Menu Close

අදත් එදාමෙන් දකින්න ඇත්නම්.. Feeling missing.. those beautiful eyes..

සොඳුරු සඳවතී ‘ඇස්’ ගැන පිට පිටම පෝස්ට් දෙකක් දාල තිබ්බ.. දෙවෙනි එක කියවද්දී මට මගේ පරණ සීන් කෝන් එකක් මතක් උනා.. මේ ගැම්මටම ලියුවොත් ලියවෙයි කියල හිතුන නිසා ඔන්න අමුවෙන්ම ලියල දානවා.. 🙂
Those eyes… <3
ඒ ලෙවල් ෆස්ට් ෂයි එකෙන් කෙළවාගෙන උපරිමේට පිස්සු කෙළලා හෙම්බත්වෙලා හිටපු අපි දෙතුන් දෙනෙක් සෙකන්ඩ් ෂයි එකට මීට වඩා බැහැල වැඩ කරන්න ඕනි කියල හිතල ප්ලෑනක් ගැහුවා.. හරිම සිම්පල් ප්ලෑනක්.. උදේම කට්ටියම එකතු වෙනවා අපේ යාළුවෙක් ‘ටික්ක’ වැඩේ කරපු ඉන්ස්ටිටියුට් එකක් තිබ්බ එතැනට.. ඌ ඇත්තටම කොහොම අපේ යාලුවෙක් උනාද මංදා.. රට වටේම ඇවිදින අපේ දණ්ඩ පූසා හෙවත් බයිසන් හෙවත් විරාමය බ්ලොග් එක ලියපු අරිට්ටකී තමයි ඌව යාළු කරගෙන තිබ්බේ. එතන අයිතිකාරයා සර් කෙනෙක්. මිනිහ උදේට නෑ.. ටික්ක විතරයි. ඒක නිසා උදේ වරුවට අපි එතන පොරවල්. උදේ වරුවේ ඔය කියන තැන ක්ලාස් වර්ග දෙකක් තිබ්බ.. එකක් ඕ ලෙවල් රිපීට් වෙච්චි උන්ට තිබ්බ රිවිෂන් ක්ලාස් එකක්.. ඕ ලෙවල් රිපීට් කියුවම ඉතින් ආයෙම අහන්න දෙයක් නෑනේ.. ඒ ආපු කොල්ලෝ කෙල්ලෝ රොත්ත බුරුත්තට ඉගෙන ගන්න උවමනාවක් තිබ්බේ නෑ.. අරුන්ට උගන්නන්න උවමනාවක් තිබ්බෙත් නෑ.. උදේ වරුව පොඩි මගුල් සක්වලක් වගේ ක්‍රියේට් කරලා අතරින් පතර ගුරුවරයෙක් ගිහින් මක්ක හරි බාගෙට කුණුහබ්බයක් උගන්නල එන එක තමයි කරේ.. ඕකට උගන්නන්න ආවෙත් ඉස්කෝල වල උගන්නන ගුරුවරු නෙවෙයි. උන්ට එන්න බෑනේ උදේ වරුවේ. ඉතීම් එහෙන් මෙහෙන් ඇහින්දාස් සෙට් එකක් තමයි ඉගැන්නුවේ. පස්සේ මේකේ වැඩි බර අදින්න උනා අපිට.. සල්ලි වලට නෙවෙයි.. ටික්කගේ ෆිට් එකට.. ගණන්, විද්‍යාව සම්පුර්ණයෙන්ම වගේ සහ ඉංග්‍රීසි අතරින් පතර අපි තමයි ඉගැන්නුවේ. හැබැයි අපේ තිබ්බ උණට  අතින් කාගෙන උනත් ඒ ටික හොඳටම ඉගැන්නුවා.. ඒක නිසා ක්ලාස් එකත් ජනප්‍රිය උනා.. සර්ටත් පට්ට ලාභයි.. ඉතීම් ඌ උදේ නෙවෙයි මහා රෑක ගියත් අපිට එතන අපේ වගේ රඟන්න දුන්න.. හවස් වරුව විතරයි අවුල්.. ක්ලාස් වැඩියිනේ.. ඒ වෙලාවට අපි රෙස්කෝස් එකට ගිහිං ක්‍රිකට් ගහනවා..
රයිට්.. එතකොට උදේ ඔතන තිබ්බ අනිත් ක්ලාස් එක තමයි බාහිර උපාධි කරන එව්වොන්ට උගන්නන එක.. මං හිතන්නේ ඒ දවස්වල බාහිර උපාධි තිබ්බේ BA(General) ඩිග්රි එකකට.. අන්න ඔතන හිටියේ අපිට වඩා දෑවුරුද්දක් වගේ වැඩිමල් සෙට් එකක්.. හැබැයි උන් ශිෂ්‍යයෝ.. අපි ටෙම්පරි හරි ගුරුවරු නිසා අපි උන්ටත් ලොකු සීන් එකේ තමයි හිටියේ.. හැබැයි එතන හිටපු අක්ක බබාලා නම් ගොඩක් අපිත් එක්ක පෑල්.. එහෙම වෙන්නත් හේතුවක් තිබුනා.. ඔය මන් කියපු අරිට්ටකිය ඒ දවස්වල නතරවෙලා හිටියේ අපේ සෙට් එකට සෙට් වෙච්චි ෆස්ට් ෂයි ලියන එකෙක් වෙච්චි පොඩි බූලා හෙවත්, ගමයා හෙවත් මිස්ටර් අසාර්ථක ලගේ ගෙදර.. මිස්ටර් අසාර්ථක කියල කාඩ් එක ගැහුවේ මමද කොහෙද.. ඕකගේ මොන වැඩේ කරන්න ගියත් හෙනම ප්ලෑන් .. කොලයක් අරගෙන ඉරි ගහල තීරු බෙදල එක එකාගේ රෝල් අයිඩෙන්ටිෆයි කරගෙන අරවද මේවද ඔක්කොම කරලා අන්තිමේ අතින් කියක් හරි කෙලවාගෙන විරුවා පට්ටං ගහගෙන ඉන්නවා. ඊළඟ වැඩේටත් එහෙමයි ඉතිං. ඒ ලෙවල් වලටත් ඔහොම ප්ලෑන් කරලා අන්තිමේ F දොළහක්ම අරන් තමයි නතර උනේ.. ඒ උනාට හරිම හිත හොඳ එකා.. සියලු දුසිරිතෙන් තොරයි. ඒ උනාට අපි කීයටද කාල බීල නාල ඉවර වෙන්නේ ඌ ඉන්නවා අපිව පරිස්සම් කරන්න.. හැබැයි ඔය යකාට දැන්නම් මිස්ටර් අසාර්ථක කියන්න බෑ.. දැන් ආණ්ඩුකාරයෙක්ගේ ලේමෙක්.. උගේ වැඩ ඔක්කොම සාර්ථකව කර ගන්නවා.. ඒම මදැයි 🙂
හරි. දැන් ඉතීම් පොර අපේ අරිට්ටකියව ගෙදර නවත්තගෙන හිටියෙත් කිසිම ය කිරීමකින් තොරව. දෙන්නත් එක්ක එකට පාඩම් කරලා ගොඩ යන පරම පිවිතුරු චේතනාවෙන්.. පස්සේ මම ඔතනට සෙට් උනාම මූ මටත් කතා කරා උන්ගේ ගෙදර නැවතිලා පාඩම් කරන්න. සියලු බරපැන උන්ගේ ගෙදරින්. උන්ගේ ගෙවල් තියෙන්නේ අපේ ගෙවල් පාරෙමයි. හැබැයි අපේ ගෙවල් පහු කරලා තව කිලෝ මීටර් පාළොහක් විතර යන්නෝනි. බදුල්ල පැත්ත දන්නා උන් දන්නවා ස්ප්‍රින්වැලි හෙවත් වසන්ත නිම්නයේ පහළ තියෙනවා ති සුන්දර ගමක් ‘කඳන’ කියල.. නිමල් සිරිපාල හිටපු සෞඛ්‍ය ඇමතිගේ ගම.. නිමල් සිරිපාල පස්සෙත් තව තව ඇමති කම් දරුවත් සෞඛ්‍ය ඇමති කාලේ බදුල්ලට කරපු වැඩ කන්දරාව නිසා තාමත් මතක ඒ විදියට.. ඔය නිදාගෙන වගේ හිටියට වැඩ කරන්න ගත්තම යකා වගේ. අනික පට්ට මීටරේ.. ලෝකේ හැම තැනම පොරට න්ටක්ට්ස්.. මට හැමදාම හිතෙන දෙයක් තමයි 2015 ‘පොද්ද’ කල්ල ‘හිටන්’ වෙනුවට නිමල් ලොක්ක දැම්මනම් අද කතාව මීට ගොඩක් වෙනස් වෙන්න තිබ්බ කියනඑක.. ඒවා ඒ උනාට කියන්න බෑ.. කෙළවෙන්න තියෙනවනම් සක්කරයා ආවත් කෙලවෙනවම තමයි.. හා..හා.. දේශපාලනේ අදාළ නෑනේ මට.. කියන්න ආවේ මොකක්ද? ආ කඳන ගැන නේ..
කඳන කියන්නේ ඒ කාලේ වෙනකොටත් ඉඳුල් නොවිච්චි පට්ට ලස්සන ගමක්.. එහෙ ලයිෆ් එකත් හරි වෙනස්. නගරයෙන් ඈත වෙලා තිබ්බත් මිනිස්සුන්ගේ සියලු බැඳීම් තිබ්බේ නගරයත් එක්ක නිසා ඒ මිනිස්සු හැමදාම උදේම නැගිටලා උයල පිහල කාල බීල ගමේ කාන්තාවෝ වැඩිහිටියෝ විතරක් ඉතුරු වෙද්දී අනිත් හැමෝම වගේ බස් එකෙන් නගරෙට එනවා. නගරය වැඩ අරඹන කොට මේ මිනිස්සුත් එතන. උදේ ගමෙන් එන බස් දෙක තුන හා හවස ගමට යන බස් දෙක තුන කියන්නේ ගමේ දින චරියාවේ වැදගත්ම අංග දෙකක්.. එතන තියෙනවා ලස්සන එකමුතුවක්. හදිසියක් නිසා තමන් එදාට යන බස් එකට ඒ ගන්න බැරි උනොත් අන්තිම බස් එකට කොහොම හරි පණිවිඩේ දීල ඔක්කොම එකතු කරගෙන තමයි යන්නේ.. සමහරවිට පැයක් හමාරක් ගමන පමා උනත් පමා වෙන පුද්ගලයා ගැන හැමෝම හොයල බලනවා මිසක් තමන්ගේ ගමන පරක්කු වෙනවා කියල කවුරුවත්ම කවදාවත් කම්ප්ලේන් කරන්නේ නෑ. අන්න ඒ වගේ. මිනිස්සුත් හරිම අහිංසක සුන්දර ඈයෝ.. නැන්දලා මාමල, බාප්පල පුන්චිල අයියල අක්කල දුවල පුතාල තමයි හැමෝම.. කොටිම්ම ඔක්කොම වගේ නෑදෑයෝ.. ආ ඔය නිමල් ලොක්කගේ මහගෙවල් මේ අපේ යාළුවගේ ගෙදෙට්ට පිටිපස්සේ වගේ.. ඒ කාලේ බුවා කියන්නේ නිමල් මාම කියල.. දැන්නම් මක්ක කියනවද මංදා..
කඳන ගැන කියුව වැඩිද මංදා.. හරි.. ඉතීම් ඔන්න දැන් මාත් කඳන පදිංචියට ගිහින් එහෙ ජිවිතේට හුරු උනා කියමුකෝ.. ඒ කියන්නේ උදේ පහට විතර නැගිටලා පට්ට හීතලේම වොෂ් එකක් දාගෙන උණු උණුවෙන් රතු කැකුළු බත් වේලක් බඩ පිරෙන්න කාලා  5.45 ට එන බදුලු බස් එකේ නගරෙට එනවා.. ඔන්න ඔය බස් එකේම අපිත් එක්ක ආවා ලස්සන ඇස් දෙකක් තියෙන අක්කි බබෙක්.. වැඩේ කියන්නේ අක්කිගෙ නමත් ‘නයනා’.. සරීර ලක්සන වලින් ගත්තොත් මේ උන්දී මට හාත්පසින්ම වෙනස්.. ඒ කියන්නේ ‘ලස්සනයි, සුදුයි, පුංචියි..’.. හැබැයි මට හරිම ලෙන්ගතුයි.. කතා කරත් බඩ පිරෙනවා.. කතා කරනකොට ළඟටම ඇවිත් අර ලස්සන ඇස් වලින් කෙලින්ම ඇස්  දිහා බලාගෙන බොහොම හිමින් කතා කරන්නේ.. රැවුල වැවිල වැඩියි නම් ඒක කියන්නේ මූන අතගාල.. කතා කරන ගමන් ෂර්ට් එකේ කොලර් එක හදනවා,, බොත්තම් පේළිය කෙලින් කරනවා.. ඒ කියන්නේ කතා කරන වචන ටික උනත් ‘බොක්කේන්ම තමයි කතා කරන්නේ.. මෙයා එක්ක තව අක්කෙක් ආවා ඈ නෑ කමෙන් මගේ යාලුවාගේ නැන්දා.. 🙂 මෙයාලා ආවේ මං අර කලින් කියපු බාහිර උපාධි පංතියට.. පස්සේ මතක් වෙලා මං මේ ගැන බැලුව ඇත්තටම ඒ පන්ති වලට ඒ දවස්වල කියුවේ GAQ ක්ලාස් කියල.. ඔය GAQ කියන එකට ලංකාවටම විතරක් අදාළ තේරුමක් තියෙනවා ගූගල් එකේ General Arts Qualifying (exam; Sri Lanka) කියල.. මට හිතෙන්නේ BA(General) එකේ මුල් අදියර වෙන්න ඇති.. හරි.. ඉතීම් ඔය අක්කලා දෙන්නත් අපේ සෙට් එකටම සෙට් වෙච්චි.. ඒ අක්කල නිසා GAQ ක්ලාස් එකේ අනිත් අක්කලත් අපිට සෙට් වෙච්චි.. ඕකට ඒ ක්ලාස් එකේ අයියල නම් ඒ හැටි මනාපයක් තිබ්බේ නෑ උනාට අපි ඒවාට සැලුනේ නෑ..
ඔහොම අපි සතුටින් සමාදානෙන් ඉන්න අතරේ (ඉඳල හිටලා ඒ ලෙවල් වලට පාඩමුත් කරා ඈ!) මගේ හිත දවසින් දවස අර අක්ක වෙත බැඳුනා කියහන්කෝ.. එයයිත් අපරාදේ කියන්න බෑ මට සෑහෙන්න ‘එක’ දුන්න.. ඔක්කොටම හපන් අපේ ගොබිලෝ ටික.. උන් අපි දෙන්නව කසාදි බන්දල දීලත් ඉවරයි ඕක ඉව වැටෙනකොටම.. බස් එකේ එක සීට් එක වෙන්කර ගෙන ඉන්න එක, දවල්ට එක බත් එක කන එක, සිකරට් බොනවට බනින එක, දෙන්නට දෙන්න හොඳට පාඩම් කරන්න කියාගන්න එක වගේ දේවල් තමයි අපේ ලව් එකේ මුල්ම අදියර උනේ..
ඊළඟ පියවර විදියට මම කලේ කට්ටියවම දවසක් අපේ ගෙදර එක්ක ගිය එක.. සාමාන්‍යයෙන් අපේ ගෙදර කවුරු ආවත් ඒ ළඟ තේ වත්තේ ඇවිදින්න යන එක පුරුද්දක්.. තේ වත්තට ගියාම දැන් ඌව වෙල්ලස්ස කැම්පස් එක හදල තියෙන පැත්තෙන් මුළු බදුල්ල නගරයම ලස්සනට බලා ගන්න පුළුවන්.. ඉතීම් දවල්ට කෑම හදනකම් අපිත් ගියා තේ වත්තේ ඇවිදින්න.. අන්න එදා තමයි අපි දෙන්න පළවෙනියටම ඔෆීෂියල් පෙම්වත්තු වගේ කටයුතු කලේ.. කල කටයුතු මොනවද කියල අහනවා එහෙම නෙවෙයි ඔන්න.. ඊට පස්සේ ඉරිදා නිවාඩු දවසට අපි කඳන පහලින් ගලන ඔයේ නාන්න යනවා.. එයා ඉරිදට යාළුවගේ ගෙදර එනවා.. අපි නාන්න යන්නේ එතනින්.. උදේ නවයට විතර නාන්න යන්න පහලට බැස්සම හවස තුන හතරට තමයි ‘නාලා’ එන්නේ ගෙදර.. 😀
තව විස්තර ලියන්න ගියොත් පෝස්ට් එක දිග වැඩි වෙනවා.. නැතුව මට මොනවා ලියවෙයිද කියල බයකට එහෙම නොවෙයි ඈ! හෙහ් හෙහ්.. අපි ඔහොම කොච්චර ආදරෙන් සමාදරෙන් හිටියත් කවදාවත් ‘ආදරයක්’ ගැන කතා කරලා නෑ.. හොඳකටද නරකටද මංදා එහෙම දෙයක් ගැන කතා කරන්න උත්සාහ කරලම නැද්ද කොහෙද.. ඒ කාලේ කොහොමත් දැන් වගේ අක්ක මල්ලි ලව් ඒ හැටි ජනප්‍රිය වෙලා තිබ්බේ නෑ.. සමාජ අසම්මතයක් විදියටම නොවුනත් පොඩි ප්‍රතිරෝදයක් තිබුන අපේ හිත්වලම ඒ වගේ දේවලට.. අනේ මංදා.. ඒ ලෙවල් ලියල ඉවරවෙලා මම කඳනට ආයුබෝවන් කියල ගෙදර ආව එකෙන් අපි හම්බ වෙන ෆ්‍රිකුවන්සි එක සෑහෙන්න අඩු උනා.. වෙනද වගේ ගැන්සිය නැති නිසා මම ඉන්ස්ටිටියුට් එක පැත්තට ගියේ නෑ. ඒ වෙනුවට හවස ක්ලාස් ඉවර වෙන වෙලාවට ඒ පැත්තට ගිහින් එයාලව බස් එකට ඇරලවල එනවා. සෙල්ලම් කරන්න හිත ගිය දවසට ඒකත් මිස් වෙනවා.. හ්ම්ම්.. නොකෙරෙන දීගේ හෙවනැල්ලත් ඇදයි කියනවා වගේ එතනින් එහාට ගොඩක් දේවල් රුවිතෙටමයි උනේ.. ඒ ලෙවල් රිසල්ට්ස් ඇවිත් ටික කාලෙකින්ම මම නේවි ජොයින් වෙනවා කියන ආරංචියට නම් එයා පණිවුඩයක්ම එවල හම්බවෙලා දුක සතුට දෙකම මුසුව සුභ පැතුවා..
කොහොම හරි ඉන්ටරෙස්ටින්ම වැඩේ උනේ ඊට පස්සේ.. පලවෙනි මාස තුනේ ඉංග්‍රීසි කෝස් එකෙන් පස්සේ අපිව ඇකඩමියට යැව්වම එතන එකම භිෂණයක්.. අපිට සීනියර් බැච් තුනක් එතකොටත් ඇකඩමියේ ට්‍රේනින් වෙනවා.. උන්ගේ අටෝරසියක් කැට මැද්දේ තිබුන එකක් තමයි ‘කෙල්ලගෙන් ‘ ලැබුන ලියුම උන් ඉස්සරහ කියවන එක.. ඒක දන්නේ පස්සේ.. කෙල්ලක් නෑ  කියපු උන්ට තඩි ගෙම්බෙක් හොයල අල්ලාගෙන ඇති කරන්න කියපු නිසා හා අපි ලියුම් කියවනකම් උන් තම තමන්ගේ ගෙම්බා හුරතල් කර කර, උන්ට ‘තොලක් එහෙම දාල’ ආතල් ගන්න සෙට් වීම නිසා මම ගත්ත කටටම කියුව මට ‘කේලලක්’ ඉන්නවයි කියල.. හුටා ඊට පස්සේ තමයි දන්නේ කෙල්ලගේ පින්තුරයක් ළඟ තියා ගන්නත් ඕනි එවන ලියුම් සති අන්තේ උන් ඉස්සරහ කියවන්නත් ඕනි කියල.. අන්න ඒ වෙලාවේ මට ආයෙම පිහිටට ආවේ මගේ ලස්සන ඇස් අක්ක බබා තමයි.. මම වහාම කෝල් එකක් දීල යාළුවට විස්තරේ කියල එයාට ෆෝන් එකට එන්න කියුව පහුවෙනිදට කතා කරන්න. අපේ එකා ඒක කියපු වෙලාවේ නම් කෙල්ල හොඳටම රතු වෙලා ඇඹරුනා ලු.. කොහොම හරි එයා පහුවෙනිදා කියපු වෙලාවට යාළුවගේ ගෙදරට ඇවිත් මට කතා කලා.. මම විස්තරේ කියුවම ඒ සතියෙම පොඩි ෆොටෝ එකකුත් දාල සාමාන්‍ය විස්තර අහල ලියුමක් එවල තිබ්බ.. ඒ ෆොටෝ එක දැක්කම අරුන් කියුවනේ මේ කෙල්ලට පිස්සුද යකෝ තෝ වගේ වළහැඩියෙක් එක්ක යාලු වෙන්න කියල.. හැක්. ලියුම කියෙව්වම ඇහුව ඒ උඹේ කෙල්ලද අම්මාද කියල.. මං පහුවෙනිදම ආයෙම කෝල් එකක් අමාරුවෙන් අරගෙන ඔය කතන්දර දෙකම එයාට කියුව. එදානම් අපි දෙන්නම කාලෙකට පස්සේ සෑහෙන්න හිනා උනා.. එදා ඉඳල මාස දෙක තුනක් යනකම් එයා පැණි බේරෙන ලව් ලෙටර් සති පතා වගේ එව්වා.. කොහොම හරි අපේ බැචාලත් තාම හිතාගෙන ඉන්නේ ‘නයනා’ තමයි ඒ කාලේ ලව් එක කියල..
මාස දෙක තුනකින් ඒ ගොන් පාට් එක ඉවර උනාට පස්සේ පැණි ලියුම් ‘ගෙන්න ගන්නා’ එකත් නතර උනා.. අහම්බෙන් මිසක් කතා කරන්න උනෙත් නෑ.. ඔය අතරේ එයා බාහිර උපාධිය ඉවර කරලා ‘ඒජිඔෆිස්සෙකේ’ රස්සාවකට ගියා.. පස්සේ ආරංචි උනා කොල්ලෙක් සෙට්වෙලා ඉන්නවා කියල.. තවත් කාලෙකින් ආරංචි උනා බැන්දයි කියල.. පස්සේ පස්සේ ආරංචි එන එකත් නතර උනා.. 🙂
මේ බොහොම මෑතක.. බොහොම මෑතක.. මට දවසක් එයා අහම්බෙන් හම්බුනා බදුල්ලේදී.. අනේ.. අර ලස්සන ඇස් දෙකයි ඒ ලෙංගතු කමයි එහෙමමයි.. එදා කතා කරෙත් ඇස් දෙක දිහා කෙලින් බලාගෙන මගේ ටී ෂර්ට් එකේ කොලර් එක හද හදා.. දැන් ලොකු ළමයි දෙන්නෙක්ගේ අම්මෙක්.. හොඳ පවුල් ජිවිතයක් ගත කරනවා.. මගේ විස්තරත් ඇහුව.. නෝනවයි ළමයින්වයි එක්කගෙන දවසක එහෙ එන්නත් ආරාධනා කරා.. මමත් ඉතින් කට්ටියටම ගාල්ලේ එන්න කියල ආරාධනා කරා.. අන්න එදා මම පළවෙනි වතාවට එයාට ‘අක්කේ’ කියල කතා කරා.. එයා නම් කලිනුත් කියල තියෙනවා.. ඒ වුනාට එදා ආයෙම කට පුරා හිනාවෙලා ‘මල්ලී’ කියල කියුව..  ‘මට පෙම් කළ’ කියල කියන්න පුලුවන්ද බැරිද මංදා.. සනත් නන්දසිරිගේ මේ සින්දුව ඇහෙද්දී මට එයාවවත් එයාගේ අහිංසක ලස්සන අමුතු ඇස් දෙකවත් මතක් වෙන එක නවත්වන්නම බෑ..
ඉඳුල් මගේ නෙත මුලින්ම දුටුදා.. මා හා හිනැහුණු අහිංසකාවිය..
අදත් එදාමෙන් දකින්න ඇත්නම්.. ……………………… මුදු නිසංසලාවිය..
මමනම් ආසයි අහන්න නයනා.. ඉස්සර වාගේ ඔබේ මුවින්..
දෙනෙත පියාගෙන කියන්න මුමුණා..
එක වදනක් හෝ කෝල ලෙසින්.. ..
%d bloggers like this: