Menu Close

අහස් රහස් මැද සීතල වූ ගින්නක්






නව වසරෙ ජනවාරිය උදාවුනේ ගින්දර වැඩක් වෙයි කියලා කවුරුත් බලාපොරොත්තුවෙන් හිටපු ගින්නෙන් උපන් සීතල පත්තු වෙන්න ගැනීමත් එක්ක. චිත්‍රපටයේ ගිනි රස්නය එකිනෙකාට දැනෙන ප්‍රමාණය වෙනස් වෙන්න පුලුවන්. කොහොම උනත්  ගින්නෙන් උපන් සීතල තිරගත වීම ආරම්බ කරපු මුල්ම දවස් වල  ජවිපෙ අනුගාමිකයන් චිත්‍රපටය හා බද්ධවෙලා සතුටු වෙන ආකාරය බලන් ඉන්න එකත් හරිම ෂෝක් වැඩක් වුනා. ෆිල්ම් එකෙන් එදවස ජවිපෙ සාමජිකත්වය ගැන නිරූපනය වන ධනාත්මක ප්‍රවේශය ගැන ඔවුන් ප්‍රීතිවෙනවා , ආඩම්බර වෙනවා , ඒ හරහා තමන්ගේ පක්ෂය promote කරගන්න සෑහෙන වෙහෙස වෙනවා. කොටින්ම ජවිපෙට සම්බන්ධයක් නැති කෙනෙක් ෆිල්ම් එකේ හොඳක් කිව්වම ඒකට මුලින්ම ස්තූතිය පල කරන්නේ අනුරුද්ධවත්, චමත්කාවත් නෙවී, මේ කියන ජවිපෙ හිතවතුන් සමූහය. ඔවුන් අමතක කරන කාරණය තමයි මේක විජේවීරගෙ official චරිත කතාව නොවන වග. මේක චිත්‍රපටයක්. ඒකේ තියෙන්නේ කතාවක්. ගෙවුනු සමයක් දිහා රචකයෙක්ගේ , අධ්‍යක්ෂවරයෙක්ගේ දැක්මක්. අපිට ඒ පිලිබඳ විචාරන්න හැකිවෙනේ කලා කෘතියක් කියන කාරණය ඇතුලේ ඉඳන් මිසක් , දේශපාලන සකච්චාවක් ඇතුලේ ඉඳන් නෙවී. එය නිර්මාණාත්මක පරිකල්පනීය වැඩක output එකක්. ඒ වගේම වෙලඳපොල එක්කත් කරන ගනුදෙනුවක්. එනිසා film එකක් ආ පමනින් එය පක්ෂයේ ප්‍රචාරණාත්මක වැඩපිලිවෙලක් කරගන්න එක ටිකක් බොලඳ වැඩක් වගේ මට නම් පේන්නේ. මේක ඕනනම් ජවිපෙ පිලිබඳ අතිශය විවේචනාත්මක හෝ අතිශයෝක්ති ඇතුලත් , කිසිසේත් නොවුනු සිදුවීම් පවා ඇතුලත් කරමින් පිලිකුල් සහගත හැඟීමක් දනවමින් පවා නිමවන්න පුලුවන් ගෙත්තෙම් අවකාශයක්. ඒක එහෙම ගෙතුනු පලියට ඉන් ජවිපෙ දේශපාලනය ජරා එකක් වෙන්නේ නෑ. මොකද ඒකත් කලා කෘතියකින් පරිකල්පනය කරන්න පුලුවන් තවත් එක් විදිහක් පමණක් වෙන නිසා. හැබැයි මේ චිත්‍රපටය වැරදිලාවත් ඒ negative ආරට නිමවුනා නම් දැන් සතුටින් උඩපනිමින් ඉන්න ජවිපෙ හිතවතුන් කල්ලිය කොහොම හැසිරෙන්න ගනීද කියල හිතන එකත් වෙනම ෆිලුමක් ගහන්න පුලුවන් මානයක්. ජවිපෙ පසුපස යන බොහෝ දෙනාගේ තියෙන ආගමික පන්නයේ අන්තවාදය මේ චිත්‍රපටය නිකුත් වීමත් එක්ක නැවත එලියට එනවා කියලයි මට නම් පේන්නේ. වාමාංශික දේශපාලන කඳවුරක අනුගාමිකයන් පවා මෙහෙම වැඩවලින් චූන් වෙද්දි ඉතින් අනික් උන් ගැන කවර කතාද ?


ඒ ප්‍රශ්නය ඉස්සරහට ඉතුරු කරමින් චිත්‍රපටය දිහාට හැරුනොත් අහස් මිනිසාගේ රහස් කතාව බලද්දි යම් ප්‍රමාණෙකට මට මතක් වෙන්නේ හිට්ලර්ගේ අවසන් දින කිහිපය තිරයට ගෙනාපු downfall චිත්‍රපටය. ඒකෙදි අපිට මුනගැහුනේ තම පරාජයේ අවසන් මොහොත වැලඳගනිමින් ඉන්න හිට්ලර් සහ ඔහුගේ සමීපතමයින්ගේ සංවේදී කතන්දරය. Downfall වල තිබ්බ මහා සාර්ථකත්වයේ රහස මට දැනෙන විදිහට නම්, හිට්ලර්ගේ දේශපාලන ව්‍යාපෘතිය එලියෙ ක්‍රියාවට නැගෙන හැටි , ඒවයේ තිබ්බ ඛේදනීය කතන්දර, එලියෙ සිද්ද වෙන ගැටුම්,අලකලංචි, චිත්‍රපටයට වැද්ද නොගැනීම. එහි කතාව සම්පූර්ණයෙන් කැරකුනේ හිට්ලර්ගේ අවසන් කාලය ගෙවීගිය ඛේදනීය, ආදරණීය, ආතතිමය සිදුවීම් වටා. චිත්‍රපටය කොයිතරම් ඒ ප්‍රස්තුතය වෙනුවෙන්ම ඇලී ගැලී තිබුනද කියනවනම් අපිට හිට්ලර්ගේ අවසන් මොහොත වෙනුවෙන් කඳුලක් නොසලා ඉන්න පවා අමාරුයි. අපි පොඩි කාලේ පටන් වෛර කරන් ඒ දරුණු පාලකයා වෙනුවෙන් අපේ හිතත ඇසත් මෙලෙක් වෙනවා. ගින්නෙන් උපන් සීතල යම් තැනක වරද්දා ගන්නවනම් ඒ මට දැනෙන විදිහට තමන් ඉදිරිපත් කරන්නේ විජේවීරගේ මොන කොටසද කියන එක ගැන තිර රචකයාටම පැටලී යාම. ආරම්භයේදී ජවිපෙ දේශපාලන ක්‍රියාවලියත් එක්ක ගමන් අරඹන චිත්‍රපටය මැදක් හරිය වෙද්දි යූ ටර්න් එකක් ගහලා විජේවීරගේ පවුල් ජීවිතය සහ දේශපාලනමය නොවන මානුෂීය සබඳතා එක්ක අත්වැල් බැඳගන්නවා. ලයනල් බෝපගේ, නන්දන මාරසිංහ හිටි හැටියේ කතාවෙන් අතුරුදන් වෙනවා. ඒ චරිත එහෙම නොපෙනී යන්න හේතුව අපිට පහැදිලි කරන්නේ නෑ. 77 සිට 83 දක්වා වූ වැදගත් කියා හැඟෙන සිද්ධි සියල්ල එකින් එක පොඩි පොඩි කාලයන් අරගෙන රූපගත කරලා තියෙන්නේ වාර්තා චිත්‍රපටයක ආකාරය සිහි කරමින්.  83 පක්ෂ තහනමත් එක්ක චිත්‍රපටයේ දේශපාලන සින්ධිමය  මුහුණුවර වියැකිලා ගිහිල්ලා දොස්තර පවුලේ කතාවට ලොකු ඉඩක් වෙන් වෙනවා. ඒකෙ ය්ම් අපූර්වත්වයක් මතුවෙන්න ගද්දි , එලියේ සිද්ද වෙන, ඒ කියන්නේ විජේවීරගේ සහබාගීත්වයකින් තොරව සිදුවන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ කටයුතු චිත්‍රපටය මැද්දට කඩන් පාත් වෙනවා. මේකෙන් වෙන්නේ අපි බලන්නේ හරියටම ජවිපෙ කැරැල්ල්ලද නැතිනම් විජේවීරගේ මානුෂීය සබඳතාද කියන එක අපිට පැටලෙන එක. ඇත්තටම ඒක පැටලිලා තියෙන්නෙ තිර රචකයාට. ඒ පැටලිල්ලේ අවසානය වෙන්නේ ජවිපෙ ඉතිහාසය ගැන කිසිවක් නොදන්න්නෙක්ට මේ මිනිස්සු මෙහෙම මරා දමන්නේ මොන ඇටේකටද කියල හිතා ගන්න බැරි වෙන අතරම විජේවීරගේ පවුල සහ රහසිගත ජීවිතයේ රසයත් මග හැරී යාම. Downfall වල තිබ්බ ගැම්ම ගින්නේ හීතලේදී මිස් වෙලා යන්නේ එහෙම.

කොහොම උනත් මේකේ අපිට ගෙදර ඇවිල්ලත් හිතන්න යමක් ඉතුරු කරනවානම් ඒ තමයි චිත්‍රාංගනී විජේවීරගේ ජීවිතය. අවුරුදු අටක කාලයක් තුල දරුවන් සය දෙනෙකු වදමින් විජේවීරගේ ලෝකයෙන් වියුක්ත ලෝකයක ජීවත් වෙන්න බල කෙරුනු ලැබූ , ඇද දමනු ලැබූ ඇයගේ කතාව. ඇය ඔහුට බැඳ තබනු ලද හුය වෙන්නේ සාම්ප්‍රදායික විවාහ සංස්තාවෙන් උරුම කල සිරි යහන සහ ඒ සිරි යහනේ කෙලිවල ප්‍රතිපල වන දරුවන් ගොන්න පමණයි. මේ ගැන ලියවුනු අනගි විචාර බොහොමයක් පහුගිය දින කිහිපයෙදී මුහුණු පොත හරහා  share උනා. කොහොම උනත් ගින්නෙන් උපන් සීතල කියන්නේ බැලිය යුතු සිංහල චිත්‍රපටයක්. මොකද සෑහෙන සෑහෙන කාලෙකට පස්සේ සිංහල චිත්‍රපටයක ඉන්න හැම නලුවම නිලියම උපරිමෙන් රඟපාන විරල මොහොතක් අපිට මේ පැය දෙකහමාර ඇතුලෙ මුණ ගැහෙන නිසා. ඒ වගේම ධනුෂ්කගේ කැමරාකරණයත් අපිව ඒ මුලු කාලය පුරාම අල්ලං තියාගන්න සමත් හපංකමක් කරලා තියනවා.

%d bloggers like this: