Menu Close

මොනරගල් බුද් දස ඇතුන් කරවා බුදු බව පැතූ නිල්ලක්ගම බෝධිඝරය

“මොනරගල් බුද් මි මෙ දස ඇතුන් කරවා මහබොහි පිදූ පින්හි බෙලෙන් අනුත්තර සම්මා සම්බුදු වෙම්වා”

මොනරගල බුද් වන මා මෙම ඇතුන් දස දෙනා කරවා මහබෝධියට පිදු පින් බලෙන් අනුත්තර සම්මා සම්බුදු වෙම්වා යැයි 9-10 සියවස් වලට අයත් සිංහල අක්ෂර වලින් ලියා තැබූ ඉහත සෙල්ලිපිය හමුවන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, වන්නිහත්පත්තුවේ නිටලව අසල නිල්ලක්ගම පිහිටි නිල්ලක්ගම බෝධිඝරය ලෙසින් හැඳින්වෙන දැනට සංරක්ෂණය කර ඇති පැරණි නටබුන් වූ ගොඩනැගිල්ලේ, බස්නාහිර දොරටුවට වම් පසින් වූ පිටත බිත්තියේ ඇත් පවුරට පහලින් වූ අත්තිවාරම් ගලෙහිය. එම සෙල් ලිපියට ඉහලින් ඇත් පවුරේ වූ සෙල්මුවා ඇතුන් දසදෙනෙකු ඔහු කරවූ බවය ඉන් පැවසෙන්නේ.

මොනරගල් බුද් විසින් කරවූ ඇතුන් දස දෙනා (ඉහල) සහ එම සෙල් ලිපියේ කොටසක් (පහල)

1895 වසරේ මෙම ස්ථානයට පැමිණි H.C.P. බෙල් මහතා ගම්මුන් විසින් “දළදා මාලිගාව” ලෙසින් හැඳින්වූ නිටලව (Nittalawa) අසල නිල්ලක්ගම (Nilakgama) පිහිටි තනි නටබුන් ගොඩනැගිල්ලක් පිළිබඳව එම වර්ෂය සඳහා වූ පුරාවිද්‍යා ගවේෂණ වාර්තාවේ සඳහන් කරයි. එහි තිබූ අලංකාර ශෛලමය සිංහ, හස්ති සහ හංස රූප ගැනද ඔහු එම විස්තරයේ කෙටි සඳහනක් පමණක් ඉදිරිපත් කරයි. සෙනරත් පරණවිතාන මහතා පසුව සඳහන් කරන පරිදි බෙල් මහතාගේ නිරීක්ෂණයෙන් පසු එතරම් කලක් යන්නට මත්තෙන් එහි උඩ මළුව  නිදන් හොරුන් විසින් මුළුමනින් කඩාදමා ගොඩනැගිල්ලේ හරි මැදින් අඩි 10 පමණ ගැඹුරු වලක්ද සාරා ස්ථානය විනාශ කර දමා ඇත.

නිල්ලක්ගම බෝධිඝරයේ නැගෙනහිර දොරටුව, එහි කැටයම් රහිත සඳකඩපහණ, කොරවක්ගල් සහ කැටයම් කල දොර උළුවස්ස, දෙපසින් පහත මළුවේ ඇත් පවුර දැක ගත හැක

එපමණක් නොව ඉන්පසුව කාලයේදී අසල වැවී තිබූ කෝන් ගසක අත්තක් කඩා වැටීම නිසා ගොඩනැගිල්ලේ නැගෙනහිර දොරටුවේ උළුවස්ස සුනුවිසුනු වී ගොස්, ගැමියන් විසින් අසල හේනක් ගිනි තැබීම හේතුවෙන් පහල මළුවේ ඇත් පවුරේ සෑහෙන කොටසකටද හානි සිදු වී ඇත.  පරණවිතාන මහතා 1954 වසරේ එම ස්ථානයට යන විට එම ස්ථානයේද හේනක් කෙටීම සඳහා උත්සාහයක් තිබී ඇත. කෙසේ නමුත් එම වසරේදී එහි කැනීම් සහ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට එතුමාට හැකිවන බැවින් අද පවතින ආකාරයට නැවතත් එම ගොඩනැගිල්ල සංරක්ෂණය වීම සිදුවේ.

නැගෙනහිර දොරටුවෙන් ඇතුළු වූ පසු පෙනෙන බෝධිය පිහිටුවා තිබූ ඉහල මළුව (රූපයේ වම්පස), ප්‍රදක්ෂිණ පථය සහ එයට වහලයක් තිබූ බවට සාධක ලෙස ඉතිරි වී ඇති ගල් කණු (කැනීමේදී උළු කැට හමුවීමෙන් වහලයක් තිබූ බව තහවුරු වේ.) බටහිර දොරටුව වම් පස කොනේ දිස්වේ.

සෙනරත් පරණවිතාන මහතා විසින් 8-9 සියවස් වලට අයත් ලෙස සලකන ඉහත සෙල්ලිපිය මගින් මෙම ගොඩනැගිල්ල ඉදි කල කාලය සහ එය කුමක්දැයි යන්න පිළිබඳව අදහසක් ලබාගත හැකි මුත් (එනම් 8-9 සියවස් වල ඉදි කල බෝධිඝරයක්. නමුත් මෙම සෙල්ලිපිය  9-10 සියවස් වල භාවිතා වූ සිංහල අක්ෂර වලින් කොටා ඇති බව සිරිමල් රනවැල්ල මහතාගේ අදහසයි.) එයට වඩා යමක් ඒ පිළිබඳව පැවසීමට ඉවහල් වන වෙනත් නටබුන් කිසිවක් මේ අසල දැකිය නොහැක. කෙසේ නමුත් ඉහත සෙල්ලිපියේ ඇති ‘මහබෝ’ යන වචනයට අනුව මෙම බෝධිඝරය තුල පිහිටුවා තිබූ බෝධිය අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධියේ ශාකාවක් ලෙස හඳුනාගැනීමේ ගැටලුවක් නොමැති බව පෙනේ.

බෝධිඝරයේ ඉහල මළුව සහ මල් ආසනයක්

අනුරාධපුරයේ පිහිටවූ මහාබෝධි ශාකාවේ පළමුවෙන්ම හටගත් ඵලරුහ බෝධි පිහිටි ස්ථාන 8 ක් පිළිබඳව මහාවංශය, සමන්තපාසාදිකාව වැනි පැරණි ඓතිහාසික ග්‍රන්ථ කිහිපයකම සඳහන් වේ. කුරුණෑගල යුගයේ 4 වැනි පරාක්‍රමබාහු සමයේ (ක්‍රි.ව. 1302-1326) විල්ගම්මුල හිමියන් විසින් රචිත සිංහල බෝධි වංශයේ එම ස්ථාන 8 ට අමතරව පළමුවරට දෙතිස්ඵලරුහ බෝධි 32 පිහිටි ස්ථාන පිළිබඳවද විස්තර හමුවේ. සිංහල මහාබෝධි වංශයට අමතරව එයින් පසු කාලයට අයත්  සුළුබෝධිවංශය, චූලබෝධිවංශය වැනි ග්‍රන්ථ වලද එම ස්ථාන ගැන සඳහන් වන මුත් නිල්ලක්ගම හෝ නිටලව හෝ වෙනත් ආසන්න නමක් ඒ කිසිවක හමු නොවේ (දෙතිස්ඵලරුහ බෝධි යටතේ ක්‍රි.ව. 1787 දී ලියන ලද සුළුබෝධිවංශයේ ස්ථාන 35 දක්වා ඇති අතර චූලබෝධිවංශයේ ස්ථාන 33 ගැන සඳහන් වේ.)  ඉහත සෙල්ලිපියේ සඳහන් මොනරගල් යන්නද ස්ථාන නාමයක් විය හැකි මුත් එය මේ ස්ථානයේ නම ලෙස සැලකිය නොහැක්කේ, මොනරගල් යනු එම ඇත් රූ පෙල කරවා පූජා කල පුද්ගලයා වාසය කල ප්‍රදේශය විය හැකි බැවිනි. එම ප්‍රදේශය අනිවාර්යෙන්ම මෙම බෝධිය පිහිටි ප්‍රදේශය විය යුතු නොවේ. අසල ප්‍රදේශයක් වීමට නම් වැඩි ඉඩක් තිබේ.

බෝධිඝරයේ ඉහල මළුවේ ඇති සිංහ රූප සහ පහල මළුවේ ඇත් පවුරේ දකිය හැකි ඇත් රුවක්

මූලාශ්‍ර

  • විල්ගම්මුළ මාහිමියන්ගේ සිංහල බෝධිවංසය, මහාචාර්ය සුචරිත ගම්ලත් සහ දර්ශනපති ඊ. ඒ. වික්‍රමසිංහ සංස්කරණය, 1996
  • පුරාවිදු පරියේසණ, සෙනරත් පරණවිතාන, 1972
  • හීනටිකුඹුරේ සුමංගල හිමියන් ලියූ සුළුබෝධිවංසය, සංස්කරය – ආචාර්ය සෝමපාල ජයවර්ධන, 1991
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • අපේ සංස්කෘතික උරුමය, ද්විතිය කාණ්ඩය, 1998
  • Sinhalese Monastic Architecture, The Viharas of Anuradhapura, Senake Bandaranayake, 2009
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Archaeological Survey of Ceylon North-Central, Sabaragamuwa,Central and North-Western Provinces, Annual Report 1895, H.C.P. Bell, 1904
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part III, Edited by Sirimal Ranawella, 2005
%d bloggers like this: