම පිණිස මෙම වැඩ සටහන මහෝපකාරී වනු ඇතැයි යන්න අපගේ බලාපොරොත්තුවයි.

%d bloggers like this: