Menu Close

සීතල විතරයි කෝ ගින්න?

රෝහන විජේවීර ගැන මං මුලින් දැනගත්තෙ පොඩිකාලෙ අපේ අම්මගෙන්. විජේවීර කතා කරනවා අහන් හිටපු ගෑනු කනේකරේ තිබුනු දේවල් ගලවලා ජවිපෙට දුන්නා කියල අම්මා විජේවීරගෙ කතා ශෛලිය වර්ණනා කරනවා. ඉතින් ලොකුවෙනකල් මේ මිනිස්සු වශීකරන කතාව අහන්න කුතුහලයක් මට තිබුනා. ඒත් මුලින්ම අහපු දවසෙම ආපෝ කියල හිතුනා. ඒ තරම් ටකරන් හ`ඩක්. විමල් වීරවංසගෙ වගේමයි. කොහොමත් ලංකාවෙ දේශපාලනයේ මේ ටකරං හ`ඩවල් නැගලා ගියා. බොරලූගොඩ සිංහයා, ආසියාවේ රිදීසීනුව මේ ඔක්කොම ටකරං.

කොහොම වුනත් ජවිපෙ ගැන තිබුන බැතිමත් හැගීම කොහොම ආවද කියල හරියටම හේතු කියන්න මට අමාරුයි. ඒත් නිකන් රොබින්හුඞ් වගේ ඇල්මක් ගැටවර කාලෙ ඉඳන් ජවිපෙ ගැන තිබුනා. මාක්ස්ගෙ ලෙනින්ගෙ කියවන්න බැරි හාඞ්කවර් පොත් රාක්කෙ තියාගත්තම දැනෙන ආඩම්බරයක් තිබුනා. ඒක මං හිතන්නෙ කැරලිකාරගතියට ඇතිවෙන වශීකාර හැගීමක්. ජවිපෙ ඡුන්දෙ ඉල්ලද්දි පක්ෂෙ එක්ක කිසිම සම්බන්දයක් නැතුවත් සීනුවෙ පෝස්ටර් අතින් ඇඳගෙන ගිහින් පාරෙ අලවන තරම් පුකේ අමාරුවක් ඒ කාලෙ තිබුන. මං ජේවීපී කියන්නෙ හරිම ආඩම්බරේකින්. හම්පඩ යූඇන්පී ශ‍්‍රීලංකාකාරයො ඇඹරිලා යන තරම් තදින්. ආගම අබිං වගේය කියල එහෙම කියවද්දි ඇග කිලිපොලා යන ආතල් එකක් දැනුනා.

ඒත් අපි ලොකු වෙද්දි ජවිපෙ ටික ටික පොඩි වුනා. ඒක හැම වීරයෙකුටම වීර කාව්‍යයකටම පොදු ලක්ෂනයක්. අපි වීරයා ඉක්මවා වැඩෙනවා. වීරයාගෙ සීමිතකම් අපිට අභිමුක වෙනවා. ඒක හරි වේදනාත්මක මුනගැසීමක්. ඒත් අපි පරිනත වෙද්දි වීරයන්ට මැරෙන්න සිද්ද වෙනවා. 88, 89න් පස්සෙ ජවිපෙ ගැන ප‍්‍රශ්නාර්ත ගොඩක් පත්තු වුනා. ඒ අවුල හරියටම වචන කරලා ටක්කෙටම ගැහුවෙ මාතොට විජේවීරගේ උරුමය සහ කරුමය කියන ලිපිය. ග‍්‍රාමීය පක්ෂයක් විදිහට ජවිපෙ සලකුනු කරමින් ලියපු ඒ ලිපියෙන් පස්සෙ මගේ ලෝකෙ වීරත්වය ජවිපෙන් එක්ස් එකට මාරු වුනා. 2004දි එක්ස් එකත් මැරුනා.

විජේවීරගේ ජීවිතේ අළෙලා අනුරුද්ද චිත‍්‍රපටියක් කරනවා කිව්වම මට ආපහු අර නොස්තැල්ජික් වීරයාව මතක් වුනා. පැරකුම්බා, අනගාරික, ඞීඑස් වගේ පුස්ලෝඩංවලට පස්සෙ විජේවීරටත් සිනමා තිරය විවෘත වුනා කියල උද්දාම වුනා. දැන් අපේ කාලෙ වීරයන්ගෙ කාලෙ. මට හිතුනෙ එහෙම.

නිකං පෙන්නපු දර්ශන ඔක්කොම හිතාමතාම මගඇරලා රීගල් එකටම ගියේ ෆිල්ම් එක එහි සියලූ ආනුභාවයන් සහිතව විඳගන්න. මෙතන ඉඳන් මං ෆිල්ම් එක ගැන මට දැනුනු අවංක හැගීම කියනවට අනුරුද්ද මගෙත් එක්ක අමනාප නොවෙයි කියල හිතනවා.
විජේවීර ගැන ෆිල්ම් එකක් කරන්න හිතපු එක වෙන මොන දෙයක් නැතත් හොඳ මාකටින් තීරනයක්. අනිවාර්යෙන්ම ජවිපෙ ලක්ෂ පහක් විතර ඡුන්ද ටිකවත් හරිනං හෝල් එකට යන්න  ඕන. ඒ ඇරුනම මං වගේ මියගිය විරුවා සමරන්න යන අය. අධ්‍යාපනික උවමනාවකට චරිත කතා බලන්න යන අය. අසූ අට අසූ නමයෙ භීෂනය මතක ජනතාව. මේ විදිහට ඒක හෝල් පිරෙන්න සෙනග ඉන්න  ඕන චිත‍්‍රපටියක්.
අනිවාර්යෙන්ම මේක අධ්‍යක්‍ෂවරයෙකුට දරුනු අභියෝගයක්. විශේෂයෙන්ම අනුරුද්දගෙ ජවිපෙ ගැන තියෙන ලැදියාවත් එක්ක මේක සෑහෙන අමාරු වැඩක් වෙනවා. මං ෆිල්ම් එක බලන්න කලින් හිතුවෙ ඒ ආදරය නිසාම අනුරුද්ද මවන විජේවීර ෆ්ලැට් චරිතයක් වේවි කියල. ඒක ජවිපෙ ගුන ගායනයක් වෙන්න ඉඩ තියේවි කියල.

ඒත් ෆිල්ම් එක බලද්දි මට දැනුනෙ ඒ ආදරේ බර විසින් අනුරුද්දව විතරක් නෙමෙයි සමස්ත චිත‍්‍රපටියම කොර කරලා කියල. කමල් මාරට විජේවීරගෙ චරිතෙ කරනවා කිව්වට ඇත්තටම මං දැක්කෙ ඇකිළුනු ආයාසයෙන් චරිතය අල්ලගන්න මහන්සි වෙන කමල්ව. බාරගත් චරිතයේ දැවැන්ත බව විසින් කමල්ව වේදිකා නාට්‍ය රංගනයක් දක්වාම අස්වාභාවික කරලා තිබුනා. චිත‍්‍රපටිය ආරම්භයේදී ජේලර් කෙනෙක් එක්ක ඉංග‍්‍රීසියෙන් කතා කරන කමල්ගේ දෙබස් සහ රංගනය නරඹන්නාව ලැජ්ජාවකින් හකළුවනවා. ඇත්තටම කමල් විජේවීරට රගපානවා බලන් ඉන්න මහන්සියි. වේශ නිරූපනය නාරද ඉතාමත් හොඳට කරලා තිබුනා. ඒත් සමහර තැන්වලදි පිටපත විසින් වේශ නිරූපන ශිල්පියාව අමාරුවේ දාලා තිබුන වග පෙනුනා. උදා විදිහට මොකට දැම්මද කියල හිතාගන්න බැරි විජේවීර නාන දර්ශනය. මට හිතෙන්නෙම විජේවීර නාන්නෙ නෑ කියල තියෙන පිලිගැනීම හින්දම අනුරුද්ද මේක දැම්මා කියලයි. ඒත් කොන්ඩෙ ගැලවෙනවට බයේ ඒක අතින් අල්ලගෙන කමල් එතන ඇත්තටම නානවා.

77 ඉඳන් මරණය දක්වා කාල පරාසයක දිවෙන පත්තරවල සලකුනු වුනු සිද්දීන් මතින් විජේවීරගේ ජීවිතය කියන්න යන එකෙන් ඇත්තටම අනුරුද්දට විජේවීර මගඇරෙනවා. මිනිහෙක් විදිහට විජේවීර කවුද කියන එක තිරයට ගේන්න ධම්මගේ පිටපත සමත් වෙන්නෙ නෑ. ඇත්තටම ගත්තොත් මේ අසමත්කම නිසා විජේවීර වීරයෙක් වෙනවාට වඩා බයගුල්ලෙක් වෙනවා. කතාව පුරාම අපි දකින්නෙ එක එක ගෙයින් ගෙට මාරු වෙමින්, හැමදාම කමිටු රැුස්වීම් තියමින් ඉන්න නිකමෙකුගේ චරිතයක්. ඒ ඇරුනම එයා බිරිඳව දකින දකින වෙලාවෙ ගැබිනියක් කරනවා. අවසාන අර්තයෙන් විජේවීර වැඩක් කියල කරන්නෙ පොතක් ලියන එක විතරයි. ඒකත් මුද්‍රණය වෙන්නෙ නෑ.

පිටපත පුරාම තියෙන්නෙ හැමෝම දන්න මතුපිට ප‍්‍රවෘත්ති. 88 – 89 භීෂණයවත් ඒ සැබෑ බිහිසුනු බවෙන් යුතුව නිරූපනය කරන්න අධ්‍යක්‍ෂවරයාට බැරි වෙනවා. පැය දෙකහමාරක් විතර කතාව දිග වුනත් විජේවීරව සමාජයට දැනුනු තරමවත් කෘතිය ඇතුලෙන් දනවන්න අසමත් වෙනවා. ඒ කාලෙ ධවල  භීෂකයා රංජන් විජේරත්න ගැන ෆිල්ම් එකේ කොතනකවත් නෑ. ඒ වගේම පේ‍්‍රමදාස උඩුගම්පොල වගේ චරිත අනුරුද්ද අසාධාරන විදිහට මග අරිනවා.

තමන්ගෙ සංවිධානය ඇතුලෙ සිද්දවෙන සන්නද්ධ ක‍්‍රියාවලීන් ගැන පවා නොදන්නා බබෙක් විදිහටයි විජේවීර චිත‍්‍රපටිය ඇතුලෙ ඉන්නෙ. අසමත් නායකත්වයක් වගේම තොග පිටින් මරා දැමෙන තමන්ගේ විප්ලව සගයන් ගැනවත් හුදු වචනෙකට එහා සංවේදීබවක් එයාගෙන් නිරූපනය වෙන්නෙ නෑ. රට පුරා  පැතිරෙමින් තිබුනු භීෂනය මේ විප්ලව නායකයාට මේ තරම් සරලද කියල හිතෙනවා. චිත‍්‍රපටිය දිවෙන්නෙ මතුපිට සිද්දි මාලාවක් උඩයි. ඇතුලත ආත්මය අහිමිවයි.

රංගනයේදී සුලෝ කරන චිත‍්‍රාංගනීගේ චරිතය විජේවීරට වඩා ගැඹුරට දැනෙනවා. ඒක ඇත්තටම පිටපතට වඩා සුලෝගෙ දක්ෂතාවයෙන් වෙන දෙයක්. දෙබස් කීපයක් විතරක් තිබුනත් හුස්මෙන් බැල්මෙන් සුලෝ චිත‍්‍රාංගනී කියන ගැහැනියගෙ පීඩාව දැනෙන්න නිරූපනය කරනවා. ඒ ඇරුනම ප‍්‍රියන්ත සිරිකුමාර කරන කෙටි චරිතය විතරක් අනිත් හැමකෙනෙක්වම පරයා උඩට ඉස්සෙනවා. මේ දේවල් ඒ රංග ශීල්පීන්ගේ ප‍්‍රතිභාව නිසාම වුනු දේවල් මිස හිතාමතා කළ දේවල් නෙමෙයි.

ගින්නෙන් උපන් සීතලේ සිනමා කැමරාවත් දුර්වල බවයි මගේ හැගීම. ඒ කැමරාව හෙල්ලෙන්න අවශ්‍ය මොහොතේ නිශ්චලවත් නිශ්චල වෙන්න අවශ්‍ය මොහොතේ හෙල්ලිහෙල්ලිත් පාවිච්චි වෙනවා. ඒ රූපකරණය වියලියි. නිර්මාණාත්මක බවක් හෝ සජීවී බවක් දනවනවාට වඩා ප‍්‍රවෘත්තිකරනයට නැඹුරුයි.  නදීකගේ සංගීතයත් චිත‍්‍රපටියට සාධාරණයක් කරන්නෙ නෑ. ඒ සංගීතයෙන් මේ ඛේදවාචකය පිළිබඳ හැගීම හෝ ගැඹුර මතු කරන්නෙ නෑ. අඩුම තරමෙ රූපයෙන් නොපෙනන බාහිරයේ දිවෙන භීෂණය රූපය ඇතුලට ගෙන ඒමේ උත්සාහයක්වත් ඒ සංගීතය ඇතුලෙ නෑ. මං ඇත්තටම මුං දෙන්නාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වුනා.

ඇත්තටම පැය දෙකහමාරක් දුර මේ චිත‍්‍රපටය වෙහෙසකරයි. ඒකාකාරීයි. විජේවීර පිළිබඳ හදවතේ චිත‍්‍රය බිඳවට්ටනසුලූයි. පිටපතක් හැටියටත් කතාව ගැලපී ගෙතී වෙලී නැතුවා වගෙයි.

රන්මිහිතැන්නේ රූගත කරපු දර්ශන ඇරුනම අනෙක් දර්ශනවල කලා අධ්‍යක්‍ෂණය සහ සමස්තයක් විදිහට ඇඳුම් නිර්මාණය ප‍්‍රශස්ත මට්ටම තිබුනා කියන්න පුළුවන්.
මගේ අදහස නම් මේ සියලූ වැල්වටාරම් අත්හැර අනුරුද්ද නවත්තන තැනින් විජේවීරගේ කතාව ආරම්භ වෙන්න තිබුනා කියලයි. අත්අඩංගුවට ගත් අත්තනායක ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව බොරැුල්ල කනත්තේ පනපිටින් පුලූස්සා දැමීම දක්වා සිද්දි මාලාව මේ සියල්ල මීට වඩා ගැඹුරෙන් සහ සංවේදීබවෙන් ප‍්‍රකාශ කරන්න සමත් වෙන්න තිබුනා. ඒ යට පැවැති සියලූ දේශපාලනයන් ඒ මිනිමලිස්ටික් වියමන ඇතුලට ගේන්න තිබුනා.

නමුත් අවාසනාවන්ත විදිහට අනුරුද්දට විජේවීර මගඇරෙනවා. ඇත්තටම සීතල විතරයි. ගින්දර පත්තු වෙන්නෙ නෑ.

%d bloggers like this: