Menu Close

පැරණි මහවැලිගම නොහොත් උරුවේල පටුන් ගම සහ කෝකිලයා දුටු පොන්පරප්පුව

එළුවන්කුලම වැව (සිතියමේ අංක 4 ස්ථානය)

විජය පුරාවෘත්තයේ කියැවෙන ලෙසට විජය සමග පැමිණි ඇමතියෙක් උරුවේල නම් වූ ගමක් ඉදි කල බව මහාවංශයේ දැක්වේ. පණ්ඩුවාසුදේව රජු සිය මෙහෙසිය ලෙස අභිෂේක කල භද්දකච්චානා දේවියගේ ලංකාවට පැමිණි සොයුරන් සය දෙනා අතර වූ උරුවේල නම් අයෙක් විසූ තැන එනම් වූ බව මහාවංශයේ පසුව එන ගාථාවකද සඳහන් වේ. මහාථූපය ඉදි කිරීම උදෙසා දුටුගැමුණු රජුට අනුරාධපුරයෙන් බටහිර දෙස පස්යොදුන් පමණ තැන උරුවේල පටුනෙහි (උරුවෙලපට්ටනෙ) මුහුදු වෙරළෙහි මුහුදු රළපහරින් ගොඩගසන ලද පබළු සමග නෙල්ලි ගෙඩි තරම් වූ මුතු පහල වූ බවද එහිම පසුව සඳහන් වේ. සුභ රජු (ක්‍රි.ව. 60-70) උරුවේල අසල වල්ලි විහාරය කල බව උරුවේල නම් වූ නගරය හෝ ගම සම්බන්ධයෙන් මහාවංශයේ එන අවසාන සඳහනයි.

B379 මාර්ගයේ සපත්තු පාලම මතින් ගලා යන කලා ඔය (සිතියමේ අංක 3 ලෙසින් ලකුණු කර ඇති ස්ථානය)

මහාවංශයේ ටීකාව වූ වංසත්ථප්පකාසිනීය දඹදිව වූ ‘උරුවෙලායං’ ගැන අර්ථ දැක්වීමේදි ‘උරු’ යනු වැලි බවත් ‘වෙලා’ යනු ‘සීමා’ බවත්, ඒ අනුව උරුවෙලා යන්නට ‘මහාවැලිතලායෙහි’ යන නිරුක්තිය දිය හැකි බවත් පැහැදිලි කරයි. කසයන් දේවියගේ (භද්දකච්චායනා දේවිය) සොහොයුරුන් දස දෙනෙකු ගැන පවසන පූජාවලිය ඔවුන් අතරින් උරුවෙල නම් ශාක්‍යයන් විසූ තැන් මහවැලිගම් නම් වූ බව පවසන බැවින්, ඉහත අර්ථ නිරූපනයටද අනුව උරුවේලා ලෙසින් පෙල බසින් හැඳින්වූ ග්‍රාමය මහවැලිගම ලෙසින් හෙළ බසින් හැඳින්වූ බව පැහැදිලිය. උරුවෙල් නම් ශාක්‍ය කුමාරයා විසූ තැන විල්බා නම් නුවර වූ බව පසු කාලීන වංශ කතාවක් වන රාජාවලිය සඳහන් කරයි. ඒ අනුව විල්බා යන නමද පසු කාලීනව මහවැලිගමට ව්‍යවහාර වූවා විය හැක.

පැරණි වැව් ආශ්‍රයෙන් වගා කල කුඹුරු තිබූ ප්‍රදේශ හරහා යන B379 මාර්ගය (සිතියමේ අංක 2 ලෙසින් ලකුණු කර ඇති ස්ථානය )

වලි වෙහෙර නටබුන් 
විල්පත්තු වනෝද්‍යානය තුලින් වැටී ඇති පුත්තලම – මන්නාරම මාර්ගයේ (* පාදක සටහන බලන්න) හමුවන පොම්පරිප්පු මෙගලිතික් සුසාන භූමියේ බරණි සූසාන (Urn burials) විසිරී ඇති ප්‍රදේශයේ, එම මාර්ගයට සැතපුමක් පමණ නැගෙනහිර දිශාවට වන්නට වනාන්තරයට යටවී ඇති පැරණි ස්තූපයක නටබුන් හමුවේ. සෙනරත් පරණවිතාන මහතා 1956 වර්ෂයේදී මුල් වරට මෙම ස්තූපය අවට ගවේෂණයක් සිදු කර එම නටබුන් ස්ථානය පුරාණ වලි වෙහෙර බවට එහි තිබී හමුවූ 8 වන සියවසට අයත් ශිලා ලිපියක් ආශ්‍රයෙන් සොයාගෙන ඇත. පැරණි කාසි කිහිපයක්ද මෙහි තිබී ඔහුට හමුවේ. නැවත 1977 වර්ෂයේදී මෙම ස්ථානයේ කැනීමක් සිදු කර ස්තූපයේ සලපතල මළුවේ තිබී  9 වන ශතවර්ෂයට අයත් විවිධ ප්‍රදානයන් සිදු කල සෙල් ලිපි කිහිපයක් මෙන්ම, ස්තූපයේ සිව් කොනේ ගඩොලින් කල කුටි තුල ශෛලමය ආසන මත තබා තිබූ හුණුගලින් නිර්මිත හිඳි බුදු පිළිම හතරක්ද මතු කරගැනීමට ශරත් වත්තල මහතාගේ අධීක්ෂණයෙන් කැනීම් සිදු කල පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ට හැකිවේ. ස්තූපයේ අවධි දෙකකදී ඉදිකිරීම් කර ඇති බවටද සාධක මෙහිදී හමු වී ඇත.

පැරණි වැව් ආශ්‍රයෙන් වගා කල කුඹුරු තිබූ ප්‍රදේශ (සිතියමේ අංක 2 ලෙසින් ලකුණු කර ඇති ස්ථානය

එම කැනීම් සහ සංරක්ෂණ කටයුතු 1979 වර්ෂය වන විටත් සිදුවෙමින් තිබී ඇති අතර එම ස්ථානයට ලඟාවීම සඳහා පුත්තලම් – මන්නාරම මාර්ගයේ සිට කැලය මැදින් සැතපුම් 2.5 ක ජීප් රථ යා හැකි මාර්ගයක්ද කපා ඇත. කෙසේ නමුත් දෙමළ ජාතිවාදීන්ගේ ත්‍රස්තවාදී ප්‍රශ්නය සමගින් එම කටයුතු ඉදිරියට යාම සිදු නොවන්නට ඇති අතර අද වන විට එම ප්‍රදේශය නැවතත් වන ප්‍රවාහය විසින් වසාගෙන ඇතිවා වන්නට පුළුවන.

උරුවේලා නුවර හඳුනාගැනීම
අනුරාධපුරයට යොදුන් 5 ක් එනම් සැතපුම් 40-50 පමණ බටහිර දෙසින් උරුවේලා පටුන තිබූ ලෙස මහාවංශයේ එන සඳහන සහ ඉහත පොම්පරිප්පු අසල හමුවන වලි වෙහෙර සුභ රජු උරුවේල අසල ඉදි කල වල්ලි වෙහෙර ලෙසින් හඳුනාගැනීම නිවැරදි ලෙස ගතහොත් පහසුවෙන්ම පැරණි උරුවේලා ග්‍රාමය හෝ පටුන් ගම හෝ නගරය කලා ඔය මුවදොර එහි දකුණු ඉවුරෙන් උතුරු දෙසට පිහිටි ප්‍රදේශය ලෙස හඳුනාගත හැක. සාපේක්ෂව වැව් දුලබ මෙම කලාපයේ කලා ඔය නිම්නයේ සරුසාර දියළු පස (Alluvial Soil) ආශ්‍රිතව ලොකු කුඩා වැව් පද්ධතියක්ම දැකිය හැකි වීමද එම හඳුනාගැනීම නිවැරදි බවට තවත් සාධකයකි (සිතියම 1). ඓතිහාසික යුගයට පෙර සිටම මෙම ප්‍රදේශය ජනාවාස වී තිබූ බවට ක්‍රි.පූ. 500-100  පමණ යුගයට අයත් විය හැකි යැයි විශ්වාස කරන බරණි සොහොන් 8000-10000 අතර ප්‍රමාණයක් මෙම සමතලා බිමේ විසිර තිබීමෙන්ද තහවුරු වේ.

සිතියම 1 – කලා ඔය මුවදොර අවට පැරණි වැව් වල පිහිටීම, වලි වෙහෙර සහ පොම්පරිප්පු, ඉහත ඡායාරූප ගත් ස්ථාන මෙහි ඡායාරූපයේ අදාල අංකයත් සමග සලකුණු කර ඇත 

උරුවේලා සිට අනුරාධපුරයට වැටී තිබූ මාර්ගය කරෙයිතිව්, පෙරියවිල්ලු හරහා විරඳගොඩ ඔස්සේ වැටි තිබූ බවට හඳුනාගෙන ඇති අතර එම මාර්ගයේ නටබුන් මුහුදු බඩ ගම්මානයක් වන පෙරියවිල්ලු පෙදෙසේදී දැකිය හැකි බව මෙරට පැරණි මාර්ග පද්ධතිය පිළිබඳව ගවේෂණය කරන P. විදානපතිරණ මහත්මිය පවසයි. එම මාර්ගයේ පිහිටීම අනුව උරුවේල වරාය කලා ඔයේ වම් ඉවුරේ එහි  මුවදොර අසල තිබෙන්නට ඇති බව එතුමිය අනුමාණ කරයි. දැනට එහි කිසිදු සාධකයක් පොළාව මතුපිට දැකගත නොහැක.

දෙව් සිරිසර දිසි වන රන් පරප්පුව
කොව් ලඟනක සමගව වැස සරප්පුව
එ ව් මිරස බිඳ මී අඹ තරප්පුව
සව් සැපතින් යුතු දකු පොන් පරප්පුව

පොම්පරිප්පු ආර හරහා වැටී ඇති B379  මාර්ගය ( සිතියමේ අංක 1 ස්ථානය)

කෝට්ටේ යුගයට අයත් ක්‍රි.ව. 1440 – 1446 අතර කාලයේ රචිත ලෙස සැලකෙන කෝකිල සන්දේශය හෙවත් කොවුල් අස්නේ එන ඉහත පද්‍යයෙන් විස්තර වන ප්‍රදේශය කෝකිලයාගේ ගමන් මග අනුව ඉහත විස්තර වූ මහවැලි ගම හෙවත් උරුවේල ප්‍රදේශය ලෙස හඳුනාගත හැක. සැම සම්පත්තියකින්ම යුක්ත වූ පොන්පරප්පුව යන ගම දැක ගන්නා ලෙසට කවියා එමගින් කෝකිලයාට පවසයි.

1834 වර්ෂයේ සයිමන් කාසි චිට්ටි මුදලියර් වරයාගේ Ceylon Gazetteer හි පොම්පරිප්පු පිළිබඳව විස්තරයක් හමුවේ. එතුමා පවසන ලෙසට පොම්පරිප්පු යන්නෙහි අදහස Golden plains හෙවත් රන්වන් තලාව වේ. එම ප්‍රදේශයේ සරුසාර පස එම නම භාවිතා වීමට හේතු වන්නට ඇති බවය ඔහුගේ අදහස. පොම්පරිප්පු ලෙසින් හැඳින්වූ කුඩා ගම්මානයට පමණක් නොව නැගෙනහිරින් නුවරකලාවියෙන් , සහ දෙමළ පත්තුවෙන්ද, උතුරින් මෝදරගම් ඔයෙන්ද (Moderegam river) බස්නාහිරින් කල්පිටිය බොක්කෙන්ද (Gulf of Calpentyn) වටවූ විශාල පළාතටද එම නම ව්‍යවහාර වූ බව ඔහු පවසයි. එම ප්‍රදේශයේ පුද්ගලයන් 498 වාසය කර ඇති අතර ගම්මාන 35 ක ඔවුන් ජීවත් වී ඇත. ශක වර්ෂ 1469 (ක්‍රි.ව. 1547)  මුක්කුවා ප්‍රධානියෙක් වන නවරත්න වන්නියා වෙතට මෙම ප්‍රදේශය සීතාවක රජවාසලින් නිකුත් කල තඹ සන්නසකින් පවරා තිබූ නමුත් ඔහුගේ මරණින් පසුව එය වෙනත් පුද්ගලයන් අතට පත්වූ බවත් ඔහු පවසයි. 1822 කැප්ටන් Gualterus Schneider ගේ සිතියමේ එම පළාත සලකුණු කර ඇත්තේ මේ අයුරිනි.

සිතියම 2 – 1822 දී කැප්ටන් Gualterus Schneider සකස් කල සිතියමක පොම්පරිප්පු දිස්ත්‍රික්කය ලකුණු කර ඇති අයුරු. එම සිතියමේ සලකුණු කර ඇති කරෙයිතිව් සහ පොම්පරිප්පු මෙන්ම පැරණි මාර්ගද (දුඹුරු පාටින්) මතු කර ඇත.

 පොම්පරිප්පු නම් වූ ගම පුත්තලමේ සිට සැතපුම් 31 දුරින් විශාල තැනිතලාවක පිහිටා තිබූ බවත් එහි ගල් වලින් තනා තිබූ තානායමක්ද (Rest house built of stone) ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. 1881 ජන සංගණනයට අනුව පොම්පරිප්පු ග්‍රාමයේ නිවාස 7 ක පුද්ගලයන් 22 සිට ඇති අතර 1891 එය නිවාස 3 ක පුද්ගලයන් 11 දක්වා පහත වැටී ඇත. 1901 වන විට තිබී ඇත්තේ එක් නිවසක් පමණි. පුද්ගලයන් 5 කි. ඔවුන් ද්‍රවිඩ ජනවර්ගයට අයත් ක්‍රිස්තියානි ආගම අදහන 4 ක් සහ එක් හින්දු බැතිමතෙක් වූ බව පැවසේ. පොම්පරිප්පු පත්තුවේම මුළු ජනගහණය 1901 වන විට පුද්ගලයන් 53 වී තිබූ අතර නිවාස තිබී ඇත්තේ 5 පමණි. එයින් 6 ක් පහත රට සිංහල වූ අතර 47 ද්‍රවිඩ විය. ඉන් බහුතරය හින්දු ආගම ඇදහූවන් වූ අතර (34) සෙස්ස ක්‍රිස්තියානි (14) සහ බෞද්ධ (5) විය.

පොම්පරිප්පු ආර  ( සිතියමේ අංක 1 ස්ථානය)

මේ වන විට මෙම සියළු ප්‍රදේශ විල්පත්තු වනෝද්‍යානය තුල පිහිටා ඇති හෙයින් පූර්ව ඓතිහාසික යුගයේ සිටම මානව ජනාවාස පැවති උරුවේල හෙවත් මහවැලිගම නොහොත් පසුව පොම්පරිප්පු (හෝ කෝකිල සන්දේශයේ දැක්වෙන ලෙසට පොන්පරප්පුව ) පෙදෙස අද වන විට එවන් මානව ක්‍රියාකාරකම් නීත්‍යානුකූලව තහනම්, වන සතුන් උදෙසා වෙන්වූ කලාපයක් බවට පත් වී ඇත. අනාගතයේ කිසියම් දිනක නැවත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ මෙම ප්‍රදේශය තුල සිදු කලහොත් වන ප්‍රවාහය විසින් වසා ගත් බොහෝ තොරතුරු සොයා ගත හැකි වනු ඇත.

* ඇත්ත වශයෙන්ම මෙම මාර්ගයේ මුල් කොටස B379 ලෙසින් හැඳින්වෙන පුත්තලම – මරිච්චුකඩ්ඩි මාර්ගයයි. එතැන් සිට වන්කාලෙයි දක්වා B403 මාර්ගය ඔස්සේ මන්නාරම දෙසට ලගාවිය හැක. වන්කාලෙයිදි B403 මාර්ගය තලෙයිමන්නාරම දක්වා යන මැදවච්චිය සිට එන A14 මාර්ගයට එක්වේ.

මූලාශ්‍ර

  • Settlement Patterns of the Malvatu Oya and Kala Oya Basins, A Study in the Historical, Geography of Sri Lanka, P. Vidanapatirana, 2010
  • මාර්ග පුරාණය, පී විදානපතිරණ, 2016
  • Ceylon Gazetteer, Simon Casie Chitty, Modliar, 1834
  • Ancient Irrigation Works in Ceylon, R.L. Brohier, 1934
  • Wilpattu, Villus and Beyond, Compiled by Vimukthi Weeratunga, 2009
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Administration Report of the Commissioner of Archaeology for the Year 1979, de Silva R.H. & Karunaratne W.S.
  • Administration Report of the Commissioner of Archaeology for the Years 1970-1977, de Silva R.H.
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • වංසත්ථප්පකාසිනියමහාවංශ ටීකාව – සිංහල අනුවාදය, අකුරැටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක , 1994
  • රාජාවලිය – ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • සිංහල අනුවාද සහිත දීපවංස, පොහොද්දරමුල්ලේ ඤාණානන්ද මහාස්ථවිර, 1927
  • Gazetteer of the Puttalam District of the North-Western Province of Ceylon, Frank Modder, F.R.G.S., 1908
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ  මොග්ගල්ලාන සංස්කරණය මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
%d bloggers like this: